පක්‍ෂ විපක්‍ෂ දෙකම අන්දමන්ද කළ රනිල්ගේ ආණ්ඩුව

1530

පසුගිය මහමැතිවරණයේදී ජනතාව එජාපය පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත් කළේය. ඒ 2020 අගෝස්තු මාසයේදීය. ඊට පෙර 2015 අගෝස්තු පැවති මහමැතිවරණයේදී එජාපය හරහා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුව ඇතුළුව මන්ත්‍රීවරු 106 දෙනකු පත්විය. අවසන් මහමැතිවරණයේදී එජාපය එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට සීමාවිය. එජාපය මහමැතිවරණයේදී පරාජය වූයේ ඊට 09 මාසයකට පෙර පැවති ජනාධිපතිවරණයේදීද ගෝඨාභය රාජපක්ෂ රැල්ලට හසුවී පක්ෂය සුණු විසුණු වී ඇති අවස්ථාවකය. එජාපය දෙකඩවී එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ආන්දෝලනාත්මක ආකාරයෙන් පිහිටු වූ සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 07 ක් සමඟ ආසන 54 ලබා ගැනීම එජාපය තවදුරටත් පීඩනයට ලක් කළේය.

නමුත් අද විධායකය එජාපය අතේය. කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජය වූ රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේම ජනාධිපතිය. ජන්ද ලක්ෂ 69 ලබා ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේය. සිංගප්පූරුව පවසන්නේ හිටපු ජනාධිපතිවරයා එරටට පැමිණ ඇත්තේ සාමාන්‍ය සංචාරකයෙක් ලෙස බවය. යහපාලන සමයේදී මහ බැංකු බැඳුම්කර වංචා 2015 සහ 2016 සිදු කළ බවට චෝදනා ලබා සිටින අර්ජුන මහේන්ද්‍රන් ද සිංගප්පූරුවේය. ඒ සිංගප්පූරු ජාතිකයෙකු ලෙසය.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය රටේ බල කණු තුනය. විධායකය එජාපය අතේය. එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමි එජාපයට ව්‍යවස්ථාදායකයේද බලය හිමිය. එසේ නොවන්නට එජාප නායක වික්‍රමසිංහට ජනාධිපති ධුරය සඳහා ජුලි 20 වැනි දින පැවති රහස් ජන්දයේදී මන්ත්‍රීවරු 134 කැමැත්ත පළ කරන්නේ නැත. එලෙසෙම ජනාධිපතිවරයාට අවශ්‍ය හදිසි නීතිය සම්මත කර ගැනීමට ජන්ද 120 ලබා දෙන්නේද නැත. විධායක ජනාධිපතිවරයා අධිකරණ ක්‍රියාදාමය තුළ ‘ගෝඨා-රනිල්‘ ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වූ ජනතා බලවේග යටපත් කිරීමට කටයුතු කරමින් සිටී. ඒ විරෝධතා ව්‍යාපාරය ‘සාමකාමී‘ විරෝධතාකරුවන් සහ ‘ත්‍රස්තවාදීන්’ ලෙස නම් කිරීමෙනි. ජනාධිපතිවරයා අගෝස්තු 03 දින ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනතා ‘අරගලය’ සම්බන්ධයෙන් දැක්වූ අදහස් නිරවුල්ය. කෙටියෙන් කිවහොත් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කළ ආකාරයේ ‘අරගලයකට’ තම රජය කිසිසේත්ම ඉඩ නොදෙන බව අවධාරණය කර ඇත. ජුලි 09 දින ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි ජනාධිපතිවරයාගේ අසුනේ ඉඳගෙන ජායාරූපයක් ගත් පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීම, ජනාධිපති කොඩිය ඇඳ ඇතිරිල්ලක් ලෙස පාවිච්චි කළ සමගි ජන බලවේගය පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ගැනීම සහ ‘අරගලයට’ නායකත්වය දුන් දුසිම් දෙකකට වැඩි පුද්ගලයන් ගණනක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ජනාධිපතිවරයාගේ ප්‍රතිප්‍රහාරයේ කොටසකි. ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී ඇත.

ගෝඨාභය රාජපක්ෂ ගේ 2019 නොවැම්බර් මාසයේ දිනාගත් වසර 5 න් ඉතිරි කාලය (2020 ජුලි 20) ජනාධිපති ධුරය දරන්නේ වික්‍රමසිංහය. එජාප නායකයා ජනාධිපති වූ පසුව ඇතිවූ පුරප්පාඩුවට පත්වූයේ වජිර අබේවර්ධනය. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රතික්ෂේප වූ වජිර ඇත්ත වශයෙන්ම ඥානා අක්කාට වඩා හොඳින් අනාවැකි කිවූ බව සඳහන් කළ යුතුමය. එජාපය මන්ත්‍රීධුර එකකට සීමා වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පත් කළ යුතු බවත් (වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූයේ 2021 ජුනි මාසයේදීය. ඒ මහමැතිවරණයෙන් මාස 10 කට පසුවය), ඔහු අගමැති, ජනාධිපති වන බවටත් අනාවැකි පළ කළේ වජිර අබේවර්ධනය. මරණාසන්නව සිටි එජාපය ව්‍යවස්ථානුකූලව රටේ බලය හිමිකර ගෙන ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුව (පොහොට්ටු පක්ෂය) තුළ කළ මැදිහත්වීම හරහා වික්‍රමසිංහ ජනාධිපති විය. විධායකය නියෝජනය කරන වික්‍රමසිංහ සහ ව්‍යවස්ථාදායකයේ වැඩි බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකිනෙකා මත යැපෙන බව අවධාරණය කළ යුතුය. ශ්‍රී ලංකාව අතිශය තීරණාත්මක ආර්ථික අභියෝගයකට මුහුණ දී ඇති මෙම අවස්ථාවේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ඇතිවී තිබෙන දේශපාලන අවබෝධය ජන්දය දුන් ජනතාවට දැනෙන්නේ කෙසේද?

එජාප නායක ජනාධිපති වූවාට පාක්ෂිකයන්ට සන්තෝෂයක් නැත. එලෙසෙම පොහොට්ටු පක්ෂය එම ජනාධිපතිවරයා පත්කර ගැනීමට නායකත්වය දුන් පමණින් එදා ගෝඨාභය රාජපක්ෂට ජන්දය දුන් ජනතාවද සෑහීමට පත් වන්නේ නැත. ඔවුන් ජන්දය දුන්නේ එජාප නායකයා පෙනී සිටින සියලු දෙයට එරෙහිවය. ජනතාව සමඟ ගැටෙන ඕනෑම දේශපාලන පක්ෂයකට භූමියේ තත්ත්වය පැහැදිලිය. ජනාධිපති වික්‍රමසිංහ රාජපක්ෂවරුන් ආරක්ෂා කරන බවට නැගෙන චෝදනාව එජාප පාක්ෂිකයන්ට උහුලන්නේ නැත. අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස එජාප නායකයට පොහොට්ටු පක්ෂය සමඟ ඇතිකර ගෙන තිබෙන අවබෝධය මත අභියෝග හමුවේ ඉතිරි වසර දෙකකට වැඩි කාලයක් ජනාධිපති ධුරයේ වැඩ බැලිය හැක. ඒ ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා ලෙසය.

ශ්‍රී ලංකා දේශපාලනයේ අතිශය ආන්දෝලනාත්මක අත්සන් නොකළ ගිවිසුම පොහොට්ටු පක්ෂය සහ එජාප නායකයා අතර ඇති වී ඇත. එම තත්ත්වය විමසා බැලිය යුතුවන්නේ සමස්ත ආර්ථිකය පොහොට්ටු ආණ්ඩුව 2019 නොවැම්බර් සිට ගත් අදූරදර්ශී දේශපාලන සහ ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් කඩා වැටී, රට බංකොලොත් වීම ද අවධානයට ලක් කිරීමෙනි. වර්තමාන තත්ත්වය තුළ 1931 දී ලැබුන සර්වජන ජන්ද බලය ක්‍රියාත්මක වන්නේ කෙලෙසද? දේශපාලන පක්ෂ මහත් ආඩම්බරයෙන් අවධාරණය කරන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට මෙවැනි ගිවිසුම් ඇතිකරන තෙරපුම අනර්ථකාරීය. අතිශය හානිකරය.

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රස්ථානය පාර්ලිමේන්තුව ලෙස මහත් අභිමානයෙන් පවසන දේශපාලන පක්ෂ එම ආයතනය වෙන්දේසි පොළක් බවට පත්කර ඇති බවට චෝදනා කරන්නේ ජනතා නියෝජිතයන්මය. පාර්ලිමේන්තුව 8වන ජනාධිපතිවරයා තෝරා පත් කරගත් පසුව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරු විකිණෙන ආකාරය අපූරුවට අවධාරණය කළේය. ජනාධිපති තරගයට ඉදිරිපත් වූ ජවිපෙ නායකයාට තම ජන්දයට අමතරව ලැබුනේ විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරියගේ ජන්ද පමණක් බව එතුමා කළ චෝදනා බැහැර කිරීමට හේතුවක් නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාව තම පරමාධිපත්‍ය බලතල ක්‍රියාවට නංවනුයේ සිය ජන්දයෙන් බවට කවුරු කවුරුත් අවධාරණය කරන තත්ත්වය ශ්‍රී ලංකාවට කිසිසේත් අදාළ නැත. බලය තිබෙන කණ්ඩායමට (පක්ෂයට නොවේ) අවශ්‍ය පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය සියලුම පක්ෂ අපූරුවට ප්‍රගුණ කර ඇත. මෙහිදී දේශපාලන පක්ෂවල අනන්‍යතාව නැතිවී ඇත. වටිනාකම්ද නැතිවී ඇත. පුද්ගලයන්ගේ/යම් කණ්ඩායම්වල අවශ්‍යතා සහ විදේශීය බලපෑම් මෙන්ම අතපෙවීම් හේතුවෙන් සමස්ත දේශපාලන ක්‍රමයම අස්ථාවර වී ඇත. වෙනත් ආකාරයකින් කිවහොත් පරමාධිපත්‍ය බලතල, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය භූමියේ නැත. එවැනි තත්ත්වයක් තුළ මැතිවරණ කොමිෂන් සභාව ‘ජන හිමියන්ගේ දිනය’ ජාතික සැමරුම් උත්සවයක් ලෙස මහජන මුදලින් සැමරීමේ තේරුමක් තිබේද? මීට මාස කීපයකට පෙර එම සැමරුමට සහභාගි වූ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරය අහිමි විය. එදා සභානායක වූ දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය විය. එදා අග්‍රාමාත්‍ය වූ මහින්ද රාජපක්ෂ මන්ත්‍රී විය. ගාලු මුවදොර අරගල භූමිය ආසන්නයේ පිහිටි තරු පහේ හෝටලයක පැවති එම උත්සවයට සහභාගි නොවූ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී ඇත.

සමස්ත මැතිවරණ ක්‍රමයම විමසා බැලිය යුතුය. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන පක්ෂය පාර්ලිමේන්තුවේ නියෝජනය වන්නේ පොහොට්ටු පක්ෂය තුළය. එම පක්ෂයට මන්ත්‍රීවරු තිදෙනෙක් ඇත. ඒ නායක දිනේෂ් ගුණවර්ධන (කොළඹ දිස්ත්‍රික්කය), ඔහුගේ පුත් ජාතික ලැයිස්තු මන්ත්‍රී යදාමිනි සහ සිසිර ජයකොඩිය (ගම්පහ දිස්ත්‍රික්කය). මහජන එක්සත් පෙරමුණට හිමි ආසන තුනක් පමණක් වුවත්, එජාප නායක ජනාධිපති කළ පොහොට්ටු පක්ෂයේ බලය දිනේෂ් ගුණවර්ධනටද ඇත. රනිල් – දිනේෂ් (දෙදෙනාම රාජකීය ආදි සිසුවන්ය) නායකත්වය ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බව රජය පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත ගන්නා ක්‍රියාමාර්ග සාක්ෂි දරයි.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ එදිනම පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළ අතිශය තීරණාත්මක දේශපාලන තීන්දුවක් වූ ගාලු මුවදොර ස්ථානගතවී ඇති සියලුම අරගලකරුවන් අගෝස්තු 05 දින සවස 5 ට පෙර ඉවත් විය යුතු බවත් එසේ නොකළහොත් අධිකරණමය ක්‍රියාදාමයන් ගන්නා බවටත් කළ අනතුරු ඇඟවීම ඇත්ත වශයෙන්ම අගෝස්තු 09 වන දින නැවතත් කොළඹට ජනතාව ඒකරාශී කිරීමට විපක්ෂ කණ්ඩායම් කරන උත්සහායට අභියෝගයකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස ගැනීමට මැලිවූ තීන්දු තීරණ ඔහුගේ අනුප්‍රාප්තිකයා කිසිදු පීඩනයකින් තොරව ගනු ලබන්නේ පොහොට්ටු පක්ෂයේ පූර්ණ සහයෝගය මතය. වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රචණ්ඩත්වයට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සහ බටහිර බලවේග නොසලකා අරගලකරුවන් ඉවත් කිරීමට ජුලි 22 දින ගත් ක්‍රියාමාර්ගය ආන්දෝලනාත්මකය. හදිසි නීතියට පක්ෂව ලැබුණු ජන්ද 120 තුළ ජනාධිපතිවරණයට පැවැත්වූ රහස් ජන්දයේදී ඩලස් අලහප්පෙරුමට සහයෝගය පළ කළ මන්ත්‍රීවරු කිහිප දෙනකුම හදිසි නීතියට පක්ෂ වීම ඉතාමත් ගැඹුරින් විමසා බැලිය යුතු කාරණාවකි.

එම කණ්ඩායම අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ යුතුකම සිවිල් සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංගද විය. පාර්ලිමේන්තුව තුළ සහ ස්වාධීන රූපවාහිනියේ සුදර්මන් රදලියගොඩ මෙහෙයවූ දේශපාලන සාකච්ජාවකදී පාර්ලිමේන්තුව තුළ සිටින සියලු පක්ෂ නියෝජනය වන ආණ්ඩුවක් ගොඩනැගීමේ අවශ්‍යතාව ගෙවිඳු කුමාරතුංග අවධාරණය කළේය.

අරගලය පුපුරා ගිය අවස්ථාවේදී ආරක්ෂක හමුදාවල අවශ්‍යතාවට කථානායකවරයා පාර්ලිමේන්තුවේදී කැඳවූ හදිසි රැස්වීමකදී ද ගෙවිඳු කුමාරතුංග රාජ්‍යයට එල්ලවී ඇති, තවදුරටත් වර්ධනය වෙමින් පවතින තර්ජනයට මුහුණ දීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ඒ මහජන නියෝජිතයන් තිදෙනකු එවකට අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ප්‍රකාශයට පිළිතුරු ලෙසය. විමල් වීරවංශ ඇතුළු එම කුඩා කණ්ඩායම හදිසි නීතිය සම්බන්ධයෙන් ගත් ස්ථාවරය පොහොට්ටුවෙන් වෙන්වූ එහි සභාපති ජී. එල්. පීරිස් – ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරුන් නොසලකා හැරීමක් නොවේ. එම තීන්දුව අර්බුදකාරීය. නමුත් සියලුම මන්ත්‍රීවරු ගත යුතුව තිබූ තීරණයකි. හුදු දේශපාලනික තීන්දු තීරණ මත රාජ්‍යය බරපතළ තර්ජනයකට ලක්විය හැක. නීතිය උඩු යටිකුරු කළ නොහැක.

මියන්මාරයේ සිටි ශ්‍රී ලංකා තානාපතිවරයෙකු වූ මහාචාර්ය නලින් ද සිල්වා වික්‍රමසිංහ ජනාධිපතිවරයා ‘(ඔහු එය හඳුන්වන්නේ ‘පරගලය’ ලෙසය) ඇමෙරිකානු තානාපතිවරියගේ විරෝධතා නොසලකා ‘අරගලය‘ මැඬ පැවැත්වීමට ගත් ක්‍රියාමාර්ගට පක්ෂව අදහස් දක්වා ඇත. ගුණදාස අමරසේකර ද වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ප්‍රශංසා කර ඇත. නමුත් විධායකයට, ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට එරෙහිව ‘අරගලය’ එල්ල කළ අභියෝගය අතිශය දූෂිත දේශපාලන ක්‍රමය රට බංකොලොත් කර ජනතාව මහා මඟට ඇද දැමීමට එරෙහිව එරෙහිව පුපුරා ගිය ජනතා විරෝධයයි. එය සාධාරණයි. රටේ බලකණු තුනම මෙම අවාසනාවන්ත තත්ත්වයට වගකිවයුතු බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත.

ශ්‍රීලනිප ප්‍රබලයෙකු වූ හිටපු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා දූෂණ චෝදනාවලින් නිදහස් කිරීමේ ක්‍රියාවලිය අවධාරණය කරන්නේ බලය තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියේදී විධායකය සහ ව්‍යවස්ථාදායකය අධිකරණ ක්‍රියාවලිය නොසලකා කටයුතු කරන බව නොවේද? අධිකරණමය ක්‍රියාවලිය තුළ නඩු වසර ගණනාවක් හිරවී ඇති තත්ත්වයක් තුළ පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ නිමල් සිරිපාල මන්ත්‍රීවරයාට එල්ලවූ චෝදනා දින 10 ක් තුළ විසඳීම නැවත නැවතත් අවධාරණය කරන්නේ ‘අරගලයට‘ හේතු ඇති බවයි.

ජනතාව හිඟමනට පත් කළ පක්ෂ විපක්ෂ සියලුම කණ්ඩායම්, නීතිඥ ප්‍රජාවද ඇතුළු සමාජ ක්‍රියාකාරීන්ද ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාවට අත්වූ ඉරණම සම්බන්ධයෙන් පසු විපරමක් කළ යුතු නොවේද?

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment