අපට මඟ හැරෙන ළමා මව්වරුන්ගේ ඛේදවාචකය

මෙම වසර ආරම්භක දිනයේ පටන් මාස හතක් සම්පූර්ණ වන දිනය වන විට ළමා අපයෝජන 5456ක් පමණ වාර්තා වී ඇති බව ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති වරයා සඳහන් කර තිබුණි. අවාසනාවකට මෙන් මේ ඛේදවාචකය ගැන රටේ බොහෝ දෙනෙක් දැනුවත් නැත. දැනුවත් යැයි කියන උදවිය දශක ගණනාවක් පුරා ඊට විසඳුම් සොයමින් සිටිති. මේ “සල්ලාල සැණකෙළි” මැද සමාජ අවධානය යොමු නොවුණු බරපතළම ඛේදවාචකය නම් ළමා මව්වරු බිහි වීමයි. ඒ ගැන කිසිසේත්ම සමාජ අවධානය යොමුවන්නෙම නැති තරම්ය. මේ කියැවෙන්නේ ඒ ගැනය. කවුරුත් පාහේ අවදියෙන් ඇස් , කන් යොමු කළ යුතු කාරණයයි.

“අද තවත් කෙනෙක් ද? අන්න ඊයේ එක්ක ආව කෙනත් අනිත් කට්ටිය එක්ක එකතු වෙලා සෙල්ලම් කරනවා.” ප්‍රධාන පාලිකාව ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් නිලධාරිනිය හා පැවසුවේ විශ්මය, කනස්සල්ල සියල්ල එකට කැලතුණු මුහුණකිනි. ජීවිතය පිළිබඳ බරක් පතළක් නොදැන මහ හඬින් සිනා සෙමින් කුමක්දෝ ක්‍රීඩාවක නිරත වී මිදුලේ රංචු ගැහී උන් දැරියන්ගේ සිනා හඬ පරිවාස මධ්‍යස්ථානයේ පාලිකාව ඉඳහිට පාලනය කරන්නේ ඇතුළත නිදි ගන්වා සිටින බිලිඳුන් අවදි වන බව ඔවුන්ට සිහිපත් කරමිනි. එසේ කෙළි දෙළෙන් කාලය ගත කරන්නේ සුව සේ නිදන බිලිඳුන්ගේ මව්වරුන් ය. අලුත උපන් බිලිඳු දරුවන් අමතක කර විනෝද වන්නට හැක්කේ කුමන මව්වරුන්ට ද යන්න ඕනෑම කෙනෙකුගේ සිතට නැගෙන ප්‍රශ්නයකි. ඒ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ එවැනි මව්වරු සිටින පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන ළමා නිවාසයක තත්ත්වයකි.

මෙය ළමා අපයෝජනවල දරුණුතම ඛේදවාචකයකි. එනම් ළමා මව්වරු බිහි වීමයි. දරුවෙක් සේ ගත කළ යුතු කාලයේ මවක් වන්නට සිදු වුවහොත් ඇය ඒ චරිත දෙක අතර දෝලනය වනු නිසැකය. ශාරීරිකව හෝ මානසිකව මවක් වීමට සූදානම්ව හා සුදුසු නැති දැරියක් මව් පදවියට පත් වීම එම දැරියට සේම අලුත ඉපදෙන බිලිඳාට ද අගති දායක වන්නේ ය.

1989 නොවැම්බර් 20 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරගන්නා ලද ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියට (CRC) අනුව “නීතිය මඟින් අඩු වයසක දී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු මනුෂ්‍යයන් ළමුන් වේ” යනුවෙන් හඳුන්වා ඇත. වයස අවුරුදු 18ට අඩු මනුෂ්‍යයන් දරුවන් බව මෙනයින් සරලව හඳුනාගත හැකිය. මෙම ප්‍රඥප්තිය වගන්ති 54කින් සමන්විත වන අතර, මුල් වගන්ති 42 තුළ ළමයා පිළිබඳ නිර්වචනය, ළමුන්ගේ අයිතිවාසිකම්, ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ දෙමව්පියන් ඇතුළු වැඩිහිටියන් වෙත පවත්නා වගකීම විස්තර කර තිබේ.

ළමයින් විෂයෙහි කෙතරම් සංවේදී විය යුතු ද යන්න අවබෝධ කර ගත හැක්කේ ළමා අපයෝජන පිළිබඳ අර්ථ දැක්වීමේ දී ළමයෙක්ට එරෙහිව සිදුවන අපරාධයක්, නොසලකා හැරීම පවා අපයෝජනයක් ලෙස හඳුන්වන බැවිනි. ළමයෙකු ශාරීරිකව හෝ මානසිකව පීඩාවට පත් කෙරෙන, ළමයෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන්නක් අපයෝජයනයක් ලෙස සැලකේ.

නමුත් ළමයෙකුට එවැනි අපරාධයක් සිදු වනවා ද යන්න මව්පියන් නොදැන සිටීම කනගාටුවට කාරණාවකි. මන්ද එවැනි සිදුවීම් නිරන්තරයෙන් සිදු වන වටපිටාවක හෝ එවැනි සිදුවීමකට මුහුණ දුන් ඇතැම් කාන්තාවන් එය සාමාන්‍ය සිදුවීමක් ලෙස සලකා කටයුතු කරයි. පහත දැක්වෙන්නේ එයට කදිම නිදසුනකි.

වතුකරයේ ළමා මව්වරු

පණ ඇති බෝනික්කන් එක්ක මියගිය ළමයි

රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් මාටුවාගල ප්‍රදේශයේ 31 හැවිරිදි රාජිණී මිත්තණියකි. ඇය මවක් වී ඇත්තේ වයස අවුරුදු 15නි. ඇගේ දියණිය ද වයස අවුරුදු 15දී මවක් වීම ඇයට අරුමයක් නොවුණු ගානය. තවමත් විවාහ වන්නට තරම් කල වයස සපුරා නොමැති මදිය මලර්ට අනාගතය පිළිබඳ මහා ලොකු හීන නැත. රාජිණිත්, මදිය මලරුත් බැලූ බැල්මට පෙනෙන්නේ අම්මා සහ දුව මෙන් නොවේ. ඔවුන් අතර එතරම් වයස් පරතරයක් ද නොමැති බැවින්දෝ ඔවුන් දිස්වන්නේ සහෝදරියන් සේය. තවමත් පාසල් යා යුතු වයසේ පසුවන මදිය මලර් පවුලක් රක්ෂා කිරීමට කුලී වැඩ කරන්නී ය.

රාජිණීගේ මව්පියන් සේම මදිය මලර්ගේ මව්පියන් ද නීතිය නොදැන සිටියත් එයින් ගැලවෙන්නේ කුමනාකාරයෙන්ද යන්න දැන හිඳ ඇත. දරුවෙක් ලැබෙන්නට සිටින බව දැනගත් මොහොතේම තම ගම් බිම් හැර පියා වෙනත් වත්තක පදිංචි වන්නේ ගැබිනියගේ කල වයසත් සම්පූර්ණ බව හඟවමිනි. නීතියෙන් ගැලවීම මහා සටනකින් දිනුමක් ලබා ගත් සේ ඔවුන් සැලකුව ද ශාරීරික හා මානසික වශයෙන් ඔවුන් පරාජය වන තරම අවබෝධ කර දෙන්නට කිසිවෙක් නැත. අවබෝධ කරවන්නට උත්සාහ කළ ද එය වටහා ගැනීමට තරම් නිරවුල් මානසිකත්වයක් ඔවුන් තුළ ඉතිරිව නොමැත.

මෙවැනි සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වන්නේ වතුකරයෙනි. ආර්ථික දුෂ්කරතා හෝ අනවබෝධය නිසා පාසල් අධ්‍යාපනය අතරමගදී නිමා කරන දැරියන් වෙනම කුටුම්බගත වීම සාමාන්‍ය සංසිද්ධියක් සේ සලකයි. නීතිය පිළිබඳව ගැඹුරු අවබෝධයක් නැතත් වතුකරයේ ඇතැමුන් නීතිය මගහැර කටයුතු කරන්නේ සවිඥානිකව ය. බාලවයස්කාර දැරියක් ගැබ් ගැනීම දෙමව්පියන්ට ද වරද පැටවෙන්නක් බව ඔවුන් විස්වාස කරයි. අදාළ තරුණයා පසුව ගෙන්වා ගැනීමට හෝ සිතා ගම් බිම් අතහැර වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වන්නේ එහෙයිනි. වතුකරයේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු ප්‍රශ්න අතර ළමා මව්වරුන්ගේ ගැටලුව ද ප්‍රධාන තැනක් ගනී. එහි වඩාත්ම බරපතළ තත්ත්වය වන්නේ ඔවුන්ට එය සාමාන්‍යකරණය වී තිබීමයි. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන නොයෙක් ආයතන ඇතත් ලංකාවේ සම්පත් බෙදී යෑමේ විෂමතාව නිසා වතුකරයේ අනෙක් ගැටලු සේම මෙය ද වෙනසක් නොවී තිබෙන බව අධ්‍යනය කළ හැක. මෙම තත්ත්වය ඉදිරියේදී තවත් බරපතළ වන බවට දිස්ත්‍රික්ක දෙකක වතුකරය ආශ්‍රිත පාසල් දෙකක විදුහල්පති වරුන් පැවසීය. ඔවුන් පවසන්නේ ළමුන් පාසල් හැරයෑම වැඩි වීමත් සමග ඉදිරියේදී ළමා මව්වරුන්ගේ ඉහළ යෑමක් ද සිදු විය හැකි බවයි.

අකුරු අතහැර දරුවො අත දරන දැරියෝ

“අපේ පාසලේ ළමයි 200කට ආසන්න ප්‍රමාණයක් හිටියා දැන් ළමයි සියයක්වත් නෑ. පොත් පත්, පාසල් උපකරණ වල මිල ගණන් අධික ලෙස ඉහළ යෑමත්, ප්‍රවාහන ගාස්තු ඉහළ යෑමත් බොහෝ ළමයින්ගේ පාසල් ගමන නතර වෙන්න හේතුවක් වුණා. පාසලකට ළමයෙක් එද්දී ළමයට අධ්‍යාපනය විතරක් නෙමෙයි ලැබෙන්නේ.

ඒ ළමයාට පාසල් කාලය තුළ දී ආරක්ෂාවක් වගේම, ලිංගික අධ්‍යාපනය, සමාජ අවබෝධය, ළමයාට ලැබෙන්න ඕන නිදහසත් ලැබෙනවා.

පාසල් අධ්‍යාපනය අතහැරුණු ගමන්ම ළමයා මහ සමාජයට නිරාවරණය වෙනවා. මහ සමාජයේ ඉන්න හැමෝම ළමයාට ළමයෙක් විදියට සලකන්නෙ නැහැ. දෙමව්පියන් උදේට රැකියාවට පිටත් වුණාම ළමයින් ගෙවල් වල අනාරක්ෂිත වෙනවා. බොහෝ විට ගැහැනු ළමයි. පාසල් අධ්‍යාපනය අතහැරනවත් එක්කම ළමයින්ගේ ළමා කාලය අවසන් වෙනවා. ඒක පවුල් ඇතුළෙන්ම එන දෙයක්. ඒකට ළමයින්ගේ මානසිත්වයත් නිකංම හුරු වෙනවා. වැඩිහිටියෙක් කරන සියලුම වැඩ කරන ළමයාට අඩු වයසේදීම දරුවෙක් ලැබීම සාමාන්‍ය කාරණාවක් වෙනවා. මේ තත්ත්වය වළක්වා ගන්න නම් ඔවුන්ගේ සාමාන්‍ය චර්යා රටාව බිඳ දමන්න ඕන.”

ඇය පවසන ආකාරයට ළමා මව්වරුන් වතුකරයට සාමාන්‍ය කරුණකි. වතුකරයේ අධ්‍යාපනය හැර යන දැරියන් ගණන වැඩි වනවා වැඩිපුරම පෙනෙන්නේ ද ඇය වැනි විදුහල්පති වරුන්ටය. වතුකරයේ එසේ වෙද්දී බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ ජාතික පාසලක විදුහල්පතිවරයෙක් පැවසුවේ කොවිඩ් 19 සමයේදී ආරම්භ කළ මාර්ග ගත් ඉගැන්වීම් ක්‍රමයත් සමග ළමයින් වැඩි වශයෙන් සම්බන්ධතා වෙත යොමු වීමක්, නොමග යෑමක් දක්නට ඇති බවයි. අපයෝජනයට ලක් වුණු හා ගැබ් ගත් දැරියන් බොහෝ දෙනකු එම තත්ත්වයට පත් වී ඇත්තේ දුරකථන හරහා හඳුනාගත් සම්බන්ධතා වලින් බවත් දෙමව්පියන් ඉගෙනුම් කටයුතු සඳහා දුරකථන ලබා දී ඇතත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීමෙන් බවත් ඔහු පැවසුවේ ය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දෙමාපියන් රැකියාවට ගොස් එන තුරු දරුවන් රැක බලා ගන්නා වැඩිමහල් පුද්ගලයෙක් සහ තමාගේම සහෝදරයා නිසා ගැබ්බර වූ දැරියන් දෙදෙනක් ද ඔහුගේ සේවා කාලය තුළ දී පාසලෙන් හමු වූ බවය.

ළමා අපයෝජන සිද්ධීන්වල ඉතිහාසය බැලූ කල එයට මුහුණ දුන් වැඩි දෙනකුට එය සිදු කර ඇත්තේ පවුලේ සමීපතමයෙකි. ගැබ් ගැනීමක් සිදු නොවුණහොත් ඇතැම් සිද්ධීන් වාර්තා වන්නේ ද නැත. ඇතැම් විට නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන වෙත දරුවන් රැගෙන යන සිදුවීම් ද අසන්නට ලැබේ.

කලල සමග ජීවිතය ද දිය කළ කළනි

බියගම ප්‍රදේශයේ ජීවත් වන කලනි ද එවැනි දැරියකි. ඇයට තවමත් වයස අවුරුදු 17කි. ඇගේ සුළු පියා නිසා දෙවරක්ම ගැබ්බර වූ ඇය, නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන කරා රැගෙන ගියේ ඇගේ මව විසින් ය. මව නිවසේ නැති අවස්ථාවලදී වරින් වර සුළු පියාගේ අපයෝජනයට ලක් වී ඇත. මේ පිළිබඳව මව සමග පැවසුව ද ඇය එතරම් සැලකිල්ලක් දක්වා නැත. ඇය මුල් වරට ගැබ්බර වන්නේ අවුරුදු 15 දී ය. කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු පාසල් ගමන ද අඩාල වී තිබුණු නිසා එකල ඇයට සිදුවන අපයෝජනය පිළිබඳ පවසන්නට ද වෙනත් කිසිවෙක් හෝ සිට නැත. දිගින් දිගටම සිදු වූ අපයෝජනයේ අවසාන ප්‍රතිඵලය වූයේ ඇය බාල වයස්කාර ගැබිනියක් වීමෙනි. පළමු ගබ්සාවෙන් අනතුරුව යහපත් ජීවිතයක් පිළිබඳව සිහින දැක්ක ද එය එළි කර ගැනීමට කළනිට නොහැකි වන්නේ දෙවන වරටත් ගැබ් ගැනීමට සිදු වීමෙනි. එවර ද ඇගේ මව සුපුරුදු පරිදි ගබ්සා මධ්‍යස්ථානයට රැගෙන ගොස් ඇගේ නොමේරූ කලලය ඉවත් කර ඇත.

දෙමාපියන් ළඟ බොහෝ දරුවන්ට සැනසීම තිබුණ ද කළනීට එසේ නොවුණි. ඇය ගැබ් ගත් අවස්ථා දෙකේදීම ඇගේ මව චෝදනා කර ඇත්තේ ඇයට පමණි. ඇය දැන් පුන පුනා බලා සිටින්නේ කවුරුන් හෝ විවාහ වීමට නිසි වයස සම්පූර්ණ වනතුරු ය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව පසුගිය වසරේ ලියාපදිංචි වූ සෑම ගැබිනි මව්වරුන් සියයකගෙන් හතරකට ආසන්න ප්‍රතිශතයක් (3.9)ක් වයස අවුරුදු 19ට අඩු මව්වරුන් වේ. එය සංඛ්‍යාත්මකව ගත් කල 800කට අධික ප්‍රමාණයකි. මෙය පහළ සංඛ්‍යාවක් කරා ගෙන යෑමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය, මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ඒකකය, නවයොවුන් සෞඛ්‍ය ඒකකය, පාසල් සෞඛ්‍ය ඒකකය ක්‍රියාත්මක වුව ද විශාල ලෙස සතුටු විය හැකි ආකාරයේ වෙනසක් තවමත් දකින්නට නොහැකිය.

විශේෂයෙන්ම මෙවැනි වැඩසටහන් වල දී අති දුෂ්කර ප්‍රදේශ අතහැරෙන බවක් සහ එවැනි ප්‍රදේශවල මෙවැනි සිදුවීම් බහුල බවත් නිරීක්ෂණය වේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ පේතාල ගම්මානයේත්, අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පානම ගම්මානයේත් අපට හමු වූ ළමා මව්වරු එයට සාක්ෂි දැරීය. විවාහ වී ඇත්තේ බොහෝ විට අසල්වැසි නිවෙස් වල තරුණයන් සමගය. නොඑසේනම් නම් ඥාති සහෝදරයා සමගය. ඔවුන් ගමට එපිටින් ඇති බාහිර ලෝකයක් ගැන නොදනී. ජීවත් වන්නටත් බොහෝ වෙර වීරිය දරන ඔවුන්ගේ ලෝකයට අපේ උපදෙස් ඔවදන් බර වැඩිය. සීත කාමර වල හිඳ ඔවුන් වෙනුවෙන් සැලසුම් කරන කිසිවක් ඔවුන් වෙත ලැබී නැති බව ද ඔවුන් පවසයි. අපයෝජනයක් සිදු වූ විට ඔවුන්ට නීතියෙන් කෙතරම් පිළිසරණක් ලැබෙනවාද යන්න පිළිබඳවවත් ඔවුන්ට අවබෝධයක් නැත.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක පැවසුවේ ගර්භණී වූ දැරිය පරිවාස භාරයේ රඳවා දරුවා ලැබුණු පසු නැවත පාසල් අධ්‍යාපනයට යොමු කරන බවයි. මෙහිදී දරුවන් අවැසි නමුත් දරුවන් නොමැති දෙමාපියන් යුවළකට දැරියගේ කැමැත්ත මත දරුවා ලබා දෙන බවයි. බොහෝ විට එම දැරියන්ට දරුවෙක්ගේ අවශ්‍යතාවක් නොමැති නිසා එයට කැමත්ත පළ කරන බවත් දරුවන් නොමැති යුවළකට දරුවෙක් ලැබෙන නිසා එය සතුටුදායක ලෙස අවසාන වන බවත් ඇය කීවා ය. බොහෝ විට මෙවැනි සිදුවීමක් වාර්තා වූ විට පාසලෙන් ඉවත් කර පරිවාස භාරයට පත් කර මානසිකව යහපත් ලෙස ස්ථාවර වූවාට පසු නැවතත් වෙනත් පාසලකට ඇතුළත් කර පාසල් අධ්‍යාපනය ලැබීමට ඉඩ සලසා දෙන බවත් දැරියගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ඇය පැවසුවා ය. අවසාන වශයෙන් තරගකාරී අධ්‍යාපනයත්, ආර්ථිකයත් නිසා දෙමව්පියන් බොහෝ කාර්ය බහුල වී ඇති බවත්, ඒ නිසා දරුවන් කෙරෙහි ඇති අවධානය, ආදරය අඩු වීමත් මේ සඳහා බලපාන බවත් ඇය පැහැදිලි කළා ය.

ඇතැම් දැරියන් ජීවිත කාලයම එම සිදු වීමෙන් ලද කම්පනය සමග ජීවත් වන බව වරින්වර ඇසෙන වැඩිමහලු වූ ළමා මව්වරුන්ගේ ජීවිත කතා තුළින් අපට අවබෝධ කර ගත හැකිය. ජීවිතේ විඳිය යුතු සියල්ල වේලාසනින්ම විඳවමින් විඳින ළමා මව්වරුන් බහුතරයකගේ ආයු කාලය ද අඩු වනවා ඇත්තේ එහෙයිනි. මවක් වීමට හිමිකම් කීමට හැකි වුව ද එයින් සතුටක් ලබන්නට නොහැකි මව්වරුන් වන්නේ ළමා මව්වරුන්ය.

ළමා මව්වරු බිහි වන සමාජයක අප ද කොටස් කරුවන් වීම අපගේ අවාසනාවකි. දරුවන් වැඩිහිටි සියල්ලන්ගේම වගකීමක් ලෙස සලකා කටයුතු කළ යුතුය. නමුත් කවර හෝ තැනක දී කුමක් හෝ යමක් අපිට මග හැරී ඇත.

සෝබා කෝලියවංශ


advertistmentadvertistment