සමහර චැනල්වලින් කලාකරුවෝ අයිති කරගෙන….
ටෙලිනාට්‍යත් දැන් මාෆියාවක්….
උදාවූ 2023 මේ නව වසරේ ශ්‍රී ලාංකික ඉතිහාසයේ දැවැන්තම සජීවී තාරකා රාත්‍රිය ”STAR GAZER 2023” ජනවාරි 8 වැනි දා අද දින රාත්‍රි 7ට නෙළුම් පොකුණ එළිමහන් පරිශ්‍රයේ පැවැත්වෙන අතර ඔබ වඩාත්ම ආදරය කරන තරු සියල්ලක ගේ සහභාගීත්වයෙන් නර්තනයෙන් හා ගායනයෙන් එය හැඩ වෙන බව අපට දැනගන්නට ලැබුණා. STARGAZER සමග එකතුවන කලා ක්ෂේත්රයේ එදා මෙදා තුළ කාගෙත් ආදරේ දිනා ගන්නට වාසනාවන්ත වූ නිහතමානී ර්සුහදශීලී ආදරණීය හදවතක් හිමි නදීෂා හේමමාලිව අපි මීවිතට සම්බන්ධ කරගත්තා.
නදීෂා මොකක්ද මේ STARGAZER කියන්නේ?
STARGAZER කියන්නේ ලංකාවේ කෙරෙන දැවැන්ත ම තාරකා රාත්‍රියක්. කලාකරුවෝ දාහතක් සම්බන්ධ වෙනවා. මෙහි විශේෂයෙන් ම සිද්ධවෙන්නේ නර්තන ප්‍රසංගයක්” ඒත් එක්ක ම ඒ අතරතුර දී ගීත ගායනා කරනවා. ඉතින් මේක හැමෝට ම වෙනස් ම අත්දැකීමක් වේවි කියලා හිතනවා.
වසරේ අලුතින් ආරම්භ කරපු වැඩ සහ බලාපොරොත්තු එහෙමත් ඇති ?
STAR GAZER තමයි නව වසරේ මම මුලින්ම භාරගනිපු වැඩේ. තව මම මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කළා. ”KOYAL” කියලා ඔන්ලයින් සාරි විකිණීමේ ව්‍යාපාරයක්. ඉතින් ඒ කටයුතුත් එක්ක තමයි ඉදිරි මාස දෙක තුනම වගේ කාර්යබහුල වෙන්නේ. රංගන කටයුතු වගේම මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න තමයි මේ වසරේ බලාපොරොත්තු වෙන්නේ.
අලුතින් චිත්‍රපට සඳහා ඇරයුම් ලැබුණ ද?
ඔව් දැවැන්ත චිත්‍රපට නිෂ්පාදකවරුන් වන ආර්.සදේශ් කුමාර් සහ ශ්‍රීමති සදේශ් කුමාර් නිෂ්පාදනය කළ “ආදරේට ආදරෙන්” චිත්‍රපටයේ හඬ කැවීම්වලට සම්බන්ධ වුණා. ඒ හඬ කැවීම් කටයුතු නම් දැනට අවසන්.
ටෙලිනාට්‍ය භාර ගන්නෙ බොහෝ දුරට තෝරාබේරා ගෙන නේද?
ඔව් ඇත්තට ම ගොඩක් තෝරා බේරගෙන තමයි මම ටෙලිනාට්‍යවල වැඩ කරන්නේ. මම පළවැනියට ම කරන්නෙ පිටපත බලන එක. ඒක මම කැමැති එකක් වෙන්න ඕනේ. හොඳ අධ්යක්ෂවරයෙක් කරන දෙයක් නම් මම ඒ නිර්මාණය භාරගන්නවා. නමුත් ගොඩක් වෙලාවට දැන් මේ හරි මාෆියාවක්නේ වෙලා තියෙන්නේ. අපෙන් පටන් අරන් පළමුවැනි කොටස් පහ හය පෙන්නලා ඊට පස්සෙ අලුතින් එන ළමයි දාලා මිල අඩුවට ඒ වැඩේ එයාලා හරහා වෙන කතාවක් ගොතලා කතා මැදින් දානවා. කිසිම නාට්‍යයක දැන් මුලදී පිටපතක් ලැබෙන්නේ නැහැ. මුල් කොටස් 10 15ක් පෙන්නලා තමයි පිටපත හදන්නෙ. ඉතුරු ටික වෙන්නෙ මෙහෙමයි කියලා අපිට කතාව කියනවා. නමුත් අවසානයේ දී කතාව සම්පූර්ණයෙන් ම වෙනස් වෙලා වෙනත් දිශාවකට තමයි එන්නේ. ඒ නිසා දැන් හරිම අමාරුයි අපිට මේ නිර්මාණ ගැන විශ්වාසෙ තියන්න.
නිෂ්පාදන කටයුතුවලට ඇති වී තියෙන්නෙ මොනවගේ තත්ත්වයක් ද?
චැනල්ස්වලින් කලාකරුවෝ එයාලට ම වෙන් කරගෙන ඉන්නවා. ඉතින් අපි නිෂ්පාදනයක් කරනකොට අපේ කරන නිෂ්පාදනවලට එයාලා මැදිහත් වෙලා අවශ්‍ය කලාකරුවෝ මේ මේ අය ඕනෑ කියලා අපිට බලපෑම් කරනවා සහ absolute ownership එක ඒ අය ගන්නවා එතකොට අපිට නිෂ්පාදකවරයෙක් විදිහට ඉතාමත් අඩු මුදලක් තමයි චැනල්වලින් ගෙවන්නේ. එතකොට අපෙන් වැය කරන පිරිවැය නැවත අපට ලබාගැනීමට අපහසුතාවයක් ඇති වෙනවා. ඒකෙන් ඉතින් නිර්මාණකරුවාට නිදහසේ නිර්මාණයක් නිෂ්පාදනය කරන්න බැරිවෙලා තියෙනවා.
රංගන ජීවිතයෙන් සමුගන්න තීරණය කරලා නෑ නේද?
රඟපෑම කවදාවත් ජීවිතයේ අතහරින එකක් නෙමෙයි. දිගට ම හැමදාම කරගෙන යනවා. නමුත් සැලකිය හැකි” ගුණාත්මක බවින් ඉහළ මගේ වාරණවලට යටත් හොඳ නිර්මාණයක් ලැබුණොත් විතරයි මම එය භාරගන්නේ.
මාධ්‍ය ඉදිරියට වැඩිය නො එන්නේ ඇයි?
මෙහෙමයි ඉතින් මම හිතනවා මේ ක්ෂේත්රය තුළ මම යමක් කරනවා නම් ඒ නිර්මාණයට අදාළ දේ පමණක් මාධ්‍යයට ඇවිත් කතා කරන එක තමයි ඇත්තට ම වැදගත් වන්නේ. එතැනින් එහාට ආරාධනා ලැබෙන වැඩසටහන්වලට මම සම්බන්ධ වෙනවා. ඉතින් මම අනවශ්‍ය දේවල්වලට බොරුවට මගේ කාලය නාස්ති කරගන්න කැමැති නැහැ. මොකද මට කාලය කියන දේ අතිශයින් ම වටිනවා.
සමාජ මාධ්‍ය ගැන මොකද හිතෙන්නෙ?
හැම දෙයක ම හොඳ නරක කියලා දෙකක් තියෙනවා. සමාජ මාධ්‍ය තුළත් යම්කිසි ප්‍රමිතිගත දෙයක් තිබිය යුතුමයි. අපි හැම දෙයක්ම පාලනයක් ඇතිව කරන්න ඕනෑ. ඕනෑම කෙනකුට ඕනම දෙයකට වැඩියෙන් නිදහස දුන්නොත් ඒක අයුතු ලෙස පාවිච්චි කරන්න පුළුවන්. තමන්ට තියෙන නිදහසින් ප්‍රයෝජන අරගෙන ඒක අයුතු ලෙස පාවිච්චි නො කළ යුතුයි කියලා තමයි මම හිතන්නේ.
නදීෂා ඔයා චෝදනාවක් එල්ල කර තිබුණා සම්මුඛ සාකච්ඡාවල දී කියන දේ නෙවෙයි පුවත්පත්වල පළ කරන්නේ කියලා. ඒ චෝදනාව හැමෝට ම එල්ල නොවිය යුතුයි නේද?
ඇත්තට ම ඔව් මෙහෙමයි මම හිතන්නේ ඒක මාධ්‍ය සදාචාරයට ම නොගැළපෙන දෙයක්. අපි යම්කිසි කෙනකුට විශ්වාසවන්තව කියන දෙයක් ඒ අයුරින්ම පළ කරන්න තරම් සදාචාර සම්පන්න වෙන්න ඕනේ. සමාජ මාධ්‍ය ඉතාමත් ම දියුණු කාලෙක අපිට අපේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න පුළුවන් ඕනෙම වෙලාවක. එහෙම හැකියාව තිබියදීත් අපි විශ්වාස කරලා දෙන තොරතුරු පුවත්පත් තුළින් විවිධ මාතෘකා පෙන්නලා පාඨකයන්ව ආකර්ෂණය කරගන්න අසත්‍ය තොරතුරු පළ කරපු අවස්ථා බොහෝමයක් තිබුණා. අපි හැමෝට ම ආත්මගරුත්වයක් කියලා දෙයක් තියෙනවා. මමත් නිතර ම මගේ ආත්ම අභිමානය ගැන හිතලා වැඩ කරන කෙනෙක්. මට විතරක් නෙවෙයි ඕනෑම ප්‍රසිද්ධ චරිතයකගේ චරිත හානියකට ලක්වෙන්න පුළුවන්. ඒ කරන දේවල්වලින්. ඇත්තට ම කිව්වොත් පුවත්පත්ම පමණක් නෙවෙයි ඇතැම් you tube channelවලින් පවා මම නොකියපු දේවල් පවා කියලා තිබුණා.
පාරමී කෞෂිකා
ඡායා -UMSTUDIO – විරාජ් ප්‍රනාන්දු