‘පක්ෂ මාරුවට වැට – ජනපති සමාවට සීමා’ රැවටිල්ලක් නොවන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදයට සවියක් නම් 21 ට අප පක්ෂයි

422

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීමේ දිශාවට සංශෝධනයක් ගෙන එන්නේ නම් අපි පක්ෂපාතී වෙනවා. එහෙත් එය හුදු රැවටිල්ලක් බවට පත් වන සංශෝධනයක් නොවිය යුතුයි යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසිය

බත්තරමුල්ල පක්ෂ මුලස්ථානයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

බල සූදුවේ එක් එක් අවස්ථා වෙනුවෙන් එක් එක් වගන්ති වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් වී තිබෙනවා. කෙසේ වුවද 21වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට අප හමුවේ තිබෙනවා. දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප විශ්වාස කරන්නේ විවිධ අවස්ථාවල කෑලි කපා අමුණා අටවා තිබෙන මෙම ව්‍යවස්ථාව මුළුමනින්ම වෙනස් කොට පූර්ණ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපේ රටට ගෙන ආ යුතු බවයි. නමුත් මේ පාලකයන් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු නොකරන බව අපි දන්නවා. පාර්ලිමේන්තුවේ 20 වැනි සංශෝධනය සම්මත කරන අවස්ථාවේ අධිකරණ ඇමැතිවරයාත් ජනාධිපතිවරයාත් ප්‍රකාශ කළේ වසරක් ඉකුත්වීමට මත්තෙන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවයි. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඉල්ලනවා වගේ මේ පාලකයන් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්න උත්සාහ නොකරන බව අපිට පැහැදිලියි.

ඒ අනුව තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීමේ දිශාවට සංශෝධනයක් ගෙන එන්නේ නම් අපි පක්ෂපාතී වෙනවා. එහෙත් එය හුදු රැවටිල්ලක් බවට පත් වන සංශෝධනයක් නොවිය යුතුයි. 19 වැනි සංශෝධනය ගෙන විටත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පිළිබඳව කල්පනා කරනු වෙනුවට මෛත්‍රීපාල සිරිසේනගේ බල කේන්ද්‍රයේ සහ රනිල් වික්‍රමසිංහගේ බල කේන්ද්‍රයේ බල වුවමනාවන් එම 19 වැනි සංශෝධනය තුළ ගැබ් වී තිබෙනවා. එනිසා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් සංශෝධනය ගෙන එනු වෙනුවට බල වුවමනාවන් ඉදිරියට ගත් නිසා විකෘතිභාවයක් ඇති වුණා.

ඒ වගේම මන්ත්‍රීවරුන් එක් පක්ෂයකින් තේරී පත්වී තවත් පක්ෂවලට මාරුවීම විසින් විශාල වියවුලක් නිර්මාණය කර තිබෙනවා. තනතුරු හා වරදානවලට, නඩු බේරා ගැනීමට, අපරාධ බේරා ගන්න, බැංකු ගිණුම් තර කර ගන්න පක්ෂ මාරු කිරීමේ ඉතිහාසයක් තිබෙනවා. ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ තීරණාත්මක හැම මොහොතකදීම එහෙට හෝ මෙහෙට පනිනවා. පාර්ලිමේන්තුව ජනතාවගේ ඇත්ත මතයේ පිළිබිඹුවක් බවට පත් වන්නේ නැහැ. 19 වැනි සංශෝධනයේ මූලික පිටපතේ මේ සඳහා බාධාවන් ඇති කර තිබුණා. තෝරා ගන්නා මන්ත්‍රීවරයා වෙනත් පක්ෂයකට මාරු වන්නේ නම් ඔහුගේ මන්ත්‍රී ධුරය ඉක්මන් ක්‍රියාමාර්ගයක් මගින් ඉවත් කිරීමේ හැකියාව මුල් පිටපතේ තිබුණා. නමුත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පසුව දිනේෂ් ගුණවර්ධන ගෙන එන ලද සංශෝධනයක් විජේදාස රාජපක්ෂ විසින් පිළිගැනීමෙන් එම වැදගත් සංශෝධනය 19 න් ඉවත් වුණා. ඒ නිසා අපි අවධාරණය කරන්නේ මන්ත්‍රීවරුන් පැති මාරු කිරීම වැළැක්වීම සඳහා ප්‍රතිපාදන මෙම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුල් විය යුතු බවයි.

ජනාධිපතිවරයාට සමාව දීමේ බලය ලබාදී තිබෙනවා. ඔහුට මරණීය දණ්ඩනය නියම වූවන්, ජීවිතාන්තය දක්වා සිරගත වූවන් නිදහස් කළ හැකියි. නඩු තීන්දු අත්හිට විය හැකියි. නඩු තීන්දුවක කොටසක් පමණක් ක්‍රියාත්මක කළ හැකියි. අධිකරණයෙන් ලබා දෙන තීන්දු පිළිබඳ අභිමත බලයක් ජනාධිපතිවරයාට ලබාදී තිබෙනවා. පහුගිය කාලයේ මේ බලය ක්‍රියාත්මක කිරීමේදී ස්ත්‍රී දූෂකයන් නිදහස් කිරීම වෙනුවෙන්, කාන්තාවන් ඝාතනය කර මරණ දඬුවම හිමිවූ අය නිදහස් කරන්න මේ බලය උපයෝගී කර ගත්තා. මිනීමැරුම්වලට සිරගත වූවන් නිදහස් කරනු ලැබුවා. දේශපාලන වුවමනාකම් අනුව වගේම රෝයල් පාක් ඝාතනයට වගකිවයුත්තන් නිදහස් වීමේදී විශාල අල්ලසක් හුවමාරු වූ බවට චෝදනා එල්ල වුණා. එම නිසා මේ නිදහස ලබාදීමේ බලය යම් සීමාකම්වලට යටත් විය යුතුයැයි අපි යෝජනා කරනවා. මීට අදාළව කළ යුතු සීමා කිරීම් කවරේදැයි අපේ නීතිවේදීන් සලකා බලමින් ඉන්නවා. 21 වැනි සංශෝධනය තුළ ජනාධිපතිවරයාට සමාවදීම සඳහා තිබෙන අභිමත බලය සීමා කිරීමකට ලක් කළ යුතුයි.

ඊළඟ කරුණ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කරුණයි. දැනට 21 වැනි සංශෝධනයේ ඇතුළත්වී තිබෙන්නේ ජනාධිපතිවරයාට සහ මැති ඇමැතිවරුන්ට තනතුරුවලට තරග වැදීමේදී ද්විත්ව පුරවැසිභාවය දැරිය නොහැකි බවයි. පහුගිය මහ බැංකුවේ අධිපතිවරයා වූ අර්ජුන මහේන්ද්‍රන් ද්විත්ව පුරවැසියෙක්. අපේ රටේ මූල්‍ය පාලනය පිළිබඳව විශාලම බලයක් දැරූ මහ බැංකු අධිපතිවරයා ද්විත්ව පුරවැසියෙක්. අවසානයේ ඔහු විශාල මහ බැංකු වංචාවකට හවුල්වී තමන්ගේ රටට පලා ගියා. ඒ නිසා රටේ වැදගත් ආයතනයන්ට පුද්ගලයන් පත් කිරීමේදී ද්විත්ව පුරවැසියන්ට අවස්ථාව නොලැබෙන යෝජනාවක් ඇතුළත් විය යුතුයැයි අපි යෝජනා කරනවා.

ඊළඟට, මන්ත්‍රීවරුන්ගේ වත්කම් විගණනයට භාජනය විය යුතුයැයි දැනට විශාල සාකච්ඡාවකට බඳුන්වෙමින් තිබෙනවා. අපගේ ස්ථාවරය වන්නේ විගණනයෙන් පමණක් නිවැරදිතාවය තෝරා ගන්න බැහැ. ඒ වගේම විගණන දෙපාර්තමේන්තුවට ඒ සඳහා පූර්ණ බලයක් නැහැ. ඒ නිසා මන්ත්‍රීවරුන්, ජනතා නියෝජිතයන් වත්කම් සහ බැරකම් ප්‍රකාශනයක් ලබාදුන්නාට පසුව ඒ වත්කම් සහ බැරකම් ප්‍රකාශනය මත පමණක් පදනම්ව විමර්ශනයක් කළ හැකියි. එම කාල පරිච්ඡේදය ඇතුළත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිය හැකියි. මහජන නියෝජිතයන් අයථා ලෙස උපයාගෙන තිබෙන දේපළ පිළිබඳව මහජනතාව ළඟ තොරතුරු තිබේ නම් ඒවා මෙම විමර්ශන ආයතන වෙත ලබා දෙන ලෙස ඉල්ලීමට සහ ඒ මත පදනම්ව පූර්ණ විමර්ශනයක් කිරීමට විමර්ශන ආයතවලට බලය ලබා දීම සඳහා වගන්ති ඇතුළත් විය යුතු යැයි අපි යෝජනා කරනවා.

ඒ වගේම විධායක ජනාධිපති ධුරයේ බලතල සංශෝධනය මගින් සැලකිය යුතු බලතල ප්‍රමාණයක් අගමැතිවරයාට, පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවෙන් තෝරාපත් කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවන්ට පැවරෙනවා. කෙටියෙන් පවසන්නේ නම්, ජනාධිපතිවරයා සතුව පවතින බලතල විවිධ ව්‍යුහයන්ට පැවරෙනවා. මෙහිදී වැදගත් එකක් වන්නේ අගමැතිවරයාට හා පාර්ලිමේන්තුවට බලතල පැවරීමයි. වර්තමාන අගමැතිවරයා, පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජයට පත්වූ පුද්ගලයෙක්. ඔහු ජාතික ලැයිස්තුවෙන් යාන්තම් රිංගාගෙන ආව රටෙන් ප්‍රතික්ෂේප වූ පුද්ගලයෙක්. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එම අගමැතිවරයාට විශේෂ බලතල ලැබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බැලූවිට මෙවැනි විශේෂ බලතල සහිත අග්‍රාමාත්‍ය තනතුරක් දැරීමට රනිල් වික්‍රමසිංහයට සුදුසුකම් නැහැ. මොකද, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද අගමැතිවරයෙක් නිසා. 21 වැනි සංශෝධනය හරහා ලැබෙන අතිරේක බලයක් දරන අග්‍රාමාත්‍යවරයෙක් ලෙස වගකීම් දැරීමේ අයිතියක් නැහැ. ඒ නිසා මෙම ව්‍යවස්ථා සංශෝධනයේදී අන්තර්කාලීන විධිවිධානයක් ලෙස වර්තමාන පාර්ලිමේන්තුවේ කාලය සම්බන්ධ සීමාවක් ඇතුළත් කළ යුතු යැයි අපි යෝජනා කරනවා. මේ සංශෝධනයේදී අන්තර්කාලීන විධිවිධානයක් ඇතුළත් කර මේ පාර්ලිමේන්තුවේ ධුර කාලය කෙටි කළ යුතුයි.

අපේ යෝජනාව මේ නව වැනි පාර්ලිමේන්තුවේ කාලය අවුරුදු දෙකත් අවුරුදු තුනත් අතර කාලයකට සීමා කළ යුතුයි. ඊට පසුව නව පාර්ලිමේන්තු මැතිවරණයක් හරහා මන්ත්‍රීවරුන් සහ ඒ තුළින් අග්‍රාමාත්‍යවරයෙකුත් තෝරාපත්කර ගන්න ජනතාවට අවස්ථාව ලැබෙනවා. එවැනි පාර්ලිමේන්තුවකට සහ අගමැතිවරයෙකු වෙත 21 වැනි සංශෝධනයෙන් බලතල ලැබිය යුතුයි. එසේ නැතිව ඔහේ අටවා ගත්, පිනට ලබාගත් අගමැතිවරයෙකුට 21 වැනි සංශෝධනයෙන් ලැබෙන බලතල හෙබවීමේ අයිතියක් නැහැ. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනය තුළ අපි වැදගත්ම සංශෝධනයක් හැටියට වර්තමාන පාර්ලිමේන්තුවේ කාලය සම්බන්ධ සීමාවක් සහිත අන්තර්කාලීන විධිවිධාන ඇතුළත් කර, නව ජනවරමකින් පාර්ලිමේන්තුවක් සහ අගමැතිවරයෙක් තෝරා ගැනීමෙන් පසු මෙම සංශෝධන ක්‍රියාත්මක විය යුතු බවට යෝජනා ගෙන එනවා.

මේ ආදී යෝජනා ගණනාවක් 21 වැනි සංශෝධනයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ යෝජනා මූලික කරගනිමින් තවත් යෝජනා පිළිබඳව අපි සාකච්ඡා කරමින් තිබෙනවා. 21 වැනි සංශේධනය සම්බන්ධයෙන් අපේ මේ යෝජනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment