පස්ස බිම ඇනුණුවිට විස්ස මතක් වීම!

144

ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ – දේශපාලන සංස්කෘතිය විසින් ඉල්ලනු ලබන විප්ලවීය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය නොතකා හෝ එය මඟහැර යෑමට හෝ මේ ආණ්ඩුවට නොහැකි බව පැහැදිලිය. ගෝඨාභය ජනාධිපතිවරයාගේ මිරිහාන පෞද්ගලික නිවාසයට නුදුරුව ඉකුත් මාර්තු 31 වැනි දා අවිධිමත් ලෙස මතුවූ ජනතා විරෝධය මේ වනවිට ඈත ගම් දනව් වෙතට ද කාන්දු වී තිබේ. ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය ද දැන් මිරිහාන විරෝධතාවෙන් උපත ලද සටන් මධ්‍යස්ථානය බවට ද පත්ව තිබේ. එහි පිහිටුවා ගත් “ගෝඨා ගෝ ගම” රාජපක්‍ෂ බල කඳවුරට එරෙහිව මහජන මතය පෙළගස්වන අරගල භූමියයි. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගෙදර යා යුතුය යන තේමාව අතට ගත් තරුණ තරුණියන්ගේ සටන් බිම වූ ගාලු මුවදොරට මේ රටේ විවිධ ක්‍ෂේත්‍රවල සිටින ප්‍රබුද්ධ ජන කොටස්වල සහයෝගය හා ආශිර්වාදය ද ලැබුණි. විශ්වවිiාල හා සෞන්දර්ය කලා ක්‍ෂේත්‍රවල ප්‍රමුඛ අනුග්‍රහයත් වෙනත් වෘත්තිකයන්ගේ සහභාගිත්වයත් ලැබුණු මෙම නිර්පාක්‍ෂික තාරුණ්‍යයේ අරගලයට මානව හිමිකම් සංවිධාන මෙන්ම වෘත්තීය නීතිඥයන්ගේ සෘජු මැදිහත්වීම් ද හිමිව තිබේ. ‘ගෝඨා ගෝ ගම’ අරගලය සඳහා මහනාහිමිවරුන්ගේ මෙන්ම කිතුනු හා වෙනත් ආගමික නායකයන්ගේ ද අවධානය යොමුව තිබේ. ඒ සියලු ආගමික නායකයන්ගේ අවවාද අනුශාසනාවලින් ද ප්‍රකාශ වූයේ රාජපක්‍ෂ පාලනය අවසන් කළ යුතු බවය. අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත්වී අන්තර්වාර හෝ පාර්ලිමේන්තුවේ සියලුම පක්‍ෂවල නියෝජනය සහිත පාලනයකට වහාම අවකාශ සැලසිය යුතු බව ද ඒ උපදේශවලින් යෝජනා විය.

කෙසේ හෝ මෙරටේ දේශපාලනය අභිනව පරිවර්තනයකට යොමුකළ මෙම මහජන උද්ඝෝෂණ ව්‍යාපාරය තුළ ප්‍රමුඛ ලක්‍ෂණය වී ඇත්තේ රාජපක්‍ෂ විරෝධයයි. රාජපක්‍ෂවරුන්ට දේශපාලනික හෝ වෙනත් ආකාරයක හෝ අභියෝගයක් කිරීම මහා කළුගලක හිස ගසා ගැනීමක් වැනි යැයි සමහරු කල්පනා කළහ. 2015 දී පසුබැස ගිය රාජපක්‍ෂවරුන්ට ජනතාව විසින් ලබාදෙන ලද බලය ද අති විශාල ජනවරමකි. සිව්වරක් මෙරටේ අගමැති වූ පැරණිතම දේශපාලන පක්‍ෂයයේ (එජාප) නායකයා වූ රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවට පත්වීමට තරම්වත් ඡන්ද සංඛ්‍යාවක් පවා ලබාගත නොහැකි විය. එය 56 දී එජාප ප්‍රබලයකු ජේ. ආර්. ජයවර්ධනට අත්වූ ඉරණම හා සමාන විය. එහෙත් රනිල්ට ඒ ජයවර්ධනගේ ව්‍යවස්ථාවේ එල්ලී මන්ත්‍රීධුරයක් ලබාගත හැකිවිය.

2020 දී රාජපක්‍ෂවරු ප්‍රබලව සිය දේශපාලන කඳවුර තරකර ගත්හ. ගෝඨාභය – මහින්ද එහි ප්‍රධාන කුලුනු විය. එහෙත් ඒ කුලුනු ගරා වැටුණේ මෙරටේ සමාජ දේශපාලනය හා ආර්ථික අර්බුද ජයගැනීමට දැක්මක්, සැලැස්මක් නොවූ නිසාය. ආණ්ඩුව තුළ ම සිටි කණ්ඩායම්වලින් එල්ලවන විවේචනවලින් තහවුරු වන්නේ ද ආණ්ඩුවට ආර්ථික කළමනාකරණයක් නොවූ බවය. කිසියම් අධිපතිවාදී මනසකින් ක්‍රියාකළ ජනාධිපතිවරයාත් ඔහුගේ සහෝදර මුදල් ඇමැතිවරයාත් මේ ආර්ථික විනාශයට වගකිව යුතු බව ද ඔවුන්ගේ චෝදනාවකි. අද ආණ්ඩුවෙන් එළියට විසිවී සිටින විමල්, උදය, වාසු, මෛත්‍රී, දයාසිරි ආදීන්ගේ නිර්දය විවේචනත්, උත්ප්‍රාසනීය අනාවරණයන් ගෙනුත් අපට හෙළි වන්නේ රාජපක්‍ෂ පවුල් පාලනයෙහි ආදීනව විසින් ජනතාව මත හෙළන ලද පීඩනයයි.

මේ පීඩනයෙන් ජනතාව මුදාගත හැක්කේ රාජපක්‍ෂ වාදය දේශපාලනිකව පරාජය කිරීමෙන් බව නිර්දේශපාලනික තරුණ තරුණියෝ වටහා ගත්හ. ඒ රාජපක්‍ෂ විරෝධය අද දේශපාලනයේ තේමාව බවට පත්ව තිබේ. වැඩවසම් දේශපාලන හණමිටි කර තබාගත් මහල්ලෝ ද ඔවුන්ට දරදිර සපයමින් බත සපයා ගන්නා අනෙක් සියල්ලෝ ද අද මහජන විරෝධයට ලක්ව සිටිති. දේශපාලනයෙන් උපයාගත් ප්‍රභූත්වයත්, සොරකම් කළ ධනයෙන් මහා මන්දිර තනාගත් උදවියත් මේ “ගෝඨා ගෝ ගම” විරෝධයට ලක්වීම පුදුමයක් ද නොවේ. ඒ තාරුණ්‍යය සමග එක්වීමට පුරවැසියෝ වීදී බසිමින් සිටිති. වංක, දූෂිත, කොමිස්කාර දේශපාලන ව්‍යාපාරයට අයත් නොවූ තරුණයන් හා පුරවැසියෝ අද රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයක් සඳහා උද්ඝෝෂණ කරති. ඔවුන්ට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී හැඩයෙන් යුත් සමාජ දේශපාලනයක් මේරටේ ගොඩනැඟීමය. ඒ සමාජ අවකාශය පිරිසිදුකර ගැනීමට හරස් වූ රාජපක්‍ෂවරුන් පමණක් නොව, පාර්ලිමේන්තුවේ 225ම ඔවුහු ප්‍රතික්‍ෂේප කරති. සිංහල ජාතිය හා බුද්ධාගම රාජපක්‍ෂවරුන්ගේ බලයෙහි තීරණාත්මක සාධකයක් වූ බව රහසක් නොවේ. මේ ජාතිවාදය හා ආගම්වාදය බැහැර කළ නව රැල්ලක් ‘ගෝඨා ගෝ ගම’ විසින් පුබුදනු ලැබ ඇත. ඒ අබියස ‘ගෝඨා ඕනෑ’ යනුවෙන් දියත් වූ පිරිස පසුබෑමට ලක්වූ බවද පෙණුණි. ගාලු මුවදොර උද්ඝෝෂණයේ කිසිවිටෙක ජාතිවාදී හෝ ආගම්වාදී සටන් පාඨ නො ඇසුණි. ඇත්ත වශයෙන්ම එය අභිනව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උදාර ලකුණක් බවට පත්විය යුතු සාධනීය ප්‍රතිචාරයකි. ‘ගෝඨා ගෝ ගම’ කේන්ද්‍ර කරගත් නිර්දේශපාලන ව්‍යාපාරය රාජපක්‍ෂවරුන් නොමැති පාලනයක් අපේක්‍ෂා කරන්නේ ද මේ අභිනව පරිවර්තනය නිර්බාධිතව සිදුකරගැනීම සඳහාම ය. අපේ මහනාහිමිවරුන්ගේ දේශපාලන විඥානය තුළම ඒ සඳහා පෙළඹවීමක් ද ඇත. ඉහත කී පරිදි අගමැති හා කැබිනට්ටුව ඉවත්විය යුතුය යන ජනතා අපේක්‍ෂාව පිළිගනු ලබන්නේ ද ඒ දේශපාලන විඥානයෙහිම ඵලයක් ලෙසය.

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද අලුත් යැයි කියන කැබිනට් මණ්ඩලයට ‘ගෝඨා ගෝ ගම’ උද්ඝෝෂණය නිහඬ කළ හැකි පිළිතුරක් දිය හැකිද යනු අවිනිශ්චිතය. එහි නියෝජනය පිළිබඳ බොහෝ විවේචන තිබේ. අලුත් කැබිනෙට්ටුවේ බහුතරය රාජපක්‍ෂවරුන්ට පක්‍ෂපාතීවූ දේශපාලනඥයන්ගේම පුතුන් බව එක් ප්‍රබල විවේචනයකි. මෙයට පෙර ඇමැතිවරුන් ලෙස සිටි ඔවුන්ගේ බැඳියාවන් හා ළැදියාවන් කෙබඳු දැයි අමුතුවෙන් කිව යුතු නැත. පිය උරුමයෙන් ලද දේශපාලන වරමෙහි අලුත් ජයග්‍රහණයක් ඔවුන්ට ලැබී තිබේ. ඒ සියල්ල රාජපක්‍ෂවරුන්ගේ ප්‍රදානයන්ය. මෙහිදී අපට පෙනී යන තවත් කරුණක් ද ඇත. ඒ පොහොට්ටුවෙන් මෙවර පාර්ලිමේන්තුවට ආ මන්ත්‍රීවරුන් අතර සිටින ආචාර්ය, මහාචාර්ය හෝ නීතිඥ වැනි ක්‍ෂේත්‍රවලට අයත් කිසිවකුට ඇමති වගකීම් නො පැවරීමය. ඩයනා ගමගේ, සුරේන් රාඝවන් හා ශාන්ත බණ්ඩාර වැනි අයට වගකීම් පැවරීම මේ ආර්ථික හා දේශපාලන අර්බුද සමනය කිරීමට කෙසේ හේතු වන්නේ ද යන්නත් සමහරු ප්‍රශ්න කරති. මැල්කම් රංජිත් කාදිනල්තුමා සෘජුවම ප්‍රකාශ කළේ මේ ඇමැති මණ්ඩලය පිළිනොගන්නා බවය. කුමක් වුවත් මහින්ද අගමැති ධුරයෙහිම තබා ගැනීමට ද ජනාධිපතිවරයාට අවශ්‍ය වූ බව පෙනේ. දවසින් දවස උත්සන්න වන මෙම රාජපක්‍ෂ විරෝධය සමග තවදුරටත් කටයුතු කිරීම ද අභියෝගයකි. මේ ඇමැතිවරුන්ගෙන් කාට හෝ විරෝධතාකරුවන් සමග සංවාදයක් හෝ ගොඩනඟාගත හැකි ද? එසේම මේ අර්බුදයට දායකත්වය දෙන සාමාන්‍ය ජනතාවට හෝ ඔවුන්ට ආමන්ත්‍රණය කළ හැකි ද? අනෙක් අතට මෙවන් විරෝධයක් එල්ලවන පසුබිමක මේසා විශාල කැබිනට් මණ්ඩලයක් අත්‍යවශ්‍ය ද? රාජ්‍ය ඇමැතිවරුන් ලෙස තවත් පත්වීම් ද සිදුවී තිබේ. ඒවා ආණ්ඩුවේ ඔළුගෙඩි සංඛ්‍යාව රැක ගැනීමට විනා රටට නම් ඵලක් නැත. ආර්ථික අර්බුදයට මුදල් අච්චු ගසන්නාක් මෙන් දේශපාලන අවුල ලිහා ගැනීමට රාජ්‍ය ඇමැතිවරුන් පත්කිරීම ද විහිළුවකි. කුමක් වුවත් මේ පදවිලාභී අයගෙන් කී දෙනෙකුට දේශපාලන දෘෂ්ටියක් හෝ ගැඹුරක් තිබේද යන්න දන්නේත් ආණ්ඩුව පමණි. දේශපාලන පටු න්‍යාය පත්‍රවලට යට නොවූ තාරුණ්‍යයේ ජන අරගලයකට මෙබඳු පැලැස්තර ඇලවීම ආණ්ඩුවේ දේශපාලන දරිද්‍රතාව හෙළිකරන්නක් පමණි. ගෑස්, ඉන්ධන, විදුලිය වැනි අර්බුද මෙන්ම ඉහළ යන භාණ්ඩ, අත්‍යවශ්‍ය ආහාර මිල මේ කිසිවකින් පාලනය කළ නොහැක. ජන පීඩක ආණ්ඩුව ලෙස මේ පාලනය හඳුන්වන ජ.වි.පෙ පෙන්වා දෙන්නේ උත්සන්නවන ජනතා කෝපයට පැලැස්තර විසඳුම් ඵලක් නොවන බවය. රඹුකන ප්‍රදේශයේ ඉන්ධන ඉල්ලා පැවැත්වුණු උද්ඝෝෂණය විසුරුවා හැරීමට ගිය පොලිසිය ක්‍රියාකළ ආකාරය ගැන කෙරෙන විවේචන සුළුපටු නොවේ. එහිදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරණයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා සිටිති. උද්ඝෝෂණ හා විරෝධතා මර්දනය පිළිබඳ ඉතිහාසයේ නොයෙක් නිදසුන් ද ඉතිරිව තිබේ. එදා වතුර ඉල්ලා සිටි රතුපස්වල ජනතාවටත් ඉන්ධන ඉල්ලූ හලාවත ධීවරයන්ටත් වෙඩි තබා ඝාතනය කළේ යැයි රාජපක්‍ෂ පාලනය පතුරු ගැසූ අයුරු අපට මතකය. තවත් ඝාතන චෝදනා රාජපක්‍ෂ පාලනයට එල්ල වෙයි. මෙම රඹුක්කන සිද්ධිය කිසිසේත්ම ඔවුන්ගේ දේශපාලන චිත්‍රයට අලංකාරයක් නොවනු ඇත. උද්ඝෝෂණවලදී ප්‍රචණ්ඩත්වය කිසිසේත්ම අපට ද අනුමත කළ නොහැක. මර්දනයේදීත් එය එසේමය. කොහොමටත් මේ මළකඳන් ජරපත් දේශපාලනයක දී කදිම මෙවලම් බවට පත්වීම ද වැළැක්විය නොහැක.

පස්ස බිම ඇනුණුවිට විස්ස මතක් වීම!

මෙසේ උණුසුම්වන මහජන විරෝධතා මර්දනය කිරීමේ මුරණ්ඩු ක්‍රියා දාමයකට ආණ්ඩුව කිසිසේත් පෙළඹිය යුතු නැති බව අපගේ ද අවධාරණයකි. අප එසේ යෝජනා කරන්නේ ඒ පිළිබඳව සමාජයෙහි පැතිර යන විවිධ පුවත් නිසා යා. මෙබඳු කරුණු පාර්ලිමේන්තු විවාදවලදීත් ඇසුණි. තවමත් ආණ්ඩුවේ හිතවත් මැති ඇමැතිවරුන් අතර සමහරුන්ට වුවද මේ විරෝධය පිළිබඳ දේශපාලනමය විග්‍රහයක් නැති බවද පෙනේ. මෙම විරෝධයට අනුග්‍රහය පළකරන දේශපාලන පක්‍ෂ හා සංවිධාන පිළිබඳ ඔවුහු දැඩි කෝපයකින් සිටින බව ද පෙනේ. ඒ බොහෝ දෙනෙකුට එළැඹෙන මහ මැතිවරණය පිළිබඳ ඉතා ස්වභාවික තිගැස්මක් ද තිබිය හැකිය. එහෙත් මේ අරගලය අලුත් ප්‍රජාතන්ත්‍රවාදී සොඳුරු මදනලක පහස විඳ ගැනීමේ පරමාභිලාෂී ප්‍රාර්ථනයක හඬක් බව අපට පැහැදිලිය. මේ ගර්හිත දේශපාලන විකට රූපවලට ඔටුනු පැළඳවීමට මේ ‘ගෝඨා ගෝ ගම’ තරුණයෝ තුන් හිතකින්වත් නොසිතති. සිය තරුණ ආවේග ගී ගයකින්, වයලීනයකින් ජන අවකාශයට මුසු කරන ඔවුහු ඒ අරගලයට ගැඹුරු දාර්ශනික රිද්මයක් ද කවති. ආචාර්ය වික්ටර් රත්නායක රම්‍ය අරගලයක් ලෙස එය දකියි. එදා හිට්ලර්ගේ වියරුවට විරුද්ධ වූ බීතෝවන්ගේ සංගීත සිම්පනියක ඇසුණේ ද මෙවන් සොඳුරු ප්‍රාර්ථනාවක් බව නිසැකය. ඒනිසා ඒ සුරම්‍ය අරගලයට ආශිර්වාද කරන්නෝ අලුත් ලොවක් ගැන සිතන පතන තම දූ දරුවන්ට දිරිය බලය ලබාදෙන්නෝ බව ද කිව යුතුය.

ජනාධිපතිවරයා මෙම අරගලය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ විසඳා ගතයුතු බව ද තේරුම් ගෙන සිටියි. තමන් ඒ වෙනුවෙන් කැපවන බවට ප්‍රතිඥාවක් ද දී තිබේ. එහෙත් ඒ වචන පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟීම ද අසීරු වී තිබේ. මේ සමස්ත ක්‍රමයම වීසි කළ යුතුය යන දැඩි ස්ථාවරයේ තරුණයෝ පිහිටා සිටිති. එසේ වුවද ගාලු මුවදොර අරගල භූමියට දැනෙන කවර හෝ වෙනසක් කිරීම මෙහිදී වැදගත්ය. මහින්ද අගමැති වූ කැබිනට්ටුව ඇස්බැන්දුමක් බව ඔවුහු ද පවසති. එහෙත් 19 වැනි සංශෝධනය උචිත අයුරින් බලගැන්වීම විනිවිදභාවය පිළිබිඹුවන පිළිගත් ප්‍රාමාණිකයන්ගෙන් යුත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැඟීම (විශ්‍රාමික ජෙනරාල්ලා හෝ ආණ්ඩුවේ වියත් මඟෙහි අය නොවේ) වැනි සාධනීය කරුණු ක්‍රියාත්මක කළ හැකිය. මහජන නියෝජිතයන්ට ලැබෙන වරප්‍රසාද මූල්‍ය හා විශේෂ පහසුකම් වහාම ඉවත් කිරීම හෝ සීමා කිරීම ද ඵලදායී පියවරකි. ඒවායින් ජනතාව තුළ සුළු හෝ ප්‍රසාදයක් ද ඇතිවිය හැකිය. එහෙත් හැටනව ලක්‍ෂයේ ජනවරම ගැන දොඩවමින් වින්දනයක් ලබන අයගේ මුග්ධ ප්‍රතිචාර ද නතර විය යුතුය. සැබැවින්ම අද ඒ ජනවරම කල්ඉකුත් වූවකි. ආණ්ඩුව පිළිබඳව සැබෑ ජනමතය කුමක්දැයි දැන ගැනීමට ගෑස් හෝ ඉන්ධන පෝළිමකට එසේත් නැත්නම් වෙළෙඳ සැලකට හෝ පොදු ප්‍රවාහන සේවයකට යෑම ප්‍රමාණවත්ය. ඖෂධ හිඟය ගැන රජයේ වෛද්‍යවරුම අනතුරු අඟවති. රට ම ගිනි නොගත්තත් ගින්නක දැවෙන ජන ජීවිතය ගැන ආණ්ඩුවට ඇත්තේ කනගාටුව පළකිරීම පමණි.

මේ ආණ්ඩුව තවමත් බලන්නේ තම, පැවැත්ම බව බොහෝ දෙනෙකුගේ විවේචනයයි. සත්‍යය සැඟවීම ද ආණ්ඩුව ගෙන ගිය නරකම පිළිවෙතකි. මෙරටේ බොහෝ අවංක නායකයන් විනාශ වූයේ එබඳු බොරු චිත්‍ර නිසාත්, අසත්‍ය නිසාත්ය. නායකයන් මුරංගා අතුවල තබන දේශපාලනයක ආදීනව අද මේ ආණ්ඩුවට දැනෙමින් තිබේ. මේ රට ත්‍රස්තවාදයෙන් බේරාගත් නායකත්වයට තුඃ නොදකින් යනුවෙන් කියන තත්ත්වයට ජනතාව පත් කරන ලද්දේ රාජපක්‍ෂවරුන් වටකරගත් හොරුන්, තක්කඩියන්, අමනයන්, මුග්ධ ව්‍යාපාරිකයන්, ජාවාරම්කාරයන් හා සකල විධ ද්‍රෝහීන් විසින් බව ද පෙන්වා දිය යුතුය. ප්‍රබුද්ධ දේශපාලනයක දී හිස් මාස්ටර් වොයිස් හෙවත් උගේ ස්වාමියාගේ හඬ අවලංගුය. ඒ මෝල් වැඩේ කළ මෝල්ලු දේශපාලනය පමණක් නොව, මේ රට ම අගාධයකට ඇදගෙන ගියහ. ඇතැම් මෝඩ මිනිසුන් විසින් ද කල්පනා කරන ලද්දේ රටකට රජෙක් නැතුව ම බැරි බවය. එහෙත් මේ රටේ රජවරුන් ලෙස හැදින්වූ බොහෝ දෙනෙක් බූරු කුට්ටමේ එන රජවරුන් හතර දෙනා තරම්වත් වටිනාකමක් නැතිබව තරුණයන්ගේ විවේචනයකි. ජේ. ආර්. ජයවර්ධනට උතුමාණන් වහන්සේ යැයි කීවේත් මේ රජ පිස්සුව වැළඳී තිබුණු ඔහුගේම වන්දිභට්ටයන් බව ද කියති. ඒ රාජ තේජස විධායක ජනාධිපති ධුරයට කවා තිබෙනු ද විය හැකිය. එහෙත් දැන් එය මහ ජන උද්ඝෝෂණ හා ජන අරගල ඉදිරියේ කෙතරම් අසරණ වී තිබේ ද? ජනතාව ඒ ක්‍රමයන් එය හා බැඳුණු සමස්ත දේශපාලන සංස්කෘතියක් ප්‍රතික්‍ෂේප කර තිබේ. ඒ ජරපත් දේශපාලන ක්‍රමය නඩත්තු කළ කිසිවෙක් සමග පයුරුපාසනයට මේ’ ගෝඨා ගෝ ගම උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කළ එකම තරුණයෙක්වත් සූදානම් නැත. ජනාධිපති, අගමැති, මැති ඇමැතිවරුන් ප්‍රමුඛ 225 දෙනාම ගෙදර යා යුතුය යන ප්‍රබල ආස්ථානයෙහි ම ඔවුහු පිහිටා සිටිති. මේ සියලු පාලකයන් විසින් සූරා කන ලද ජනතා දේපළ, ලබාගන්නා ලද කොමිස් අල්ලස් මෙන්ම උපයන ලද ධනය ද (අනීතික ලෙස) රටට හිමිවිය යුතු බව ද ඔවුන්ගේ කොන්දේසියකි. එබඳු දැඩි හා යුක්තිසහගත ඉල්ලීම් නොමැනවයි අපට කිව නොහැක. මේ කුණුවී ගිය දේශපාලනය වළලා දමා රටට අලුත් ප්‍රජාතන්ත්‍රවාදී ආලෝකයක් ලබාදීමට ඔවුන් ගෙනයන අරගලයට ලැබෙන ජනතා දායකත්වය ද ආණ්ඩුවේ අවධානයට යොමුවිය යුතුය. ඒ අභිනව සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණයට අවශ්‍ය පියවර ගැනීම- ඒ සඳහා කැපවීම ආණ්ඩුවට මෙන්ම රටට ද සාධනීය ප්‍රතිඵල ලබාදෙන බව අපට නිසැකයෙන්ම සඳහන් කළ හැකිය.

● ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment