පරිසරය හා අවුරුදු පැතුම

541

මිනිසාට හා සතුන්ට ජීවත්වීමටත් ගහට, වැලට පැවතීමටත් තරම් සුදුසු වටා පිටාවක් ඇත්තේ පොළොව මතුපිට පමණි. එහෙත් එහි උෂ්ණත්වය ද දිනෙන් දින ඉහළ යෑම මේ සියලු දෙනාටම ප්‍රශ්නයකි. අනුරාධපුර ප්‍රදේශයේ මේ දිනවල අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බව වාර්තා විය. එය අවුරුදු උණුසුම පරයා යන්නක් විය. සෙනසුරාදා දිනයේ වැඩිම උණුසුම වාර්තා වී තිබුණේ පොළොන්නරුවෙනි. එය සෙල්සියස් අංශක 36.7 ලෙස සටහන් විය. එනිසාම අනුරාධපුරයද ගිනිගත් බව පැහැදිලිය. අනුරාධපුර වැසියන් පවසන්නේ “අවුව නම් හොඳටම වැඩියි. ඉන්නත් අමාරුයි.” යනුවෙනි. අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා අනුරාධපුර නගරයට පැමිණි පිරිස් ද උණුසුම් කාලගුණික තත්ත්වයෙන් ආරක්ෂාවීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරන අයුරු දක්නට ලැබුණේ කවර හෝ උපක්‍රමයකින් සිය ශරීර තෙත් කරවා ගැනීමට ඔවුන් උනන්දු වූ නිසාය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා එනම් සිංහල අවුරුදු දිනයේ ප්‍රකාශ කර සිටියේ නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් කොළඹ, ගම්පහ, කුරුණෑගල, කිළිනොච්චිය, වව්නියා, මුලතිව් සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම ඉහළ අගයක පවතිනු ඇති බවයි. මෙම උණුසුමට වැඩි වේලාවක් නිරාවරණය වීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති වීම සහ විජලන තත්ත්වයක් හෝ මස්පිඩු පෙරළීම් සිදුවිය හැකි බවට වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබිණි. උණුසුම දරාගත නොහැකි මට්ටමට වැඩි වූ විට කිසිම කාර්යයක් කළ නොහැකිය. එය සිහිය එලවාගත නොහැකි තත්ත්වයකි. ඇත්තෙන්ම මේ කාලයේ උණුසුම වැඩිවීම ලංකාවට පමණක් බලපාන දෙයක් නොවේ. පාකිස්තානයේ උණුසුම සෙල්සියස් අංශක 44 දක්වා වැඩි වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින පාකිස්තාන වැසියන්ට උණුසුමද බලවත් පීඩාවක් ගෙන එන බව පෙනේ. ඇත්තෙන්ම පෙරේදා දිනයේ කොළඹ උණුසුමද සෙල්සියස් අංශක 32 ඉක්මවා ගොස් තිබිණි. මෙය ඉදිරි දිනවලත් පවතිනු ඇත. යම් සහනයක් ලැබෙන්නේ හවසට ඇද හැලෙන වර්ෂාවෙන් පමණි.

වෙනදා නොදැනෙන උණුසුම දැනෙන විට අනාගතය ගැනද බියක් දැනේ. ඒ මන්ද වේගයෙන් ලෝකය මිනිසාට වාසය කළ නොහැකි තැනක් බවට පත්වෙමින් තිබෙන නිසාද? අවුරුද්ද වෙනුවෙන් බොහෝ දෙනකු ගසක් සිටුවීමට කටයුතු කළ බව දකින්නට අසන්නට හැකිවිය. මෙය වඩා වැදගත් වන්නේ අනාගත විපතින් ගැලවීමට යම් සහනයක් ලබා ගැනීම වෙනුවෙනි. එය අපට නොවුවද අනාගත පරම්පරාවට සහනයක් සපයනු ඇත. ගසකින් දැනෙන සිසිලස වෙන කවර තැනකින් හෝ ලබා ගත නොහැකිය. වායු සමීකරණයෙන් ලැබෙන්නේ කෘත්‍රිම සහනයක් පමණි. එයින් මානසික සහනයක් නොලැබේ. නමුත් ගසකින් එලෙස නොවේ, එය භාවනාවක් වැන්න. වසර 2015 දී ප්‍රංශයේ පැරිස් නගරයේ පැවති දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී එළඹුණු තීරණයක් වූයේ ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 2 ඉක්මවා යෑමට ඉඩ නොදී සෙල්සියස් අංශක 1.5 මට්ටමක පවත්වා ගෙන යමින් ගෝලීය උණුසුම පාලනය කිරීමයි. එහෙත් වර්තමානයේ පරිසරයට මුදා හැරෙන කාබන් ඇතුළු හරිතාගාර වායුන් ප්‍රමාණය සීමා නොකළහොත් වසර 2100 වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක තුන ඉක්මවමින් අපගේ පරිසර පද්ධතියට නැවත හැරවිය නොහැකි හානියක් සිදු කරනු ඇති බවට ජාත්‍යන්තර කාලගුණ සංවිධානය විසින් නිකුත් කර ඇති අලුත්ම වාර්තාවක සඳහන් කර තිබේ. එයින්ම ඉහතදී සඳහන් කළ අනාගත විපත ගැන ඉඟි සැපයේ.

තාක්ෂණය අතින් ලෝකය කොතරම් ඉදිරියට ගියද, දේශගුණික වෙනස්කම් හේතු කරගෙන ලොව ඇති වෙමින් පවත්නා සිතාගත නොහැකි අන්දමේ කාලගුණික පෙරළි, ස්වාභාවික විපත් සහ ලෙඩ-රෝග ඇතුළු සංකීර්ණ අර්බුද නිසා පැනනඟින දැවැන්ත බලපෑම පාලනය කිරීමට නූතන තාක්ෂණයවත් ප්‍රමාණවත් නොවන තැනකට පැමිණ ඇත. ලෝකය කෙතරම් දියුණු වුවද කොරෝනා වසංගතය හමුවේ සියලු දෙනාට ගෙදරට වී සිටින්නට සිදුවිය. එය ධනය බලය හෝ තාක්ෂණය මත තීරණය වූවක් නොවීය. එනිසා සැමවිටම පරිසරය සමග සහයෝගිව ජීවිතය පවත්වාගෙන යෑමට කටයුතු කිරීම අපේ අවුරුදු පැතුම විය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment