පළමු ජාත්‍යන්තර තරගාවලියෙන්ම පළමු ස්ථානය

ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ වැරදි පෙන්වා දුන්නාට ජීවිත කාලයටම තරග තහනමක්

ආසියාවේ කායවර්ධන තරගාවලිවලට රොබෝ නර්තන අංගය හඳුන්වා දුන්නේ මම

ප්‍රථම රොබෝ නර්තනය ඉදිරිපත් කළේ 1994 මිස්ටර් ශ්‍රී ලංකා තරගයේදී

අවුරුදු 80 පැනපු මනුස්සයෙක් මං ගාවට ආවොත් ඒ ඇඟත් මගේ ඇඟ වගේම හදනවා

ලෝක වැඩිහිටි දිනය ගෙවී ගොස් ගත වී ඇත්තේ මාසයකුත් දින කිහිපයක් පමණි. වැඩිහිටි දිනය කිව් සැණින් අපට සිහිවෙන්නේ වයස්ගත වැඩිහිටියන් යනු අප නිරන්තරයෙන් රැකබලාගත යුතු, සැලකිය යුතු පිරිසක් ලෙසිනි. අප ඔවුන් දෙස සානුකම්පිතව, අනුකම්පා සහගතව බලන්නෙමු. නමුත් සෑම වැඩිහිටියෙක් දෙසම අනුකම්පාව පෙරදැරි කරගත් සාම්ප්‍රදායික කෝණයෙන් අප බැලිය යුතු නොවන්නේ නිමල් වන්නිආරච්චි වැනි අය සවිමත්ව ඉන් ඔබ්බට නැගී සිටින නිසාය. නිමල් වැන්නවුන් සවිමත්ව නැගී සිටින බව අප ඉහත සඳහන් කළේ පසුගිය 8 වැනිදා පැවැත්වුණු 15 වැනි ලෝක කායවර්ධන හා ශාරීරික ශූරතාවලියේදී වයස අවුරුදු 56ක් වූ නිමල් වන්නිආරච්චි නොහොත් ‘වන්නි’ රිදී පදක්කමක් දිනාගැනීමට සමත් වූ නිසාය. එලෙස ඔහු දිනාගත්තේ වයස අවුරුදු 50 – 60 අතර කි.ග්‍රෑ. 80ට වැඩි බර පන්තියෙන් රිදී පදක්කමකි.

ලෝක කායවර්ධන ශූරතාවලියේදී ශ්‍රී ලංකාව පදක්කමක් දිනාගනු ලැබුවේ ප්‍රථම වතාවටය. ඔහු මෙම ජයග්‍රහණය ලබාගත්තේ රටවල් හැත්තෑවකට අධික ප්‍රමාණයක තරගකරුවන් අතරිනි. ‘වන්නි’ පවසන පරිදි තමන්ට මෙම ශූරතාවලියේ පළමු ස්ථානය ලැබෙන්නට තිබුණ ද අවසානයේදි එය මුදලට විකුණුනා හා සමාන සිදුවීමක් සිදු වී ඇති බව පැවසුවේය. කෙසේ වෙතත් වන්නි යනු මෙරට කායවර්ධන ඉතිහාසයේ නමක් තැබූ ක්‍රීඩකයෙකි. කායවර්ධන කලාවේ අතු ඉති විහිදගත් මහා රූස්ස ගසකි.

වන්නිට ඇත්තේ වසර 38ක් දුර ඈතට විහිදී යන කායවර්ධන ඉතිහාසයකි. ඔහු කායවර්ධනයට යොමු වූයේ 1986 වසරේදීය. කායවර්ධන මධ්‍යස්ථානයක් දැකීම ඉතා දුර්ලභ දසුනක් වූ එම අවදියේ වන්නි, ඔහුගේ කායවර්ධන පුහුණුවීම්වල නිරත වූයේ සිමෙන්තිවලින් සකසාගත් උපකරණවල පිහිටෙනි.

වසර ගණනාවක් එසේ පුහුණුවීම් කර මනාව ශරීරය සකසාගත් ඔහු 1992දී ඔහුගේ මුල්ම කායවර්ධන මධ්‍යස්ථානය ආරම්භ කළේය. ඒ හෝමාගම Lion Arm කායවර්ධන මධ්‍යස්ථානයයි. ඉන් වසර දෙකක් නික්මෙන තැන, එනම් 1994 වසරේදී වන්නි ඔහුගේ පළමු ජාත්‍යන්තර කායවර්ධන තරගාවලියට ඉදිරිපත් විය. ඒ Mr.Hercules තරගාවලියයි. ඔහුගේ පළමු ජාත්‍යන්තර තරගයෙන්ම පළමු ස්ථානය දිනාගැනීමට තරම් වන්නි එදා වාසනාවන්ත විය.

දිගින් දිගටම ජයග්‍රහණ පමණයි

1998 වසරේ මිස්ටර් කොමන්වෙල්ත් තරගාවලියේදි ටොප් සික්ස් කුසලානයක් ඔහු සතු විය. 2000දි මිස්ටර් ඒෂියා තරගාවලියට ඉදිරිපත් වුවද එහිදී ජයග්‍රහණයක් ලබාගැනීමට වන්නි අසමත් විය. කෙසේවෙතත් මෙම තරග දෙකටම වන්නි සහභාගි වූයේ ඔහුගේ පෞද්ගලික මුදලිනි. රට වෙනුවෙන් කොපමණ තරග දිනා දුන්න ද තම ජන්ම භූමියෙන් සත පහක දෙයක් වන්නිලා වැන්නවුන්ට නොලබුණි.

“නමක් හදාගන්න, අත්දැකීමක් ගන්න ඒ දේවල් උදව් වුණා මිසක් මට මේ නිසා ලැබුණු වෙන දෙයක් නෑ. අදටත් ඒකෙ වෙනසක් නෑ.” වන්නි එසේ පැවසුවේය.

එම සමයේදීම ඔහු තවත් ලෝක ශූරතා ජයග්‍රහණයක් ලබාගත්තේය. වයස් සීමාවක් නොමැති වූ නමුත් එම කායවර්ධන තරගාවලියට තරුණයන් හැරෙන්නට වයස්ගත කායවර්ධන ශිල්පීන් සහභාගි නොවුණි. ඒ, තරුණ කායවර්ධන ශිල්පීන් සමග තරග කරන්නට ඇති වූ චකිතය නිසාය. නමුත් වන්නිට එසේ බියක් හෝ චකිතයන් දැනුණේ නැත. ඔහුට ඔහුගේ මාංශපේෂීන් පිළිබඳ මනා විශ්වාසයක් තිබුණි. මුහුණට 56ක වයසක් පෙනුණද ඔහුගේ ශරීරයෙන් වයසක් නොපෙනුණි. වන්නි තරුණ ගැටවරයින් සමග තරගයට ඉදිරිපත් විය. ඒ කි.ග්‍රෑ. 85 බර පන්තියෙනි. අවසානයේ ඔහු ලෝකෙන්ම හතරවෙනි ස්ථානය දිනාගත්තේය.

කායවර්ධන තරග ඉසව්වලදී ආසියාවට රොබෝ නර්තන අංගය හඳුන්වා දුන්නේ වන්නිය. 1994දි මිස්ටර් ශ්‍රී ලංකා තරගයේදි ඔහු තම ප්‍රථම රොබෝ නර්තනය ඉදිරිපත් කළේය. ඊට පෙර මෙවැනි අංගයක් කිසිදාක කායවර්ධන තරගාවලියකදී දැක නොතිබුණු සියල්ලෝම මේ යෝධ මිනිස් රොබෝවරයාගේ අමුතුම ආකාරයේ නර්තන අංගය දැක විශ්මයට පත්විය.

“මිනිස්සු ඒ කාලෙ බොඩිබිල්ඩින් කියන දේ ගණන් ගත්තෙ නෑ. නමුත් මම ඒක ගණන් ගන්න තත්ත්වෙට පත් කළා. පිටරටක මස්ල් ෂෝ එකක් කරපු පළමු පුද්ගලයා මම. ඒ ඩුබායිවල.” ආඩම්බරයෙන් ඔහු එසේ පවසයි.

කායවර්ධනය ආරම්භ කිරීමට පෙර වන්නි යනු දක්ෂ බ්‍රේක් ඩාන්ස් ශිල්පියෙකි. ජයසම්පන්න කරාතේ ශූරයෙකි. ජිම්නාස්ටික් ශිල්පියෙකි.

1982 – 1989 වනතෙක් වන්නි, හොඳම බ්‍රේක් ඩාන්ස් ශිල්පියා ලෙස යෞවන සම්මාන දිනාගත්තේය. ඔහු පවසන පරිදි කායවර්ධන කලාවෙන් මෙතෙක් දුර පැමිණෙන්නට හේතුව එක් අංශයකට කොටු නොවී සිටීමය.

“ජිම්නාස්ටික්, නර්තනය කරන ඕනම කෙනෙක්ගේ නම්‍යශීලී බව වැඩි වෙනවා. කරාතේ කරන ඕනම කෙනෙක්ගේ ජවය වැඩි වෙනවා. මේ සේරගෙම එකතුවෙනුයි මම කායවර්ධනය පුහුණු කළේ. මං වගේ මේ හැමදේම කරපු කායවර්ධන ශිල්පියෙක් ඉන්නව නම් මාව හොයාගෙන එන්න. මං අභියෝග කරනවා ලංකාවෙ නොවේ ලෝකෙත් නෑ එහෙම කෙනෙක්.”

ජීවිතාන්තය දක්වා තරග තහනමක්…

නිමල් වන්නිආරච්චි යනු 1994 සිට 2003 දක්වාම එක පිට එක ලංකාවට කායවර්ධන අංශයෙන් ජයග්‍රහණ ලබාදුන් ක්‍රීඩකයෙකි.

වසර ගණනාවක් පුරා දිගින් දිගටම තරගාවලි ජයග්‍රහණ ලබාගත් වන්නිගේ ක්‍රීඩා දිවියට කණකොකා හැඬුවේ 2003 වසරේදීය. ඔහු ජීවිත කාලය පුරාවටම කායවර්ධන තරග තහනමකට ලක්විය. ශ්‍රී ලංකා කායවර්ධන සංගමය ඔහුව දොට්ට දැම්මෝය. ඒ පිළිබඳව වන්නි ඔහුගේම වචනවලින් පවසන්නේ මෙවැනි දෙයකි.

“2003න් පස්සෙ මට තරග කරන්න ලැබුණේ නෑ. මම පුවත්පත් සාකච්ඡාවකදී ලංකා කායවර්ධන සංගමයේ වැරදි හෙළි කළා කියලා ඒ කාලෙ හිටපු සභාපති ඇතුළු පිරිස මට කායවර්ධනයේ යෙදීම ජීවිතාන්තය දක්වාම තහනම් කළා. එහෙම ජීවිතාන්තය දක්වාම කායවර්ධනය තහනම් වුණ ලංකාවේ එකම ක්‍රීඩකයා මම. මේ සිදුවීමත් එක්ක මට ලොකු කලකිරීමක් ඇති වුණ මේ රට ගැන. අවුරුදු තුනක් මං මගේ තහනම ඉවත් කරගන්න සටන් කළා. නමුත් කිසිම කෙනෙක් මට උදව් කළේ නෑ.”

වසර තුනක් තහනම ඉවත් කරගන්නට දැඩි සටනක නිරත වුවද ඉන් පලක් නැති වග වන්නිට තේරුම් ගියේය. සත්‍ය හෙළි කිරීම වෙනුවෙන් දිගින් දිගටම ශ්‍රී ලංකාව වෙනුවෙන් කප් ගැසූ වන්නිට අවසානයේ ලැබුණු ත්‍යාගය සදාකාලිකවම කායවර්ධන තරගාවලි තහනම් වීමය. මෙවන් වාතාවරණයක් තුළ තවදුරටත් මෙරට රැඳී සිටීම පල රහිත බව වැටහුණු ඔහු රැකියාවක් සඳහා ඩුබායි රටට ගියේය. එහිදී ඔහුව දැක ඔහුගේ අතීතය ගැන සොයා බැලූ ඩුබායිහි ප්‍රභූවරයකු ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස වන්නිව බඳවා ගත්තේය. විටින්විට රාත්‍රී සමාජශාලාවල ආරක්ෂක නිලධාරියකු ලෙසද සේවය කරන්නට ඉඩ ලැබුණි. ඒ වනවිට සමාජ මාධ්‍යය ලොව පුරා පැතිර ගත් කාලවකවානුවකි. වන්නිව දන්නා හඳුනන පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලා සිටියේ නැවතත් ලංකාවට පැමිණ කායවර්ධනය පැත්තෙන් යම් දෙයක් ලංකාව තුළ සිදු කරන ලෙසටය. එම ලෙංගතු ආරාධනා අහක දැමීමට වන්නිට සිත් නොදුණි. අවසානයේ වසර12ක කාලයක් ඩුබායි රාජ්‍යයේ සේවය කළ වන්නි 2016දී ආපසු ලංකාවට පැමිණියේ නැවුම් බලාපොරොත්තු ගොන්නක් සිතේ දරාගෙනය.

වසර 15කට පසු නැවතත් සුපුරුදු රිද්මයට…

වන්නි නැවතත් ලංකාවට පැමිණෙනවිට ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ නිලධාරීන් සියල්ල වෙනස් වී තිබුණි. වසර 15කට පසු වන්නිගේ තරග තහනම ඉවත් කරන්නට නව නිලධාරී මඩුල්ල කටයුතු කළහ.

“විශ්වාස කරන්න අවුරුදු පහළවකට කලින් ලංකාවෙන් යද්දි තිබුණ ශරීරය එක්කමයි මම ආපහු ලංකාවට ආවෙ. ඒ ශරීරය ඒ විදිහටම මම නඩත්තු කළා.” වන්නි පැවසුවේ තමන්ගේ ශරීරය පිළිබඳ ස්ව ආඩම්බරයකිනි. වසර පහළවකට පසුව ඔහු ලංකාවට පැමිණ නැවතත් පැරණි පුරුදු දෙයටම අතගැසුවේය. 2019දී මිස්ටර් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වූ වන්නි එම තරගාවලියෙන් දෙවැනි ස්ථානය ලබාගැනීමට සමත් විය.

“මං හිතනවා මාව තහනම් කරපු එකත් හොඳයි කියලා. මොකද තහනම නිසා මට ඩුබායි ගිහින් රස්සාවක් කරන්න සිද්ධ වුණා. කීයක්හරි හම්බ කරගත්තා. මට ඒ සල්ලිවලින් කායවර්ධනය පවත්වගෙන යන්න පුළුවන් වුණා. ලද දේ බොහොම සතුටින් මං බාරගත්තා. එදා ඉඳන් අද වෙනකල් මම කායවර්ධන තරග බිමේ ඉන්නවා.” ඔහු පවසන්නේ එවැන්නකි.

2022 දී වන්නි ලෝක වාර්තාවක් පිහිටෙව්වේ මිස්ටර් ශ්‍රී ලංකා අවු. 45 – 50 තරගයෙනි. ඒ වනවිට ඔහුගෙ වයස 53කි. වන්නි තරග වැදුණේ ඔහුට වඩා තරුණ පිරිසක් සමගය. නමුත් එම තරගයෙන් වන්නිට පළමු ස්ථානය ලැබුණි. මෙතෙක් ඉතිහාසයේ මිස්ටර් ශ්‍රී ලංකා තරගයක තරුණයින් සමග තරග කළ සහ ජයග්‍රහණය කළ අදාළ වයස් කාණ්ඩයට වඩා වැඩි කෙනෙකු සිට නැත.

අනුග්‍රාහකයකු නොමැතිව ලෝක කායවර්ධන ශූරතාවලියට

වන්නි වර්තමානයේ පදිංචිය කුලියාපිටිය, මීගහකොටුවේය. Golden Power Gym නමැති කායවර්ධන මධ්‍යස්ථානයක් ඔහු සතුය. ඔහුගේ තරගවලට සහභාගී වන්නේ එම කායවර්ධන මධ්‍යස්ථානයෙන් උපයාගන්නා මුදලිනි. ආණ්ඩුවේ ආධාර හෝ අනුග්‍රාහකයකු ඔහුට නොමැත. නමුත් ඔහුගෙන් කායවර්ධනය ඉගෙනගත් ශිෂ්‍යයන් දෙදෙනෙක් මෙවර වන්නිට තරගය වෙනුවෙන් සහභාගි වීමට උදව් උපකාර කර තිබුණි. තරගයට සහභාගි වීමට මත්තෙන් වන්නි ඔහුගේ වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදාහැරියේය. ඔහු එහි පැවසුවේ වසර 38ක් වන ඔහුගේ කායවර්ධන දිවියේ මෙය අවසන් තරගය විය හැකි බවය. එම නිසා එය ජාත්‍යන්තර තරගාවලි ජයග්‍රහණයකින්ම නිම කරන්නට ඔහුට අවශ්‍ය වී තිබුණි. එම වීඩියෝපටයට ප්‍රතිචාර වශයෙන් ඔහුගේ ශිෂ්‍යයෙක් ලක්ෂ හතරක් ආධාර කළේය. ඒ ලක්ෂ දෙකක් ඔහුගෙන් සහ ඉතිරි ලක්ෂ දෙක හිතමිතුරන්ගෙන් එකතු කරගනිමිනි. ඩුබායි සිටිනා තවත් ගෝලයකු වන්නිට ටිකට්පත් ලබාගැනීමට උපකාර කළේය. ඔහු වන්නි වෙනුවෙන් ෆේස්බුක් පිටුවක්ද සකසා ඩුබායිහි සිටිනා ලංකාවෙ පිරිසෙන් මුදල් එකතු කර වන්නිට දුන්නේය. නමුත් තරගයට ලක්ෂ 12කට වැඩියෙන් වියදම් විය.

දැන් වන්නි බලා සිටින්නේ රට වෙනුවෙන් වසර 38ක් පුරා ජයග්‍රහණ ගෙන දුන් ඔහු වෙනුවෙන් අපේ රට කිරීමට බලාපොරොත්තු වන දේ දිහාය.

“මාව තරග තහනමකට ලක් නොවුණ නම් මම ලෝක ශූරයා වෙන්නෙ මීට අවුරුදු ගාණකට කලින්. තහනමකට ලක් නොවුණා කියලා හිතමුකො. ඒත් අපි අපේ මුදලින් තමයි තරගවලට සහභාගි වෙන්න ඕන. කන්න බොන්න ඕන. රටවල්වලට යන්න ඕන. දිනන්න ඕන. ලංකාවට කුසලාන ගෙනත් දෙන්න ඕන. ඒක තමයි මේ රටේ සිස්ටම් එක. මම මහලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. මේ ක්‍රීඩාවට තිබුණ කැපවීම නිසාම මට පළමු විවාහය අහිමි වෙනවා. හෙට අනිද්දා වෙද්දි ණය දුන්න මිනිස්සු එයි ගේ ගාවට ණය ඉල්ලගෙන.”

කොපමණ කටුක අත්දැකීම් ඔස්සේ මේ ගමන ආවද ලංකාවේ කායවර්ධනයට තිබෙනා තැන පිළිබඳව වන්නි තෘප්තිමත්ය. නමුත් ඉන් වෙලා ඇති හානිය ලෙස ඔහු පෙන්වා දෙන්නේ වර්තමානයේ කිලෝමීටරෙන් කිලෝමීටරේට තිබෙනා කායවර්ධන මධ්‍යස්ථානයන්ය. කායවර්ධනය යනු නිසි පුහුණුවකින් කළ යුතු දෙයක් බවත් ඒ පිළිබඳව කිසිම දෙයක් නොදන්නා පිරිස් වැඩිවශයෙන් කායවර්ධන පුහුණුකිරීම සිදුකරන බව ඔහුගේ අදහසයි.

කායවර්ධනය යනු මාංශපේෂීන් සමග මනස එක්කාසු කරගැනීමකි. ඒ එකතු කිරීම කරන්නට නම් එහි ගැඹුරටම යා යුතුය. ගැඹුරටම යෑමට නම් මෙය භාවනාවක් විය යුතුය. ශරීරයේ සෑම අංශයකටම මොළයෙන් යෑමට හැකි විය යුතුය. ඒ දේ වන්නි ප්‍රගුණ කළේය. එනිසා අවුරුදු 56ක වැඩිමහලු පිරිමියකු වුවද වන්නි තරුණයකුගේ ශරීරයක් ලෙසට මාංශපේෂීන් සකසාගෙන ඇත.

“අවුරුදු 80 පැනපු මනුස්සයෙක් මං ගාවට ආවත් මං ඒ ඇඟත් මගේ ඇඟ වගේම හදනවා. තරුණ ජවය තියෙන ඕනම කෙනෙක්ගෙ ඇඟක් මං මාස තුනෙන් හදනවා. මම අනිත් අය වගේ මාස්ටර්, කෝච් කියන නම් ගහගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි. දන්න අය දන්නවා මං වැඩකාරයෙක්ද නැද්ද කියන දේ. නිකන් බොරුවට සමාජයේ ඉලිප්පෙන්න අවශ්‍යතාවයක් මට නෑ. මං දුප්පත් මිනිහෙක්. තියෙන විදිහකට කාලා ඇඳලා ජීවත් වෙන්න පුළුවන් තාක් ජීවත් වෙලා, මං මගේ ක්‍රීඩාවයි නමයි එක්ක මැරිලා යයි. නමුත් සමාජයට යළිත් අවස්ථාවක් ලැබිලා තියෙනවා මගෙන් වැඩක් ගන්න.” වන්නි මේ කතාබහ අවසානයේ පැවසූයේ එවැන්නකි.

‘වන්නි’ යනු නිකරුණේ පොළවට පස් විය යුතු චරිතයක් නොව, ඔහු තනාගත් නම, ක්‍රීඩාව සමග වළ දැමිය යුතු නැත. අවුරුදු 56ක් වැනි වයසකදීත් කායවර්ධනයෙන් උපරිම දස්කම් පෙන්වන ඔහු වෙනුවෙන් මින් ඉදිරියටවත් රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයැයි අප සිතන්නෙමු.

එරංදි කෞශල්‍යා මද්දුම


advertistmentadvertistment