පරාජිත හංවැල්ල සටනට වසර 218 යි… එදා හංවැල්ල සටන දිනුවා නම් 1815 රට සුද්දන්ට යටත් වෙන්නේ නැහැ…

1046
  • හංවැල්ල සටන වෙනුවෙන් සිංහල හමුදාව දිවි පුදා වසර 218 යි….
  • ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු දහසක සේනාවක්‌ සමග හංවැල්ල සටන මෙහෙයවයි

අගෝස්තු මස 22 වෙනි දිනය ලංකා ඉතිහාසයේ ඉතා තීරණාත්මක හා වැදගත් සිදුවීමක් සනිටුහන් වූ දිනයක් වුවත් කුමන හෝ හේතුවක් නිසා එම සිදුවීම ජනතා අවධානයෙන් යටපත් වී ඇත්තේය. අපේ රටේ ඉතිහාසය හා ඉරණම වෙනස් කළ අතිශය තීරණාත්මක එම සිදුවීම කුමක්ද?

ජය පරාජය අතර දෝළනය වෙමින් ජයග‍්‍රහණය පෙනි පෙනි අවසන් මොහොතේ දී අපගේ ජාතික ධජය වූ සිංහ ධජය පවා සතුරන් අතට පත්වෙමින් අති දැවැන්ත බිහිසුණු පරාජයකට සිංහල හමුදාව මුහුණදුන් හංවැල්ල බලකොටුව අල්ලා ගැනීම සඳහා එම දින සිදුකළ සටන එම තීරණාත්මක සිදුවීමයි.

අපේ රටේ ඉතිහාසයේ රජවරුන් කළ සටන් පිළිබඳ කතාකළොත් අපි අනිවාර්යයෙන් සඳහන් කරනුයේ විජිතපුර, මුල්ලේරියාව, ගන්නෝරුව, බලන, රන්දෙනිවෙල වැනි ජයග‍්‍රහණයෙන් අවසන් වූ සටන් ගැන පමණි. පරාජිත සටන් ගැන කථා කරන්නෙත් නැත. ඒ ගැන දන්නේ ද නැත.

පරාජිත හංවැල්ල සටනට වසර 218 යි... එදා හංවැල්ල සටන දිනුවා නම් 1815 රට සුද්දන්ට යටත් වෙන්නේ නැහැ...
චිත‍්‍ර – ප‍්‍රසන්න වීරක්කොඩි

මෙවැනි තීරණාත්මක සටන් පිළිබඳව ඉතිහාසයේ පැහැදිලිව සඳහන්ව ඇතත් අපේ ඉතිහාසය ඉරණම හා වර්තමානය කෙරෙහි කෙතරම් තදින් බලපෑවත්, ඒවා ඉස්මතු නොන්නේ අපගේ ප්‍රෞඪත්වය, සටන් හැකියාව, එඩිතර බව පිළිබඳව පමණක් ඉතිහාසකරුවන් අතිශයෝක්තියෙන් හුවා දැක්වීමට උත්සහ කිරීම වැනි කාරණා නිසා අවධානයෙන් ගිලිහියෑම බව පැහැදිලි වන කරුණකි.

සතුරාගෙන් රට නිදහස් කර ගැනීමේ අව්‍යාජ වුවමනාවත්, එඩිතරකමත්, පිරිස් බලයත්, අවශ්‍ය තරම් එකල අප රටේ ජනතාව තුළ හා නායකයන් තුළ තිබුණත් දුර්වල යුධ ශිල්ප, දුර්වල උපක‍්‍රම, දියුණු අවි ආයුධ නොමැතිකම හේතුවෙන් පිරිස් බලයෙන් පමණක් සටන් ජය ගැනීම අසීරු වූ බව ඓතිහාසික පරාජිත සටන් පිළිබඳව සියුම්ව විශ්ලේෂණය කිරීමේදී ඉතා පැහැදිලිව පෙනෙන්නා වූ කරුණකි.

හංවැල්ල සටනේ පරාජයෙන් කියවෙන්නේ ද එම කටුක සත්‍යම බව කනගාටුවෙන් වුවද පිළිගැනීමට සිදුවෙයි. ක‍්‍රිව 1803 වනවිට ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය කළ ඉංග‍්‍රීසි හමුදා උඩරට රාජධානියට ද කඩාවැදී එහි මහනුවර, ගලගෙදර, ගිරිහාගම හා දඹදෙණිය යන ස්ථානයන්හි කඳවුරු පිහිටුවා ගත්හ.

පරාජිත හංවැල්ල සටනට වසර 218 යි... එදා හංවැල්ල සටන දිනුවා නම් 1815 රට සුද්දන්ට යටත් වෙන්නේ නැහැ...
හංවැල්ල බලකොටුව

එවකට උඩරට පාලකයා වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා හගුරන්කෙතට පසුබැස එම වසරේම එනම් 1803 ජුනි 26 දින මහනුවර කඳවුරට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කළේය. එහිදී විශාල ඉංග‍්‍රීසි බට පිරිසක් මුරුමුවට පත් වූ අතර ඉංග‍්‍රීසි කඳවුරේ අණදෙන නිලධාරි මේජර් ඬේවි ඇතුළු විශාල භට පිරිසක් උඩරට හමුදාවන්ට යටත් විය. ඉංග‍්‍රීසි හමුදා යටතේ සිටි ජා, මැලේ, සිපයි, මදුරාසි හා බෙංගාලි භට පිරිස් සිංහල හමුදා සමග එකතු වූහ. මීට අමතරව මහනුවර මගුල් මඩුවේ ස්ථාපිත කර තිබූ ඉංග‍්‍රීසි රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි මැලේරියා රෝගි ඉංගී‍්‍රසි සෙබළුන් 149 ක් හිසට පොලූ පහරදී මරාදමන ලදහ.

මීට අමතරව ඉංග‍්‍රීසි හමුදාවන් සතුව තිබූ ප‍්‍රභල කාලතුවක්කු දෙකක් ඇතුළු විශාල ආයුධ තොගයක් ද උණ්ඩ හා වෙඩි බෙහෙත් ද උඩරට හමුදාවන් සතු විය. මෙම සටන් සඳහා වාගොල්ල, මාවිල්මඩ, සියඹලාගස්තැන්න, නිත්තවෙල හා වටසුලූවේ ගම්වාසීන් සහභාගි වී ඇත.

ඉන්පසු ගිරිහාගම හා ගලගෙදර පිහිටි ඉංග‍්‍රීසි කඳවුරු උඩරට හමුදා විසින් අල්ලාගත් නමුත් දඹදෙණිය කඳවුර අල්ලා ගැනීමට නොහැකි විය. මේ වනවිට දඹදෙණිිය කඳවුරේ සිටියේ භටයින් 41 ක් වැනි සුළු සංඛ්‍යාවකි. එයිනුත් 19 දෙනෙක්ම මැලේරියා රෝගයෙන් දුර්වල වී සිටියේය. මීගස්තැන්නේ අධිකාරම්ගේ නායකත්වයෙන් හාරදහසක හමුදාවක් දින හතරක් තිස්සේ වටලා පහර දුන්නත් එම කඳවුර අල්ලා ගැනීමට නොහැකිවූ අතර පසුව කොළඹින් පැමිණි කුඩා ඉංග‍්‍රීසි හමුදා බළ ඇණි දෙකක් එම කඳවුර බේරාගෙන සියලූ භට පිරිස් සමග කොළඹට පසු බසින ලදී.

පරාජිත හංවැල්ල සටනට වසර 218 යි... එදා හංවැල්ල සටන දිනුවා නම් 1815 රට සුද්දන්ට යටත් වෙන්නේ නැහැ...
හංවැල්ල බලකොටුවේ පැරණි චිත‍්‍රයක්

දැන් උඩරට රාජධානිය තුළ එකදු ඉංග‍්‍රීසි කඳවුරක්වත් නැත. මෙම තත්ත්වය තුළ වඩාත් ධෛර්මත් වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා මුහුදුබඩ පිහිටි ඉතිරි ඉංග‍්‍රීසි කඳවුරු වන හලාවත, පුත්තලම, මීගමුව, තංගල්ල, හා මාතර ඉංග‍්‍රීසි කඳවුරුවලට එකවර පහරදී අල්ලා ගැනීම සඳහා හමුදාව යොදවන ලදී. මේ වනවිට මුලූ දිවයිනේම ඉතිරිව සිටියේ 3000 කට ආසන්න ඉංග‍්‍රීසි භට පිරිසක් පමණි. අතිරේක රාජකාරි සඳහා යොදවා සිටියේ ලංකා ජාතික සේනාංකයේ දේශීය සෙබළුන් හා මැලේ සේනාංකයේ අලූතින් බඳවාගත් සෙබළුන් ය.

මුහුදුබඩ එම කඳවුරුවලට අමතරව කොළඹ ප‍්‍රධාන ඉංග‍්‍රීසි කඳවුර අල්ලා ගැනීම සඳහා රජුගේ හමුදාපති වූද සතර කෝරලේ දිසාපති වූද ලෙව්කේ බණ්ඩාරගේ නායකත්වයෙන් යුත් 12000 ක හමුදාවක් යොදවන ලද අතර මෙම සටනට ඉංග‍්‍රීසින්ගෙන් අල්ලාගත් කාලතුවක්කු දෙකද යොදවන ලදහ.

කොළඹ අල්ලා ගැනීම සඳහා යන ගමනේදී ප‍්‍රධානතම බාධාව වන්නේ හංවැල්ලේ පිහිටි ඉංග‍්‍රීසි බල කොටුවයි. 1803 අගෝස්තු 20 වෙනි දින උඩරට හමුදා විසින් එම කඳවුරද අල්ලා ගෙන සැතපුම් 05 ක් පමණ ඉදිරියට යද්දී අමතර සේනාංකයක් රැගෙන පැමිණි ලූතිනන් මර්ෂර් නම් ඉංග‍්‍රීසි හමුදා නිලධාරියා විසින් හංවැල්ල බලකොටුව නැවත අල්ලාගන්නා ලදී.

මෙම සටනේදී සැලකිය යුතු සිංහල සෙබළුන් පිරිසක් මියගිය අතර 40 දෙනෙකු ඉංග‍්‍රීසි හමුදාවේ අත්අඩංගුවට පත්විය. දැන් සිංහල හමුදා නැවත හංවැල්ල බලකොටුව අල්ලා ගැනීම සඳහා සටන් ආරම්භ කළහ. සටනේ දෙවෙනි දිනයේදී එනම් 1803 අගෝස්තු 22 වෙනි දින ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා ද දහසක හමුදා බලඇණියක් රැුගෙන මෙම සටනට එකතු විය. දැන් සිංහල හමුදාවේ දහතුන් දහසක පමණ සංඛ්‍යාවක් හංවැල්ල බලකොටුව අල්ලා ගැනීමේ සටනට ඒකරාශි වී ඇත. මේ වනවිට හංවැල්ල බලකොටුවේ සිටියේ සියයක පමණ ඉතා සුළු ඉංග‍්‍රීසි භට පිරිසකි. මෙයිනුත් 30 දෙනෙකු උණ රෝගයෙන් හා දණහිස් අමාරුවලින් පෙළෙමින් සිටියහ. අති විශාල සිංහල හමුදාවට මෙම බල කොටුව අල්ලාගැනීම ඉතා පහසු ඉලක්කයකි.

එහෙත් සිදුවූයේ කුමක්ද? මෙදිනම කොළඹ සිට කුඩා ඉංග‍්‍රීසි හේවා පන්නයක් රැුගෙන පැමිණි ලූතිනන් පොලොක් නම් නිලධාරියා හංවැල්ල බල කොටුවේ නායකත්වය භාරගන්නා ලදි. එතෙක් කඳවුරේ නායකයාව සිටි ලූතිනන් මර්සර් ඉංග‍්‍රීසි හමුදාවෙන් පිරිසක් රැුගෙන ඉන් කොටසක් කඳවුර අසලට පදිංචිව සිටි ප‍්‍රාදේශීය පාලකයකු වූ තෝම්බු මුදලිගේ, තාප්පයකින් වටවූ වලව්වේ රඳවා ඉතිරි හමුදා කණ්ඩය රැුගෙන සිංහල හමුදාවන්ට පසු පසින් ස්ථානගත විය.

මේ අවස්ථාවේදීම තෝම්බු මුදලි සහ සියනෑ කෝරලයේ උඩගහපත්්තුව සහ ග`ගබඩපත්තුව කරවන වාසන මුදලි දොන් සොලමන් ඩයස් නමැති අය ලස්තිරික්‍ද්ක්‍ද හමුදා කණ්ඩායම් දෙකක් රැුගෙන දෙපසින් සිංහල හමුදා වටලන ලදි. දැන් සිංහල හමුදාව ඉදිරි පසින් හංවැල්ල බලකොටුවේ හමුදාවෙනුත් පසුපසින් ලූතිනන් මර්සර්ගේ හමුදාවෙනුත් දෙපසින් තෝම්බු මුදලිගේ සහ දොන් සොලමන් ඩයස්ගේ හමුදාවෙනුත් වටවී සිටිති. මේ අවස්ථාවේ සිංහල හමුදා විසින් ඉංග‍්‍රීසීන්ගෙන් අල්ලාගත් කාලතුවක්කු දෙක මෙහෙයවූ බෙංගාල සහ මදුරාසි භටයින් එම කාලතුවක්කු පරිහරණය කළේ ඉංග‍්‍රීසීන්ට වාසි සහගත වන අයුරින්. එනම් වැඩි පිරිසකට හානි සිදුකළ හැකි විසිරී යන මුණිස්සම් සහිත උණ්ඩ වෙනුවට පවුන්ඩර් තුනේ සහ හයේ තනි උණ්ඩ යොදා වෙඩි තැබුයේත් බලකොටුවේ බැම්මට ඉහළින් යන ලෙසට ය. මෙයින් ඉංග‍්‍රිසීන් හට කිසිදු හානියක් සිදුවූයේ නැත. මේ සිදුවන කිසිවක් සිංහල හමුදා දැන සිටියේ නැත. සතර වටින් ප‍්‍රහාර එල්ල වෙද්දී මැලේ භටයින් 26 ක් හොර රහසේම ඉංග‍්‍රීසි හමුදාවට භාරවිය. ඉන්දීය සිපයි භටයින් 150 ක් ද ඉංග‍්‍රීසීන්ට යටත් විය. ඒ සමගම සිංහලයින් සතුව තිබූ ඉංග‍්‍රීසි කාලතුවක්කු දෙකද ඇතුළු විශාල අවි ආයුධ හා වෙඩි බෙහෙත් තොගයක්ද ඉංග‍්‍රීසි හමුදාව සතුවිය. තවත් ටික වේලාවකින් සිංහල භටයින් 80 ක් සහ රාජසිංහ රජුගේ ධජය ද ඉංග‍්‍රීසි හමුදාවෙ අත්අඩංගුවට පත්විය.

පසු දින උදෑසන වනවිට හංවැල්ල බලකොටුව තුළ සිංහල භටයින් 270 කගේ මලසිරුරු හා හංවැල්ල නගරය තුළ හා කැලණි ගගේ ඉවුර දිගට දහස් ගණනක සිංහල භටයින්ගේ මලසිරුරු දක්නට ලැබිණි. සිංහල හමුදාව රජුගේ ධජය ද අහිමිව අති බිහිසුණු පරාජයකට ලක් වී ඇත. රාජසිංහ රජු ඉතිරි සුළු භට පිරිසද රැුගෙන ආපසු මහනුවරට පසුබසින අතරතුර සටන මගහැර කමතක කුරුම්බා බොමින් සිටි රජුගේ හමුදාපති ලෙව්කේ බණ්ඩාර අත්අඩංගුවට පත් වූ අතර ඔහු එම අවස්ථාවේම හිස ගසා මරණයට පත් කරන ලදී. ලෙව්කේ මැතිදු අද තනියම වෙළ මැද්දේ යන කවියට පාදක වූයේ එම සිද්ධියයි. මාතර තංගල්ල බලකොටුව ඇල්ලීමට ගිය සිංහල හමුදා මේජර් බිවර් විසින පරාජය කරන ලද අතර මීගමු, හලාවත, පුත්තලම ගිය හමුදා ද ආපසු කැඳවන ලදී. එයින් අවුරුදු 12 කට පසු එනම් 1815 මාර්තු 02 දින ලංකාව සම්පූර්ණයෙන්ම ඉංග‍්‍රීසීන්ගේ ආධිපත්‍යයට නතු විය.
ඒ ලංකා දිවයින මුලූමනින්ම විදේ්ශීය ජාතිකයන්ට යටත් වූ පළමුවෙනි හා එකම අවස්ථාවයි. එයිනුත් වසර 133 කට පසු එනම් 1948 පෙබරවාරි 04 වෙනි දින ලංකාවට ඉංග‍්‍රීසින් වෙතින් නිදහස ලැබිණි. 1803 අගෝස්තු 22 වෙනි දින ලූතිනන් පොලොක් විසින් හංවැල්ලේදී අත්අඩංගුවට ගෙන එංගලන්තයට රැුගෙන ගොස් එහි වෙල්සි රෝහලේ කෟතුකාගාරයක නැපෝලියන්ගේ ධජය සමග ගෞරවාන්විතව තැන්පත් කර තිබූ සිංහ ධජය එංගලන්තයේ වංශාධිපතියකු වූ ස්ටෑන්මෝර්ගේ මග පෙන්වීම මත ලංකාවේ පාර්ශ්වයෙන් ඊ. ඩබ්. පෙරේරා, ඞී. ආර්. විජේවර්ධන, එච්සිපි බෙල් හා ජෝශප් පියර්සන් යන මහතුන්ගේ මෙහෙයවීම මත ශ‍්‍රී ලංකාවට රැුගෙන විත් ශ‍්‍රී ලංකා ජාතික ධජය ලෙස ඔසවන ලදී. යම් යම් සංශෝධනයන්ට ලක්කර සකස් කිරීමෙන් පසු අදටත් අපගේ ජාතික ධජය වශයෙන් භාවිත කරනුයේ එම ගාම්භීර සිංහ ධජයයි.

ක‍්‍රි. ව. 1803 දී හංවැල්ල සටන පරාජය වනවිට අප රටේ උඩරට පාලනය කළේ නායක්කාර වංශික දකුණු ඉන්දීය ජාතික ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමාය. එම රජුට පෙර එනම් ක‍්‍රිව. 1739 සිට උඩරට හෙවත් ලංකා රාජ්‍ය පාලනය කළේ ශ‍්‍රී විජය රාජසිංහ, කීර්ති ශ‍්‍රී රාජසිංහ හා රාජාධි රාජසිංහ යන දකුණු ඉන්දිය රජවරුන් ය. ඊට පෙර රජකළ දෙවන රාජසිංහ රජුගේ සිට ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු දක්වා කාලය තුළ දකුණු ඉන්දීය බිසවුන් සරණ පාවා ගැනීම් නිසා එම ප‍්‍රදේශයෙන් ලංකාවට බිසෝවරු 18 ක්, ඔවුන්ගේ පියවරු 04 ක්, මස්සිනාවරු 8 ක් ප‍්‍රධාන වශයෙන් පැමිණ සිටියහ. රජවරුන් 04 දෙනාම දකුණු ඉන්දීය ජාතිකයන් හෙයින් මෙම ඥාතීන් රාජ්‍ය පාලනයේ ප‍්‍රධාන හවුල්කරුවන් වූහ. එදා හංවැල්ලේ දී ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ හමුදා පරාජය නොවුවා නම් 1815 මාර්තු 02 ලංකාව ඉංග‍්‍රීසීන්ට යටත්වීමත් 1948 පෙබරවාරි 04 දින ඉංග‍්‍රීසීන් වෙතින් නිදහස ලැබීමත් වැනි සිදුවීම් සිදු නොවන්නේය.

රටේ පාලනය හා සම්බන්ධ ක‍්‍රියාවලිය තීරණය වනුයේ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ සම්ප‍්‍රාප්තියට බලපෑ සිදුවීම්වලට සාපේක්‍ෂවය. රටේ ඉරණම හා ඉතිහාසයේ පමණක් නොව වර්තමානයට ද බලපෑ තීරණාත්මක සංසිද්ධියක් ලෙස 1803 අගෝස්තු 22 හංවැල්ල පරාජය ඉතිහාස ගත වනුයේ එහෙයිනි.

කොඩිතුවක්කුකාර ගෙදර කුලරත්න
ගොහාගොඩ – කටුගස්තොට


advertistmentadvertistment
advertistmentadvertistment