උසස් තත්ත්වයේ ‘ටජ්මහල්’ කිලෝ දහදාහක් රජයේ ගොවිපළකින් මාට්ටු
රට තුළ දැඩි සහල් හිඟයක් පවතින අවස්ථාවක පරිභෝජනය සඳහා සුදුසු තත්ත්වයේ සහල් භාවිතා කර නීති විරෝධී ලෙස සකස් කළ සත්ව ආහාර තොගයක් සහ එම ආහාර නිෂ්පාදනය කිරීම සඳහා ගබඩා කර තිබූ සහල් කිලෝ දහදාහකට ආසන්න ප්‍රමාණයක් පෙරේදා (8 දා) පස්වරුවේ සිදුකළ වැටලීමකදී, රජයේ සත්ත්ව ගොවිපළක තිබී හමුවූ බව අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව තඹුත්තේගම, හූරීගස්වැව මාර්ගයේ නිරාවිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙම සත්ව ගොවිපළ තුළ සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව, එහි ගබඩා කර තිබූ ඉන්දියාවෙන් ආනයනය කළ ‘ටජ්මහල්’ නමැති උසස් තත්ත්වයේ මෙම සහල් තොගය හමුවූ බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
2024.03 වැනි මස කල්ඉකුත් වන මෙම සහල් තොගයෙන් සහල් විශාල ප්‍රමාණයක් වැටලීම සිදු කෙරෙන අවස්ථාව වන විටත් සත්ත්ව ආහාර ලෙස සකස් කර තිබූ බවද පාරිභෝගික අධිකාරිය කියයි.
මෙම සහල් භාවිතා කළ ඌරන් සහ කුකුළන් සඳහා සත්ත්ව ආහාර ලෙස සකසා තිබූ බහලු සහ පරිභෝජනය සඳහා භාවිතා කළ හැකි සහල් තොගයට මුද්‍රා තැබීමට පාරිභෝගික නිලධාරීහු මෙහිදී පියවර ගත්හ.
මෙහිදී අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ ස්ථානභාර ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී. ඒ. සී. පී. පෙරේරා මහතා මෙසේ පැවසීය.
‘පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කළ විධාන අංක 84 යටතේ, සහල් හෝ වී සත්ත්ව ආහාර සඳහා සෘජුව හෝ වක්‍රව භාවිතා කිරීම සම්පූර්ණයෙන් තහනම්. රජය අසීරුවෙන් සහල් ආනයනය කරන අවස්ථාවක රජයේ ආයතනයක් තුළ මෙය සිදු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාවක්.’
මිහින්තලේ – රංග චතූ