පර්ලිමේන්තුව පුනුරුත්ථාපනය කරමු

210

ශ්‍රී ලංකාව බංකොලොත් බවට පත් කිරීමේ වගකීම නාස්තිකාර පාර්ලිමේන්තුව භාර ගත යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත එකිනෙකාට එල්ල කරගන්නා චෝදනා අනුව මහජන මුදල් අවභාවිත කළේ කවුද, කරමින් සිටින්නේ කවුද සහ යහපත් මුල්‍ය පාලනයක් අහිමි කිරීම තුළින් රට බංකොලොත් කළේ කවුද යන මූලික ප්‍රශ්න විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය නමැති බල කණු ක්‍රියාත්මක ආකාරය ද සැලකිල්ලට ගනිමින් නැවත විමසා බැලිය යුතුය.

ඒ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව ඉදිරියේ පසුගිය ඔක්තෝබර් 18 දින කළ ආන්දෝලනාත්මක අදහස් ප්‍රකාශ කිරීම ද සැලකිල්ලට ගනිමිනි. ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත්කිරීමේ අපරාධයට අඩු වැඩි වශයෙන් වගකිව යුතු සෑම ආණ්ඩුවක් සමගම දේශපාලනිකව බැඳී සිටි /සිටින ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නියෝජනය කළ කණ්ඩායමට නායකත්වය දුන්නේ එම සංවිධානයේ නියෝජ්‍ය සභාපති රංජිත් ආරියරත්නයි. ස්වදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධම්මික මුතුගල ද එම කණ්ඩායමට අයත් විය.

රජයේ මුදල් අවභාවිත කිරීමට අවස්ථාව ලබාදුන්, මුදල් අවභාවිත කළ සහ ඊට අවශ්‍ය දේශපාලන රැකවරණය සපයා දුන් මහජන නියෝජිතයින්ගෙන් රජයට එම මුදල් ආපසු අය කර ගැනීමේ බලය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ලබා දෙන එම සංගමය අදාළ අනු කාරක සභාවෙන් ඉල්ලා සිටියේය. එම අනු කමිටුවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂය) මන්ත්‍රී නාමල් රාජපක්ෂය. එම කමිටුවේ සාමාජිකයන් ලෙස පොහොට්ටු පක්ෂයේ ලේකම් ජාතික ලැයිස්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් සහ මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු එම අවස්ථාවට සහභාගී විය. එම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වන අමාත්‍ය නසීර් අහමඩ් සහ මන්ත්‍රීවරුන් වන පවිත්‍රාදේවි වන්නිආරච්චි, වජිර අබේවර්ධන, අසංක නවරත්න, මනෝ ගනේෂන්, අලි සබ්රි රහීම් සහ ඒ. එල්. එම්. අතාවුල්ලා එහි නොවීය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා උසාවියකින් වරදකරු බවට නිගමනය කර නැත. නමුත් නඩු කීපයක ඔහු විත්තිකරුවෙකි. එක නඩුවක් ෆෝර්ඩ් මස්ටැන්ග් වර්ගයේ සැප වාහනයක් සම්බන්ධයෙනි. එම තත්ත්වය ද සැලකිල්ලට ගෙන බංකොලොත් ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය වෙනුවෙන් එහි නියෝජ්‍ය සභාපති ආරියරත්න පාර්ලිමේන්තුවේ කළ ආරම්භක ප්‍රකාශය විමසා බැලිය යුතුය. “රටේ ගැස්මක් ඇතිවූ අවස්ථාවක, ඒ තුළින් හෝ ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේ කිරීමේ වැඩපිළිවෙළක් පාර්ලිමේන්තුව තුළින් නිර්මාණය කිරීමේ උත්සාහයට ස්තුතිවන්ත වෙනවා,” ආරියරත්න පැවසීය.

පර්ලිමේන්තුව පුනුරුත්ථාපනය කරමු

නමුත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය යෝජනා කළ පරිදි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට අවශ්‍ය නිසි බලය ලබා දීමට පාර්ලිමේන්තුව සූදානම්ද? යන ප්‍රශ්නය බැහැර කළ නොහැක. ඒ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් විගණකාධිපති සමඟ එම කාරක සභාව නිශ්චිත ලෙස තහවුරු කර ගනු ලබන දූෂණ සහ අක්‍රමිකතා චෝදනා නීතිපතිවරයාට යොමු කිරීමේ බලය එම සභාවට ලබා දීමට කළ යෝජනාව පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කර ඇති නිසාය.

ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය එවැනි ප්‍රතිපත්තියක් කිසිදු විෂයක් සම්බන්ධයෙන් නොමැති වීමයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ මෙම අවාසනාවන්ත තත්ත්වයට වගකිවයුතු බව අවධාරණය කළ යුතුය.

සමස්තයක් ලෙස පක්ෂය, තම කණ්ඩායම සහ තමාගේ අවශ්‍යතා මත සිට තීන්දු තීරණ ගන්නා බවට සැකයක් නැත. ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කර පැය කීපයක් යෑමට පෙර පාර්ලිමේන්තුව තම සැබෑ ස්වරූපය නැවතත් හෙළි කළේය. ඒ ඛනිජ තෙල් සංශෝධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට ඡන්දය විමසූ අවස්ථාවේදීය.

කථානායකවරයා සමඟ පාර්ලිමේන්තුව නියෝජනය කරන සමස්ත මන්ත්‍රීවරුන්ගේ ගණන 225 කි. එම 225 අතර පත්කළ මන්ත්‍රීවරුන් 29 ක් සිටිති. නමුත් තෙල් පනතට ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භයේ සිටියේ මන්ත්‍රීවරු 94 පමණි. එයින් 77 එම පනතට පක්ෂව සහ 17 විපක්ෂව ඡන්දය පාවිච්චි කිරීම විමසා බැලිය යුතු වන්නේ මහජන නියෝජිතයින් 131 එම පනත මග හැර ඇති බවද අවධානයට ලක්කරමිනි. මෙය කිසිසේත්ම අහඹු සිදුවීමක් නොවේ. මහජන නියෝජිතයින් තම වගකීම් මගහැර යෑම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තරු පහේ පාර්ලිමේන්තු ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණයකි.

වසරකට රුපියල් බිලියන 140 උපයා ගැනීමට පාර්ලිමේන්තුව සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සැප්තැම්බර් 08 දින සම්මත කරගත්තේය. ඊට පක්ෂව ඡන්ද 91 සහ එරෙහිව 10 වාර්තා විය. එම පනත වැඩි ඡන්ද 81 කින් සම්මත වනවිට ඡන්දය පාවිච්චි නොකළ මන්ත්‍රීවරු 124 ලෙස වාර්තා විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මාර්තු 22 සම්මත කර ගත් අවස්ථාවේදීද මන්ත්‍රීවරු 104 පාර්ලිමේන්තුවේ සිටියේ නැත. එම පනතට පක්ෂව ඡන්ද 86 ක් ද එරෙහිව 35ක් ද වාර්තා විය. පාර්ලිමේන්තුව සමස්තයක් ලෙස මාසයකට දින 8ක් රැස්වේ. නමුත් සියලුම පක්ෂවල විනය පිරිහීම මත මහජන නියෝජිතයින්ගේ සහභාගිත්වය අවම තත්ත්වයක පවතී.

පසුගිය මාර්තු මාසයේ 22 වැනිදා (ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයට එරෙහිව මහජන විරෝධතා පිපිරීමට සතියකට පෙර) සිට පාර්ලිමේන්තුවේ ඡන්දය පාවිච්චි කළ අවස්ථා තුනේදීම 100 කට අධික මන්ත්‍රීවරු සභා ගර්භයේ සිටියේ නැත. ජනතාවට වගකියන පාර්ලිමේන්තුවක් මෙලෙස හැසිරෙන්නේ නැත. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද අමාත්‍යවරයකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන බැවින් මන්ත්‍රීවරයකු ලෙස ඕනෑම පනතකට ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව ඔහුට ද ඇත. ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන ද වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරයි. මාධ්‍ය සංදර්ශනවල සීමාවක් නැත. නමුත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අවධාරණය කරන කිසිදු දේශපාලන පක්ෂ නායකයකුට, පක්ෂයකට අවම වශයෙන් මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය ඉහළ තලයකට ගෙන ඒමට වුවමනාවක් නැත.

පාර්ලිමේන්තුවේ ප්‍රධානතම වගකීම් වන්නේ මහජන මුදල් පාලනය සහ නීති සම්පාදනයයි. පාර්ලිමේන්තුව එම වගකීම් දෙකම ඉටු කර නැත. පාර්ලිමේන්තුව තම කාර්යභාරය නිසි ලෙස ඉටු කළා නම් 17 වැනි වරට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණනැමීමට සිදු වන්නේ නැත. ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව නැතහොත් පාර්ලිමේන්තු ක්‍රමය පුනරුත්ථාපනය කළ යුතුය. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ පුනරුත්ථාපනය නොවනතාක් කල් පාර්ලිමේන්තුව සැබෑ ජනතා ප්‍රශ්නවලට සංවේදී වන්නේ නැත.

පාර්ලිමේන්තු ක්‍රමයේ කඩා වැටීම හේතුවෙන් බි්‍රතාන්‍යයෙන් නිදහස ලැබුණ පසුව නිර්මාණය වූ බරපතලම ආර්ථික-දේශපාලනික-සමාජ අර්බුදය පිළිබඳව පාර්ලිමේන්තුව පසු විපරමක් කළ යුතුමය. එය තවත් මාධ්‍ය සංදර්ශනයක් වීම වැළැක්වීම පාර්ලිමේන්තුවේ වගකීමයි. ප්‍රධාන අවශ්‍යතා වහාම හඳුනා ගැනීම අවධාරණය කළ යුතුය. පොහොට්ටු ආණ්ඩුවට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස ඉදිරියේ ජනතා බෝම්බය මාර්තු 31 පිපිරීම ශ්‍රී ලංකාව උඩු යටිකුරු කළ බව පාර්ලිමේන්තුව තවමත් වටහා ගෙන නැත. වර්තමාන තත්ත්වය සංදර්ශනවලට අවස්ථාවක් නොවන බව අමුතුවෙන් අවධාරණය කළ යුතු නැත.

රට පුරා ක්‍රියාත්මක වන ශිෂ්‍ය පාර්ලිමේන්තු තුළ විද්‍යුත් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය ස්ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්තුව මෑතකදී මැදිහත් විය. ඒ වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඔක්තෝබර් මාසයේදී ඇහැලියගොඩ ජාතික පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා විද්‍යුත් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය භාවිතයට ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා විය. දරුවන්ගේ ආහාර සුරක්ෂිතභාවය බරපතල ලෙස තර්ජනයට ලක්වී ඇති මෙම අවස්ථාවේ පාසල්වල විද්‍යුත් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය ස්ථාපිත කිරීමට කටයුතු කිරීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ගේ අවධානයට යොමු විය යුතුය. රටට අවශ්‍ය ආදර්ශය පාර්ලිමේන්තුව දිය යුතුය. විද්‍යුත් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය ස්ථාපිත කිරීම සහ ව්‍යාප්ත කිරීමට පෙර අවශ්‍ය පාසල්වලට වැසිකිළි ලබා දිය හැක, වැඩි දියුණු කළ හැක.

ගිරිඋල්ල කලාපයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ මංගල රැස්වීම පාර්ලිමේන්තුව සම්බන්ධ වී ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඇත්තවශයෙන්ම රට මුහුණ දෙන වර්තමාන අභියෝග හමුවේ මෙවැනි ක්‍රියාකාරකම්වල අවශ්‍යතාවක් තිබේද ?

පාර්ලිමේන්තු ක්‍රමය සම්බන්ධයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ ශිෂ්‍යයන්ද මෑතකදී දැනුවත් කිරීමට පාර්ලිමේන්තුව කටයුතු කළේය. වරදක් නැත. නමුත් පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීමට පෙර මහජන නියෝජිතයින් සහ ඔවුන් නියෝජනය කරන පක්ෂ රටේ අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් දැනුවත් කළ යුතුය. විධායකයට, ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට එරෙහිව පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත නැගෙන චෝදනා අතිශය බරපතලය. මෙවැනි තත්ත්වයක් යටතේ ශිෂ්‍ය ප්‍රජාව පාර්ලිමේන්තු ක්‍රමය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පෙර පාර්ලිමේන්තුව පුනරුත්ථාපනය කළ යුතුය.

ඔඩු දුවමින් පවතින දේශපාලනික-ආර්ථික -සමාජීය අර්බුදය අතරේ පාර්ලිමේන්තුව සහ කොළඹ විශ්වවිද්‍යාලය එක්වී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව පාඨමාලාවක් ආරම්භ කිරීම අවධාරණය කර ඇත්තේ පාර්ලිමේන්තු ක්‍රමයේ අවශ්‍යතාවයි. අවාසනාවකට පාර්ලිමේන්තුව තම මූලික වගකීම පැහැර හැර ඇත. විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විගණන වාර්තා සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ මුදල් කාරක සභාව ඉදිරිපත් කර ඇති වාර්තා සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය වගකීමෙන් කටයුතු කළානම් අද ශ්‍රී ලංකාව බංකොලොත් නැත. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පසුගියදා අවධාරණය කළේ අවම වශයෙන් මීට වසර 30 කට පමණ පෙර පාර්ලිමේන්තුව විසින් ගත යුතුව තිබූ ක්‍රියාමාර්ගයකි. ඇත්ත වශයෙන් මෙවැනි යෝජනාවකට පාර්ලිමේන්තුව කිසිසේත් ඉඩ දෙන්නේ නැත.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ද වර්තමාන තත්ත්වයට වගකිව යුතුය. වර්තමාන අර්බුදයට ප්‍රධානතම හේතුවක් වූ රටට දරා ගත නොහැකි රාජ්‍ය සේවය නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මෙවලමක් වූ බව අමතක කළ නොහැක. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මීට මාස 5 කට පමණ පෙර උපරිමය 500,000-800,000 විය යුතුව තිබූ රාජ්‍ය සේවය මිලියන 1.5 දක්වා ප්‍රසාරණය කර පැවති ආණ්ඩු කළ විනාශය පැහැදිලි කළේය.

රටට දරා ගත නොහැකි රාජ්‍ය සේවයක් බිහිකර සේවක අතිරික්තය රට රැකියාවලට යැවීමට උත්සාහ කිරීම විහිළුවක් නොවේද? මෙම යෝජනාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ඉදිරිපත් කළේය. වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවද ශ්‍රී ලංකාවට අනවශ්‍ය රාජ්‍ය සේවකයන් රට පැටවීමේ ප්‍රයෝගික නොවන යෝජනාව ක්‍රියාත්මක කරන බව පවසයි. පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක වන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නම් දේශපාලනික වාසි ලබාගැන්මට ජාතික ආර්ථිකය, ජාතික ආරක්ෂාව සහ කිසිදු රටකට ගැති නොවන විදේශ ප්‍රතිපත්තිය කිසිදු ආණ්ඩුවකට නැතහොත් පක්ෂයකට අනතුරේ දැමිය නොහැක. අවාසනාවකට පාර්ලිමේන්තුව තම ජාතික වගකීම තවමත් හඳුනාගෙන නැත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment