පරිවර්තන සාහිත්‍යයේදී පාඨක රුචිය තේරුම්ගත යුතුයි… නිශානි දිසානායක

109

වසර 35කට අධික කාලයක් පුරා පුවත්පත් කලාවේදිනියක් ලෙස කටයුතු කළ නිශානි දිසානායක පරිවර්තන සාහිත්‍ය පිණිස යොමු වන්නේ ඉන් අනතුරුවය. වෘත්තීය ජීවිතයෙන් ලද පරිචය සමග ක්‍ෂේත‍්‍රයට පිවිසෙන ඇය විසින් මේ වනවිට විදෙස් කෘතීන් විස්සකට අධික සංඛයාවක් සිංහලයට පරිවර්තනයකර ඇත. එම නිර්මාණ පිළිබඳවත් පරිවර්තන සාහිත්‍යයේ පැවැතිය යුතු හැඩරුව ආදිය සම්බන්ධවත් කතා බහක් සඳහා මෙවර අකුරු දිගේ සාහිත්‍ය සංවාදය හා එක් වෙමින් ප‍්‍රවීණ පරිවර්තන ලේඛිකා නිශානි දිසානායක මහත්මිය පළ කළ අදහස් පහත පළ වේ.

ප‍්‍රශ්නය – පර්වර්තන සාහිත්‍ය ඇසුරෙහි නිර්මාණකරණයේ නිරත වන ඔබ මෙවර වෙනත්ම ආකාරයක පරිවර්තනයක් පාඨකයන් අතට පත් කොට තිබෙනවා. පළමුව ඒ පිළිබඳව යමක් සඳහන් කරනවා නම්

පිළිතුර – මෙය මං කරපු පරිවර්තන අතරින් වෙනස් වෙන්නෙ මෙතෙක් යොවුන් පාඨකයින්ට පොත් පරිවර්තනය කරපු මම මෙවර වැඩිහිටියන් වෙනුවෙන් පරිවර්තනයක් කිරීමයි. ඇපල් ගහ යට නමින් කළ මෙම පරිවර්තනය රෙබෙකා ක්ලාන් බ්‍රොකොවේගේ UNDER THE APPLE TREE ඇසුරින් පරිවර්තනය වී තිබෙනවා. ඇමරිකානු ලේඛිකාවක් වන ඇගේ ජීවිත කතාව මීට ඇතුළත්. 60 දශකයේ ඇමරිකාව පිළිබඳ පැහැදිලි චිත‍්‍රයක් මේ පොත ඇසුරින් මවාගන්න පුළුවන් වගේම කොයිතරම් දියුණු රටක වුණත් කාන්තාවන් මුහුණ දෙන ප‍්‍රශ්න, පිරිමියා ප‍්‍රශ්නවලින් පලා යන කොට දරුවන් තනිවම හදාවඩා ගන්නා ගැහැනිය මුහුණ දෙන මානසික හා කායික තත්ත්වයන් මේ කතාව තුළින් පිළිබිඹු වෙනවා. මෙය හරියටම බැලූවොත් බහුතරයක් වන ගැහැනුන්ගේ කතාව මට හිතෙන්නේ හැම ගැහැනියකගේම අත්දැකීම්වල සුළු කොටසක් හෝ කතුවරයාගේ ජීවිත කතාව තුළින් කියවාගන්න පුළුවන්.

පරිවර්තන සාහිත්‍යයේදී පාඨක රුචිය තේරුම්ගත යුතුයි... නිශානි දිසානායක

ප‍්‍රශ්නය – පරිවර්තන සාහිත්‍යයේ නව ප‍්‍රවණතාවන් පිළිබඳව එම කාර්යයේ නිරත ලේඛිකාවක් ලෙස ඔබ විමසිලිමත්ද?

පිළිතුර – වෙනදාට වඩා පරිවර්තන සාහිත්‍යයේ පිබිදීමක් දකින්න පුළුවන්. එය මේ වනවිට ස්වතන්ත‍්‍ර සාහිත්‍යය අභිබවා ගොස් ඇති බවත් අපේ රටේ දකින්න පුළුවන්. ඒක නම් හොඳ තත්ත්වයක් නෙමෙයි. අනුන්ගේ නිර්මාණ පරිවර්තනය කරන තරමටම රටක සාහිත්‍යය තුළ ස්වතන්ත‍්‍ර නිර්මාණ ඒ වගේම අලූතින් ස්වතන්ත‍්‍ර නිර්මාණයේ යෙදෙන ලේඛක, ලේඛිකාවන් බිහිවිය යුතුයි. ඒ වගේම මේ පරිවර්තනවල ගුණාත්මකභාවය ගැනත් හරියටම කියන්න බැහැ. එහෙම නම් අපි මුල් කෘතිය සමඟ වාක්‍යයන් ගළපා එය සැකසිය යුතුයි. නමුත් එපාවීමකින් තොරව ඒ වගේම පාඨක හිතට, හදවතට සමීපව යම් පරිවර්තන කෘතියන් කියැවීමට හැකි නම් එය සාර්ථක වී ඇති බව මගේ විශ්වාසයයි. කොහොමටත් ‘වචනයෙන් වචනය’ (Word to Word) පරිවර්තනය විය යුතුයි කියලා විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඇතැම් තැන්වලදී එය අපේ පාඨක මනසට ගැළපෙන හැටියට සුළු වශයෙන් වෙනස් වීමේ වරදක් නැහැ.

ප‍්‍රශ්නය – තෝරා බේරා ගැනීමකින් තොරව සිදුකරන පරිවර්තන කෘති විසින් මෙරට වෙළඳපොළ ආක‍්‍රමණය කිරිමක් මේ වනවිට දකින්න පුළුවන්. ඔබ විසින් මේ තත්ත්වය විග‍්‍රහ කරන්නෙ කොහොමද?

පිළිතුර – තෝරා බේරා ගැනීම කරන එකත් පහසු නැහැ. බොහෝ විට මේ පරිවර්තන සඳහා ලේඛකයාට පොත් තෝරා දෙනු ලබන්නේ ප‍්‍රකාශන විසින්. මම නම් මගේ ප‍්‍රකාශය

සමාගම වන සහජ ප‍්‍රකාශකයින්ට මගේ හිත බැඳගත් කෘති හඳුන්වා දුන් අවස්ථාවල ඔවුන් එයට එකඟ වූ අවස්ථා තිබෙනවා. නමුත් බොහෝවිට සිදුවන්නේ ප‍්‍රකාශකයා විසින් අයිතිය ලබාගත් පොත් පරිවර්තනය කිරීමට පරිවර්තකයට ලබාදීමයි. මෙහිදී නම් ප‍්‍රමිතියෙන් අඩු කෘති තෝරා ගන්නවා කියන ඒකට මට එකඟ වෙන්න අමාරුයි. මොකද වෙළඳපොළ වටිනාකම මෙන්ම ඒ සඳහා ඇතිවිය හැකි ඉල්ලූම ගැන අවබෝධයකින් තමයි ප‍්‍රකාශකයා මේ පොත් තෝරාගෙන භාරදෙන්නේ. නියම ප‍්‍රකාශකයෙක් පාඩු ලබන කෘතියක් කරන්න කැමැති වෙන්නේ නැහැ. මං හිතන විදිහට ප‍්‍රමිතියෙන් තොර වන්නේ එම පරිවර්තනය හරියාකාරව නොතේරුණු විටයි.

පරිවර්තන සාහිත්‍යයේදී පාඨක රුචිය තේරුම්ගත යුතුයි... නිශානි දිසානායක

ප‍්‍රශ්නය – පුවත්පත් කලාවේදිනියක් ලෙස ලේඛනය ආරම්භ කරන ඔබ පසු කලෙක ග‍්‍රන්ථ පරිවර්තන ලේඛිකාවක් බවට පත් වෙනවා. කොහොමද ඒ පරිවර්තනය සිද්ධ වෙන්නෙ.

පිළිතුර – මම පූර්ණ කාලීන පුවත්පත් කලාවේදිනියක් ලෙස වසර 35කට ආසන්න කාලයක් වැඩ කරලා තියනවා. දැන් මම නිදහස් මාධ්‍යවේදිනියක්. මම රැකියාවට ආව කාලෙ ඉඳලම වැඩිපුර කළේ පරිවර්තන. මා ප‍්‍රධාන කර්තෘ ලෙස පසු කාලෙක සේවය කළ සමුදුර පුවත්පත තනිකරම වෙන්වූයේ පරිවර්තනවලට. ඉංගී‍්‍රසියෙන් සිංහලට පරිවර්තනය කිරීමේ හැකියාව තිබුණු නිසා මට වැඩිපුරම ලැබුණේ එවැනි ලිපි. මතක ඇති කාලයක ඉඳලා පොත් කියැවීම වගේම

රැකියාවේදී පරිවර්තන කිරීම හේතුවෙන් මට පොත් පරිවර්තනය කරන්න ඕනෙ කියලා හිතුනෙ නැහැ. නමුත් මම පුවත්පත්වලට පරිවර්තනය කළ කෙටිකතා එකතු කරලා පොතක් කරන්න හිතුනා. ඒ පොත පළකරන්න ප‍්‍රකාශකයෙක් හොයද්දි තමයි පහන් ප‍්‍රකාශකයින් ඒ සඳහා කැමැත්ත පළ කළේ. නමුත් ඒ පොත ප‍්‍රකාශයට පත් කරන්න කලින් ඔවුන්ගේ ආරාධනයෙතන් මම ටාසන් හා රොම් සොල්දාදුවා පරිවර්තනය කළා.

ප‍්‍රශ්නය – ඔබ වඩාත් කැමැත්තෙන් සිදු කළ පරිවර්තන කෘතිය කුමක්ද? ඒ සඳහා හිමි වූ පාඨක ප‍්‍රතිචාර මොන වගේද?

පිළිතුර – වඩාත්ම කැමැත්තෙන් පරිවර්තනය කළේනම් ඇපල් ගහ යට, ඊට අමතරව මුල්ඩොනාඩෝ පෙළහර හා මම මුලින් සඳහන් කළ කෙටිකතා පොත (අම්මාගේ ආදරය) කෘතිවලටත් කැමැතියි. මුල්ඩොනාඩෝ පෙළහර තමයි මුලින්ම දාන්නෙ රූපවාහිනි චිත‍්‍රපටය හැටියටයි. ජනපි‍්‍රයතම හොලිවුඞ් නිළියන් වන සල්මා හයෝ්ගේ මේ කුලූඳුල් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය. මට පොත පිරිනමල තියෙන්නෙත් ඇයටයි. මෙම චිත‍්‍රපටිය හරිම අපූරුයි. ඉංගී‍්‍රසි පොත ලංකාවේදී හොයන්න අමාරු වුණා. ප‍්‍රංශයේ ඉන්න අපේ හිතවතෙකුට කියලා තමයි පොත ගෙන්නගත්තෙ. මේ පොත ඇරුණුකොට මම කැමැතිම ඇපල් ගහ යට තමයි. මම කතා කරන බසින් ලියපු පළවෙති පොතත් ඒකයි. කතාව කියාගෙන යන්න, ගලාගෙන යන්න ඒක පහසුවක් කියලා මට හිතෙනවා. පරිවර්තනය කරන පොත රසවත්ව තිබුණු තරමට පරිවර්තනය කිරීමත් බොහොම කැමැත්තෙන් කරන්න පුළුවන්.

ප‍්‍රශ්නය – රටේ පවතින තත්ත්වය තුළ ඕනෑම ග‍්‍රන්ථයක් ප‍්‍රකාශයට පත් කිරීම තරමක අභියෝගයක් බවට පත් වෙලා අවසන්. මේ තත්ත්වය තුළ කර්මාන්තයේ හෙට දවස කුමන මුහුණුවරක් ගනීවිද?

පිළිතුර – ඒ කතාව ඇත්ත. රට වසා තැබීම, වසර පුරා බලාපොරොත්තුවෙන් හිටපු පොත් ප‍්‍රදර්ශනය පවත්වා ගැනීමට නොහැකි වීම, රජයෙන් කරන පොත් මිලදී ගැනීමේ කටයුතු අඩාළ වීම වැනි හේතු මත පොත් ප‍්‍රකාශනයේ ලොකු පසුබෑමක් තියෙනවා. නමුත් මෙවන් තත්ත්වය තුළත් මගේ ප‍්‍රකාශන සමාගම පසුගිය සැප්තැම්බරයෙ ඇපල් ගහ යට ඇතුළුව පොත් රැසක්, ගුණාත්මක බවින්් වැඩි පොත් රැසක් ප‍්‍රකාශයට පත් කිරීම ලොකු සතුටක්. අනෙක් ප‍්‍රකාශන

සමාගම් වුණත්හැකි පමණින් තම ප‍්‍රකාශන නිකුත් කළා. මෙහිදී වැඩිපුරම අලාභ විඳින්න වුණේ ප‍්‍රකාශකයින්ටයි. කොහොම වුණත් මේ තත්ත්වය ඉක්මනින් පහ වෙලා යයි කියලා හැමෝගෙම බලාපොරොත්තුව. සුබවාදීව මේ දිහා බලමු. රටේ මෙන්ම ලෝකයේ පවතින තත්ත්වය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් වෙන්න කියලා ප‍්‍රාර්ථනා කරමු. කර්මාන්තය හැටියට සම්පූර්ණයෙන් රැඳීහිටින්න ටික කාලයක් ගත වුණත් ඒක කරන්න බැරි වැඩක් නෙමෙයි.

ප‍්‍රශ්නය – ඉදිරියේදී ඔබ විසින් පරිවර්තනය කිරීමට අපේක්ෂිත විදේශ කෘතින් පිළිබඳ යම් සැලසුමක් පවතිනවද?

පිළිතුර – මේ වෙනකොට මම තවත් යොවුන් කෘතියක් පරිවර්තනය කරලා ප‍්‍රකාශනයට භාර දීලා තියෙනවා. මේක පොඩි ගැහැනු ළමයෙක් මුහුණදෙන හරි අපූරු අත්දැකීමක් ගැන රසවත් කතාවක්. ඒ වගේම යොවුන් පාඨකයින් වෙනුවෙන් තවත් පොතක් මම මේ දිනවල පරිවර්තනය කරගෙන යනවා. ඒකෙ වැඩ කටයුතුත් ළඟදීම අවසන් වෙයි. ඒ පොතේ වැඩ ඉවරවුණාම පරිවර්තනය කරන්න ප‍්‍රකාශනයට භාරදුන්නු තවත් පොතක් තියෙනවා. ඒකත් යොවුන් පාඨකයින්ට වෙනස් කතාවක්. නමුත් මේ පොත් තුනම සාමාන්‍ය යොවුන් කතන්දරවලට වඩා වෙනස්. පොත් නිකුත් වුණාම ඒ බව පාඨකයින්ට වැටහේවි. පූර්ණ කාලීන මාධ්‍ය කටයුතුවලින් ඈත් වුණාට පස්සෙ පොත් පරිවර්තනය කරන්න මට වැඩි කාලයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා මුල් කාලෙ අවුරුද්දකට පොතක් ගානේ කළ පරිවර්තන කටයුතු ඊට වැඩියෙන් කරන්න පුළුවන්.

ප‍්‍රශ්නය – කුඩා දරුවන් වෙනුවෙන් ගුණාත්මක පරිවර්තන සාහිත්‍යයක් රට තුළ නොපැවතීම බරපතළ පාඩුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ පිළිබඳව ඔබ ගේ අදහස

පිළිතුර – ඒ කතාවෙ ඇත්තක් තියෙනවා. අනෙක වර්තමානයේදී පරිවර්තන කෘතිවලත් වැඩි කොටසක් වැඩිහිටි පාඨකයින් එල්ලකොට සිදුවෙනවා. ඉතිරි කොටස යොවුන් පාඨකයින් වෙනුවෙන් කුඩා දරුවන් වෙනුවෙන් ඔවුන් ගේ මනසට ගැළපෙන ඒ වගේම ඔවුන්ට යම් පාඩමක් ඒ තුළින් ඉගෙනගන්න පුළුවන් පරිවර්තන සිදු වෙනවා හොඳටම අඩුයි. බොහෝ රටවල හරි අපූරු ළමා කතා වර්තමානයේදීත් ලියැවෙනවා. ඒ වගේ කතා හොයාගෙන පරිවර්තනය කරන්න ළමයින් වෙනුවෙන් ඒ කටයුත්තේ යෙදෙන ලේඛක ලේඛිකාවන් බිහි වෙනවා නම් හොඳයි. අනෙක ඉංගී‍්‍රසියෙන් කියවන්න පුළුවන් දරුවන්ට නම් පිටරටින් ගෙන්වන ඉංගී‍්‍රසි ළමා පොත් විතරක් තියෙනවා. නමුත් සිංහලෙන් කියවන හා සිංහලෙනුත් පොත් කියවන්න කැමති දරුවන්ට පරිවර්තන පොත් කියවන්න ලැබෙනවා අඩුයි. ඒ අඩුව පුරවනවා නම් හොඳයි.

සංවාදය – රුවන් ජයවර්ධන

පරිවර්තන සාහිත්‍යයේදී පාඨක රුචිය තේරුම්ගත යුතුයි... නිශානි දිසානායක
advertistmentadvertistment