පර්ල් එක්ස්ප්‍රස් නැවේ තෙල් අයින් කරන්න….. පේරාදෙණිය සරසවියෙන් මෙට්ටයක්..

176

සමන්තී වීරසේකර

පරිසරයත් මිනිසා ඇතුළු සමස්ත සත්ත්ව කොට්ඨාසයත් අතර ඇති මනා සබැඳියාව ලෝකයට සිහි කළ මෑත ම සිදුවීම පර්ල් එක්ස්ප‍්‍රස් නෞකාව ගිනිගෙන ගිලී යෑමය. ඉන් ඇතිවූ පරිසර හානිය අවම කිරීම පිණිස විද්වතුන් වෙහෙසවෙමින් සිටිති. මේ අතර ගිලීගිය පර්ල් එක්ස්ප‍්‍රස් නෞකාවෙන් කාන්දු වී ඇති තෙල් එක්රැස් කිරීමට මිනිරන් සහිත නිර්මාණයක් සකස් කිරීමට කන්ද උඩරට මහාචාර්යවරු තිදෙනකු සමත්ව තිබේ.

පර්ල් එක්ස්ප්‍රස් නැවේ තෙල් අයින් කරන්න..... පේරාදෙණිය සරසවියෙන් මෙට්ටයක්..

මිනිරන් සහිත මෙට්ටයක හැඩැති මෙම නිර්මාණය සකස් කර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය අමරසේන පිටවල, මහනුවර හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය ටී. ආර්. ඒ. කුමාර සහ ශිෂ්‍ය නිදීශ ගුණවර්ධන යන මහත්වරුය.

මෙම විද්වත් මඩුල්ල නැව ගිනි ගත් මොහොතේ සිට සිදුකළ පර්යේෂණ ඔස්සේ මෙම සොයා ගැනීම සිදුකර තිබේ. ඒ සඳහා ඔවුන්ට පේටන්ට් බලපත‍්‍රයද හිමිව ඇත.

 නැවේ තිබෙන ටොන් ගණනක් වන තෙල් මුහුදු ජලයට එකතු වුවහොත් සිදුවිය හැකි විනාශය සිතා ගැනීමට පවා නොහැකි මොහොතක මෙවැනි ආරක්ෂිත ක‍්‍රමවේදයක් සඳහා යොමුවීමම රටේ භාග්‍යයකි.

 පරිසර හානිය අවම කරගනිමින් මුහුදු ජලයට මුසුව ඇති තෙල් පිටතට ගැනීම සඳහා මිනිරන් භාවිත කර සිලින්ඩාකාර හැඩැති මෙට්ටයක් සැකසුනේ පේරාදෙණියේදීය. මෙය සකස් කිරීමට අඩු වියදමක් දරා තිබූ අතර එහි ක‍්‍රියාකාරිත්වය රජය වෙත ලබා දෙන්නට තීරණය කර ඇත්තේ නොමිලයේය.

 බෝගල පතලෙන් ප‍්‍රයෝජනයට නොගෙන ඉවත් කරනු ලබන මිනිරන් (Graphite) රසායනික ද්‍රව්‍යයක් භාවිත කර ව්‍යුහාත්මක වෙනසකට ලක්කර තෙල් උරා ගැනීමට සැලැස්වීම මෙහි ක‍්‍රියාවලියය. මෙම විද්‍යාත්මක ක‍්‍රමවේදය අනුව අදාළ මෙට්ටය අවස්ථා කිහිපයකදීම මුහුදට දමා තෙල් උරා ගැනීමට සැලැස්විය හැකිය.

 මිනිරන් ග්?ම් එකකට තෙල් ග්?ම් එකසිය විස්සක් උරා ගැනීමට හැකි වන පරිදි මෙය නිමවා තිබේ. මෙට්ටයක ස්වරූපය ඇති මෙය මුහුදට දැමීමෙන් මුහුදු ජලයේ ඇති තෙල් සියල්ල ඊට උරා ගැනීමට සලස්වයි.

 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා කියා සිටියේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මූලික අධ්‍යයන ආයතනය, බෝගල පතල හා ශ‍්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය ඒකාබද්ධව මෙම නැවෙන් කාන්දුවී විසිරී යන තෙල් එකතු කිරීම සඳහා අවශ්‍ය මිනිරන් බහාලූ මෙට්ට විශේෂය මේවන විට සකස් කරමින් තිබෙන අතර ඉදිරි දින කිහිපයේදී ඒවා නැව පවතින ස්ථානයට දමා අත්හදා බැලීමට නියමිත බවය.

 හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය ටී. ආර්. ඒ. කුමාර මහතා පවසා සිටියේ මෙවැන්නකි.

”මිනිරන් කැණීමේදී පිරිසිදු මිනිරන් (Pure Graphite) පමණක් ලබා ගැනීමට අවශ්‍ය නිසා පතලේ උමං බිත්තිවල ගල් වලට ඇලී තිබෙන මිනිරන් කොටසක් එහි ඉතිරි කර ඉතිරිය කඩා ගැනීම සාමාන්‍ය ක‍්‍රමවේදයයි. උමෙඟ් බිත්ති වල අඟල් කිහිපයක් ඝනකමට මිනිරන් ඉතිරි වී තිබෙන ගල් කඩා ඉවත් කරනවා. ඒවා බෝගලේ පතලේ විශාල වශයෙන් ගොඩගසා තිබෙනවා. අපි කළේ මේ ගල්වල තැන්පත් වී තිබෙන මිනිරන් ඉවත් කර ගැනීමයි. මිනිරන්වල පවතින විශේෂ ගුණයක් තමයි ජලයෙන් වෙන්කර තෙල් උරා ගැනීමට ඇති හැකියාව. මේක Hydrophobic ලෙස හඳුන්වනවා. මිනිරන් සකස් වී තිබෙන්නේ කාබන් තට්ටු (Layers) දහස් ගණනක එකතුවකින්. අපි කළේ රසායනික ද්‍රව්‍යයක් භාවිත කර මේ තට්ටු (Layers) අතර පරතරය වැඩිකර ගැනීමයි. එලෙස ප‍්‍රසාරණය කරන ලද මිනිරන් (expanded graphite) තෙල් මුසුව තිබෙන ජලයට දැමූ විට එහි තට්ටු (Layers) අතරට තෙල් ගමන් කර තැන්පත් වෙනවා. මේක ඉතාමත්ම අඩු වියදම් ක‍්‍රමවේදයක්. පර්ල් එක්ස්ප‍්‍රස් නෞකාවෙන් තෙල් මුහුදට එකතු වුවහොත් ඒවා ඉවත් කිරීමට භාවිත කළ හැකි හොඳම ක‍්‍රමවේදය මේකයි. අනිත් විශේෂම කාරණය තමයි පතල් වලින් ඉවත් කරන මිනිරන් කොටස් අංඩගු ගල් ඉදි කිරීම් කර්මාන්තයට යොදාගත හැකිවීම. මිනිරන් තට්ටුවක් (Layers) සහිතව තිබෙන කළු ගල්වලට බදාම අල්ලන්නේ නැහැ. ඒ නිසා ඒවා සාමාන්‍යයෙන් ප‍්‍රයෝජනයට ගැනීමේ හැකියාවක් නැහැ. මිනිරන් තට්ටුව ඉවත් කිරීමෙන් පසු ඒවා ප‍්‍රයෝජනයට ගැනීමට ඇති හැකියාවත් අප මින් ලබන ප‍්‍රතිලාභයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.”

 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අමරසූරිය පිටවල මහතා කියා සිටියේ මෙවන් අදහසකි. ” ලංකාවේ පතල් වලින් ලැබෙන මිනිරන් වල කාබන් 98% ක පමණ ප‍්‍රමාණයක් තිබෙනවා. මේවාහි කාබන් පතුරු වෙන්කර ගැනීමත් පහසුයි. මෙවැනි ආකාරයේ ඉස්තරම් මිනිරන් කැනඩාව, මැඩගස්කරය, එංගලන්තය වගේ රටවලින් සුළු වශයෙන් ලැබෙනවා. අපේ රටේ තමයි වැඩියෙන්ම මෙම සම්පත තියෙන්නේ. වසරක පමණ පර්යේෂණයක ප‍්‍රතිපලයකින් පසු තමයි අපට අවශ්‍ය ඉලක්කය වෙත යෑමට අවස්ථාව ලැබුණේ.

express2සෑම නැවකින්ම පාහේ මුහුදට සුළු වශයෙන් තෙල් කාන්දු වීම් සිදුවන අවස්ථා නිතර දක්නට ලැබෙනවා. මේ නිසා සිදුවන පරිසර හානිය වළක්වා ගැනීමට මෙම ක‍්‍රමය භාවිත කළ හැකියි. පර්ල් එක්ස්ප‍්‍රස් නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුව තිබෙන බව දැනගත් මොහොතේ ම අපි ඒ සදහා කළ හැකි දේ සාකච්ඡා කරමින් මෙවැන්නකට යොමු වුණා..”

 මහචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා කියා සිටියේ, මුහුදට එකතුවන තෙල් ඉවත් කිරීම සඳහා අවශ්‍යය ටොන් ගණනක් වන මිනිරන් නොමිලේ ලබා දීමට බෝගලේ පතලේ පාලානාධිකාරිය ඉදිරිපත් වු බවය. එම මිනිරන් විශේෂ කෙඳි වර්ගයක් භාවිත කර සකස් කළ නෙට් එකක් තුළට දමමින් මෙට්ටයක් ආකාරයට සකස් කලා. එය නිර්මාණය කිරීමට නැනෝ තාක්ෂණ ආයතනය පියවර ගනු ලැබුවා.

 තෙල් ඉවත් කිරීම ඉතා කඩිනමින් කළ යුතුයි. තෙල් බවට සැකකරන පැල්ලම් මේ මොහොත වන වීටත් දක්නට ලැබෙනවා. එය කෙතරම් ප‍්‍රමාණයක්ද යන්න ගණනය කර නැහැ. මුහුදු රැල්ලත් සමඟ සිදුවන චලනයන් නිසා මේක පහසුවෙන් කරන්න අපහසුයි…මින්රන් වලට උරා ගන්නා තෙල් ඒවායින් පිටතට ගෙන යළි ප‍්‍රයෝජනයට ගැනීමටත් අවස්ථාව තිබෙනවා. මුහුදු ජලයට එකතු වන තෙල් එලෙස ඉවත් කර ගැනීමට කටයුතු කරත්දී නැවේ ඉතිරි වී තිබෙන තෙල් මුහුදට එක්වීමට නොදී තවත් නැවකට මාරුකර ගැනීමට ඇති හැකියාව සම්බන්ධවද මේවන විට අධ්‍යන්‍යය කරමින් සිටිනවා යන්නෙන්ද ඔහු කියා සිටියේය.

 නැවෙන් තෙල් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ සඳහා පැමිණ තිබෙන ඇමරිකානු විශේෂඥවරයෙකුගේ සහයද මෙම වැඩපිළිවෙළ සඳහා ලැබී තිබෙන බවත් මෙම තෙල් ඉවත් කර ගැනීමට නොහැකි වුවහොත් ඉන් අතිවිශාල පරිසර හානියක් සිදුවන බවත් හෙතෙම අවධාරණය කළේය. මෙම නැවේ විශාල වශයෙන් ඊයම් තිබී ඇති බවත් ඒවා ඉවත් කරගැනීම අතිශය වැදගත් කාරණයක් බවත් කී රාජපක්ෂ මහතා ඊයම් ටොන් එකක් ටොන් භාගයක් දක්වා ක්ෂය වීමට වසර 700 ක් ගතවන බවත් එය යළි අඩක් වීමට තවත් වසර 700 ක් ගතවන බවත් ප‍්‍රකාශ කළේය. මේවා ජලයට එකතු වීමෙන් සිදුවන හානිය පරම්පරා ගණනාවකට බලපාන බවද කියා සිටියේය.

 නැනෝ තාක්ෂණය සහිත මෙම මෙට්ටය වැනි උපාංගය ලංකාවේ නිපදවීමට ඇති තරම් පහසුකම් ඇති බව මෙම විද්වත් මණ්ඩලය කියන්නේය. සෞභාග්‍යයේ දැක්මට අනුව, මෙය ලාංකික නිෂ්පාදනයක් ලෙස නිමවා සෙසු රටවලට විකිණීමේ හැකියාවද අපට ඇත. නැවෙන් තෙල් කාන්දුවන තුරුම මේ පිළිබඳව අදහසක් පහල නොවීම පුදුමයකි. ඊට හේතුව ලංකාවේ ණය ගෙවා ගැනීම සඳහා මේවා වියතුන්ගේ යෝජනා විය යුතු නිසාය.

 වසර දෙකතුනක් ගත වීමෙන් පසුව හෝ මෙවන් නිෂ්පාදනයක් විදේශිකයන්ට විකිණීමට ක‍්‍රමයක් උදාවීම රටේ භාග්‍යයක් කොට සැලකිය හැකිය. තෙල් සියල්ල උරා රටවට කොට ඇති රන්වැටහි ආරක්ෂාව සැලසීමට මේ විද්වතුන් ගත් උත්සාහය අප අගය කල යුතුය. මෙම ක‍්‍රමවේදය සාර්ථක වුවහොත් විශාල විනාශයක් අවම කරගත හැකි වනු ඇත. ඉන් නොනැවතී මෙම නිපැයුම විදේශීය වෙළඳපොළ වෙත යැවීමේ හැකියාවද ඇතිවේවායි අපි පතමු. ඉන් රටේ ණය තුරුස් අඩක් හෝ ගෙවා දමමින් අපේ අනාගත දරුවන් ණයකරුවන් නොකිරීමේ කාර්යයටද මේ විද්වතුන් අත දුන්නා සේ අගය කළ හැකිවනු ඇත. 

advertistmentadvertistment
advertistmentadvertistment