පනතට අනුව ලාභ ලබන්න බෑ: ලංවිම ලැබූ බිලියන 60ක ලාභය රු.12000 ගාණේ විදුලි පාරිභෝගිකයන්ට බෙදන්න – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

65

දෙදහස් නවයේ විදුලිබල පනතේ 30 වැනි වගන්තිය අනුව විදුලිබල මණ්ඩලයට ලාභ ලැබිය නොහැකි බැවින් එම මණ්ඩලය ලැබුවා යැයි කියන රුපියල් බිලියන හැටකට ආසන්න ලාභය මෙම රටේ සමස්ත විදුලි පාරිභෝගිකයන් අතරේ රුපියල් දොළොස්දහස බැගින් බෙදා දිය යුතු යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (23 දා) පැවසීය.

දෙදහස් 2023 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය බිලියන හැටකට ආසන්න ලාභයක් ලබා ඇති බව එම මණ්ඩලයේම දත්ත අනුව පෙන්නුම් කරන්නේ යැයි ද හෙතෙම කීවේය.

සංජීව ධම්මික මහතා මෙසේද කීය

මේ රටේ විදුලි පාරිභෝගිකයෝ ලක්ෂ හැත්ත තුනක් ඉන්නවා. ඒ නිසා මේ බිලියන හැටක ලාභය ඔවුන් අතරේ බෙදා හැරීමට රජය වහාම පියවරගත යුතුයි. එවිට එක් විදුලි පාරිභෝගිකයකුට රුපියල් දොළොස් දහසක මුදලක් සාමාන්‍ය වශයෙන් දෙන්න පුළුවන්. විදුලි බල පනතට අනුව, එහෙමත් නැත්නම් රටේ නීතියට අනුව විදුලි බල මණ්ඩලයට ලාභ ලබන්න බෑ. සාධාරණ පිරිවැය පමණයි අය කළ හැක්කේ. ඒ නිසා මේ ලැබුවා යැයි කියන ලාභය අනීතිකයි. මේ නිසා වහාම විදුලි පාරිභෝගිකයන් අතරේ එම ලාභය බෙදාහැරීමට රජය කටයුතු කළ යුතුයි. කංචන ඇමැතිවරයා වහාම මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment