රට ගොඩනැඟීමට ජනාධිපතිවරයාට සහය පළකිරීමට එකතු වූයේ මගේ මන්ත්‍රී ධුරය අවදානමට ලක්වන බව දැනගෙනයි. රටේ ප්රශ්නය මගේ පැත්තෙන් විසඳන්න පුළුවන් දේ කරපු එක ගැන මා පට්ට විදිහට සතුටු වනවා යැයි හිටපු ක්‍රීඩා හා සංචාරක ඇමැති හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (9දා) කීවේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන ඇමැතිවරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීම නිත්‍යානුකූල බවට නිගමනය කිරීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හරින් ප්‍රනාන්දු මහතා මෙසේ ද කීවේය.
මේ විදියට එළියට බැහැලා යන්න වෙච්ච එක ගැන ඉතාම සතුටුයි. අද මම මේ රට වෙනුවෙන් වැඩක් කරපු කෙනෙක් විදියට කොන්ද කෙලින් තියාගෙන ආඩම්බරයෙන් යන්න පුළුවනි.
එදා අර්බුද රැසකට මුහුණදී තිබුණ ක්‍රීඩා අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය භාර ගනිද්දී මිනිස්සු අපිට හිනා වුණා. නමුත් අපි පියවරෙන් පියවර මේ අමාත්‍යාංශ ඉස්සුවා. මටයි, මනුෂටයි ආත්ම විශ්වාසයක් තිබුණා. අපිට කොන්ද පණ තිබුණු නිසා තමයි බය නැතිව තීරණ ගත්තේ.
රටේ නීතියට මම ගරු කරනවා. අධිකරණයට ඇඟිලි ගහන්නේ නැති ජනාධිපතිවරයෙක් රටේ ඉන්නවා කියන එක මුළු රටම දැන ගත්තා. දැන් අපිට ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණකාලීනව කැපවෙන්න පුළුවන්. වැඩ පෙන්වපු කෙනෙක් ඉන්න කොට වෙනත් අයව අත්හදා බලන්න ඕනෑ නැහැ.
ජනාධිපතිතුමා නිර්පාක්ෂිකයි, මමත් මනූෂත් අද ඉඳලා නිර්පාක්ෂිකයි.
මනුෂ නානායක්කාර මහතා අදහස් දක්වමින්, එදා මේ රටට නායකයෙක් නැතිව හිටපු වෙලාවේ ඒ අභියෝගය භාර ගත්ත නායකයාට ශක්තියක් වෙන්න අපි ඔහු ළඟට ගිය එක ගැන අපි ආඩම්බර වෙනවා. වගකීම් භාර ගන්න පුළුවන් කියපු නායකයා ළඟට හැමදාමත් වගකීම් භාර ගන්න දෙන්නෙක් විදියට අපි දෙන්නා ගියේ අභියෝගවලට බය නැති නිසා.
මේ අවුරුදු දෙකට රට ගොඩගන්න අපි ශක්තිය දුන්නා. හරින් මේ රටේ සංචාරක ක්ෂේත්රය කඩාවැටිලා බින්දුවේ තියෙද්දී භාර අරගෙන අද වන විට සංචාරකයෝ ලක්ෂ ගණනක් රටට ගේන්න සමත්වෙලා තියෙනවා.
අද අපි අමාත්‍යාංශවලින් එළියට බහින්නේ ආඩම්බරයක් ඇතිවයි. 21 වැනිදායින් පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති විදියට පත්වෙලා ඉතුරුවෙලා තියෙන වැඩ කොටසත් අවසන් කරලා අපි සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් ජනතාවට උරුම කර දෙනවා.
කමල් බෝගොඩ, පිංතූර – නිශාන් එස්. ප්‍රියන්ත