2024 ඔක්තෝබර් මස 20 වැනිදා ඉරිදා
අයියා සමග මල්ලී එන්නාක් මෙන්, ගොනා සමග ගැල එන්නාක් මෙන්, පවුකාරයා සමග යමපල්ලන් එන්නාක් මෙන්, වැස්ස සමග වසංගත රෝග එයි. පසුගිය දින කිහිපය තුළ මෑත ඉතිහාසයේ විශාලතම වැස්ස ලක් පොළවට පතිත විය. මේ මගින් කට්ටියක් මිය ගිය අතර ලක්‍ෂයකට කිට්ටු හෝ ඊට වැඩි පිරිසක් අනාථ වූහ. ඒ අතර හානියට පත් දේපළවල ප්‍රමාණය රුපියල් මිලියන ගණනකි. ජනාධිපති මන්දිරය අසලින් දිවෙන සහ අරලියගහ මන්දිරය අසලින් දිවෙන පාරවල් දෙකේ ප්‍රවේශ ගේට්ටු සහ තාප්ප කැඩීමෙන් සිදු වූ පාඩුව වැස්සේ එකවුන්ට් එකට දමනු නොලැබේ. ඒවා වෙනම පාඩු විශේෂයකි. ලෝකයේ දේශගුණික තත්ත්වය ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතී. අවුරුදු 50කට පසු අරාබි එමීර් රාජ්‍යය විශාල ගංවතුරකින් යටවිය. එමතු ද නොව සහරා කාන්තාරයට ද ගංවතුර ගැලුවේය. මේ අතර සහරා කාන්තාරයේ එක් පැත්තක් කොළ පාට ගස්වලින් වැසී යමින් පවතී. තව අවුරුදු 10ක් 15ක් යන විට මේ ප්‍රදේශවල කිසියම් ආකාරයක ලඳු කැලෑ මට්ටමක් හට ගන්නවා ඇත. දේශගුණය මේ ආකාරයෙන් වෙනස් වීම කිසිසේත්ම සුදුසු නොවේ. සහරා කාන්තාරය ඒ කාන්තාරයේ ස්වභාවයට අනුව පැවැතිය යුතුය. හිමාල කන්ද එහි ස්වභාවයට අනුව පැවැතිය යුතුය. පසුගිය අවුරුද්දේ දී හිමාල කන්ද මීටර් දෙකක් උස ගියේය. එයට හේතුව එම කන්දේ පාදම සේදී ගොස් තිබීමය. ඒ අනුව හිමාල කන්ද උස යෑම සතුටු වීමට හේතුවක් නොවේ. සහරා කාන්තාරය ලෝක දේශගුණ චිත්‍රය තුළ දීර්ඝ කාලයක් තිස්සේ පැවැතිණ. මැද පෙරදිග පමණක් නොව ආසියාවේ කාලගුණික තත්ත්වයන් ද මේ කාන්තාරයේ ස්වරූපයට සෙට් වී තිබිණ. මිනිසුන් විසින් කළ යුතුව තිබුණේ මේ කාන්තාරයේ පැතිරීම වළක්වා ගැනීම පමණි. සහරා කාන්තාරයේ පැත්තක ගස් වැවෙද්දී අටකාමා සහ කලහාරී යන කාන්තාරවල කාන්තාරමය ස්වභාවය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතී. එබැවින් ලෝක ජන ප්‍රජාව ඉදිරියේ පවතින්නේ හොඳ තත්ත්වයක් නොවේ. මේ ටික සිහියේ තබාගෙන අපේ කතාවේ ඉතිරි ටික කියමු.
පවතින අධික වර්ෂාව හා ජල ගැලීම් හේතුවෙන් වසංගත රෝගවල වර්ධනයක් දක්නට ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසා ඇත. වැඩිහිටියන් සහ දරුවන් අතර පාචනය, ඉන්ෆ්ලුවන්සා, උණ සන්නිපාතය, අතීසාරය වැනි රෝග තත්ත්වයක් ඇතිවීම කෙරෙහි ජල ගැලීම්වල තිබෙන අහිතකර තත්ත්වයන් බලපා ඇතැයි ඔහු කියයි. වසංගත රෝග යනු කිසියම් මොහොතක දී භයානක සහ මාරාන්තික තත්ත්වයට පත්විය හැකි රෝග විශේෂයකි. මේවා හේතුවෙන් රෝගියා මිය යෑම හෝ අකර්මණ්‍ය තත්ත්වයට පත්වීම සිදුවිය හැකිය. විශේෂයෙන් පාචනය වැනි රෝගයක් ඉතා ශීඝ්‍රයෙන් පැතිර යයි. මෙය ජලයෙන් සහ ආහාරයෙන් හට ගන්නා රෝගයකි. පාචනය සහ අතීසාරය හැදුණු විට රෝගියා ඉතා දරුණු ලෙස විජලනය වේ. මේ විජලනය වැඩිහිටියකුට දැරීමට නොහැකිය. වැඩිහිටියන්ට දැරීමට බැරි නම් ළමයින්ට මෙය කිසිසේත්ම දැරීමට බැරිය. ගංවතුර තුළ පාචනය සහ අතීසාරයට අදාළ බැක්ටීරියා තිබේ. එම ගංවතුර ප්‍රසිද්ධ ජල මාර්ගවලට හෝ ළිංවලට මිශ්‍ර වූ කල්හි ඒවා පරිභෝජනය කරන අය ඉතා ඉක්මනින් එම රෝගවලට ගොදුරු වේ. වතුර පිරිසිදු කර ගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ ඒවා උතුරවා නිවාගෙන පානය කිරීමය. එහෙත් ගෑස් මිල සහ දර මිල ඉහළ ගොස් ඇති මෙසමයෙහි පවුලේ පරිභෝජනය සඳහා මේ රටේ ජනයා නිතරම වතුර උණු කර ගන්නේ කෙසේදැයි අපට වැටහෙන්නේ නැත. කෙසේ වුවද ලෙඩ වී ඉස්පිරිතාලවල ලැගීමට වඩා වැදගත් වන්නේ රෝගය වැළඳීමට ඉඩ නොදී ආරක්‍ෂා වීමය.
ලංකාවේ සහ ඉන්දියාවේ නාගරික ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය කිසියම් ආකාරයකට සමානය. මේ දෙරටේම නාගරිකය කුණු කාණුවලින් පිරී තිබේ. ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද කොළ පාට සහ ගඳ ගහන ජල මාර්ග දැක ගත හැකිය. මේවා පිරිසිදු කිරීම ඒ තරම් ලොකු වැඩක් නොවේ. එහෙත් රටේ නගර සභා හෝ ප්‍රාදේශීය සභාවල සිටින මහත්වරු ඒ ගැන එතරම් අවධානයකින් පසුවන්නේ නැත. එසේ වීමට හේතු රැසක් ඔවුන්ට තිබේ. ඉන් පළමුවැන්න නම් වාහන හිඟකම ය. කුණු ගඳ ගහන කාණුවක් තිබෙන තැනකට ගමන් කිරීමට සෞඛ්‍ය පරීක්‍ෂකට සහ ඔධ ට වාහනයක් අවශ්‍ය වේ. ඒ දෙදෙනා කරන නිර්දේශයට අනුව සමහර විට
නගරාධිපතිතුමා හෝ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා කුණු කාණු නිරීක්‍ෂණ සංචාරයක යෙදෙනවා ඇත. මේ සියලු සංචාරවලින් පසු කාණුව පිරිසිදු කිරීම සඳහා තක්සේරුවක් ලබාගත යුතුය. එම තක්සේරුව එන විට ඊළඟ පායන කාලය පැමිණ තිබෙන බැවින් කුණු කාණුව සම්පූර්ණයෙන්ම සිඳී වියළී ගොස් ඇත. එවිට කාණු සුද්ද කිරීමේ වැඩේ නිකන්ම මගහැරී යයි. මේ වූ කලී ලංකාව පිළිබඳ සාමාන්‍ය කතාව වේ. මෙයින් එහා කිසිවක් අපි නොකියමු.