ඇලයාපත්තුව මහ මාන්කඩවල ප්‍රදේශයේ නිවසක මවත් පියාත් සමග දරු දෙදෙනා කාලය ගතකළේ දහසකුත් එකක් බලාපොරොත්තු ඇතිවය. එම නිවසේ වාසය කළේ 37 හැවිරිදි සමන්ත ජයරත්න වන පියාත් නිශාන්ති හේමලතා (33) නමැති මව සහ ඇගේ දුව වන ජයරත්නගේ හසංකා ප්‍රබෝධනී නමැති 10 හැවිරිදි දැරිය සහ පුතා වන ජයරත්නගේ විනුජ නවෝද් ජයරත්න නමැති 5 හැවිරිදි පුතාය.
සමන්ත ජයරත්න කලක් යුද හමුදාවේ සේවය කර ඉන් ඉවත්ව මාළු වෙළෙඳාමේ නිරතව සිටි අතර මව, දරු දෙදෙනා රැක බලා ගනිමින් නිවසේ සිට තම වගකීම් කොටස මැනවින් ඉටු කළාය.
එම මවටත් පියාටත් තිබූ එකම බලාපොරොත්තුව වූයේ දරු දෙදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබාදී හොඳ පුරවැසියන් කිරීමටය. පවුලේ වැඩිමහල් දියණිය මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියාය. කුඩා පුතු ලබන වසරේ සිට පාසල් යෑමට සූදානමින් පෙර පාසල් අධ්‍යාපනය ලබමින් සිටියේය.
වෙනදා මෙන්ම සුපුරුදු පරිදි කාලය ගෙවීයමින් පැවතිණි. ඒ අතර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දැරියගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලද ලැබීම නිසා මුළු පවුලම සිටියේ ඉතාමත් සංතෝෂයෙනි. 26 වැනිදා දුවගේ විභාග ප්‍රතිඵල ලැබීමේ සතුටත් සමග මේ හතරදෙනා නින්දට ගියේ දහසකුත් එකක් බලාපොරොත්තු ඇතිවය. නමුත් ඔවුන් ප්‍රාර්ථනා කළ පරිදි පසුදින අවදි වන්නට ලැබුණේ නැත. ඒ කොහෙන්දෝ සිට පැමිණි ගිනි රකුසා පැමිණ මවත්, දියණියත්, කඩා පුතුත් බිලිගැනීම නිසාය. පියා ගින්නට හසුවී පිළිස්සුම් තුවාල ලබා මේවනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

පසුගිය 26දා රාත්‍රි 11.45 ත් 12:30 අතර කාලයේ දී මෙම ගින්න හට ගෙන ඇති බවට සැක කෙරේ. දැනගන්නට ඇති ආකාරයට එම ගින්න පැතිර ගොස් තිබූ අවස්ථාවේදී නිවසේ ඉදිරිපස පදිංචි අසල්වැසියකු හට නිවස දෙසින් කෑ ගසන ශබ්දය ඇසී පොලිසිය දැනුවත් කර ගම්වාසීන් හට කෑ ගසා ගින්න නිවා දැමීමට කටයුතු කළද, ඒ මොහොත වන විටත් දරු දෙදෙනා සහ මව බරපතළ පිළිස්සුම් තුවාල ලබා නිදි යහන තුළදීම එම ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස අවාසනාවන්ත ලෙස බරපතළ පිළිස්සුම් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොක්කිචිචිය පාර, වැව අසල, මහමාන්කඩවල, ඇලයාපත්තුව ලිපිනයේ පදිංචිව සිටි නිශාන්ති හේමලතා (33) නමැති මව සහ ඇගේ දුව වන ජයරත්නගේ හසංකා ප්‍රබෝධනී නමැති 10 හැවිරිදි දැරිය සහ විනුජ නවෝද් ජයරත්න නමැති 5 හැවිරිදි පුතාය.
සිද්ධියෙන් පිළිස්සුම් තුවාල ලැබූ නිවසේ ගෘහ මූලිකයා වන 37 හැවිරිදි සමන්ත ජයරත්න දෑත් වලට සිදුවූ පිළිස්සුම් තුවාල හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
පසුව ගම්වාසීන් විසින් පොලිස් හදිසි ඇමතුම් අංකයට (119) දැනුම්දී ඇත. එම ස්ථානයට ගිය සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතා ඇතුළු නිලධාරීන්ට දැකගන්නට ලැබී ඇත්තේ ගිනි ගෙන දැවුණු එම නිවසයි.

ගින්නට මැදිවී ජීවිතක්ෂයට පත්වූ දස හැවිරිදි හසංකා දැරිය පෙරේදා ප්‍රතිඵල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ජයක් ලබා තිබූ අතර, මියගිය කුඩා පුතු වන හැවිරිදි විනුජ ලබන වසරේ සිට පාසල් යාම සඳහා ඇඟිලි ගනිමින් පෙර පාසල් අධ්‍යාපනය ලබමින් සිට ඇති බව අසල්වැසියෝ ඇඬූ කඳුළින් පැවසූහ.
ගිනි ගැනීමට ලක්වූ මෙම නිවසට, අසල නිවසකින් විදුලිය ලබා ගෙන තිබිණි. එසේම ගිනි ගත් නිවස තුළ පැට්‍රල් බූලියක් තිබී ඇති බවටත් මූලික විමර්ශනවල දී තොරතුරු ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කෙරෙන බව පොලීසිය සඳහන් කළේය.
මළ සිරුරු සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.
අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. ජයන්ත පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත ඇලයාපත්තුව භාර සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක එම්. එම්. එන් රංජිත් බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කරති.
මිහින්තලේ –
රංග චතූ