පද්ම ශ‍්‍රී ලැබූ ශී‍්‍ර ලංකාවේ පද්මය වජිරා

82

ශ‍්‍රී ලාංකික නර්තන කලා ක්ෂේත‍්‍රය වෙනුවෙන් සිදු කළා වූ අපරිමිත සේවාව අගයනු වස් ප‍්‍රවීණ නර්තන ශිල්පී, දේශබන්දු ආචාර්ය වජිරා චිත‍්‍රසේන මහත්මිය වෙත ඉන්දියාවේ ඉහළම සිවිල් ගෞරව සම්මානවලින් එකක් වන පද්ම ශ‍්‍රී සම්මානය පිරිනමන ලද අතර එය පසුගිය දා ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ශ‍්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී ඇය වෙත ප‍්‍රදානය කරන ලදී. මීට පෙර 2002 වසරේ දී පද්ම ශ‍්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවේ හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඞී. අමරදේවයන් ය.

වර්ෂ 1932 මාර්තු 15 වැනිදා උපත ලැබූ වජිරා හොරණ ශ‍්‍රීපාලි විද්‍යාලයෙන් ද පසුව කළුතර බාලිකා විද්‍යාලයෙන් ද මූලික අධ්‍යාපනය ලැබුවා ය. වයස අවුරුදු 13දී පමණ දෙමව්පියන් ඇයව කොළඹ රැගෙන අවුත් පවුලේ හිතවතුන් වූ චිත‍්‍රසේනයන්ගේ නිවසේ නතර කරන ලද්දේ ඇයගේ උපන් හැකියාවන් කුඩා කලදීම හඳුනා ගත් බැවිනි. චිත‍්‍රසේන කලායතනය ආසන්නයේ පිහිටි කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයට ඇතුළත්ව පාසල් අධ්‍යාපනය ලබන අතර ඇය චිත‍්‍රසේන කලායතනයෙන් නර්තනය හැදෑරුවා ය.

නල්ලපෙරුම ආරච්චිගේ වජිරා රුක්මනී දමයන්ති පෙරේරා නම් වූ ඇය පසුව චිත‍්‍රසේනයන් හා විවාහ වීමෙන් වජිරා චිත‍්‍රසේන බවට පත් වූවා ය. නල්ලපෙරුම ආරච්චිගේ චාර්ලිස් පෙරේරා සහ ලිලියන් පෙරේරා ඇයගේ මව්පියෝ වූ අතර ඇයට සහෝදරියන් පස්දෙනෙක් සහ සහෝදරයන් දෙදෙනෙක් විය. එක් සොහොයුරියක් කුඩා කල දීම මියගොස් ඇත.

ලංකාවේ සාම්ප‍්‍රදායික නර්තන කලාවේදී මුල් කාලීනව කාන්තා චරිත නර්තනයන් ද ඉදිරිපත් කළේ කාන්තාවන් ලෙස ඇඳ පැළඳ ගත් පිරිමි නර්තන ශිල්පීන් ය. අනෙකුත් කලාවන්ට ද එසේ ම ය. 1940 පමණ කාලයේදී වේදිකාවට පිවිසි වජිරා මෙරට නර්තන වේදිකාව මත අති විශිෂ්ට නර්තන නිර්මාණයන් ගෙනහැර පෑවා ය. චිත‍්‍රසේන කලායතනය මගින් කලඑළි දැක්වූ මුද්‍රා නාට්‍ය කලාව නංවාලීමට ඇය විශිෂ්ට දායකත්වයක් දැක්වූවා ය. පද්ම ශ‍්‍රී සම්මානය ලැබීම පිළිබඳව වජිරා චිත‍්‍රසේනයන් සිය හැඟීම් අප සමග මුදා හැරියේ මෙසේ ය.

‘‘මේ සම්මානය ලබා දෙමින් මටත්, මගේ රටටත් ලොකු ගෞරවයක් ඉන්දීය රජය විසින් ලබා දුන්නා. මට මේ ගැන ලොකු සතුටක් දැනෙනවා. මම කවදාවත් ඉන්දියාවෙන් නැටුම් ඉගෙනගෙන නෑ. මම ඉගෙන ගත්තේ ශ‍්‍රී ලංකාවෙන් පමණයි. නමුත් විවිධ අවස්ථාවලදී ඉන්දියානු ශිල්පීන් එක්ක වැඩ කරලා තියෙනවා. එක් අවස්ථාවක සරසවිය සම්මාන උළෙලකදී අරුන්දතී ශ‍්‍රී රෙන්ගනාදන්ගේ කර්ණාටක සංගීතයකට, දමිළ බෙර හා උඩරට බෙරත් එකතු කරලා මිශ‍්‍ර සංස්කෘතික නර්තන නිර්මාණයක් ඉදිරිපත් කළා. 2012 වසරේදී මට මතකයි ඉන්දියාවේ නේත‍්‍රග‍්‍රාම් ඔඩිසි නර්තන කණ්ඩායම එක්ක එකතු වෙලා ප‍්‍රසංගයක් කළා. ඒක 2019 දී ඇමෙරිකාවේත් ප‍්‍රදර්ශනය කළා. මම ලෝකයේ හැම තැනකදීම නැටුවේ උඩරට නැටුමයි.” ඇය අභිමානයෙන් යුතුව කීවා ය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වෘත්තීය නර්තනවේදිනිය බවට පත් වූ වජිරා චිත‍්‍රසේනයන් කාන්තා නර්තන ශිල්පීන්ට වේදිකාව තනා දුන්නා ය.

චිත‍්‍රසේනයන්ගේ ‘විධුර’ නාට්‍යයේ නාග කන්‍යාවක ලෙසට රඟපාමින් චිත‍්‍රසේන නාට්‍ය කණ්ඩායමට එක් වූ වජිරා ශ‍්‍රී ලංකාවේ මුද්‍රා නාට්‍ය ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් බවට පත්වෙමින් බිහි වූ ‘කුමුදුනි’ මුද්‍රා නාට්‍යයෙන් මුද්‍රා නාට්‍ය නිර්මාණ කලාවට අවතීර්ණ වූවා ය. ගිණි හොරා, චණ්ඩාලිකා, රෂොමාන්, ශිවරංග, බෙර හඬ යන මුද්‍රා නාට්‍යවල ද නර්තනයෙන් ප‍්‍රතිභා පෑ ඇය නල දමයන්ති‘ මුද්‍රා නාට්‍යයේ ද එයින් පසුව හපනා, ගිනි හොරා, වන මල්, ඇන්ටිගනි යන නිර්මාණවල ද රංග වින්‍යාසයන් සිදු කළා ය. සෝවියට් දේශයේ ක්‍රෙම්ලීන් රංග පීඨයේ දී නිකිතා කෘෂ්ව් ඉදිරියේදී නර්තන රංගනයන් පෑ වජිරා පසුව චෙකොස්ලොවැකියාව, පෝලන්තය, නැගෙනහිර ජර්මනිය, ප‍්‍රංශය, ඕලන්දය, ස්විට්සර්ලන්තය, සිංගප්පූරුව, ඉන්දියාව, ඇමෙරිකාව ආදි රටවල් ගණනාවක චිත‍්‍රසේන කලායතනය මෙන්ම ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් නර්තන හා මුද්‍රා නාට්‍ය රංගයන් සමග සංචාරයේ යෙදුණි.

කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් රටේ කලා කටයුතු නතර වී ඇති නමුත් චිත‍්‍රසේන කලායතනයේ ඉගැන්වීම් සිදු කෙරෙන සෑම අවස්ථාවකදීම ඇය එහි ගොස් දරුවන්ගේ නර්තනයන් නිරීක්ෂණය කරමින් විටෙක නර්තනයේ ද යෙදුනා ය. ගතින් කාලය බොහෝ දුර ගොස් ඇති නමුත් ශ‍්‍රී ලාංකික අනන්‍යතාවයේ මිණි කිරුළක් වන වජිරා චිත‍්‍රසේනයන් තවමත් සිතින් තාරුණ්‍යයේ පසුවන්නී ය. චිරං ජයතු ඇදුරුතුමියෙනි.

තුෂාරී කළුබෝවිල

advertistmentadvertistment