එකෙන් එකොළහට එද්දි 36000ක්ම පාසල් හැරගිහින්
උ.පෙළට එද්දි 127500ක් පාසල් ගමන තිත තියලා
අවුරුදු පහට එක වසර ළමයි 45500කින් අඩුවෙයි
පාසල් ගමන වැඩිපුරම අතහරින්නෙ පිරිමි ළමයි
රටක සංවර්ධනයට අවශ්‍යම සාධකය වන්නේ දැනුමෙන් පරිපූර්ණ මානව සම්පතක් සිටීමයි. ඒ සඳහා අවශ්‍ය අඩිතාලම සැකසෙන්නේ පාසල් අධ්‍යාපනය තුළිනි. පාසල් සිසුවකු වසර 13 අඛණ්ඩ පාසල් ජීවිතයක් ගතකළ යුතු නමුත් මේ වනවිට කෙමෙන් කෙමෙන් පාසල් ජීවිතයට සමුදෙන පිරිස වැඩිවන ආකාරයක් දක්නට ලැබේ.
මේ පිළිබඳ අවධානය යොමුකළ නිසා දෝ පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අධ්‍යාපන, විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමින් පැවසුවේ දරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය වන සහ සියලුම දරුවන්ට අධ්‍යාපනයෙහි ප්‍රවේශය සැලසෙන ලෙස ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් සකස් විය යුතු බවයි.
අපේ අධ්‍යාපනය විශාල පරිවර්තනයකට ලක්කළ යුතු බව ඔබ අප කවුරුත් පිළිගන්නා සත්‍යයයි. දැන් ඒ සඳහා කාලය එළඹ ඇත. මේ වනවිට ලංකාවේ රජයේ පාසල්වල දැකගන්නට ලැබෙන්නේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන ළමුන් ප්‍රමාණයේත් සැලකිය යුතු පහළ යෑමකි. මේ බව අනාවරණය වන්නේ පසුගියදා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවකිනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්‍ෂ, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාද මේ පිළිබඳ අදහස් පළකොට තිබිණි.
එක වසරට අඩු වූ ළමයි
මෑත කාලය පිළිබඳ සලකා බැලීමේදී පෙනීයන්නේ වැඩිම සිසුන් ප්‍රමාණයක් ඇතුළත් වූ වර්ෂය ලෙස සටහන් වන්නේ 2019 වසර බවයි. එම වසර තුළ රජයේ පාසල් පද්ධතියේ පළමු ශ්‍රේණියට ඇතුළත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව 333,074කි. 2020 වසර වනවිට එම ප්‍රමාණය 319,405 දක්වා අඩු වී තිබේ. 2021 වනවිට 304,105 දක්වාත් 2022 වසර වනවිට 292,517 දක්වාත් 2023 වනවිට 287,639 දක්වාත් පහළ ගොස් ඇත.
වසර පහක් වැනි කෙටි කාලයක් තුළ පළමු වසරට ඇතුළත් වූ ළමයි සංඛ්‍යාව 45,435කින් පහළ ගොස් ඇත. ඒ අනුව ආසන්න වශයෙන් වසරකදී ළමයින් 9000කට අධික ප්‍රමාණයක් රජයේ පාසල්වල පළමු පන්තියට ඇතුළත්වීමට ඉදිරිපත් වී නොමැත. ඒ සඳහා උපත් අනුපාතය පහළ යෑමද යම් බලපෑමක් එල්ලකර ඇත. එහි පහළ යෑමේ ප්‍රතිශතය 15.8%කි. මේ කාල පරිච්ඡේදය තුළ පළමු වසරට ඇතුළත් වූ පිරිමි ළමයින් ප්‍රමාණය 22805 කිනුත් ගැහැනු ළමයින් 22630 කිනුත් පහළ ගොස් ඇත. 2019 වසරේදී පළමු වසරට පිරිමි ළමයින් 169,119 ඇතුළත් වුණත් 2023 වසර වනවිට එම ප්‍රමාණය 146,314 දක්වා 22,805 කින් පහළ ගොස් ඇති අතර එහි ප්‍රතිශතය 15.59%කි.
2019 වසරේදී පළමු වසරට ඇතුළත් වූ ගැහැනු ළමයින් සංඛ්‍යාව 163955ක් වන අතර 2023 වනවිට එම ප්‍රමාණය 141325 දක්වා 22630කින් පහළගොස් ඇති අතර එහි ප්‍රතිශතය 16% කි.
2008 වසරේදී අකුරු කරන්නට පළමු පන්තියට ඇතුළත් වුණු ළමයින් ප්‍රමාණය 330,448කි. මෙම පිරිස අපොස සා.පෙළ විභාගයට පෙනී සිටියේ 2018 වසරේදීය. නමුත් 2018 වසරේදී සාමාන්‍ය පෙළ පන්තියේ සිට ඇති ශිෂ්‍ය සංඛ්‍යාව ලෙස වාර්තා වන්නේ 294,220ක් පමණි. මෙම කාලය තුළ ළමයින් 36,228ක් පාසල් ගමනට තිත තබා තිබේ. මෙම පිරිස අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටින්නේ 2021 වසරේදීය. 2021 වසරේදී උසස්පෙළ පන්තියේ සිටි ශිෂ්‍ය සංඛ්‍යාව ලෙස වාර්තා වන්නේ 202923 කි. 2008 වසරේදී පළමු වසරට ඇතුළත් වූ සිසුන්ගෙන් 127,525ක් පාසල් ගමනට තිත තබා තිබේ.
5 වසර ශිෂ්‍යත්ව විභාගය ළමයින්ට දැඩි මානසික වධයක් වෙලා
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්‍ෂ, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල
පිරිමි ළමයින්ට පාසල එපාවෙයි
පළමු පන්තියට අකුරු කරන්නට පැමිණි පිරිසෙන් 11%ක් සාමාන්‍ය පෙළ වනවිට පාසල් ගමන නතර කර ඇති අතර උසස්පෙළ වනවිට පාසල් ගමන නතරකොට ඇති පිරිස 37.6%කි. පාසල් ගමන වැඩි වශයෙන්ම එපා වී ඇත්තේ පිරිමි ළමයින්ටය. 2008 වසරේදී පළමු පන්තියට ඇතුළත් වූ පිරිමි ළමයින් සංඛ්‍යාව 167,221කි. නමුත් සාමාන්‍ය පෙළ වනවිට පාසල්වල සිට ඇතැයි වාර්තා වන්නේ 143,917ක් පමණි. ඒවනවිට පිරිමි ළමයින් 23,304ක් පාසල් ගමන අතහැර ගොස් තිබේ. එහි ප්‍රතිශතය 13.9%කි උසස්පෙළ වනවිට එම සංඛ්‍යාව 89,817 ක් දක්වා අඩුවී තිබේ. ඒ අනුව පෙනීයන්නේ 1 වසරට අකුරු කරන්නට පැමිණි පිරිසෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් උසස්පෙළ වනවිට පාසල් ජීවිතයට සමු දී ඇති බවයි. එහි ප්‍රතිශතය දැක්වෙන්නේ 46.3%කි.
මේ ආකාරයෙන් පාසල්වලින් ඉවත්වන පිරිමි ළමයින්ගෙන් වැඩි පිරිසක් දැකගත හැකිවන්නේ මහාමාර්ගවලය. වැඩි දෙනෙක් ත්‍රිරෝද රථ රැකියාවට පිවිසෙන අතර තවත් පිරිසක් විවිධ ජාවාරම්වලත් විවිධ කම්කරු රැකියාවලත් නිරතවන ආකාරයක් දක්නට ලැබේ.
පාසල්වලින් ඉවත්වන්නේ පිරිමි දරුවන් පමණක්ම නොවේ. ගැහැනු දරුවන්ද පාසල් පද්ධතියෙන් ඉවත්වන ප්‍රවණතාවක් දක්නට ලැබේ. 2008 වසරේදී පළමු ශ්‍රේණියට ඇතුළත් වූ ගැහැනු දරුවන් සංඛ්‍යාව 163227කි. එම ගැහැනු දරුවන් සාමාන්‍ය පෙළ වසර වනවිට ඉතිරි වී ඇත්තේ 150303 දෙනකු පමණි. ඒ අනුව පෙනීයන්නේ 12924 දෙනකු පාසලෙන් ඉවත් වී ඇති අතර එහි ප්‍රතිශතය 7.9%කි. උසස්පෙළ වනවිට පාසල්වල ඉතිරි වී ඇත්තේ ශිෂ්‍යාවන් 113106 දෙනකු පමණි. ශිෂ්‍යාවන් 50121 දෙනකු පාසල් ජීවිතයට සමු දී ඇති බවයි. එහි ප්‍රතිශතය 30.7%කි.
රජයේ පාසල්වල ළමයින් වාර්තාවන ආකාරය පිළිබඳ අතුකෝරල මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.
“රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන ළමයි ප්‍රමාණයට වඩා දෙවැනි ශ්‍රේණිය වනවිට අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩියි. තුන්වැනි ශ්‍රේණියට එනවිට තත්ත්වයත් එහෙමයි. නමුත් හතර, පහ, හය ශ්‍රේණි වනවිට පාසල්වල දකින්නට ලැබෙන්නේ සිසුන්ගේ අඩුවීමක්. මෑත කාලය තුළ සිදුකළ අධ්‍යයනවලදී පෙනීගියේ 7000කට අධික සිසුන් ප්‍රමාණයක් එම වසරවලදී අඩු වී ඇති ආකාරයයි.
2021 වසර වනවිට 4 වසර පන්තියේ සිටි සිසුන් සංඛ්‍යාව 330950ක්. එය 5 වසර වනවිට 328071 දක්වාත් 6 වසර වනවිට 323682 දක්වාත් 7268කින් අඩුවී තිබෙනවා. මෙය සමහරවිට ශිෂ්‍යත්ව විභාගය නිසා සිදුවනවා වන්නටත් පුළුවන්. 5 වසර ශිෂ්‍යත්ව විභාගය ළමයින්ට දැඩි මානසික වධයක් ගෙනදෙන්නක් බවට පත්වී තිබෙනවා.”
අධ්‍යාපන කටයුතුවලට වැඩි වශයෙන්ම ඇල්මක් දක්වන්නේ ගැහැනු ළමයින්ය. ගැහැනු දරුවන් අධ්‍යාපනයෙන් ඉහළට යන්නට උත්සාහ කරද්දී පිරිමි ළමයින් කරන්නේ පාසල් ජීවිතයට ආයුබෝවන් කීමය. 2022 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටි ශිෂ්‍ය සංඛ්‍යාව 321790කි. නමුත් 2023 උසස්පෙළ පන්තියට ඉන් ඇතුළත් වන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 211647 දෙනකු පමණි. සාමාන්‍ය පෙළින් උසස් පෙළට එනවිට 34%කින් සිසුන් අඩු වී තිබේ. ඒ තුළ කනගාටුවට කරුණ වන්නේ ගැහැනු දරුවන් 26%කින් අඩු වෙද්දී පිරිමි දරුවන් 42%කින් පහළ යෑමයි.
කළු වලාවේ රිදී රේඛාවක්
හැම කළු වලාවකම රිදී රේඛාවක් ඇතැයි කියන්නාක් මෙන් අපට සතුටුවිය හැකි කාරණයක්ද මෙම සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනීයයි. ඒ වෙන කිසිවක් නොව 2020 වසරේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 315100ක් වනවිට උසස් පෙළට සමත්වන සංඛ්‍යාව 221357කි. එහි ප්‍රතිශතය 29.7%කි. 2021 වසරේදී සාමාන්‍ය පෙළට සිසුන් 319618ක් පෙනීසිටින අතර 2022 වසරේ උසස් පෙළට සුදුසුකම් ලබන පිරිස 213234කි. එහි ප්‍රතිශතය වාර්තාවන්නේ 33%ක් වශයෙනි. එසේම 2022 වසරේදී සාමාන්‍ය පෙළට සිසුන් 320887ක් පෙනීසිටින අතර 2023 වසරේ උසස් පෙළට සුදුසුකම් ලබන පිරිස 211647කි. එහි ප්‍රතිශතය 34%කි. වසරින් වසර උසස්පෙළට සුදුසුකම් ලබන සිසුන්ගේ ප්‍රතිශතය වැඩිවී තිබේ.
පාසල් හැරයන්න හේතු
සිසුන් දිනෙන් දින පාසල් හැරයෑමට හේතු ගණනාවක් බලපා ඇත. ඒ අතරින් ප්‍රධාන කාරණයක් වන්නේ අදාළ විෂය ක්‍ෂේත්‍රයට අදාළ ගුරුවරු නොමැතිකමයි. මේ හේතුව නිසා ද සිසුන් පාසල් හැරයෑමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. එවැනි අවස්ථාවල එම විෂය නිර්දේශය ආවරණය කිරීමට යොදවන ගුරුවරු සමහරවිට සිසුන්ට මුළු පාසල් ජීවිතයට එපා වීමට හේතුවක් විය හැක. ඒ ගණිතය වැනි විෂයයක් සඳහා යොදන ගුරුවරයා නිසා සිසුන්ට එම විෂයය සහමුලින්ම එපාවීම හේතුවෙනි.
එසේම බොහෝමයක් විදුහල්වල මේවනවිට සිටින්නේ වැඩබලන විදුහල්පතිවරුන්ය. පාසලකට නායකත්වය දෙනවා යනු ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ගෙදරක තාත්තා වැරදි තීරණයක් ගනු ලැබුවහොත් ළමයින් අනාථ වීම මෙන්ම ගෙදර හැරදා යා හැක. පාසල්වලටද එම කරුණ පොදුය.
ඊට අමතරව ගුරු පුහුණු වැඩසටහන් මේ වනවිට පවතින්නේ ඉතාම අවම මට්ටමකය. ගුරුවරයාගේ වගකීම ළමයින්ට ඉගැන්වීම පමණක් නොවේ. ළමයෙකුගේ මනස තේරුම් ගෙන ඒවාට විසඳුම් නොදුන්නොත් සිදුවන්නේ පාසල ළමයින්ට අප්‍රියජනක තැනක් බවට පත්වීමයි.
ඊට අමතරව ආර්ථික අර්බුදය, පවුල් සංස්ථා බිඳවැටීම, ළමයින් රැකබලා ගන්නට කෙනෙකු නොමැතිවීම වැනි සමාජ කරුණුද බලපා තිබේ. 7-8 වැනි වසරවලට පැමිණේමේදී විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම මෙන්ම පෙම් සබඳතා හේතුවෙන්ද පාසල් හැරයන පිරිස වැඩිවී තිබේ.
පාසල්වල ප්‍රමිතිය පහළ වැටීමට බලපා ඇති කරුණු කිහිපයක් අතුකෝරල මහතා ප්‍රකාශ කළේ මේ ආකාරයෙනි.
“ඉගැන්වීම් කටයුතුවලට අමතරව ගුරුවරුන්ට විෂය භාහිර ක්‍රියාකාරකම් රාශියක් පවරා තිබෙනවා. විවිධ වාර්තා සකස් කරන්න සිදුවී තිබෙනවා. ඒ වගේම ලෝකයේ වෙනත් රටවල ගුරු වෘත්තියට ඉහළ වටිනාකමක් මෙන්ම ඉහළ වැටුපක් හිමිවුණත් ලංකාවේ එවැනි තත්ත්වයක් දකින්නට ලැබෙන්නේ නැහැ. ළමයින්ගේ පදනම සකස් කරන පෙරපාසල් අධ්‍යාපනය හරිහැටි ක්‍රියාත්මක නොවීම මෙන්ම නිසි සුදුසුකම් සහිත ගුරුවරු නොමැතිවීමත් අධ්‍යාපනයේ කඩාවැටීමට හේතුවක්.
ඉගැන්වීමට පහසුම කොටස වන්නේ විශ්වවිද්‍යාල සිසුන්. අමාරුම පිරිස තමයි පෙරපාසල් දරුවන්. මේනිසා ඉහළම සුදුසුකම් තියෙන ඉහළ වැටුපක් ගෙවන පිරිසක් පෙර පාසල් කෙරෙහි යොමුකළ යුතුයි. නමුත් ලංකාවේ එවැනි අවධානයක් යොමුවී ඇති බවක් දකින්නට ලැබෙන්නෙ නැහැ.”
ළමයින්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රජය රුපියල් 400-450ක පමණ මුදලක් වැයකරයි. දෙමාපියනුත් දවසකට රුපියල් 400-500ක පමණ මුදලක් දිනකට වැයකරයි. නමුත් එම වියදම් කරන මුදලට සාධාරණයක් ඉටුවෙනවාද යන්න සැක සහිතය. මන්ද දිනෙන් දින පාසල් යන සිසුන් පාසල්වලින් ඈත්වීම හේතුවෙනි. එනිසා හැකි ඉක්මනින් පාසල දරුවාට ප්‍රියමනාප තැනක් බවට පත්කළ යුතුය.
ළමයින්ට පාසල එපාවීමට දැන් පවතින විෂය නිර්දේශයත් බලපා තිබේ. නෝර්වේ, ස්වීඩනය, ෆින්ලන්තය වැනි බොහෝමයක් බටහිර රටවල මුල්තැන ලබාදෙන්නේ ප්‍රායෝගික අධ්‍යාපනයටය. නමුත් අප තවමත් සිතා සිටින්නේ ගිරවකු මෙන් කටපාඩමින් කරන අධ්‍යාපනය සාර්ථක වේවි කියායි. 5 වසර වනවිට ළමයාට අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම එපා වී අවසන්ය.
අපගේ අධ්‍යාපන රටාව තුළින් නිර්මාණශීලී මිනිසුන් බිහිවන්නේ නැත. ඒ වෙනුවට බිහිවන්නේ ගඩොල් කැටයක් බඳු ආකාරයේ මිනිසුන්ය. එකම අච්චුවකට අනුව සැකසුණු රටක නව නිර්මාණ බිහිකළ නොහැක. මේ නිසා වත්මන් ජනාධිපති අනුර කුමාර අවධානය යොමුකොට ඇත්තේ පාසල් අධ්‍යාපනය නවීකරණය, ගුරු අධ්‍යාපනය, තාක්‍ෂණික අධ්‍යාපනය සහ තොරතුරුතාක්‍ෂණ අධ්‍යාපනය සංවර්ධනයට ලක්කළ යුතු බවයි.
සමීර කන්නන්ගර
[email protected]