පරාජය සදාකාලික නැත

233

ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් පැරදී, ආර්ථික ක‍්‍රීඩාවෙන් පැරදී, සෞඛ්‍ය ක‍්‍රීඩාවෙනුත් පැරදී, වෛරසයක් පමණක් ජයග‍්‍රහණය කර මුළු ලංකාවම වැලේ වැල් නැතිව ඉන්නා මෙවැනි මොහොතක ජපානයේ පැරාලිම්පික්හි ක‍්‍රීඩා උළෙලේදී අපේ තරුණයන් දෙදෙනෙක් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීම මේ රටේ ජනතාව තුළ ඇති කළේ ඉමහත් සතුටකි. රන් පදක්කම දිනාගත් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සාජන් දිනේෂ් පි‍්‍රයංකර හෙල්ල විසි කරන අවස්ථාව මේ දිනවල යූ ටියුබ් එක හරහා ටි‍්‍රලියන ගණනින් නරඹනු ලැබේ. යුද පෙරමුණේදී එල්.ටී.ටී.ඊ යෙන් වෙඩි කෑ සෙබළකු වන දිනේෂ් වම් අත අහිමි හෝ පණනැති කැටගරියෙන් තරග කර රන් පදක්කම දිනූ අයෙකි. තුන්වේල බඩ පැළෙනතුරු ගිල දමා, අතපය හතර තල් කඳන් මෙන් තබාගෙන පච්ච කොටාගෙන, මුදු දමාගෙන, බ්‍රේස්ලට් කරකවමින් SMS කොටන මේ රටේ ඇතැම් තරුණයන් සමඟ සැසඳීමේදී දිනේෂ් තනිකරම රජෙකි. අපගේ ජනයා හිත නරක් කරගත නොයුතු අමිහිරි කතාවක් කියමු. ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේදී තවදුරටත් තරගකාරී නැත. රූ රැජින තරගයකදී ෆස්ට් රනරඅප්, සෙකන්ඞ් රනරඅප් හෝ මිස් ෆොටෝ ජෙනික් මිස් දිග කකුල් වැනි උප තරගයකදී හෝ මිසිස් වර්ල්ඞ් තරගයකදී අත්පත් කරගන්නා දුර්ලභ ජයග‍්‍රහණයක් මිස ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේදී හෝ වෙනත් තරගකාරී අංගයකදී පදක්කමක් තබා ටොනික් පියනක්වත් අත්පත් කර ගැනීමට අපට බැරි විය. එක්තරා කාලයකදී අපට ජාත්‍යන්තර තරග බිමේ වැදගත් තැනක් හිමිව තිබිණි. 1948 අවුරුද්දේ ලන්ඩනයේ පැවැති ගිම්හාන ඔලිම්පික් උළෙලේදී මීටර් 400 කඩුලූ පනිමින් දිවීමේ තරගයේදී ශ‍්‍රී ලාංකික ඩන්කන් වයිට් රිදී පදක්කමක් දිනාගත්තේය. මෙය ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ක‍්‍රීඩා තරගයකදී ලැබූ මුල්ම ජය විය යුතුය. ඊළඟට වසර 2000 දී ඔස්ටේ‍්‍රලියාවේ පැවැති ගිම්හාන ඔලිම්පික් උළෙලේදී මීටර් 200 ධාවන තරගයේදී සුසන්තිකා ජයසිංහ රිදී පදක්කමක් ජයගත්තාය. මෙහිදී 1973 දී ලෝක ආධුනික බිලියඞ් ශූරතාව දිනාගත් එම්. ජේ. එම්. ලාෆීර් සිහිපත් කළ යුතුමය. වැඩි දෙනා නොදන්නවාට බිලියඞ් යනු අරක්කු බාර්වල, මේස දමාගෙන සෙල්ලම් කරන ක‍්‍රීඩාවක් පමණක් නොව මොළය වෙහෙසා ඉතා පරෙස්සමින් කළ යුතු ක‍්‍රීඩාවකි. මෙහිදී බලය, වේගය දුර යන සාධක සම්බන්ධයෙන් විශාල වැටහීමක් සහ තක්සේරුවක් තිබිය යුතුය. ඩන්කන් වයිට්ගෙන් පසු ජාත්‍යන්තර මට්ටමෙන් ශ‍්‍රී ලංකාවට පළමුවන ජාත්‍යන්තර ක‍්‍රීඩා කීර්තිය ගෙනෙන ලද්දේ ලාෆිර් විසිනි.

 ඉන්පසු එළැඹෙන්නේ ක‍්‍රිකට් යුගයයි. 1977 දී ජේ. ආර්. ජයවර්ධන බලයට පැමිණි පසු ක‍්‍රිකට් ක‍්‍රීඩාව ක‍්‍රමයෙන් ජාත්‍යන්තර තලය දක්වා ගමන් කරන්නට පටන් ගත්තේය. අර්ජුන රණතුංග, සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, කුමාර සංගක්කාර වැනි විශිෂ්ට ක‍්‍රීඩකයන් බිහිවන්නේ එම ගමනේ ප‍්‍රතිඵලයක් වශයෙනි. එහෙත් කල් යත්ම – යත්ම ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ක‍්‍රමයෙන් අල වී පසුව බතල පාත්තියක තත්ත්වයට පත්විය. බතල යනු තුන්මාසයකට වරක් පල දරන වැවිල්ලකි. බතල ගෙඩිය තරට හැදුනත් පාත්තිය තුළට වැද බතල ගෙඩිය තුළ ගුලක් හාරා එය විනාශ කර දැමීම ඕනෑම මීයකුට කළ හැකිය. ශ‍්‍රී ලංකාවේ කි‍්‍රකට් ක‍්‍රීඩාවද බුකී කාරයන් සහ සල්ලාලයන් විසින් හිල්කරන ලදී. එය ගොඩ ගැනීම මේ මොහොතේදී ඉතාම අපහසුය. වඩා පහසු වන්නේ අතනින් මෙතැනින් ගුල් විද බතල ගෙඩි කා දැමීමය.

 ආබාධිත බව යනු කිසිදු ආකාරයක අඩුවක් නොවේ. අත් කකුල් හතර තල් කඳන් මෙන් තිබෙන අයට වඩා හොඳට වැඩ කරන්නට ආබාධ තත්ත්වයන් සහිත අයට පුළුවන. ඒ බව මෙවර පැරාලිම්පික් උලෙලේදී තවදුරටත් ඔප්පු කළ තරුණයන් දෙදෙනාට අපගේ ප‍්‍රණාමය හිමි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment