පවිත්‍රාට මුතුරාජවෙල මනින්න උසාවියෙන් නියෝග

196

මුතුරාජවෙල අභය භූමිය හා පරිසර ආරක්‍ෂක තෙත්බිම් කලාපය මැනුම් කටයුතු කර සීමා මායිම් ලකුණු කිරීම මාස තුනක් ඇතුළත කඩිනමින් අවසන් කර තම අධිකරණයට වාර්තා කරන ලෙසට අභියාචනාධිකරණය ඊයේ (27දා) වනජීවී විෂය භාර ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු වනජීවී හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු බලධාරීන්ට නියෝග කළේය.

අභියාචනාධිකරණය විසින් පසුගිය වසරේ අප්‍රේල් 4 වැනිදා හිටපු වනජීවී විෂය භාර අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට ඒ සම්බන්ධයෙන් නියෝග කොට ඇතත් එම නියෝගය මේ දක්වා ඉටුකර නොමැති බවට නඩුව මෝසමක් මගින් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා විනිසුරු මඬුල්ලට පැවසීය.

අධිකරණය විසින් සිදුකර ඇති පෙරකී නියෝගය අනුව ඒ සඳහා පියවර ගෙන ඇති බවත් එකී නියෝගය අනුව පියවර ගැනීමට වගඋත්තරකරුවන් පොරොන්දු වන බවත් වනජීවී විෂය භාර ඇමැතිනිය ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

පරිසර යුක්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ මහතා විසින් එම නඩව ගොනු කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment