පනත හරහා කිසිවිටෙකත් විදුලිබලය පෞද්ගලීකරණය වන්නේ නෑ – විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර

70

පනතට අනුව ආයතනය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙනවා – දයාසිරි ජයසේකර (ශ්‍රීලපොපෙ)

පනත රටේ දේශපාලන කුණාටුවක් බවට පත් වේවි – මහාචාර්ය චරිත හේරත් (ශ්‍රීලපොපෙ)

කාර්ය සාදන ඇගයීම් කරන්නේ නැතිව රාජ්‍ය ආයතන අර්බුදයට යනවා – පාඨලී චම්පික රණවක (සජබ)

මෙම පනත හරහා කිසිවිටෙකත් විදුලිබල ක්‍ෂේත්‍රය පෞද්ගලීකරණය කිරීමක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ (6 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විදුලිබල පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

විවාදය ආරම්භ කරමින් කතා කළ ඇමැති කංචන විජේසේකර මහතා :

සේවාවන් පවත්වාගෙන යෑමට නොහැකිවීම, අකාර්යක්ෂමතාව, අඩුපාඩු පිළිබඳව පාරිභෝගිකයෝ නිතර පැමිණිලි කරනවා. අද නූතන ලෝකයට ගැලපෙන ආකාරයට 1969න් පසු විදුලිබල පනත සංශෝධනය වී නෑ. විවිධ අණපනත් සංශෝධනය වුවත් විදුලිබල පනත සංශෝධනය නොකර ඉදිරි අනාගතයට අපට විවෘත වෙන්න බැහැ. දැනට තිබෙන පනතින් නවීන ලෝකයට යන්න පුළුවන් කියලා හිතනවනම් එය වැරැදියි.

විදුලිබල මණ්ඩලය තරම් ඒකාධිකාරි නොවූ තවත් ආයතනයක් රටේ නෑ. පසුගිය කාලයේ දී විවිධ ආණ්ඩු මේ ක්‍රමය නිවැරදි කරන්න උත්සාහ කළත් ආණ්ඩු නොවෙයි මණ්ඩලයේ සිටි ඇතැම් අය එලියේ සිටිය දේශපාලන කණ්ඩායමක් සමග එක්ව සියලු කටයුතුවලට බාධා කළා.

මේ පනත අපි අවුරුදු 2ක් සාකච්ඡා කරලයි ගෙනාවේ. අපි තොරතුරු ඉල්ලුවා කිහිපදෙනයි ආවේ. අපි ජාත්‍යන්තර සංවිධානවලින් තාක්ෂණික සහාය අරගෙන මේ කටයුත්ත කළේ. කාටවත් මේකට විරුද්ධ වෙන්න බැහැ.

ඒකාධිකාරියක් ලෙස ආයතනය තිනෙ විට කාර්යක්ෂම නෑ. විනිවිදභාවයක් නෑ. මන්ත්‍රීවරු ඇමැතිවරු බැනුම් අහනවා. නමුත් දූෂණය වංචාව වෙන්නේ ඇතුලෙ ඉන්න නිලධාරි ඒකාධිකාරි කණ්ඩායමක් නිසයි.

ජනනය සමාගම් 4ක් බවට පත් කිරීමට නව පනතේ යෝජනා කර තියෙනවා. විදුලිය පෞද්ගලීකරණය කරන්න අපේ ආණ්ඩුව කිසිවකු සමග හෝ සාකච්ඡා කර නෑ. එය සහතික කරනවා. ජල විදුලි බලාගාර සියයට සීයක් රජය යටතේ පවත්වාගෙන යනවා. කාටවත් වෙනස් කරන්න බෑ. ගල් අඟුරු, ඩීසල්, දැවිතෙල් බලාගාර පුනර්ජනනීය බලාගාර ඉතිරි ටික ඩීසල් දැවිතෙල්වලට ආණ්ඩුවට ආයෝජනය කරන්න බැරි නිසා ආණ්ඩුවේ පාලනයේ තියාගෙන ආයෝජන ගෙන ආහැකියි.

ඉදිරි අවුරුදු 6 දී මණ්ඩලය ඇස්තමේන්තු කර තියෙනවා ඩොලර් බිලියන 12ක් අවශ්‍ය බවට. ආයෝජන සඳහා මේ මුදල් අපිට නෑ.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් (සජබ) : විදුලිබල මණ්ඩලයේ කොටස් විකුණනවා නම් ප්‍රසම්පාදනයක් තිබිය යුතුයි. එල්ටීඑල් සමාගමට මණ්ඩලයේ කොටස් විකුණන්න ගියා.

ඇමැතිවරයාට පූර්ණ බලය අවශ්‍යයි. ඒත් පෞද්ගලික ආයතනයක විධායක නිලධාරි ලෙස නොව යමෙක් මාරු කරන්න පත් කරන්න බලය අවශ්‍යයි. අද ඇමැති ඉන්නේ අයිතිකරු ලෙස නොව මුරකරු ලෙසයි. ඇමැතිට වගවීමක් රටට තියෙනවා. අපි වගවීමක් ඇතිව රටේ පාලනය කරනවා.

කාර්මික නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට රට පත් කරනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රාග්ධන වියදමක් විදුලිබල ශක්ති පිරිවැයක් අඩුකරගත යුතුයි. නවෝත්පාදනය, තාක්ෂණය, තරගකාරි ක්‍රම, විදුලි බල මණ්ඩලයට අවශ්‍යයි. නමුත් අලුතින් ඒ දේ ඉටුවේදැයි සැකයක් තියෙනවා. පනත හදන විට හරියාකාරව කරලා නෑ. විදුලිය මහජන උපයෝගිතාවක්.

මේ පනත අද සම්මත වෙන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා කිව්වා පෞද්ගලීකරණයට විරුද්ධයි කියලා. පොදුජන පෙරමුණේ බහුතරය අත ඔසවන්නේ බැහැ. ඔසවන්න වෙන්නේ ඇඳගෙන ඉන්න එකයි. අපේ සංශෝධනවලට එකඟ වෙනවානම් අපි අනිවාර්යයෙන්ම පනතට සහය දෙනවා.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස : අඛණ්ඩව විදුලි සැපයුම තහවුරු කරන කිසිදු කරුණක් පනතට ඇතුල් කර නෑ. 2009 පනතේ අඛණ්ඩ විදුලි සැපයීමේ වගකීම තියෙනවා. ඇමැතිට වැදගත් තීන්දු ගන්න බලය දීලා තියෙනවා. ලයිසන් ගැන මහා බලයක් දීලා එය හානියක් වන ක්‍රියාවක්.

පනතට අනුව සමාගම් 12ක් බිහි වෙනවා. එහි අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම් ගැන සඳහන් කර නෑ. එයත් ඇමැතිවරයා හරහාම සිදු වෙන බවයි පේන්නේ.

විදුලිබල මණ්ඩලයේ සම්පත් රුපියල් ටි්‍රලියනයකට වඩා වටිනවා. බලාගාර, බෙදාහැරීම්, ගොඩනැඟිලි හැම එකක්ම අයිතියි. කොටස් වෙන් කිරීම් ගැන කිසිම සඳහනක් කර නෑ.

පනත හරහා කිසිවිටෙකත් විදුලිබලය පෞද්ගලීකරණය වන්නේ නෑ - විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර

වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු :

අවුරුදු දශක කිහිපයක අකාර්යක්ෂමතාව හා අලුතින් බලාගාර හදපු නැති එකේ ප්‍රතිඵලය, සොරකම්, දූෂණ නැති නොකරපු එකේ ප්‍රතිඵලය එක දවසකින් බිලට ඇතුල් කරලා පාරිභෝගිකයාගෙන් ලබාගෙන ලාභ ලබන ආයාතනයක් බවට පත් කළා. නියමිත වියදමට හරියන්න බිලක් හදලා පාරිභෝගිකයාට අපි ලබාදීමට ක්‍රියා කළා. ලයිට් බිල අඩු කරන්නේ කවදද කියලා ජනතාව අහනවා. ජීවන මිල ඉහළයි. අලුත් පනත ගෙනල්ල පරණ පනත විනාශ කරන්න එපා කියලා විපක්‍ෂය කියනවා.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් (දෙ. ජා. සං.) : ඇමැතිවරයාට අසීමිත බලතල මේ පනත හරහා ලැබෙනවා. පනත හදිසියේ සම්මත කර ගැනීම ගැන රටටම ප්‍රශ්නයක් තියෙනවා.

අසීමිත බලතල තිබුණු පාලකයන් රටට කරපු විනාශය අපි දැක්කා. හොරකමටම විතරක් සීමා වූ ඇමැති කෙනෙක් පත් වුණොත් විදුලිබලයට අත්වන ඉරණම කුමක්ද?

තමන්ට තියෙන බලතල අයුතු ලෙස පාවිච්චි කළහම වැරැදි ප්‍රතිඵල ලැබෙන්නේ. ගෝඨාභය ජනපති රසායනික පොහොර තහනම් කළාම රටම විපතට ගියා. මෛත්‍රිපාල සිරිසේන ජනපති රෝයල් පාක් වැරැදිකරුට සමාව දුන්නා. අධිකරණය එය වැරැදියි කිව්වා. බලතල වැරැදි විදියට යොදවනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ) :

එදා ගෝඨාභය ජනපති කිව්වා රාජ්‍ය ආයතන විකුණන ඒවා අපි නැවත පවරා ගන්නවා කියලා. මේ ආණ්ඩුව ජනපති 69 ලක්‍ෂයක් ජනවරමට පිටුපාලා විදුලි පනත ගෙනල්ලා. මේ පනතින් මණ්ඩලය කෑලි 12කට කඩලා පෞද්ගලික අංශයට පවරාදීමක් ඉතා පැහැදිලිවම සිදුවෙනවා.

පෞද්ගලික අංශයේ තරගකාරිත්වය සිදුකරනවා කිව්වට එයටත් පටහැනිවයි මේ පනත ගෙනත් තියෙන්නේ. පනතට අනුව තරගකාරිත්වයක් වන්නේ නෑ

පනතින් සිදුකර ඇත්තේ පෞද්ගලික අංශයේ ඒකාධිකාරියක් ඇති කිරීමක්. දැන් රාජ්‍ය අංශයේ ඒකාධිකාරිය කියලා පට්ටා ගහනවා. එහෙම කියලා ආණ්ඩුව පෞද්ගලික අංශයේ ඒකාධිකාරියට ආයතනය තල්ලු කරනවා වෙන දෙයක් නෑ.

මේක අදානි සමාගමට දෙන්න ගෙනාව පනතක්. කොලේ වහලා ගහන්න දෙයක් නෑ. තරගකාරිත්වය තියෙනවානම් අදානි සමාගම විතරද තියෙන්නේ. වෙන සමාගම් නැද්ද? බලශක්ති රටේ ආරක්ෂාවට ආර්ථිකයට ප්‍රබල ලෙස බලපාන සාධකයක්. ශක්තිමත් නැති අපේ රටට විදුලිය ප්‍රබල සාධකයක්.

තෙල් බෙදාහැරීම පෞද්ගලික අංශයට පැවරීමෙන් තරගකාරිත්ව මත මිල අඩුවෙනවා කිව්වා. දැන් අඩුවෙලාද? නෑ. තෙල් මිල තුන් හතර ගුණයකින් වැඩි වුණා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර (ශ්‍රීලපොපෙ) :

පනත හරහා කිසිවිටෙකත් විදුලිබලය පෞද්ගලීකරණය වන්නේ නෑ - විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර

පනතට අනුව සිදුවන්නේ ආයතනය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වීමයි. පත්වීම් සියල්ල ඇමැති කරන්නේ. හදන සමාගම් 12ම අධ්‍යක්ෂ මණ්ඩල පත් කරන්නේ ඇමැතිවරයායි. මේ පනත ඊයේ පැය හතරකින් කතා කරලා ඉවර කරන්න බලශක්ති ආංශික කාරක සභාවට සිදුවුණා. මෙහෙම කරන්න බැහැ. නිලධාරීන් සමග සාකච්ඡා කරන්නවත් වෙලාවක් තිබුණේ නෑ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ (ශ්‍රීලපොපෙ) :

අපේ කර්මාන්තකරුවා විදුලි බිල වැඩිවීම නිසා දැඩි දුෂ්කරතාවකට පත්වී සිටිනවා. විශේෂයෙන්ම අපනයන කර්මාන්තවලට දරුණුව බලපානවා.

බලශක්තිය යනු දේශපාලන උපකරණයක්. කිලෝ වොට් 33,000 ට වඩා වැඩි ප්‍රමාණය ජාතික පද්ධතියට අයත් වෙන්නේ. ඊට අඩු ප්‍රමාණ කාටද අයිති. බලශක්තිය ජාතික ආරක්ෂාවට බැඳුණු කාරණයක්. බලශක්ති සුරක්ෂිතතාව ගැන මීට වඩා

ගැඹුරින් සිතා බලා කටයුතු කළ යුතුයි. මේ පනතින් අඩු මිලට විදුලිය දෙන්න පුළුවන් කියන කතාව මිත්‍යාවක්. පෞද්ගලික අංශයට පැවරීම නිසා අධීක වැය බරක් දරලා බිල වැඩි කිරීමට සිදුවේවි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ) :

අඩු මිලට හොඳ ගුණාත්මකභාවයක් ඇති විදුලිය මිලදී ගැනීමේ අයිතිය පාරිභෝගිකයාට තිබිය යුතුයි. ඒ තත්ත්වය ඇති කළ හැකියි. තරගකාරිත්වය අවශ්‍යයි. 2002 වැඩපිළිවෙළට අපේ සහය තිබුණා. අද කරන වැඩපිළිවෙලේ ගැටලු තිබෙනවා. ඒවා කතා කළ යුතුයි. අපි සංශෝධන ගේනවා. ඒවා පිළිගන්නවා නම් අපි සහය දෙනවා. තරගකාරිත්වය ගේන්න නම් නියාමන අධිකාරියට බලයක් තිබිය යුතුයි.

පනතට අනුව අපේ බලශක්තිය විදේශ රටක් සමග ගැටගහනවා නම් කැබිනට් අනුමැතිය අවශ්‍යයි. නමුත් ඊට ශක්තිමත් කොන්දේසි පැනවීමට නියාමන අධිකාරියට බලය තිබිය යුතුයි.

පෞද්ගලික අංශයට පැවරීම ගැන ගැටලුවක් නෑ. එය පූර්ණ විනිවිදභාවයකින් සිදුවිය යුතුයි.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් (ශ්‍රීලපොපෙ) :

මේ රටේ විදුලිබල ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. විදුලිබල ක්‍ෂේත්‍රයේ බරපතළ ප්‍රශ්න තිබෙනවා. ප්‍රශ්න රැසක මණ්ඩලය හිරවෙලා තියෙන්නේ. නමුත් ප්‍රශ්න විසඳන්න පුළුවන් වන්නේ දේශපාලන සන්දර්භීය ක්‍රමයක් තුළ මිස වික්‍රමසිංහ හෝ විජේසේකර මතය අනුව නොවෙයි. ජනතාව ජනාධිපති අගමැති ගෙදර යැව්වා. අනුප්‍රාප්තික ජනපති යටතේ ආණ්ඩුවක් හැදුවා. එය යටතේ ලංකාවේ නීති හදන්න බෑ. මේක අනුප්‍රාප්තික ආණ්ඩුවක්. මහින්ද රාජපක්ෂ ජනපති කිව්වා මේක කරන්න එපා කියලා.

විදුලිබල මණ්ඩලය අලුත්වීම එකක්. නමුත් දැන් වන්නේ දේශපාලනය බුල්ඩෝසර් කිරීමයි. මේකේ අභ්‍යන්තර ප්‍රශ්න ගණනාවක් තියෙනවා. විදුලිබල ඇමැති හැමදාම කංචන නොවෙයි. විදුලිබල පනත සම්මත වෙන්න පුළුවන් යටත් වැසියන් රැසක් ඉන්න තැනක. නමුත් රටේ දේශපාලන වශයෙන් විශාල කුණාටුවක් ලෙස මෙය පත්වේවි. වැරැදි අවස්ථාවක ගේන පනතක්.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක (සජබ) : අද රටේ රාජ්‍ය ආයතන 1200ක් තියෙනවා. මීට අවුරුදු 100ට කලින් රාජ්‍ය ආයතන 10 යි තිබුණේ. රාජ්‍ය ආයතන ගැන සමස්ත ඇගයීමක් කරලා එහි ප්‍රමාණය අඩු කරන්න ඵලදායිතාව වැඩි කරන්න කළ යුතු විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳ කළමනාකරණ විගණනයක් කරන්න තිබුණා.

කෝප් කමිටුවේ උපදෙස් මත විගණන කාර්යාලය මේ ගැන විගණනයක් කර තිබුණා. දැනට බෝඩ් ලෑලි වගේ තියෙන රාජ්‍ය ආයතන වසා දැමීමට ඒවා හඳුනාගත යුතුයි. සමහර ආයතන එකම ක්‍රියාවලියට දෙක තුනක් තියෙනවා. ඒවා එකතු කරලා දාන්න අවශ්‍යයි. තවත් ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නත් තවත් ආයතන පෞද්ගලික ආයතන අතර සම්බන්ධ ඇති කරන්න අවශ්‍යයි. මෙවැනි ක්‍රමවේද අනුගමනය කරන්නේ නැතිව ටෙලිකොම් විකුණනවා, රක්ෂණය විකුණනවා, ගෑස් කොම්පැණිය විකුණනවා, විදුලි බල මණ්ඩලය කොටස් කරනවා. මෙවැනි ක්‍රියාවලින් රාජ්‍ය සේවය ඉදිරියට යන්නේ නෑ. විදුලිබල මණ්ඩලය ක්‍රියාත්මක කරවීමට යහපාලන මූලධර්ම ගණනාවක් හඳුන්වා දුන්නා. කාර්ය සාදන ඇගයීම් කරන්නේ නැතිව රාජ්‍ය ආයතන අර්බුදයට යනවා.

පාර්ලිමේන්තුව අද (7 දා) පෙරවරු 9.30ට යළි රැස්වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment