පවතින නීතියේ සංශෝධන විය යුතුයි…. ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

206

මෙරට පවතින සංගම් අතරින් සුවිශේෂී තැනක් හිමි වන ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිත්වය දරන්නේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාය. මෙරට පවතින නීතිය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව, නඩු ගොඩ ගැසීම, අධිකරණයේ ස්වාධීනත්වය ඇතුළු කරුණු කාරණා ගණනාවක් පිළිබඳ විමසීම සඳහා ‘‘දිවයින” ඒ මහතාව සම්මුඛ සාකච්ඡුාවක් සඳහා එක් කර ගත්තේය. පහතින් පෙළ ගැසෙන්නේ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සමඟ කළ එම සම්මුඛ සාකච්ඡාවයි.

 ප‍්‍රශ්නය – ලංකාවේ පවතින නීතියේ තියෙන අඩුපාඩු, එහි අපට තියෙන නොගැළපීම් සම්බන්ධයෙන් විවිධ විවේචන තියෙනව. බොහෝ නීති විශාරදයන් කියන්නෙත් අපේ නීතිය වෙනස් වෙන්න ඕන කියල. එවැනි දෙයක් පිළිබඳ නීතිඥ සංගමයේ අවධානය යොමුවෙලා නැද්ද?

පවතින නීතියේ  සංශෝධන විය යුතුයි.... ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

පිළිතුර – මම හිතන්නෙ පවතින නීතියේ යම් යම් තැන් සංශෝධනය වෙන්න අ ඕන. එයින් ප‍්‍රධාන එකක් තමයි මේ රටේ පවුල් නීතිය. ඒක තුළට මේ රටේ විවාහ නීතිය, දික්කසාද නීතිය වෙනස් වෙන්න ඕන. ඒක මේ වෙද්දි අධිකරණ අමාත්‍යාංශයේ කමිටුවක් හරහා ඒ ප‍්‍රතිසංස්කරණ යෝජනා වෙලා තියෙනව. අපි අපේ අදහස් ලබාදීලත් තියෙනව. අනෙක මේ රටේ සිවිල් නීති විධිවිධානවලට අයිති නොයෙක් ක්ෂේත‍්‍ර තියෙනව. ඒවායෙ වෙනස් වියයුතු තැන් ගොඩක් තියෙනව. ඒ වගේම අධිකරණයක ක‍්‍රියාපටිපාටියේ නීතිය. එය තවත් සරල කිරීම් වෙන්න ඕන.

 ප‍්‍රශ්නය – වසංගතයත් සමඟ අධිකරණ කටයුතු පසුගිය සමයෙ සිදුවුණෙ මර්ගගත ක‍්‍රමයට. මාර්ගගත ක‍්‍රමය යටතේ නඩු ඇසීම මේක සාර්ථක ක‍්‍රමයක්ද?

 පිළිතුර – පවතින තත්ත්වයත් සමඟ ප‍්‍රායෝගිකව අපි හිතන සාර්ථකම ක‍්‍රමය තමයි ඒක. අපි මාධ්‍ය ඔස්සේ අහනව, දකිනව වෙනත් රටවලත් මාර්ගගත ක‍්‍රමයට නඩු අහනව කියල. ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දුරකථනයෙන් තමයි පසුගිය අවුරුදු එකහමාරෙම නඩු ඇහුවෙ. ලොක්ඩවුන් එකක් ආවොත් මාර්ගගත ක‍්‍රමය හොඳයි. හැබැයි මාර්ගගත ක‍්‍රමය අපි හුරුවුණු ක‍්‍රමයට ආදේශකයක් නම් නෙමෙයි. ඒක දෙක සමාන්තරවයි යන්නෙ. කැඳවීම් නඩු වගේ ගත්තොත් ඒවා මාර්ගගත ක‍්‍රමයට කිරීමේ වරදක් නෑ. මේ දෙකේ මිශ‍්‍රණයන් තමයි ඉදිරියෙදි වඩා සුදුසු වෙන්නෙ.

 ප‍්‍රශ්නය – මේ වෙද්දි නඩු කටයුතු ප‍්‍රමාදවෙලා ඇනහිටින තත්ත්වයක් තියෙනව. අපේ අධිකරණය තුළත් ගොඩගැසුණු නඩු ප‍්‍රමාණය අධික බව වාර්තා වෙනව. ඇයි එහෙම වෙලා තියෙන්නේ…? මොනවද ඒ සඳහා කළ හැක්කේ…?

 පිළිතුර – දශක ගාණක් කරල තියෙන කාරණාවක්. මේකට නිශ්චිතව දෙන්න පුළුවන් එක විසඳුමක් නෑ. බහුවිධ විසඳුම් තියෙන්නෙ. එතනදි එක ක්ෂේත‍්‍රයක පමණක් තියෙන ප‍්‍රමාදයක් නෙමේ මේ. එක පැත්තකින් පොලිසියේ ප‍්‍රමාදය. අනෙක රජයෙ රස පරීක්ෂකගෙන් වෙන ප‍්‍රමාදය. ඒකටත් විවිධ හේතූන් තියෙනව. බොහෝ විට වෙන්නෙ අපේ ක‍්‍රියාපටිපටියෙ දෝෂ. ඒ වගේම එක එක අධිකරණයෙ එක එක විනිශ්චයකාරයගෙ තියෙන ආකල්ප, ඔවුන් අනුගමනය කරන ක‍්‍රියාමාර්ග ඇතුළෙත් මේ ගැටලූ ඇතිවෙලා තියෙනව.

 ඒ සඳහා අත්‍යවශ්‍යයෙන්ම කරන්න පුළුවන් එකක් තමයි විනිශ්චයකාරවරුගෙ පුහුණුව වැඩිකිරීම. දැනටම රජය අධිකරණ අමාත්‍යවරයගෙ යෝජනාවක් අනුව ක‍්‍රියාත්මක කරනව විනිශ්චයකරුවන් පුහුණු කිරීමේ ජාත්‍යන්තර තලයේ ආයතනයක් පටන් ගන්න.

 ප‍්‍රශ්නය – වර්තමානයෙ සිටින විෂයභාර ඇමැතිවරයා ඔබේ වෘත්තීය සගයෙක්. ඒ නිසා මේක හොඳ අවස්ථාවක් නේද මේ තියෙන ගැටලූවලට විසඳුම් සෙවීමට…?

 පිළිතුර – ඔව්… ඒ වගේම අධිකරණ අමාත්‍යාංශය ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයත් එක්ක වැඩකරනව. එතනදි අපි එකඟවෙන තැන්වල මෙන්ම එකඟ නොවන තැනුත් තියෙනව. බොහෝ තැන්වලදි අපි එකඟව කටයුතු කරල තියෙනව. ඒ යම් යම් කමිටුවල අපේ සාමාජිකයන් නියෝජනය කරනව. අපි හැමෝම තේරුම්ගත් දේ තමයි නීති ප‍්‍රතිසංස්කරණය කියන එක දීර්ඝකාලීන ලංකාවෙ සිද්ධවෙන්න ඕන කියන එක. පවතින රජය කවුරු වුණත් මේව වෙන්න ඕන. මොකද රටේ නීති පද්ධතිය ශක්තිමත් වුණොත් තමයි මේ රටට ඉදිරියට යන්න පුළුවන් වෙන්නෙ.

 අද බොහෝ දෙනා කතාකරන ආයෝජකයන්ගෙන් පැමිණීම ගැන. ඒත් ඒකට තියෙන ලොකු බාධාව තමයි ලංකාවේ නීතියේ ප‍්‍රමාදය ගැන ආයෝජකයන්ට තියෙන ආකල්පය. මේව වෙනස්වෙන්න ඕන. ඒ වගේම නීති ප‍්‍රතිසංස්කරණ කරද්දි ඒකත් බොහොම කල්පනාවෙන් කළයුත්තක්. මොකද නීති ප‍්‍රතිසංස්කරණය කරද්දි තව ප‍්‍රශ්න එන්න පුළුවන්. පසුගිය සමයෙ ගෙනාපු ඇප පනත ගනිමු. ඒ පනත ගෙනාවෙ ඇප සහ රිමාන්ඞ් භාරයේ ඉන්න අයගෙ ප‍්‍රශ්න විසඳන්න. ඇප පනත ගෙනාවෙම ඇප දීම රීතිය කරන්න. ඇප ප‍්‍රතික්ෂේප කිරීම ව්‍යාතිරේකය කරන්න. හැබැයි ඒක එහෙමම වුණේ නෑ. අදත් රිමාන්ඞ් භාරයේ ඉන්න ඕන තරම් අය ඉන්නව. එතනදි තමයි නීති නීතිඥවරුන්ගෙ ප‍්‍රායෝගික

 දැනුම අවශ්‍ය වෙන්නෙ. හොඳ නීතිඥවරු තමයි දන්නෙ නීතිය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මකවෙන ආකාරය. ඒ නිසා නීති ප‍්‍රතිසංස්කරණවලදි නීතිඥවරුන්ගෙ සහාය අත්‍යවශ්‍යයි. එතනදි අපේ අදහස් අපි අධිකරණ අමාත්‍යාංශයට ලබාදී තියෙනව.

 පාර්ලිමේන්තුව කියන්නෙ නීතිය හදන තැන. හැබැයි ඒ නීති හදන තැනට ඔය කියන නීතිමය සහයෝගය ලබාදී තියෙනවද? මොකද ඇතැම් විට අපි දකිනව පාර්ලිමේන්තුවෙ සම්මත ඇතැම් නීති පසුකාලීන ගැටලූකාරී තත්ත්වයන් මතුකරනව…

 අපි ඒ අවස්ථාවලට මැදිහත්වෙනව. විශේෂයෙන් අධිකරණ අමාත්‍යාංශය හරහා ගෙන එන පනත්වලදි අපේ මැදිහත්වීම ලබාදෙනව. අපේ අදහස් ලබාදුන්නා. ඇතැම් පනත් කෙටුම්පත් අධිකරණයට ආවට පස්සෙ ඒ පිළිබඳ කරුණු අධිකරණයට දැනුම් දුන්නම සංශෝධනය වුණ අවස්ථා තියෙනව. හැබැයි ඒ මැදිහත්වීම අපිට හැම තැනකදිම දෙන්න ලැබෙන්නෙ නෑ. නමුත් මගේ අදහස නම් හැම නීතියක් සම්බන්ධයෙන් එහෙම මැදිහත්වීමක් අවශ්‍යයි. නීතිඥවරුන්ගෙ ප‍්‍රායෝගික අත්දැකීම් ලබාදීම තුළින් රජයේ කාර්යය පහසුවෙයි. දැනට පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත් සෑහෙන ප‍්‍රමාණයකට අපේ දායකත්වයක් ලබාදීල තියෙනව. එහෙම මැදිහත් නොවුණු මෑතකාලීන පනතක් තමයි බදු පනත. පසුගිය කාලෙ ආපු බදු පනත ගැන අපේ දැනුවත්වීමක් තිබුණෙ නෑ. මම සභාපති වුණාට පස්සෙ පනත් කෙටුම්පත් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයෙ අභියෝගයකට ලක්කළා. එකක් තමයි පෝට්සිටි කොමිෂන් පනත් කෙටුම්පත. තව දේශීය ආදායම් පනතට සංශෝධනයක් ආව. ඒක අපේ වෘත්තිකයන්ට කෙළින්ම බලපාන තත්ත්ත්වයක් තිබුණ. ඒ නිසා අපි ඒක අභියෝගයට ලක්කළා.

 ප‍්‍රශ්නය – අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ කතාකිරීමේදී විනිසුරුවන් පත්කිරීම අතිශය සංවේදී කාරණයක්. ඔබ පිළිබඳ දරන්නෙ මොනවගේ මතයක්ද?

 පිළිතුර – මම සභාපතිවෙන්න පෙර තිබුණු නීතිඥ සංගමයෙ විසිවැනි සංශෝධන සම්බන්ධයෙන් තිබුණු ගැටලූ පිළිබඳව රජය දැනුවත් කළා. ඒ විතරක් නෙමෙයි නීතිඥ සංගමය විසිවැනි සංශෝධනය අභියෝගයකට ලක් කළා. අපි දැක්ක විනිශ්චයකාරවරුන් පත්කිරීම සහ සමහර ස්වාධීන කොමිෂන් සභා පත්කිරීම සම්බන්ධයෙන් විසිවැනි සංශෝධනයෙ තිබුණු ගැටලූ. 19 වැනි සංශෝධනයෙ තිබුණු ධනාත්මක දේ තමයි ජනාධිපතිවරයගෙ තනි අභිමතයට ඒ දේවල් කිරීමට නොහැකි වීම. 20 වැනි සංශෝධනයෙන් පස්සෙ පත්කළ පත්කිරීම් ගැන ගැටලූවක් නෙමෙයි අපි කියන්නේ. ක‍්‍රමවේදයේ ගැටලූව. ජනාධිපතිවරයගෙ බලයෙ තුලනයක් වෙන්න ඕන. ජනාධිපතිවරයා පත්කරන විනිශ්චයකාරවරයා පාර්ලිමේන්තු සභාව අනුමත කිරීමක් කරන්න ඕන. දැනට එහෙම වෙන්නෙ පාර්ලිමේන්තුවෙ නිරීක්ෂණයන් ලබාදීමක් විතරයි. එය අර්ථාන්විත තුලනයක් නෙමෙයි.

 ප‍්‍රශ්නය – ඉතිහාසය තුළ ඇතැම් අවස්ථාවන්හි විනිශ්චකාරවරුන්ගේ පත්කිරීම් සම්බන්ධයෙන් දේශපාලනඥයන්ගේ බලපෑම් පිළිබඳ කියවෙනවා. රන්ජන් රාමනායක හඬපට සිදුවීමත් එක්ක ඒවට තටු ලැබුණ….

 පිළිතුර – කිසිම නඩුවක් සම්බන්ධයෙන් විනිශ්චයකාරවරුන්ට පිටස්තර පුද්ගලයන් මැදිහත් වියයුතු නෑ. ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙනුත් පනවල තියෙන තත්ත්වයක්. ඒ නිසා තමයි විනිශ්චයකාරවරුන්ගෙ පැත්තෙනුත් යම් සංගමයක් බලාපොරොත්තු වෙන්නෙ. මම දන්න විනිශ්චයකාරවරු ඉන්නව තමන් දන්න කියන පාර්ශ්වයකගෙ නඩුවක් නම් නඩුවෙන් අයින් වෙනව. අපි දැනගෙන තියෙන සංස්කෘතිය තමයි ඒක. ඒක ඒ විදිහට පවත්වාගෙන යන්න ඕන. ඒකට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙත් ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන තියෙනව මේව ආරක්ෂා කරන්න. හිටපු අග‍්‍ර විනිශ්චයකාවරයෙක් කියල තියෙනව තමන්ගෙ කොන්ද කෙළින් තියාගෙන වැඩකරන්න ඕන කියල. ඒක එදාටත්, අදටත්, හෙටටත් වලංගුයි. හැබැයි ඒ අයට එහෙම වැඩකරන්න ශක්තිය නීතිඥ ප‍්‍රජාවගෙනුත් ලබාදෙන්න ඕන. කාලයක් තිස්සෙ අපි කියන එකක් තමයි ශක්තිමත් විනිශ්චය මණ්ඩලයක් ඉන්න ඕන නම් ශක්තිමත් නීතිඥ ප‍්‍රජාවක් ඉන්න ඕන. අපි අතරේ ඒ අනොන්‍ය සහයෝගය වගේම විනිශ්චයකාරවරුන්ගෙ අතින් සිදුවන වැරැුදි පෙන්වාදීමේ හැකියාව තියෙන නීතිඥ ප‍්‍රජාවක් අවශ්‍යයි.

 ප‍්‍රශ්නය – වර්තමානයේ නීතිය සම්බන්ධයෙන් මෙරට පොදු ජන සමාජය තුළ විශ්වාසයක් ඇතැයි කියල ඔබ සිතනවද?

 පිළිතුර – නීතිය ගැන ජනතාවට විශ්වාසයක් තියෙනවද කියන ගැටලූව තියෙනව. එතනදි අපිත් ස්වයං විවේචනයක් කරගත යුතුයි. අපේ වෘත්තිය අතිනුත්, අධිකරණය අතිනුත් වැරැුදි වෙනව. ඒව නැහැ කියන්න බෑ. නීතියෙ තියෙන අධික ප‍්‍රමාදය විශේෂයෙන් නීතිය කෙරෙහි ජනතාවගෙ විශ්වාසය බිඳ වැටෙන්න හේතුවෙලා තියෙනව. විනිශ්චකාරවරුන්ගෙ යුතුකමක්, වගකීමක් තියෙනව මේ බිඳ වැටුණු විශ්වාසය යළි ගොඩගන්න.

 ප‍්‍රශ්නය – ඔබ 2018 අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපති වශයෙන් කටයුතු කළා. ඔබ ඉතිහාසය ගත්තාම මානව අයිතිවාසිකම් වෙනුවෙන් තමයි පෙනී ඉඳල තියෙන්නෙ. වත්මන් රජයේ මානව අයිතිවාසිකම් රැුකීම සම්බන්ධයෙන් තියෙන ප‍්‍රවණතාව මොකක්ද?

 පිළිතුර – අපේ රටේ ඉතිහාසය ගත්තාම මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් රජය ඒවා මර්දනය කරපු අවස්ථාවන් තියෙනව. ඒක එක රජයක් නෙමෙයි, බලයට පත්වූ බොහෝ රාජ්‍යයන් ඒක අඩුවැඩි වශයෙන් කරල තියෙනව. විශේෂයෙන් බලය ලැබෙද්දි ඒ පිරිසට අයිතිවාසිකම් කියන දේවල් අමතක වෙනව. හැබැයි නීතිඥ සංගමයෙ වගකීමක් තමයි මේව ආරක්ෂා කිරීම. ඒ වගේම පවතින රජයට මතක්කරල දෙන්න ඕන මේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම ඒ වෙනුවෙන් පෙනී සිටින පිරිසක් රටේ ඉන්නවා කියන එක. ඒක මොන පක්ෂයද බලය ඉන්නෙ කියන මත රැුඳෙන දෙයක් නෙමෙයි.

 පොලිසියෙදි සහ බන්ධනාගාරයෙදි ඇතිවන ගැටලූ. විශේෂයෙන් සැකකරුවන් සමග කතා කරද්දි යම් බාධාවන් ඇතිවෙනව. එවැනි අවස්ථාවලදී අපට තියෙනව නීතිඥ පොලිස් කමිටුවක්. ඒකෙ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඉන්නව නීතිඥවරයෙක් වෙන. දැන් ඉන්නෙ නීතිඥ අජිත් රෝහණ මහතා. අපට ඇතිවන යම් බාධාවන් ඒ හරහා විසඳන්න අපි උත්සාහ කරනව. එහෙම නැති අවස්ථාවලදී උසාවිය හමුවට යන්න වෙනව. ඇතැම් නීතිඥවරු පැමිණිලි කරල තියෙනව ඔවුන්ට ප‍්‍රවේශයන් දෙන්නෙ නෑ කියල. එවැනි අවස්ථාවලදී අධිකරණයට අපේ ස්ථාවර දැනුම් දෙනව. මෙවැනි බාධා කිරීම් හරහා අපේ වෘත්තීය අයිතිවාසිකමක් වගේම සැකකරුවන්ගෙ මූලික අයිතිවාසිකමුත් අහිමිවෙනව. එතනදි විශේෂයෙන්ම බාධා ඇතිවන තැනක් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. නීතිඥවරුන්ට සහභාගිවෙන්න දෙන්නෙම නැති තත්ත්වයක් එතන තියෙන්නෙ. සමහර අවස්ථාවලදී රැුඳවූවන් හම්බවෙන්න නීතිඥවරු යද්දි පොලිස් නිලධාරිනුත් එතන වාඩිගන්නව. ඔවුනුත් අහගෙන ඉන්නව. ඒක කිසිසේත් නොවිය යුතු දෙයක්. අපි ඒ සුදුසු අවස්ථාවක් ආවම මූලික අයිතිවාසිකම් නඩුවක් හරහා විසඳුමක් ගන්න බලාපොරොත්තු වෙනව.

 ප‍්‍රශ්නය – සමස්ත නීතිඥ ප‍්‍රජාව නියෝජනය කෙරෙන සංගමයක් ලෙස නීතිඥ සංගමයේ කාර්යභාරය කෙබඳුද?

 පිළිතුර – මේ රටේ සමස්ත නීතිඥයන් නියෝජනය කරන සංගමය තමයි නීතිඥ සංගමය කියන්නෙ. ඒ විදිහට නීතිඥයන් නියෝජන කරන ආයතනයක් වෙද්දි අනෙක් පැත්තෙන් මේ රටේ අධිකරණ පද්ධතිය, අධිකරණයේ ස්වාධීනත්වය, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න බැඳී ඉන්න ආයතනයක්. අපේ වෘත්තියෙ පැවැත්ම තියෙන්නෙ මේ දේවල් ආරක්ෂා වුණොත්. ඒ නිසා සංගමයේ ව්‍යවස්ථාවෙන්ම ඒ වගකීම නීතිඥයන්ට පැවරිලා තියෙනව.

 ප‍්‍රශ්නය – ඔබ ඔය පවසන අභිමතාර්ථ නීතිඥ සංගමයෙන් ඉටුවී ඇති බවට සෑහීමකට පත්වෙනවාද?

 පිළිතුර – අපි සංගමයක් විදිහට ඒ වෙනුවෙන් කටයුතු කරනව. එක පැත්තකින් අපි අවශ්‍ය තැන්වලදි රජයත් එක්ක කටයුතු කරනව. නමුත් රජය හෝ රජයේ නියෝජිතයන් අතින් මේව උල්ලංඝනය වෙනව නම් ඒ ගැන නීතිඥවරුන් විදිහට පෙනී ඉන්නව.

 ප‍්‍රශ්නය – නීතිඥ වෘත්තියෙ අභිවෘද්ධිය වෙනුවෙන් මොන වගේ දේවල් ඔබ සභාපති වූවායින් පස්සෙ කරල තියෙන්නේ…?

 පිළිතුර – නීතිඥවරුන්ගෙ අභිවෘද්ධිය වෙනුවෙන් වෙනම කමිටු තියෙනව. ඉදිරියෙද් අපි බලාපොරොත්තු වෙනව නීතිඥ ප‍්‍රජාව සඳහා වෙනම සුබසාධක සංගමයක් ආරම්භ කරන්න. ඒකෙ අවශ්‍යතාව දැඩිව දැනිල තියෙනව. නීතිඥ වෘත්තිය කියන්නෙ ආණ්ඩුවට බරක් නැති වෘත්තියක්. අපි ආණ්ඩුවේ වැටුප් මතවත්, ආණ්ඩුවෙ බලපත‍්‍ර මතවත් යැපෙන වෘත්තියක් නෙමේ. වචනයේ පරිසමාප්තයෙන්ම ස්වාධීන වෘත්තියක්. ඒ නිසාම නීතිඥවරුන්ගෙ ආරක්ෂාවට, ඒ අයගෙ ජීවිත සුරක්ෂා කරන්න යම් වැඩපිළිවෙළක් තියෙන්න ඕන. පසුගිය කොරෝනා සමයෙ අපි ආරම්භ කළා ‘කයින්ඞ් හෑන්ඞ්ස්’ කියල වැඩපිළිවෙළක්. කොරෝනාවට ගොදුරුවුණු තරුණ නීතිඥවරුන්ට යම් ආධාරයක් ලබාදෙන්න. එක පාරටම අධිකරණ කටයුතු නවතිද්දි කනිෂ්ඨ නීතිඥවරුන්ට ප‍්‍රශ්නයක් ඇතිවුණා. ඔවුන් ආරක්ෂා කරන්න ඒ වැඩපිළිවෙළක් දියත් කරල තියෙනව. ඒ වගේම සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත‍්‍රය හරහා වැඩපිළිවෙළක් දියත් කරල තියෙනව. නීතිඥවරුන්ට රක්ෂණාවරණයක් ලබාදීමට. නීතිඥ සංගමයෙ එක අංශයක් තමයි සුබසාධනය කියන කාරණය.

 ප‍්‍රශ්නය – මෙරට පවතින සංගම් අතරින් නීතිඥ සංගමයට හිමිවෙන්නෙ සුවිශේෂී තැනක්. නමුත් සාමාන්‍ය ජනයා සහ ඒ අතර යම් දුරස්ථභාවයක් තිබෙනව. සාමාන්‍ය ජනයා තුළ තියෙන අදහසක් තමයි නීතිඥවරු කියන්නෙ සමාජයක් සමඟ එතරම් ගනුදෙනුවක් නැති පිරිසක් විදිහට. සමාජය තුළ තියෙන මේ ආකල්පය පිළිබඳ මෙනවගේ සැලකිල්ලක් දක්වා තිබෙන්නේ ..?

 පිළිතුර – එකක් තමයි, අපි බලාපොරොත්තු වෙනව වධහිංසාව සහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපේ නීති ආධාර කමිටුව හරහා ඒකකයක් පටන් ගන්න.

 ප‍්‍රශ්නය – මීට කලින් ඒවැන්නක් තිබුණෙ නැද්ද?

 පිළිතුර – එක කාලයක තිබිල තියෙනව නීති ආධාර පදනම කියල එකක්. ඒ 87, 89 කාලයෙ. නමුත් කල්ගතවීමෙන් ඒක අක‍්‍රීය වෙලා ගියා. දැන් අපි ඒක නැවත සක‍්‍රීය කරන්න බලාපොරොත්තු වෙනව. විශේෂයෙන් වධහිංසාව, මානව හිමිකම් සම්බන්ධව කනිෂ්ඨ නීතිඥයන්ට විශාල කාර්යභාරයක් සිදුකරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබාදෙන්න සහ ඒ හරහා කනිෂ්ඨ නීතිඥයන්ට වැඩ ලබාදෙන්නත් බලාපොරොත්තුවෙනව. ඒ වැඩසටහන ලබන මාසය ඇතුළත ආරම්භ කරනව.

 මේ වෙනුවෙන්ම කණ්ඩායමක් පත්කරන්න සැලසුම් කරල තියෙනව. දැනටමත් නීති ආධාර කොමිෂන් සභාව තියෙනව. අපිත් ඒ වැඩම කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. නීති ආධාර කොමිසමෙත් අපේ නියෝජිතයන් ඉන්නව. එහෙත් නීති ආධාර කොමිසම කරන්නෙ නැති වැඩකොටසක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ. අපි දන්නව පොලිස් වධ හිංසාව කියන එක ප‍්‍රශ්නයක් කියල. ඒවා මගහරින්න උදව් කිරීමෙන් ජනතාවට ළංවෙන්න උත්සාහ කිරීම එක වැඩසටහනක්.

 අනෙක් එක පසුගිය කාලයෙ ජනතාවගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධයෙන්, සාමකාමී රැුස්වීමේ නිදහස ආරක්ෂා කරන්න අවශ්‍යය නීති මත රැුකවරණය ලබාදෙන්න කටයුතු කළා. උද්ඝෝෂකයන්ගෙ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අපි රජයේ අවධානය යොමුකළා. ඒ වගේම මැයි මාසයේ උද්ඝෝෂණය කළ පොලිස් අත්අඩංගුවේ හිටපු දෙන්නෙක් අත්අඩංගුවට පත් දෙන්නෙක් මියගියා. ඒ වෙලාවෙත් අපි ඒ ගැන රජයේ අවධානය යොමු කළා. නැවත එවැනි දේ සිදුවිය නොහැකි බව අපි රජයට අවධාරණය කළා. හැබැයි ඊට පස්සෙ ඒ වගේ දේවල් සිදුවුණේ නෑ. උද්ඝෝෂකයන් සම්බන්ධයෙන් වුණත් අපි නිකුත් කරපු ප‍්‍රකාශත් එක්ක අත්අඩංගුවට ගත්ත පිරිස නිදහස් කළා. අපේ එක උත්සාහයක් තමයි මිනිස්සුන්ගෙ අයිතිය ආරක්ෂා කිරීම. වෙනස් අදහස් දැරීමේ අයිතිය. අපි කෙනෙක්ගෙ අදහසකට එකඟවෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. පෞද්ගලිකව මාව විවේචනය කරන්න පුළුවන් වගේම ඒවට මම එකඟවෙන්නෙත් නෑ, හැබැයි එහෙම අදහස් දැක්වීම වළක්වාලන්න අපිට හැකියාවක් නෑ. අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතාකරද්දි ජාතිය, ආගම, කුලය කියන සාධකයක් නෙමේ. ඒ ගැන පොදුවේ රටේ මතවාදයක් ඇතිකරන එක වැදගත්.

සාකච්ඡා කළේ – සිරිමන්ත රත්නසේකර
 ජායාරූප – ජූඞ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment