පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ වෘක්ෂ දේවතාවිය

473

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි ජනාධිපති මන්ධිරය වන රාෂ්ට‍්‍රපති භවන් හි ඓතිහාසික ඩර්බාර් ශාලාවේදී 2021 නොවැම්බර් මස 8 වන දින සන්ධ්‍යා භාගයේදී ඉන්දීය ජනපති රාම්නාත් කෝවින්ද මැතිඳුන්ගේ ප‍්‍රධානත්වයෙන් ඉන්දීය සිවිල් සමාජයේ වැසියන්ට පිරිනැමෙන ඉහළම සම්මාන උළෙල පැවැත්විණි. මෙහිදී කීර්තිමත් පුද්ගලයින් 119 දෙනෙකුට සම්මාන පිරිනැමූ අතර එහිදී සිවිල් වැසියෙකුට පිරිනමන ඉහළම සම්මානය වන ‘‘පද්ම ශ‍්‍රී’’ සම්මානය ලබා ගැනීමට 61 දෙනෙකුට හැකි විය.

පද්ම ශ‍්‍රී සම්මානය ලබා ගැනීමට පැමිණ ජනාධිපති රාම්නාත් කෝවින්ද මහතා අතින් එම සම්මානය ලබාගත් වියපත් කාන්න්තාවක් පිළිබඳව මුළු ඉන්දියාවේන් ලෝකයේත් අවධානය යොමු විය. ඇය සම්ප‍්‍රධායික ගෝත‍්‍රීය ඇඳුමකින් සැරසී පාවහන් පවා නොමැතිව මෙහි පැමිණ සම්මානය ලබා ගැනීම පිළිබඳව අන්තර් ජාතික පරිශීලකයන්ගේ අවධානයට යොමු විය. පද්ම ශ‍්‍රී සම්මාන උළෙලට අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු ප‍්‍රධාන පෙළේ මැති ඇමැතිවරුන්, ප‍්‍රභූවරුන්, කලාකරුවන්, විද්වතුන් විශාල පිරිසක් සහභාගී වූ අතර මෙම වියපත් කාන්තාව දැක් වූ සරල භාවයට සහ පාවහන් නොමැතිව පැමිණ සම්මානය ලබාගන්නා ඡායාරුපවලට හෘදයාංගම ප‍්‍රතිචාර ලැබී ඇත. ට්විටර් පරිශීලකයින් ප‍්‍රවීන පරිසරවේදීන් ඇගේ නිහතමානී බව ගැන ප‍්‍රශංසා කර ඇති අතර ඇයව ‘‘ජාතියේ පාවහන් රහිත ප‍්‍රථම කාන්තාව’’ ලෙසද හඳුන්වාදී ඇත. ඇය සම්මානය ලබාගත් පසු අගමැති නරේන්ද්‍ර මෝදි හා මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත්ෂාට දෑතින්ම ආචාර කරන මේ උළෙලේ ඡායාරූප මාධ්‍යවල තවමත් හුවමාරු වෙමින් පවතී. සමහර පරිශීලකයන් මෙම ඡායාරූප දවසේ රූපය ලෙස හඳුන්වාදී ඇති අතර සමහරු පවසා ඇත්තේ ‘‘කුල්සි ගෞඩා’’ නම් මෙම කාන්තාව දැන් ඉන්දියාවේ අභිමානය බවයි.

ඉන්දියාවේ කර්නාටක ප‍්‍රාන්තයේ කෝලා තාලූකයේ (Taluk- තාලූකය යනුවෙන් හඳුන්වන්නේ ඉන්දියාවේ පාරම්පරික වතුයායක් වන අතර එය ඉන්දියානු ආදායම් දිස්ත‍්‍රික්කයකින් සමන්විත පරිපාලන උප අංගයකි) හොනරි ගම්මානයේ වාසය කරන තුල්සි ගෞඩා (Tulsi Gowda) නම් 77 හැවිරිදි ඉන්දීය පරිසර වේදිනියක් වන ඇයට ඉන්දීය රජය මගින් පිරිනමන ඉහළම සිවිල් සම්මානය වන ‘‘පද්මශ‍්‍රී’’ සම්මානය ලබාදී ඇත්තේ, ඇය 2020 වර්ෂය වනවිට ගස් සංරක්‍ෂණය වෙනුවෙන් ඇය ලබාදුන් මහඟු දායකත්වය වෙනුවෙනි.

1944 දී තුල්සි ගෞඩා උපත ලැබුවේ ඉන්දීය කර්නාටක ප‍්‍රාන්තයේ උත්තර කණ්නඩ දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාමීය ජනාවාසයක් වන හොනල්ලි ගම්මානයේ හලක්කි ගෝත‍්‍රික පවුලකය. කුල්සි ගෞඩාගේ මුල් නම වන ‘‘තුල්සි’’ යන කණ්නඩ වචනය ව්‍යාප්ත වී ඇත්තේ හින්දු ආගමික පූජා ශාකයක් වූ ශුද්ධ බැසිල් -Holy Basil යන්නයි. ශුද්ධ බැසිල් බොහෝ රෝග තත්ත්වයන්ට ප‍්‍රතිකාර කිරීම ගැන ඉතිහාස ගත වී ඇත. (Holy Basil යන වචනය ශ‍්‍රී ලංකාවේදී මදුරුතලා යනුවෙන්ද හඳුන්වයි) තුල්සි උපන්නේ දුප්පත් පවුලක වන අතර ඇයට වයස අවුරුදු දෙකේදී පියා මිය ගියේය. පියා මිය යෑමෙන් පසු ජීවත්වීම සඳහා ඇගේ මව පැලතවානක දෛනික කුලී සේවිකාවක ලෙස රැකියාවට ගිය අතර කුඩා කල සිටම තම මව සමඟ ඇය රැකියාව කළ පැල තවානේ සුළු සුළු වැඩ කිරීමටද තුල්සිට සිදුවිය. විධිමත් අධ්‍යාපනයක් නොලැබූ නිසා ඇය නූගත්ය. කියවීමට හෝ ලිවීමට හැකියාවක් නැත. ඇගේ ගෝත‍්‍ර භාෂාව වනුයේ කණ්නඩය.

ළමාවිය අවසන් වනවිටම ඇයට විවාහ වීමට සිදුවිය. ඒ පවුලේ අඟහිකකම් නිසාය. ඇයව විවාහකර දුන්නේ ‘‘ගෝවින්දේ ගෞඩා’’ නම් ඇයට වඩා වයසින් වැඩි වැඩිහිටි පුරුෂයෙකුටය. විවාහය ආරම්භවන විට ඇයගේ වයස හරියටම කොපමණ දැයි කීමට ඇය ඇතුළු කිසිවෙකු කියන්නට නොදන්නා නමුත් එය වයස අවුරුදු 10 හෝ 12 අතර යැයි අනුමාන කෙරේ. ඇගේ සැමියා මිය යනවිට ඇයට වයස අවුරුදු 50 ක් පමණ විය.

පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ වෘක්ෂ දේවතාවිය

කර්ණාටක වන විද්‍යා දෙපාර්තමේන්තුවේ වගාකිරීමට හා අස්වනු නෙලීමට නියමිත බීජ රැකබලා ගැනීමේ වගකීම කුල්සිට පැවරී තිබුණි. ඇය පැළවීමට ආසන්නව ඇති බීජ පාත්තියේ ඇති බීජ පිළිබඳව බොහෝ සැළකිලිමත් විය. සංරක්‍ෂණය හා උද්භිද විද්‍යාව පිළිබඳ පුළුල් දැනුමක් සඳහා ඇය කළ සේවය අගයන ස්ථිර තනතුරක් පිරිනමන තෙක් තුල්සි ඇගේ මව සමඟ දෛනික වැටුප් සේවිකාවක් ලෙස වයස අවුරුදු 35 තෙක් පැල තවානේ සේවය කළාය. පසුව ඇය වයස අවුරුදු 70 දී විශ‍්‍රාම ලබන තෙක් එහි සේවයේ නිරත විය.

කර්ණාටක වන විද්‍යා දෙපාර්තමේන්තුවට සත්ත්ව අභය භූමි විසිපහක්, කොටි රක්‍ෂිත පහක් වන ජීවී අභයභූමි තිහක් සංරක්‍ෂිත රක්‍ෂිත පහළොවක් සහ එක් ප‍්‍රජා රක්‍ෂිතයක් අයත්ය. මෙම ප‍්‍රදේශයන් ජනප‍්‍රිය සංචාරක ගමනාන්තයකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇඳගත් ස්ථානයන්ය. කර්ණාටක වන විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන අරමුණ වනුයේ ප‍්‍රජාවන් සහ ගම් නැවත ස්වභාවධර්මය සමඟ සම්බන්ධ කිරීම ලෙස විස්තර කරයි. ප‍්‍රාන්තයේ ප‍්‍රදේශයෙන් තුනෙන් එකක් වනාන්තරවලින් වැසී ඇති අනාගතයක් දෙපාර්තමේන්තුව අපේක්‍ෂා කරයි. කුල්සිගේ දැනුම සහ අත්දැකීම් මේ සඳහා උපරිම ලෙස ලබාගෙන ඇත.

කුල්සි ගෞඩාව පරිසරවේදීන් විසින් හඳුන්වනු ලබන්නේ ‘‘වනාන්තරයේ විශ්වකෝෂය’’ ලෙසය. ඇගේ ගෝත‍්‍රිකයන් ඇයව හඳුන්වන්නේ ‘‘වෘක්ෂ දේවතාවිය’’ ලෙසය. ඇගේ ගස් පිළිබඳ දැනුම පුදුමාකාරය. වනාන්තරයේ ඇති සෑම ගස්වර්ගයකම මව්ගස හඳුනා ගැනීමේ ප‍්‍රභල හැකියාවක් ඇය සතුව ඇත. බීජ එකතු කිරීම යනු සම්පූර්ණ ශාක විශේෂ නැවත උත්පාදනය කිරීමට සහ වර්ධනය කිරීම සඳහා මව් ගස්වලින් බීජ ලබා ගැනීමයි. එය ඉතා දුෂ්කර ක‍්‍රියාවලියක් වන අතර බීජ පැලවල පැවැත්ම සහතික කිරීම සඳහා මව් ගසෙන් බීජ පුරෝහරණයේ උච්චම අවස්ථාවේදී එකතු කළ යුතු අතර මෙම කාලය හරියටම තේරුම් ගැනීමට තුල්සිට හැකිය. කර්ණාටක වන විද්‍යා දෙපාර්තමේන්තුව තුළ මෙම බීජ නිස්සාරණය විශේෂයෙන් ප‍්‍රයෝජනවත් වන්නේ ඔවුන්ගේ ප‍්‍රධාන අරමුණු හතර වන ‘‘ නියාමනය, ආරක්‍ෂාව, සංරක්‍ෂණය හා තිරසාර කළමනාකරණය’’ ට ය. කුල්සි ගෞඩා වනාන්තරය පිළිබඳව ඇගේ දැනුම එක්රැස් කළේ කෙසේද යන්නද පුළුල් ලෙස ප‍්‍රශ්න ගත වී ඇත. එය ගැන ඇසූ විට ඇය කියන්නේ ඇයට වනයේ භාෂාව කතාකිරීම හැකි බවය. ඇගේ ගෝත‍්‍රය වන හලක්කි ගෝත‍්‍රයට එය මුල් බැසගත් උරුමයක් බව තුල්සි පවසයි. කර්ණාටක ප‍්‍රාන්තයේ ගස් 100,000 ක පරාසයක් ඇය විසින්ම සිටුවා ඇති බවටද ගණන් බලා ඇත.

හලක්කි ගෝත‍්‍රිකයන්ගේ සුබ සාධක සඳහා ක‍්‍රියා කරන උත්තර කණ්හඩ දිස්ත‍්‍රික්කයේ නාගරාජා ගෞඩා පවසන්නේ ‘‘තුල්සි ඔවුන්ගේ ප‍්‍රජාවට ආඩම්බරයක් වන අතර ඇයට වනාන්තරය ඇති ඖෂධීය ශාක පිළිබඳ හසල දැනුමක් ඇති බවයි. කිසිවකු එය ලේඛනගත කර නොමැති අතර ඇය හොඳ සන්නිවේදිකාවක්ද නොවන බැවින් ඇයගේ ක‍්‍රියා දැකීමෙන් මිස ඇයගේ දායකත්වය තෝරුම් ගැනීමට අපහසු බවය. විශ‍්‍රාමික නිලධාරියෙකු වන සෙල්ලප්පා රෙඞ්ඩි තුල්සි තම ගම්මානයේ රෝග සඳහා ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධීය ශාක 300 කට අධික ප‍්‍රමාණයක් සිටුවා ඇති බව කියයි.

රැකියාවෙන් විශ‍්‍රාම ගියද තුල්සි ගෞඩා තම ඉදිරි කාලය කැපකර ඇත්තේ වනාන්තරයේ වැදගත්කම මෙන්ම බීජ සොයාගන්නා ආකාරය සහ ඒවා රැකබලා ගන්නා ආකාරය පිළිබඳව තම ගමේ දරුවන්ට ඉගැන්වීමටය. පරිසරය රැකීමට අමතරව තුල්සි පරිභාහිරව සිය ගම්මානය තුළ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන්ද පෙනී සිට ඇත. ආරව්ලකින් පසු තවත් හලක්කි ගෝත‍්‍රික කාන්තාවකට තුවක්කුවක් පෙන්වා තර්ජනය කළ විට තුල්සි ඇගේ සහායට පැමිණ අපරාධයේ වරදකරුට දඬුවම් නොකළ හොත් දැඩි ලෙස උද්ඝෝෂණය කරන බවට පැවසීය.

තුල්සි තම ජීවිතයම කැපකර තිබුණේ පරිසරය සුරැකීමටය. ඇය පැළ සිටුවා වවා ඒවා මහා රුක්ෂ බවට පත්වන තෙක් තම දරුවන් ලෙස පෝෂණය කිරීමට කැපවී සිටියාය. කර්ණාටක වන විද්‍යා දෙපාර්තමේන්තුව ඇයගේ පුළුල් සේවාකාලයට අමතරව බීජ සංවර්ධනය සහ සංරක්‍ෂණය සඳහා ඇය කළ සේවය වෙනුවෙන් සම්මාන සහ පිළිගැනීම් රාශියක් ලබාදී ඇත. 1986 දී IPVM සම්මානය ලෙස හැඳින්වෙන ‘‘ ඉන්දිරා ප‍්‍රියදර්ශණී වෘක්ෂ මිත‍්‍ර සම්මානයෙන්’’ ඇය පිදුම් ලබා ඇත. IPVM සම්මානය වන වගාව සහ මුඩුබිම් සංවර්ධන ක්ෂේත‍්‍රයේ පුරෝගාමින් සහ තවත් දායකත්වය පුද්ගලයකු හෝ ආයතනය විසින් පිළිගනු ලබයි. තුල්සි ගෞඩාට ‘‘කර්ණාටක රාජ්‍යෝත්ම සම්මානය’’ හිමි විය. එය ‘‘කණ්නඩ රේජෝත්‍යවා සම්මානය’’ ලෙසද හැඳින්වෙන අතර එය ඉන්දියාවේ කර්ණාටක ප‍්‍රාන්තයේ දෙවන ඉහළම සිවිල් ගෞරව සම්මානයයි. මෙම සම්මානයට රන් පව්මක් සහ ඉන්දීය රුපියල් මිලියනයක් අයත්ය.

විශිෂ්ට සේවය සඳහා ඉන්දියාවේ සිව්වන ඉහළම සිවිල් සම්මානය වූ ‘‘පද්ම ශ‍්‍රී සම්මානයෙන් පිදුම්ලත් තුල්සි ගෞඩා අද වනවිට තම මුනුබුරු මිනිබිරියන් තිදෙනාට ආදරණීය ‘‘ආජි’’ (ආච්චි) කෙනෙකි. ‘‘මම විශ‍්‍රාමිකයි. ඒ නිසා මම දුර්ලභ බීජයක් හෝ පැලයක් සොයාගත්තොත් මිස පැල තවානට යන්නේ නැහැ. නමුත් මම ඒ පැලය හෝ බීජය තවානට ගිහින් දෙනවා. ඒක මගේ යුතුකමක් නේ’’ යැයි ඇය පවසයි.

ගමේ අය ‘‘තුල්සි අප්ජි’’ කියා ආදරයෙන් අමතන තුල්සි ගෞඩාට පද්ම ශී‍්‍ර සම්මානය ලැබෙන බව දැනුම් දීමට ඉන්දීය රාජ්‍ය නිලධාරීන් ඇගේ නිවසට යනවිට ඇය මාස අටක් වයසැති ඇගේ පවුලේ බාලම මුණුබුරු සමඟ සෙල්ලම් කරමින් සිටියේය.

මෙම පද්ම ශ‍්‍රී සම්මානයට ජනාධිපතිවරයාගේ අත්සන සහ මුද්‍රාව සහිත සහතිකයක් සහ පදක්කමක් අඩංගුය. ලබාදෙන පදක්කමේ අනුරුවක්ද ලබාදෙන අතර එය ඕනෑම චාරිත‍්‍රයකදී හෝ රාජ්‍ය උත්සවයකදී පැළදිය හැකිය. ඒ අතරම එක් එක් සම්මාන ලාභියා පිළිබඳ කෙටි විස්තරයක් ඇතුළත් සමරු අත් පත‍්‍රිකාවක්ද උත්සවය පැවැත්වෙන දින නිකුත් කරයි.

රුවන් තරස්වින්

advertistmentadvertistment
advertistmentadvertistment