පවතින ආර්ථික අර්බුදය සමඟ පුරවැසි හිස මත අධික බදු බර පැටවීම සාධාරණද?

130

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙන් රජය විසින් නව බදු සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරන ලදී. මෙම බදු සංශෝධන හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවාවන්හි මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් පුරවැසියෝ තම දෛනික අවශ්‍යතාවන් සපුරා ගැනීමට යෑමේදී මහත් අපහසුතාවකට පත්ව සිටිති. මේ සඳහා බලපාන ප්‍රධාන කාරණා අතර බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වූ මාතෘකාවක් වූයේ උද්ධමනයයි. උද්ධමනය යනු පවත්නා සාමාන්‍ය මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ නැගීමේ තත්ත්වයයි. එසේත් නැත්නම් මුදලේ ක්‍රය ශක්තිය හීනවීමයි. කෙසේ වෙතත් මිල මට්ටමේ සිදුවන ඉහළ යෑමේ ප්‍රතිශතය උද්ධමනය ලෙස අර්ථකථනය කළ ද එය ආර්ථික ක්‍රමයේ සෑම තැනකටම වලංගු කාරණයක් නොවේ. එනම්, යම් අවස්ථාවක වෙළඳපොළේ ඉල්ලුම් සහ සැපයුම් ආශ්‍රිත බලවේග නිර්මාණය වීමට වැයවන කාල ප්‍රමාදය හේතුවෙන් ඇති වන මිල ගණන් ඉහළ යෑම ඉහත කී උද්ධමනය ලෙස සැලකිය නොහැකිය. මෙරට කාලීනව මුහුණ දී ඇති ආර්ථික අර්බුදකාරීත්වය තුළ පුද්ගලයෙකු කවර රැකියාවක නියුක්ත වුවද ඔහු හෝ ඇය විසින් මාසිකව ලබන වේතනය තම මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමටවත් ප්‍රමාණවත් නොවේ. මෙහි මූලික අවශ්‍යතා ලෙස ගැනෙන ආහාර, සෞඛ්‍යය, නිවාස, සනීපාරක්ෂාව ආදිය සපයාගැනීම අද අභියෝගයකි. ඊට හේතුව භාණ්ඩ සහ සේවාවන්හි මිල ගණන් ඉහළ ගිය ද ඊට සාපේක්‍ෂව පුද්ගලයෙකු ලබන වේතනය ඉතා අඩු අගයක් ගැනීමයි.

එවැනි අර්බුදකාරී තත්ත්වයක් තුළ වර්තමාන ආණ්ඩුව විසින් ආදායම් පනත, එකතු කළ අගය මත බදු පනත, විදුලි සංදේශ බදු පනත, ඔට්ටු සහ සුරාබදු පනත, මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ආදී සංශෝධන කිහිපයක් තුළින් බදු අයකිරීම් ඉහළ නැංවීම පොදු ජනයා තව තවත් පීඩනයට පත්කිරීමක් නොවේද? එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් (ඪ්ඔ) බද්ද මෙවර වැඩිකරන ලද වැට් බදු අනුපාතය සියයට අටක (8%) සිට සියයට දොළහක් (12%) දක්වා ද විදුලි සංදේශ බද්ද සියයට එකොළහයි දශම දෙකයි පහක (11.25%) සිට සියයට පහළොවක් (15%) දක්වා වැඩිකිරීමට පියවර ගෙන ඇත. එමගින් වාර්ෂිකව ආදායම රුපියල් බිලියන 156කට ආසන්නය. මෙලෙස සියලුම භාණ්ඩ සහ සේවා මිල මත මෙම නව බදු ප්‍රතිශතය අයකිරීම් අරමුණු කරගෙන ක්‍රියාත්මක වේ. මෙකී නව සංශෝධන අනූව එළඹෙන ඔක්තොම්බර් මස පළමුවන දින සිට අදාළ වැට් බද්දට ලියාපදිංචි වීමේ සීමාව වසරකට රුපියල් මිලියන 300 සිට 120 දක්වා අඩුකර ඇත. මෙයින් සිදුවන්නේ වැට් බද්ද ගෙවීමට ලියාපදිංචි වන පිරිස වැඩිවීම හේතුවෙන් රජයට ලැබෙන ආදායම ද ඉහළ යෑමයි.

තව ද පිරිවැටුප කෝටි 12කට වැඩි ව්‍යාපාරිකයන්ට, ආනයනකරුවන්ට, නිෂ්පාදකයන්ට, සේවා සපයන්නන්ට, තොග සහ සිල්ලර වෙළඳුන් සඳහා සියයට දෙකයි දශම පහක (2.5%) අනුපාතයක් යටතේ “සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද” නමින් නව බද්දක් හඳුන්වාදීම කෙරෙහි අමාත්‍යංශ යෝජනා මත නීති කෙටුම්පත් සඳහා අනුමැතිය ලැබී ඇත. එමෙන් ම සූදු ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වාර්ෂික බද්ද රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 500 දක්වා වැඩි කිරීමට යෝජිතව ඇත. නමුත් මෙවන් ව්‍යාපාරවලින් වැඩි වශයෙන් ආදායම් උපයා ගැනීමේ වරදක් නැති නමුත් මේවා ද අභියෝගයට ලක්ව ඇත.

එමෙන්ම මේ දිනවල කාගෙත් අවධානය යොමු වූ මාතෘකාවක් වූයේ කාන්තා සනීපාරක්ෂාවටත් බද්දක් පැනවීමය. මෙහි ඛේදනීය තත්ත්වය නම් එය බරපතළ සමාජ සහ මානුෂීය ගැටලුවක් බවට පත්ව තිබීමය. අධ්‍යාපන, සෞඛ්‍යය, සහ ආර්ථිකය ගොඩනඟන ශ්‍රම බළකාය තුළ කාන්තාව සුවිශේෂී දායකත්වයක් දක්වන යුගයක මෙලෙස බදු අය කිරීම් කිසිසේත්ම සාධාරණීකරණය කිරීමට නොහැක. ඒ හේතුවෙන් අද වනවිට අප රටේ කාන්තාවන් සහ ගැහැනු දරුවන්ගෙන් 50%ක වැඩි ප්‍රමාණයකට සිය අවශ්‍යතාවය ඉටුකර ගැනීමේදී බොහෝ ගැටලුවලට මුහුණදීමට සිදු වී ඇත. තව ද යෝජිත විදුලි සංදේශ බද්ද හේතුවෙන් දුරකථන ගාස්තු, සන්නිවේදන සේවා ගාස්තු, ඔන්ලයින් අධ්‍යාපන ක්ෂේත්‍රයන්ට විශාල බලපෑමක් සිදු වී තිබේ. එමෙන් ම භාණ්ඩවල ආනයනික බදු, රේගු බදු, ඉහළ නැංවීම හේතුවෙන් ආනයනික යෝගට්, චීස්, දොඩම්, මිදි, ඇපල් මෙන්ම තිරිඟු පිටි ආදී පරිභෝජන ද්‍රව්‍යය මෙන්ම මෝටර් රථ, ත්‍රිරෝද රථ, යතුරුපැදි, ටයර්, ශීතකරණ, විදුලි උදුන් ආදී යන්ත්‍ර සඳහා ද අධිභාරයන් පැනවීමට කටයුතු කර ඇත. මෙලෙස ආනයනික භාණ්ඩ සම්බන්ධයෙන් අධික බද්දක් පැනවීම හේතුවෙන් ආනයනය සීමා වී ඒ හරහා දේශීය නිෂ්පාදන දිරිගැන්වීමක් සිදු වුවද මේ වනවිට නිෂ්පාදන ආර්ථික ක්‍රමයේ දක්නට ලැබෙන දැඩි

මන්දගාමී ස්වරූපය මත එය අවධානමකට ලක්ව ඇත. එමෙන් ම වෙළඳ ශේෂය, ගෙවුම් ශේෂය සහ අයවැය හිඟය පියවා ගැනීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයන්ට වඩා දීර්ඝ කාලයක් විදේශීය ණය මත රැඳී සිටීමට සිදුවීමේ අවසාන ප්‍රතිඵලය බවට පත්ව ඇත්තේ පොදු මහජනතාව අතර පෝලිම් යුගයක් නිර්මාණය වී දැඩි අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකට මුහුණදීමයි. මෙම අර්බුදකාරී තත්ත්වය තුළ ආණ්ඩුව උත්සාහ දරන්නේ එම බිඳ වැටුණු ආදායම් ඉහළ නංවමින් බදු සංශෝධන කිහිපයක් තුළින් ආදායම් වැඩිකර

ගැනීමට පියවර ගැනීමය. කෙසේ වෙතත් ආර්ථික විද්‍යානුකූල ව සාකච්ඡාවට ගැනෙන බදු මූලධර්ම තුළ බදු අයකිරීම් කළ යුත්තේ පොදු ජනතාවට පීඩනයකින් තොරව ය. නමුත් වර්තමානය වනවිට නැති බැරි මිනිසුන් එකී බදු බරින් මිරිකී ගොස් හමාර ය. ඇතැම් අවස්ථාවලදී මහා පරිමාණ ව්‍යාපාරිකයෝ සහ ව්‍යවසායකයෝ පාලන තන්ත්‍රයේ පාක්ෂිකත්වයට ආවඩා තමන්ගේ මඩිය තරකර ගැනීමට පමණක් කටයුතු කරමින් සිටිති. ඒ තුළින් තව දුරටත් පීඩිතයාම පීඩනයට ලක්වන බැවින් එය යුක්ති සහගත නොවේ. එබැවින් සෑමවිටම පවතින රජය විසින් ස්වාධීන, අපක්ෂපාති විගණනයකින් අනතුරුව රජයට අයවිය යුතු බදු මුදල් රැස්කර ගැනීමට කටයුතු කිරීම සිදුකළ යුතුය. නමුත් එවැනි ක්‍රමවේදයක් අනුගමනය නොකර පාලක තන්ත්‍රය විසින් ඇතැම් අවස්ථාවල විවිධ පාර්ශවයන් ආරක්ෂා කිරීමට උත්සහ කරන්නේ ද? එය කණගාටුවට කරුණකි.

පවතින ආර්ථික අර්බුදය සමඟ පුරවැසි හිස මත අධික බදු බර පැටවීම සාධාරණද?
advertistmentadvertistment
advertistmentadvertistment