පස්දෙනෙකු නම් වෙයි… හමුදාවේ දෙවෙනියා ප්‍රියන්ත… යුද හමුදා සේවා වනිතා ඒකකයට වසර 37යි…

470

යුද හමුදාව එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා ප‍්‍රවිෂ්ටවීම බොහෝ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සහ රාජ්‍ය නොවන සංවිධාන නඩය, කෝපාවිෂ්ට කිරීමට සමත් වුවද, ශ‍්‍රී ලංකාව නව සාමාන්‍යකරණය යටතේ පවත්වාගැනීම සඳහා දොරගුළු විවෘත කරන ලද්දේ, යුද හමුදාව ප‍්‍රමුඛ නාවික සහ ගුවන් හමුදාවන් එන්නත්කරණය සඳහා කැඳවීමත් සමගය. දිනකට පන්දාහක් එන්නත්කරණයට ලක් කිරීම, හමුදාවෝ වැඬේට බැසීමත් සමග ලක්ෂ හතරක් පමණ බවට පත්ව තිබේ. එන්නත විදීම සීඝ‍්‍රවීමත් වීමත් සමග, රටම ඊළඟ පියවර සඳහා සූදානම් වන්නට පටන් ගත්තේය. පාසල් විවෘත කිරීම වැනි මාතෘකා යළි කතිකාවතට ලක් වන්නේ, අගුලූදැමීමෙන් රට නිදහස් වන දිනය පිළිබඳව ජනතාවට ඉව වැටෙන තරමට එන්නත්කරණය වේගවත්වීම නිසාය. විහාරමහාදේවි උද්‍යානයේ, යුද හමුදාව සිදු කරන ලද, එන්නත්කරණ වැඩපිළිවෙළ නිරීක්ෂණය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ‍්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලකා සිං මහත්මිය පැමිණියාය. ජනාධිපතිවරයාගේ කොවිඞ් මර්දන වැඩපිළිවෙළ පිළිබඳව ප‍්‍රශංසා සිදු කරන ලද නියෝජිතවරිය ඒ සඳහා හමුදාව යොදා ගැනීම ද අගය කළාය.
 
 සේවා වනිතාවෝ තිස් හත සමරති
 
 1984 ජූලි මස 12 වෙනි දින ආරම්භ කරන ලද යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සිය තිස් හත්වෙනි සංවත්සරය පසුගියදා සමරනු ලැබිය. යුද්ධ හමුදාවේ සියලූ සාමාජිකයන්ගේ භාර්යාවන්, කාන්තා නිලධාරිනියන්, කාන්තා සෙසු නිලයින් හා සිවිල් සේවක මහතුන්ගේ භාර්යාවන්ගෙන් සැදුම්ලත් ස්වේච්ඡුා සංවිධානයක් වන යුද හමුදා සේවා වනිතා ඒකකය, රෙජිමේන්තු සේවා වනිතා ශාඛා 23කින් සමන්විතය. යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතීන්ගේ සුභසාධනය රෝහල්ගතව සිටින රණවිරුවන්ගේ අවශ්‍යතා සොයා බලා, ඉටුකිරීමට කටයුතු කිරීම, ආදිය මූලික කරගනිමින් යුද හමුදා සේවා වනිතා ඒකකය යුද හමුදාව විෂයයෙහි මව්වත් කාර්යභාරයක් ඉටු කරමින් සිටින්නීය. සේවා වනිතා ඒකකය සංවිධානය කළ දැවැන්තම ව්‍යාපෘතියක් වන්නේ ‘බ්‍රේව් හාර්ට්ස්’ ව්‍යාපෘතිය ය. එක්රැස් කරගත් අරමුදල් මගින් අනුරාධපුර, මාතර හා පාන්ගොල්ල වැනි ප‍්‍රදේශවල ‘අභිමංසල’ මධ්‍යස්ථාන ඉදිකර, ජීවිතාන්තය දක්වාම රැකබලා ගත යුතු තත්ත්වයේ සිටින රණවිරුවන්ගේ වගකීම ‘ඇය’ සිය උරමතට ගත්තාය. ඉඩම් ලබාදීම, නව නිවාස තනාදීම මෙන්ම අඩක් නිමකළ නිවාස සඳහා ආධාර ලබාදීම යන යුතුකම මෙන්ම කොවිඞ් වසංගතයේදී, ජනතාවට සහනයක් සැලසීම සඳහා යුද්ධ හමුදාපතිවරයාගේ සහ සේවා වනිතා සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මියගේ උපදෙස් පරිදි දින දහයක් වැනි කෙටි කාලයක් තුළ, සීදූවේ ඉදිකරන ලද, අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානය සහ හදිසි ප‍්‍රතිකාර ඒකකය, හුදෙකලා කිරීමේ අංශය, දැඩි සත්කාර ඒකකය, වෛද්‍ය උපකරණ හා බෙහෙත් ද්‍රව්‍ය ගබඩා කිරීමේ අංශය සහිත අංග සම්පූර්ණ සංකීර්ණය අතිශය මනරම් සහ ක‍්‍රමානුකූල යාන්ත‍්‍රණයක් විය.
 
 මෙම ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ පිරිමි හා කාන්තා වශයෙන් වෙන් වෙන්ව නේවාසිකව ප‍්‍රතිකාර ලබාගැනීමේ හැකියාවට අමතරව, ගර්භණී කාන්තාවන් හා දරුවන්ගේ සියලූම සෞඛ්‍ය හා සනීපාරක්ෂක අවශ්‍යතාවයන් ඉටු කර ගත හැකි පරිදි පහසුකම් සලසා ඇත. විශේෂයෙන්ම හරිත සංකල්පය අනුව එම සංකීර්ණය අභ්‍යන්තරයේ පවා ගස් සිටුවා, අලංකාර අයුරින් සකස් කර තිබුණි. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 37 වන සංවත්සරය වෙනුවෙන් අදහස් දැක්වූ සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය, ආරම්භක සභාපතිනිය වන සෝනියා වීරතුංග මහත්මියගේ සිට මේ දක්වා සිටි සභාපතිනියන්ගේ මගපෙන්වීම හා සියලූ සාමාජිකාවන්ගේ කැපවීම මත මෙම ඒකකය දිනෙන් දින වර්ධනය වූ බවත්, ඒ නිසාම ඔවුන් ආරම්භ කළ සේවාවන් ඉතා පුළුල්ව තවදුරටත් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවත් අවධාරණය කළාය. සේවා වනිතා ඒකකයේ අනුශාසක ලෙස වත්මන් යුද්ධ හමුදාපතිවරයා ලබාදෙන උපදෙස් සහ අනුග‍්‍රහය අගය කරමින්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය ආරම්භයේ සිට මේ දක්වා සිදුකරන ලද විශිෂ්ට කාර්යභාරය සමස්ත ශ‍්‍රී ලංකාවේත් යුද්ධ හමුදාවේත් සුබ සිද්ධිය වෙනුවෙන් අනාගතයේදීත් ඉතා පුළුල් ලෙස ඉටුකිරීමට ඇපකැප වී ක‍්‍රියාකරන බවත්, දේශයේ වීරෝදාර රණවිරුවන්ට නිරන්තර සවියක් වෙමින් සේවා වනිතාවක් ලෙස සිය යුතුකම් නොපිරිහෙළා ඉටුකිරීමට, මෙම ඒකකය කැපවී ක‍්‍රියා කරන බවත් සභාපතිතුමිය අවධාරණය කළාය.
 
 සෙනරත් යයි
 
army2

යුද හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානි ධුරය හෙවත් දෙවැනි පුටුව සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ප‍්‍රියන්ත පෙරේරා පත් කරනු ලැබ තිබිණි. යුද හමුදාපතිවරයා මෙම පත්කිරීම සිදු කිරීමට පෙර, හමුදා පාර්ශ්වයේ බොහෝ දෙනා නව පත්වීම පිළිබඳව විමසිල්ලෙන් පසු වූයේ, යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර විශ‍්‍රාම ගැනීම සමගය.
 
 මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර, යුද්ධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ලෙස කටයුතු කිරීමට ප‍්‍රථම යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළේය. 1986 ජනවාරි මස 17 වන දින යුද හමුදා නිත්‍ය බළකායට එක් වූ ඔහු ගැමුණු හේවා බලකායේ නිලධාරියෙකි. මඩු දේවස්ථානය ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් මුදා ගැනීමේ ක‍්‍රියාන්විතයේදී පෙරමුණ ගෙන කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වූ ඔහු ත‍්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම් කාලසීමා තුළ සංග‍්‍රාම භූමියේ දී තෙවරක් ත‍්‍රස්ත ප‍්‍රහාරවලින් තුවාල ලැබුවේය. දෙවරක්ම රණවික‍්‍රම පදක්කම සහ රණ ශූර පදක්කමින් පිදුම් ලැබු මේජර් ජෙනරාල් බණ්ඩාර, මානුෂීය මෙහෙයුම් සඳහා දැක් වූ දායකත්වය වෙනුවෙන් තෙවරක් දේශපුත‍්‍ර සම්මානයෙන් හිමිකරගෙන ඇති නිලධාරියෙකි. පාකිස්තානයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස ද මේජර් ජෙනරාල් බණ්ඩාර සේවය කර තිබුණි.
 
 දෙවැනි පුටුවට පහක්…
 
 සෙනරත් බණ්ඩාරගෙන් හිස් වූ තනතුර සඳහා යුද හමුදා ප‍්‍රධානීන් පස්දෙනකුගේ නම් ඉදිරියට පැමිණ තිබුණි. නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානි, මේජර් ජෙනරල් වසන්ත මාදොල, ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටියා වුව ද ඔහු නියෝජනය කරන ලද්දේ යුද හමුදා පොලිස් හේවා බලකාය බැවින් සේවා බලකායකට යුද හමුදාපති තනතුර නොලැබෙන බැවින් ඔහු මේ සඳහා නම් නොවීය. කාලතුවක්කු රෙජිමේන්තුවට අයත් නිලධාරියකු වන ස්වේච්ඡුා බල සේනාවේ ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගෙදර ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටි අතර ඊළඟට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටියේ යාපනයේ ආඥාපති මේජර් ජෙනරාල් ප‍්‍රියන්ත පෙරේරා සහ යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරල් සේන වඩුගේ යන දෙදෙනාය. එකම බඳවා ගැනීමට අයත් වූ මෙම දෙදෙනා යම් අපරික්ෂාකාරී හේතුවක් මත ජ්‍යෙෂ්ඨත්ව දෙකකට යොමු කොට තිබුණේ, මීට වසර ගණනාවකට පෙරය. ඒ අනුව දෙදෙනාම එකම ජ්‍යෙෂ්ඨත්වය හිමි නිලධාරීහු වූහ. සිංහ රෙජිමේන්තුව නියෝජනය කරන මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ද මේ සඳහා ජ්‍යෙෂ්ඨත්ව ලැයිස්තුවේ සිටියේය. මේ සඳහා යම් තරගකාරී තත්ත්වයක් සමහර නිලධාරීන් නිර්මාණය කරගෙන තිබෙන බව පෙනී ගියේය.
 
 යුද හමුදාපතිවරයා තනතුරු සඳහා පත් කරන ක‍්‍රමවේදය වන්නේ ජ්‍යෙෂ්ඨත්වය සහ දක්ෂතාවය යන දෙකම එකට ගැනීමය. මෙය යුද හමුදාපති ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා කටයුතු කරන සමයේදී යුද ජයග‍්‍රහණය සඳහා යොදා ගන්නා ලද ක‍්‍රමවේදය වූයේ ද මෙයය. ඒ අනුව යුද හමුදාව සඳහා නිවැරදි නායකයන් තෝරාපත් කර ගැනීමේ මෙම හමුදාපතිවරයාගේ ක‍්‍රමවේදය අනුව යුද හමුදාවේ දෙවැනි අසුන සඳහා තේරී පත්වූයේ, යාපනයේ ආඥාපති මේජර් ජෙනරාල් ප‍්‍රියන්ත පෙරේරා ය. යාපනයේ ආඥාපති ධුරය යනු සන්ධිස්ථානීය තනතුරකි. ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් යාපනය දරන ලද වැදගත්කම හේතුවෙන්, කොටි පුල්ලි නැවත නැගිටීමේ අවදානමක් ඇති නොවීම සඳහා, වගකීම් සහගත ලෙස විමසිලිමත්වීමට, යාපනයේ ආඥාපති තනතුර සඳහා පත් කරනු ලබන්නේ, වගකීම් ඉටු කළ හැකි, ඉදිරි නායකත්වයක් සහිත චරිතයකි. යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ධුරයෙන් නික්ම යන, මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ද මාණ්ඩලික ප‍්‍රධානි ධුරය සඳහා පත්වීමට පෙර යාපනයේ ආඥාපති ලෙස කටයුතු කළේය. එසේම මෙවර මේජර් ජෙනරාල් ප‍්‍රියන්ත පෙරේරා ද යාපනයේ ආඥාපති ධුරයේ සිට මාණ්ඩලික ප‍්‍රධානි තනතුරට පත්විය.
 
 අලූත් දෙවැනියා ප‍්‍රියන්ත
 
 ඉසිපතන විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වන මේජර් ජෙනරාල් ප‍්‍රියන්ත පෙරේරා, 1986 වසරේ යුද හමුදාවට කෙඩෙට් නිලධාරියෙකු ලෙස බැඳුණි. ශ‍්‍රී ලංකාව තුළ පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු ඇකඩමිය, පාකිස්තානයේ දී ද පාඨමාලා කිහිපයක් හදාරන ලද ඔහු දෙවන ලූතිනන්වරයකු ලෙස පත් වී 1987 මැයි 18 වන දින, ගැමුණු හේවා බල ඇණිය සඳහා ඇතුළත් විය.
 
 ඓතිහාසික වඩමරාච්චි මෙහෙයුමට සහභාගී වූ ඔහු බලවේගය මෙහෙයුමේ සහ අකුණුපහර මෙහෙයුම සහ මන්නාරම, සිලාවතුරෙයිහි මුහුදු කොටි කඳවුර අල්ලා ගැනීම, යාපනය නගරය මුදා ගැනීම සඳහා රිවිරැස මෙහෙයුම ආදිය සඳහා මෙන්ම ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කරන ලද මානුෂිය මෙහෙයුම සඳහා ද ඉදිරි පෙළ කාර්ය භාරයක් ඉටු කළේය.
 
 කොමාන්ඩෝ බළකාය යටතේ, 7 වන බලඇණියේ අණදෙන නිලධාරි ලෙස ඔහු 2007 දී තොප්පිගල නිදහස් කර ගැනීම සඳහා ක‍්‍රියාකාරී භූමිකාවක් ඉටු කළේය. ඔලූවිල්, අම්පාකාම් දක්වා උදයර්කට්ටු කුලම් දක්වා අල්ලා ගනිමින්, ඔහුගේ නායකත්වය යටතේ සිටි හමුදා, එල්ටීටීඊ සබ්මැරීන් කඳවුරු සංකීර්ණය අල්ලා ගැනීමට සමත් විය.
 
 ආරක්ෂක අමාත්‍යාංශය යටතේ අකුරෙගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණ ඉදිකිරීම් ව්‍යාපෘතියේ ආරක්ෂාව සහ සෞඛ්‍ය කළමනාකරණය භාර වූයේ, මේජර් ජෙනරාල් ප‍්‍රියන්ත පෙරේරා වෙතය. රණවික‍්‍රම, රණශුර, දේශපුත‍්‍ර, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, වන්නි මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු හා නැගෙනහිර මෙහෙයුම් පදක්කම, වඩමරච්චි මෙහෙයුම් පදක්කම ආදී පදක්කම් ගණනාවක් ලබා ඇති මේජර් ජෙනරාල් පෙරේරා, යාපනය පලාලි යුද හමුදා ගොවිපළ කේන්ද්‍ර කර ගනිමින් කාබනික පොහොර නිපදවීමේ ව්‍යාපෘති ආදී බාහිර ව්‍යාපෘති ගණනාවක් සඳහා නායකත්වය ලබාදුන් චරිතයකි.
 
 ජගත් සහ සමන්තට අලූත් තනතුරු
 
 යාපනයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ද මේජර් ජෙනරාල් කොඩිතුවක්කුගේ නික්ම යෑමෙන් හිස්වෙන යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ලෙස මේජර් ජෙනරල් සමන්ත ද සිල්වා ද පත්වීමට නියමිතය.
 
 army3මුලතිව් සටනට වසර 25 යි
 
ශ‍්‍රී ලංකා යුද ඉතිහාසයේ ඓතිහාසික පරාජයක් ලද්දේ, එක්දහස් නමසිය අනූහය වසරේ ජූලි 18 වැනි දා මුලතිව් කඳවුර වටලා, නොනවතින රැල්ල 1 ලෙස එල්ටීටීඊ ත‍්‍රස්තවාදය නම් කරන ලද මෙහෙයුමෙන් කඳවුරේ සිටි සෙබළු 1400ක ගේ පමණ ජීවිත අහිමි වීමෙනි. ජීවිත ආරක්ෂා කර ගැනීමට සමත් වූයේ උපාය මාර්ගිකව පැනගත් සෙබළු කිහිපදෙනෙකු පමණය. යුද සාහිත්‍යයක් නිර්මාණය නොවීම හේතුවෙන් මුලතිව් කඳවුර වැටෙද්දී, සිය ජීවිතය බේරා ගැනීම සඳහා දින ගණනක් තිස්සේ උපාය යෙදූ, ඒ සෙබළුන්ගේ කතාව ජනගත නොවීය.
 
 යුද සාහිත්‍යයක් බිහිකර ගැනීම සඳහා පරිශ‍්‍රමයක් යොදමින්, විශිෂ්ට කෘති ගණනාවක් රචනා කරන ලද මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ සිය නවතම කෘතිය ලෙස ‘මරණය මැදින් මුලතිව් සිට’ නමින්, විශ්ව යුද සාහිත්‍යට එක්විය යුතු මට්ටමේ පර්යේෂණයක් එළි දක්වා තිබේ. වසර විසි පහක් පැරණි මේ යුද මතකය, මේ ආකාරයෙන් පර්යේෂණාත්මක ආකාරයෙන් ගොනු කිරීම ප‍්‍රශංසා සහගතය.

– මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment