පවන් රත්නායක ගේ වේගවත් ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම අතර පැවැති 2 වැනි සිව්දින ක්‍රිකට් තරගයෙන් ද කඩුලු 5ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (18 දා) සමත් විය.
එම ජයත් සමගම තරග 2කින් සමන්විත නිල නොලත් සිව්දින තරගාවලිය තරග 2-0ක් ලෙසින් පූර්ණ ලෙස ජයග්‍රහණය කිරීමට ද ශ්‍රී ලංකා යෞවනයන්ට හැකිවිය.
බිනෝනි හි විලෝමුර් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 334ක් ලබාගැනීමට සමත්වූ අතර එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා ලබාගැනීමට හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 319ක් පමණි.
ඒ අනුව ලකුණු 25ක් ඉදිරියෙන් සිට සිය දෙවැනි ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකාව කඩුලු 9ක් දැවී ලකුණු 228ක් ලබා ඉනිම අත්හිටුවූ අතර ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 254ක අභියෝගයක් එල්ල විය.
එම අභියෝගයට සාර්ථකව මුහුණදුන් ශ්‍රී ලංකා යෞවනයෝ පන්දු වාර 41යි පන්දු 3කට පමණක් මුහුණ දෙමින් කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 254ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩයමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ පවන් රත්නායක වේගවත් ඉනිමක් දියත් කිරීමට සමත් වූ අතර ඔහු පන්දු 67කට මුහුණ දෙමින් ලකුණු 116ක් ලබාගැනීමට සමත්වූ අතර, එම ඉනිමට හයේ පහර 7ක් සහ හතරේ පහර 11ක් ඇතුළත් විණි.
ලකුණු පුවරුව
දකුණු අප්‍රිකානු ‘ඒ’ පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 334යි.
තිෂ්පන්ග් ඩිතෝලි ලකුණු 27, නීයිල් බ්‍රෑන්ඩ් නොදැවී ලකුණු 129, මාකෲස් අක්රම් ලකුණු 37, ඩෙවල්ඩ් බ්‍රෙවිස් ලකුණු 49, බෙයාර්ස් ස්වානිපාල් ලකුණු 34.
ඉසිත විජේසුන්දර 2/60, එෂාන් මාලිංග 3/68, සොනාල් දිනූෂ 3/48.
ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම සියලු දෙනා දැවී 319යි.
ලහිරු උදාර ලකුණු 129, පසිඳු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 92, ඉසිත විජේසුන්දර ලකුණු 21, ප්රෙනිලන් සබ්රයන් 6/64, නීයිල් බ්‍රෑන්ඩ් 2/45.
දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 238යි.
තිෂ්පන්ග් ඩිතෝලි ලකුණු 19, ජේන් ඩුෆ්ලෙසීස් ලකුණු 48, ඩෙවල්ඩ් බ්‍රෙවිස් ලකුණු 74, බෙයාර්ස් ස්වානිපාල් ලකුණු 19,
මොහොමඩ් ශිරාස් 2/43, ඉසිත විජේසුන්දර 2/23, එෂාන් මාලිංග 2/55.
ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 254යි.
ලහිරු උදාර 25, පසිඳු සූරියබණ්ඩාර 52, පවන් රත්නායක නොදැවී 116, ප්රෙනිලන් සබ්රයන් 3/108, බෙයාර්ස් ස්වානිපාල් 2/30යි.
සිසිර ඉන්ද්‍රජිත්