හැට හැවිරිදි තිදරු පියෙකු වන ඩබ්.එම්. ඩිංගිරි බංඩා නැමැති අයෙකු පසුගියදා ගෙලවැලලාගෙන ජීවිතයෙන් සමුගෙන ඇති පුවතක් ගල්ගමුව වලස්වැව ප්රදේශයෙන් වාර්තා වෙයි.වෘත්තියෙන් ගොවි මහතෙකු වන ඩිංගිරිබංඩා මහතා සිය බිරිඳ සමග කුඩා නිවසෙක ජීවත්ව ඇති අතර දරුවන් විවාහ වී ඔවුන් දුරස්ව වෙන් වීමෙන් ඔවුන් දෙදෙනා තනිව ජීවත්වී ඇත. ඉතා අමාරුවෙන් දිවි
ගැටගහගත් ඩිංගිරිබංඩා පවතින ආර්ථික තත්ත්වය ඔහුව කබලෙන් ලිපට ඇද දමා ඇති අතර මෙවර ඔහු සිදුකළ ගොවිතැනද නිසරුව ගොස් තිබීම නිසා ඔහු දැඩි මානසික පීඩනයකින් පසුවූ බව ඔහුගේ බිරිඳ පවසා සිටියාය. ඒහේතුව නිසාම දෙදෙනා අතර නිතර නිතර පුංචි පුංචි අඬදබරද ඇති වූ බව ඇය තවදුරටත් කීවාය. සමහර දිනවල තුන් වේලම තේ වතුරින් කුස පුරවා ගෙන සිටින්නට පවා ඔවුනට සිදු වී ඇති බවද ඇය ඇඬූ කඳුලින් පවසන්නීය.
පසුගිය දිනකද උදෑසන දෙපල අතර එලෙස වචන හුවමාරුවක් ඇති වී ඇති අතර ඉන් පසු ඩිංගිරිබංඩා තම හේනට ගොස් ඇති අතර දහවල් ආහාරය ගැනීමට හෝ ඔහු නිවසට නොපැමිණීම නිසා ඔහුගේ බිරිඳ රොටි දෙකක් සාදාගෙන තම මිණිබිරිය අතේ හේන වෙත යවා ඇත. මිණිබිරිය රොටි රුගෙන හේනට ගොස් වට පිට විපරම් කළද තම සීයා නොසිටීම නිසා කලබලයට පත් වී ඇත. ඉන් පසු ඒ අසල තිබූ කැලෑ රොද වෙත ගිය ඇයට තම සීයා ගසක එල්ලී දිවි තොරකරගෙන සිටින අයුරු දැකීමත් සමගම කෑ ගසාගෙන විත් තම ආච්චි අම්මාට දන්වා ඇත.ඇය ගල්ගමුව පොලිසිය වෙත මේ පිළිබදව දන්වා ඇති අතර ගල්ගමුව පොලිස් ස්ථානාධිපති පුෂ්ප කුමාර මහතාගේ ප්රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
කුමා රණසිංහ -ගල්ගමුව