ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමේ දිනය මෙම 15 වැනිදාට යෙදී තිබේ. මේ වනවිට ඒ සඳහා පිළිගත් දේශපාලන පක්ෂවලින් මෙන්ම ස්වාධීන අපේක්ෂකයන් ලෙස ද 28 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. තවත් කී දෙනෙක් ඒ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමට සූදානම්ව සිටිත් දැයි නිශ්චිතව කිව නොහැක. එහෙත් ලක්ෂ 220කට අධික ජනතාවගේත් ඔවුන්ගේ අනාගත ඉරණමේ භාරකාරත්වය සඳහාත් තරග වදින සංඛ්‍යාව සුළුපටු නැත. මෙය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්, මානව හිමිකමක් ලෙස තර්ක කරන අයත්, ඒ අයිතිය වෙනුවෙන් පෙනී සිටින අයත් සමග අපට දබරයක් නැත. එහෙත් රාජ්‍ය නායකත්වය භාර ගැනීමේ අභිලාෂයෙන් මහජන වරමක් ඉල්ලා සිටින ඒ අයගේ මැදිහත්වීම් සමාජ, දේශපාලන භාවිතයන් සම්බන්ධයෙන් මෙරටේ ප්‍රබුද්ධ පුරවැසියන් තුළ විවිධ විචිකිච්ඡා පමණක් නොව විවේචන හා චෝදනා පවා තිබෙන බව පෙනේ. අපට ඒවා මෙහි සඳහන් කිරීමට අවශ්‍ය නැත. එහෙත් ඒ බොහෝ කරුණු කාරණාවලින් තහවුරු වන එක් දෙයක් ඇත. එනම් මෙරටේ රාජ්‍ය නායකත්වය හෙවත් විධායක ජනාධිපති ධුරය යනු විගඩම්කාරයන්ට විහිළුක් නොවිය යුතු බවය.
තමන් ජීවත්වන රාජ්‍යය තුළ ක්‍රියාත්මක වී තිබෙන දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීමට සෑම පුරවැසියකුටම අයිතියක් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඡන්ද බලය සහිත පුද්ගලයා සතු අයිතිවාසිකම් ද පැහැදිලිව දක්වා තිබේ. ඒ අනුව ජනාධිපතිවරණය සම්බන්ධ නීත්‍යනුකූල විධිවිධානවලට යටත්ව ඒ සඳහා තරග කිරීමට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අපට ප්‍රතික්ෂේප කළ නොහැක. එහෙත් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය යනු වැඩි වශයෙන් කපටියන්ගේ ද විහිළුකාරයන්ගේ ද අප්‍රමාණ ක්‍රියාකාරකම් නිසා විගඩමක් බවට පත්ව තිබෙන්නකි. කුමක් වුවත් මෙරටේ සමස්ත ජනතාවගේ නායකත්වය, ඉරණමේ භාරකාරත්වය තාවකාලික වශයෙන් හෝ ලබාගැනීම සරල දෙයක් නොවන බව අප පෙන්වා දිය යුතුය. එපමණක් නොව ජනාධිපතිවරණ පැවැත්වීම සඳහා වැය කෙරෙන ජනතාවගේ මුදල් නිකරුණේ කාබාසිනියා කිරීම අපරාධයක් බව ද සිහිපත් කිරීම වටී. මැතිවරණ කොමිසමට අනුව ජනාධිපතිවරණ අපේක්ෂකයකු සඳහා මිලියන 20ක පමණ මුදලක් වැය කෙරෙනු ඇත. තම ඇප මුදල පවා රාජසන්තක වන බව දැන දැනත් මේ ජනාධිපතිවරණ සටනට එන අය විසින් කරනු ලබන්නේ සහගහන අපරාධයක් විය නොහැකි ද?
ජනාධිපතිවරණය ඇතුළු බොහෝ මැතිවරණ නීති සංශෝධනය සඳහා මෙරටේ පාලකයන් දක්වන මැළිකම, පසුබැසීම කෙබඳු දැයි ජනතාව ද දනී. වැසි කාලයට ගෙවල් හැදීමට මතක් වන වඳුරන් මෙන් අපේ රට කරවන ඇත්තන් විසින් ද ව්‍යවස්ථා සංශෝධන, මැතිවරණ අණ පනත් ආදිය සඳහා උනන්දු වන්නේ ඒ මැතිවරණ ප්‍රකාශයට දින වකවානු ළං වෙද්දීය. මේ ආණ්ඩුව මේ වනවිට පනත් 90 ක් පමණ සම්මත කර තිබේ. ඒ ඉකුත් වසර දෙක තුළය. ජනාධිපතිවරණයට පෙර පැවැත්විය යුතුව තිබුණු පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ දෙකම පැවැත්වීමට පියවර නොගත් මේ ආණ්ඩුව ජනාධිපතිවරණයත් කල්දමා ගැනීම සඳහා කූට ප්‍රයෝග සිදුකළ බව ද කව්රුත් දනිති. ජනාධිපතිවරණය සමගම ජනමත විචාරණයක් පැවැත්වෙනු ඇති බවට ද කතාබහක් විය. කුමක් හෝ නිසා ඒවා යටපත් වී ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා නීතිමය කටයුතු සිදුවිය. මැතිවරණ කොමිසමත් – ජනතාවත් ඒ ඒ ආණ්ඩුවල දේශපාලන න්‍යාය පත්‍ර විසින් මෙහෙයවනු ලබන රටක, ප්‍රජාතන්ත්‍රවාදයත් මානව හිමිකම් ඇතුළු සදාචාර මූලධර්ම පිළිබඳවත් කතා කිරීම පවා නිෂ්ඵලය.
1948 න් ඇරඹෙන ලංකාවේ දේශපාලන කථාවේ නූතන පරිච්ඡේදය කෙබඳු විගඩමක් දැයි ඒ ඉතිහාසය දන්නා අය මෙන්ම නොදන්නා අයට ද රහසක් විය නොහැක. ආසන්න වශයෙන් ගෙවී ගිය දශක දෙක තුනක කාලය තුළ ඒ දේශපාලනය දුගඳ පිරි නිරයක් ලෙස ජනතාවට දැනුණත්, ඒ දේශපාලනය නඩත්තු කරන අයට එය කප්රුකක් බවට පත්වූ බව ද අපි දනිමු. ස්වදේශීය ප්‍රභූ පන්තිය අතට පත්වූ දේශපාලන බලය වෙනුවෙන් වසල වෙළෙඳ පන්තියත්, මුග්ධ ලුම්පත් පිරිසකුත් පෙනී සිටීම නිසා අද අප ඉදිරියෙහි ඇත්තේ ගර්හිත, දූෂිත හා අධම දේශපාලන සංස්කෘතියකි. විශේෂයෙන් 1978 න් පසු සමාජගත වූ දේශපාලනය විසින් මේ රටට කරන ලද විනාශය වළක්වා ගැනීමට මෙතෙක් ජනාධිපතිකම් කළ කිසිවකුට හෝ පාර්ලිමේන්තුවට තේරී පත්වූ කිසිදු පක්ෂයකට, සන්ධානයකට නොහැකි වූ බව ද කව්රුත් දනිති. මෙතෙක් බලය අභ්‍යාස කළ එ.ජා.පය, ශ්‍රී.ල.නි.පය හෝ ඒවා මුල්වී ගොඩනැඟුණු සන්ධාන සියල්ල අද මතකයන් පමණි. මෙරටේ දේශපාලනයේ සමාරම්භය සනිටුහන් කළ එජාපය මෙන්ම, ඉනික්බිතිව සිදුවූ සමාජ-දේශපාලන හා සංස්කෘතික විප්ලවයට (1956) නායකත්වය දුන් ශ්‍රීලනිපය ද අද සුනු විසුනු වී ගොස් තිබෙන ආකාරය කව්රුත් දනිති. අද එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහට තම පක්ෂයත් එහි ඓතිහාසික අලියා ලකුණත් දෙකම අත්හැර ස්වාධීනව මෙම ජනාධිපතිවරණයට තරග කිරීමට සිදුව තිබේ. ශ්‍රී.ල.නි.ප. මූලස්ථානයේ යතුර සාක්කුවේ දමාගෙන ඒ පක්ෂය ස්වභාවික මරණයක් කරා ගෙනගිය චන්ද්‍රිකා අනුග්‍රහය ලබාදෙන නිමල් සිරිපාල කල්ලියත් අද ජනාධිපති රනිල්ට සහාය දක්වති. එජාපයෙන් ඉවත්වී ගිය පිරිසක් ස.ජ.බ. ලෙස දේශපාලන ගමනක නිරතව සිටිති. එහි නායකයා එජාපයේ ප්‍රබලයකු වූ ප්‍රේමදාසගේ පුත් සජිත්ය. ශ්‍රීලනිපයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ලෙස මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් වෙනම දේශපාලනයක නිරතව සිටියි. එහෙත් ඒ පොහොට්ටුවේ ප්‍රබල නායකයෝ පිරිසක් මේ වනවිට ජනාධිපති රනිල්ට සහාය දැක්වීමට ක්‍රියා කරමින් සිටිති. ඒ අතරම පොහොට්ටුවෙන් ඉවත් වූ අයගේ මූලිකත්වයෙන් වෙනම සන්ධානයක් ගොඩනඟන බව පොහොට්ටුවේ ප්‍රබලයකුව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.
ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් තිබෙන පොදු විවේචනයක් වන්නේ එය පොදුජන සේවය සඳහා කැපවූ සද් ව්‍යාපාරයක් නොව ලාභ, ප්‍රතිලාභ වරප්‍රසාද සඳහා වූ දූෂිත මෙහෙයුමක් බවය. පවුල්වාදය, ඥාති සංග්‍රහය මත පදනම් වූ අතිශය කිලිටි, අපවිත්‍ර හා දූෂිත ක්‍රියාන්විතයක් වී තිබෙන බවය. එනිසාම අද සුලභව සිදුවන පක්ෂ මාරුවත්, නායක වන්දනාවත් විටෙක විගඩමක් ලෙස ද තවත් විටෙක ශෝකාන්තයක් ලෙස ද අපට දැකගත හැකිය. සමාජයක යහපැවැත්මට අදාළ නීති රීති තිබේ. රාජ්‍ය ආයතනවලට ද එබඳුම නීති පද්ධතියක් ඇත. ඒ හැරුණු විට ගම්වල මරණාධාර සමිති ඇතුළු ඉතා කුඩා ජනතා සංවිධානවලටත් නීති රීති, සම්මුති, චර්යාධර්ම ඇත. එහෙත් මේ කිසිවක් අදාළ නොවන විශාල ලෙස ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක මට්ටමට අද දේශපාලනය පිරිහී තිබේ. එහි රජයන්නේ දූෂණය, වංචාව හා බල තෘෂ්ණාව ආදී දුෂ්ට පිළිවෙත් පමණි.
කිසියම් දේශපාලන පක්ෂයකින් මැතිවරණයකට ඉදිරිපත් වී ජනතාවගේ ඡන්දය ලබාගන්නා අයෙක්, ඒ ජනමතය තඹයකට මායිම් නොකර වෙනත් පක්ෂයකට එකතුවීම චර්යාත්මකව ද වරදකි. පක්ෂවල විනයට ද පටහැනිය. පක්ෂයක ප්‍රතිපත්තිමය එකඟතාවක් නොමැතිව එලෙස පිල්මාරු කිරීම සම්බන්ධයෙන් ඇසෙන කතාවල බරපතළ චෝදනාත් දැකගත හැකිය. අද අපට ඒ පිල්මාරුවීම් පිළිබඳවත් පක්ෂවලට පිටුපෑම් සම්බන්ධයෙනුත් වෙනම පොතක් ලිවීමට තරම් කරුණු ද තිබේ. ප්‍රාදේශීය දේශපාලනයේ සිට දියවන්නාව තෙක් ගමන් කරන දේශපාලනය, පොදුජන අරමුණුවලට හෝ රටේ යහපතට දක්වන උනන්දුවට වඩා තමන්ගේත් තම පවුල්වලත් දියුණුව සඳහා කැපවන අලජ්ජී ක්‍රමවේදයක් බවට අද පත්ව තිබේ.
දේශපාලන පිල්මාරුව සම්බන්ධයෙන් කප්ගැසූ චරිත ද සුලභව දැකගත හැකිය. මේ පිල්මාරුව නිසා පක්ෂවල නායකයෝ ද විවිධ දුෂ්කරතාවලට මැදිවෙති. ජ.වි.පෙ. අනුර කුමාර පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණේ මේ සඳහා වුවමනා නීති ඇතුළත් කිරීමට ඇතැම් දේශපාලන නායකයන්ම විරුද්ධ වූ බවය. එහි තේරුම පක්ෂ විනය මෙන්ම දේශපාලන සදාචාරය ද බල්ලට ගියත් ප්‍රශ්නයක් නැති බවය !
මුල් යුගවල කලාතුරකින් සිදුවූ පක්ෂ මාරුව මේ තරම් සරල ක්‍රියාවක් බවට පත්වූයේ ද මේ දූෂිත දේශපාලන සංස්කෘතිය තුළය. ජාජබයේ අනුරට අනුව වටඅඩි ප්‍රමාණයට ගස් විකිණෙන්නාක් මෙන් අද දේශපාලනඥයන් සඳහා ද මිලක් තිබේ. මෙරටේ ප්‍රථම ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ මන්ත්‍රී කණ්ඩායමෙන් දින රහිත ඉල්ලා අස්වීම් ලිපි ලබාගෙන තිබුණේ ද මේ පැනිලිකාරයන් නිසාය. ප්‍රතිපත්තිමය කරුණු මත පක්ෂයක් මාරු කිරීමට බාධාවක් නැති බවට විවාදයක් නැත. එහෙත් පක්ෂයක එකඟතාවකින් තොරව සිදු කෙරෙන එබඳු ක්‍රියා නීතිවිරෝධී බව දින කීපයකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ද තහවුරු කළේය. ඒ සජබයේ සිටි හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාරගේ පක්ෂ මාරුව සම්බන්ධයෙනි. මෙයට පෙර සජබයේම ජාතික ලැයිස්තුව අනුව පත්ව රාජ්‍ය ඇමතිකමක් පවා ලබාගත් ඩයනා ගමගේට ද පක්ෂ මාරුව නිසා ගෙදර යෑමට සිදුවිය. ඇය සජබයේ සිටියේ නම් ඇයට එරෙහිව එබඳු දෙයක් සිදු නොවීමට වුව ද ඉඩ තිබුණි. ඇය චෝදනා ලැබුවේ වෙනත් වරදකටය.
කෙසේ හෝ අද පොදුජන පෙරමුණ සමග සිටි මන්ත්‍රීවරු බහුතරයක් පක්ෂයේ තීන්දුවට පටහැනිව, ජනාධිපති රනිල්ට සහාය දැක්වීමට ගොස් සිටිති. නායක මහින්ද සමග සමීපව සිටි සමහරුන් පවසන්නේ එම පක්ෂයේ බලය ද අල්ලා ගන්නා බවකි. අනුරාධපුර ප්‍රබලයකුගෙන් ඇසුණු ඒ ගර්ජනයට පක්ෂයේම වෙනත් අයෙක් පිළිතුරක් ද දී ඇත. එහෙත් එබඳු ප්‍රතිචාරයක් තුළ ගැබ්වෙන්නේ මහින්ද වැනි නායකයකු වුව ද නොතකා අහංකාර වහසි බස් දෙඩීමක් නොවේ ද? එසේම පොහොට්ටුවෙන් ඉවත් වුව ද මහින්දට ගරු කරන පිරිසක් ද එහි සිටිති. හෙට අනිද්දා ජනාධිපතිවරණ සටන උණුසුම් වනවිට පොහොට්ටුවේ රාජපක්ෂ කඳවුරට කෙබඳු ප්‍රහාර එල්ල විය හැකි ද? ප්‍රතිපත්තිමය විවේචනවලට වඩා දේශපාලන කුණු කඳු ඇවිස්සීමට මෙබඳු චරිත පසුබට නොවන බව ද නිසැකය.
එදා ජනාධිපති රනිල්ට නිර්දය විවේචන එල්ල කළ අයත් නර්මාලාප බෙණෙමින් අවමන් කළ අයත් අද ඔහුගේ ගුණ ගයති. බංග්ලාදේශයෙහි අර්බුදය මතක් කරමින් එරටේ රනිල් වැනි දේශපාලන පෞරුෂයක් නොවීම ගැන නහයෙන් අඬන අය ද අද මෙරටේ වෙති. ඇත්තටම ඔවුන්ගේ එබඳු වර්ණනාවලින් අප තේරුම් ගත යුත්තේ කුමක් ද? දේශපාලනයේ සදාකාලික සතුරෝ හෝ මිතුරෝ නොවෙතියි ස්වාර්ථය සඳහා උපුටා දක්වන මේ වර්ගයේ අයට වඩාත් ගැළපෙන්නේ, ගොරකා දඩමස් කිරීමටත් දඩමස් ගොරකා කිරීමටත් හැකි වැදි න්‍යාය නොවේද? පොහොට්ටුවෙන් රනිල් පිලට පනින අය මෙන්ම එහි සිට සජබයටත්, සජබයෙන් යළි රනිල් වෙතටත් පනින පැනීම් ද දැකගත හැකි ය. මේ පිනුම්අප්පුලාගේ කියුම් ද ඒ චරිතවල දේශපාලන නග්නත්වයත්, මුග්ධ විලාසයත් විදහා දැක්වීමක් නොවේද? එළැඹෙන ජනාධිපතිවරණයේ දේශපාලනඥයන්ගේ බලය විදහා දැක්වීමට හිටි පිනුම්, බඩ පිනුම්, හා සර්කස් දක්වන අය සුලබ වුවත්, ජනතාවගේ මනාපය හා විශ්වාසය දිනා ගැනීමට ඒවා කෙතරම් දුරකට ඉවහල් වනු ඇද්ද යන්න නම් අපට ප්‍රශ්නයකි. එසේම පක්ෂවල ප්‍රචාරක රැස්වීම් ජනතාවගෙන් පුරවා දේශපාලන රැලි මවා පෙන්වීම ද බුද්ධිමත් ක්‍රියාවක් ලෙස දැක්විය නොහැක. ඒ වර්ගයේ දේශපාලන පපඩම් නාටක ජනතාවට ද හුරුපුරුදුය.
මේ අනුව එළැඹෙන ජනාධිපතිවරණය දෙස මෙරටේ ප්‍රබුද්ධ ජනතාව නම් බලා සිටින්නේ සමාජ, ආර්ථික හා දේශපාලන පරිවර්තනයක් සමග අලුත් වෙනසක් රටට ලබා දිය හැකි සාධනීය වැඩපිළිවෙළ ඉදිරිපත් වන්නේ කාගෙන් ද යන කුතුහලයෙනි. දේශපාලන ප්‍රභූ තන්ත්‍රය සුරැකීමට හෝ කුමාරවරුන්ට ඔටුනු පැලඳවීමට හෝ ඔවුන්ට වුවමනා නැත. අද ජනතාවට පක්ෂ ක්‍රමය ද එපා වී ඇතැයි ජනාධිපති රනිල්ම කියනු ඇසෙයි. එහෙත් දේශපාලන පක්ෂ, අවස්ථාවාදීන්ගේ හා වහලුන්ගේ ලැගුම් තිප්පළවල් බවට පත්වීම නිසා, ඒ පක්ෂ ක්‍රමය ජනතාවට තිත්ත වී ඇති බව සැබෑවකි. අපට හැඟෙන ආකාරයට දේශපාලන පක්ෂයක් යනු මූලික වශයෙන් සමාජ, ආර්ථික ඕනෑකම් අනුව මිනිසුන් විසින් ඇති කරගනු ලබන සංවිධානයකි. එයට පන්ති භේදය මෙන්ම ජාති, ආගම්, කුල වැනි දේවල් ද පටලවා ගන්නා අය ද සිටිති. එනිසා පක්ෂයකින් පන්ති භේදයත්, අන් සියලු භේදත් නැති සූරාකෑමෙන් තොර යහපත් දේශයක්, සමාන පුරවැසි අයිතීන් තහවුරු කෙරෙන, නීතිය හා සාධාරණය රජයන සමාජයකුත් ලබාදීම අපේක්ෂා කෙරේ.
අද මෙරටේ තිබෙන පක්ෂ ක්‍රමය සියලු සදාචාර ලෝකයම හිනස්වන රටේ උගත්, බුද්ධිමත්, වැදගත් වැසියන් ලැජ්ජාවට පත් කරන විගඩමක් බවට පත් කළ සියල්ලෝම මේ සමාජ ආර්ථික දේශපාලන විනාශයට වගකිව යුතු වෙති. ඡන්දදායකයාව නිරවුල් මනසකින් ඡන්දපළට යැවීමට මැතිවරණ කොමිසමට කොතරම් ඕනෑකම තිබුණත්, බැරි බව ද කිව යුතුමය. මැතිවරණයක් කටේ තිබෙන මොහොතක සංවර්ධන වැඩ ගැන ඇතිවන උනන්දුව ඡන්ද කුලප්පුවක් ලෙස හඳුන්වන කතාවේද ඇත්තක් තිබේ. අද බැලූබැල්මට පෙනෙන දෙයක් වන්නේ දේශපාලන අමනයන් විසින් ලංකාවම අගාධයකට තල්ලු කර දමන ලද ආකාරයයි. බහුතර ජනජීවිතය දුක් වේදනාවන්ගෙන් හෙම්බත්ව තිබේ. මේ දුකින් මිදෙන මාර්ගය සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් සමග බැඳී තිබෙන බව පමණක් අපි අවධාරණය කරන්නෙමු.
ගාමිණි සුමනසේකර