පස්ස සේදූ අපේ ජාතිය…

1212

ශ්‍රී ලංකාව යනු පස්ස හෝදන රටකි. කඩදාසි කොළවලින් පස්ස පිසදැමීමේ පුරුද්දක් ශ්‍රී ලංකාවේ ජනයාට එදා සිට නොතිබුණ නමුත් අද වනවිට මේ රටේ නාගරික නිවාසවල තිබෙන හැම ටොයිලට් එකකම ටොයිලට් පේපර් රෝලක් තිබේ. සමහරවිට ඒ රෝලෙන් කරනු ලබන්නේ පස්ස හේදූ පසු පිස දැමීම විය හැකිය. කෙසේ වුවද ටොයිලට් කඩදාසි යනු යටත්විජිතවාදී සංස්කෘතිය විසින් මේ රටට බලහත්කාරයෙන් පුරුදු කරන ලද්දකි. එය විසිඅවුරුද්දක පමණ සිට මේ රටේ නාගරික ඉහළ මධ්‍යම පන්තියට අලුත් වියදමක් එකතු කර ඇත. ටොයිලට් පේපර් ශ්‍රී ලංකාවේ නිපදවනු නොලැබේ. ඒවා නිපදවනු ලබන්නේ පිටරටය. ඒවා ගෙන්වීමට ඩොලර් අවශ්‍ය ය.

මිනරල් වෝටර් නමින් හැඳින්වෙන බෝතල් කළ පානීය ජලය ශ්‍රී ලංකාවේ ඕනෑ තරම් ඇත. මෙබඳු ජලය ලබාගැනීම සඳහා යොදාගනු ලබන පිරිසිදු ජල උල්පත් විශාල සංඛ්‍යාවක් මධ්‍යම කඳුකරයේ තිබේ. එසේ තිබියදීත් බෝතල් කළ පානීය ජලය පිටරටින් ගෙන්වනු ලැබේ. ශ්‍රී ලංකාවේ නිපදවන මිලිලීටර් පන්සීයේ ජල බෝතලයක් රුපියල් පනහක් වෙද්දී පිටරටින් ගෙන්වූ මිලිලීටර් තුන්සිය විසිපහේ මිනරල් වෝටර් බෝතලයක් රුපියල් හාරසිය පනහකි.

ටොෆි සහ චොක්ලට් නිෂ්පාදනය කරන දේශීය ව්‍යාපාරික ආයතන රැසක් ලංකාවේ තිබේ. එසේ තිබියදීත් මේ ජාති දෙකම විදේශ විනිමය වැයකොට පිටරටින් ගෙන්වනු ලැබේ. පිටරටින් ගෙන්වන ජාත්‍යන්තර ජනප්‍රියත්වයක් ඇති චොක්ලට් වර්ග මේ රටේ සුපර්මාකට්වල පුරවා තිබේ. මේ චොක්ලට්වලින් සමහරක් නියම ප්‍රමිතියට නිෂ්පාදනය කර නොමැත. චොක්ලට් නමැති නාමය යටතේ නිෂ්පාදනය කරන රස කැවිල්ලක කොකෝ බටර් සහ කොකෝ ලිකර් යන දෙකම අඩංගු විය යුතුය. එහෙත් පිටරටින් එන ඇතැම් චොක්ලට්වල මේ දෙකම නැති අතර ඒවාද පියකරු චොක්ලට් දවටනවල බහා විකුණනු ලැබේ. ලංකාවේ රසකැවිලි ව්‍යාපාරිකයෙක් මෙවැනි වංචාවක් කළොත් ඔහු එල්ලා මැරීම සඳහා නීති අප සතුව ඇත. එහෙත් මේ වංචාව කරන පිටරට සමාගම් අපගේ අධිකරණ කලාපයෙන් බැහැර බැවින් ඔවුන්ට නඩු දැමීමට යනවිට ප්‍රශ්න තොග වශයෙන් හටගන්නේය.

මීට දින කිහිපයකට පෙර පිටරටින් ගෙන්වන භාණ්ඩ තුන්සීයක් තාවකාලිකව තහනම් කරමින් රජය මගින් නිවේදනයක් නිකුත් කරන ලදී. 1969 ආනයන අපනයන පාලන පනතේ පළමුවෙනි වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙකී තහනම මගින් ශ්‍රී ලංකාවේ භාණ්ඩ නිෂ්පාදකයන්ට කිසියම් සෙතක් සැලසෙන බව අපගේ විශ්වාසයයි. මේ තහනම යටතේ සුවඳ විලවුන් සහ රූපාලංකරණ ද්‍රව්‍ය ද මෙරටට ගෙන්වීම තාවකාලිකව තහනම් කර ඇත. පිටරටට ගොස් ඩොලර්වලින් මේ බඩු මෙරටට ගෙන්වන බැගේජ්කාරයන් ලෙස හැඳින්වෙන ව්‍යාපාරික පන්තියක් මෙරට සිටිත්. නව නියෝගය නිසා ඔවුන් යම් තරමකට අමාරුවේ වැටෙන බවට චෝදනාවක් ගොඩනැගී ඇත. එහෙත් ශ්‍රී ලංකාව යනු මේ වනවිටත් වැලේ වැල් නැති රටකි. අප දැනටමත් ලෝකයේ පස්වැනි ජාත්‍යන්තර ණයගැතියා ය.

ඉතා ඉක්මනින් මේ තරගයෙන් පළමුවැනියා වී ලොව හොඳම ණයගැතියා වීමේ ශූරතාවය අපට ලබාගැනීමට පුළුවන. එහෙත් මේ ශූරතාව අන්තිම භයානක ශූරතාවකි. මේ ශූරතා පලිහ අතේ තිබෙනතාක්කල් අපට ජාත්‍යන්තර කඩු පාරවල් කෑමට සිදුවේ. ඒ කඩු පහරවල් වැළැක්වීමට ශ්‍රී ලංකාවට බැරිය. ඒ නිසා දැනට සැන් පවුඩර් නැතිව රන්එක දීමට රටවැසියා පුරුදු විය යුතුය. මේ රටේ නිෂ්පාදනය කරන බඩුවලින් 99%ක් ම පිටරටින් ගෙන්වනු ලැබේ. ඉතා උසස් තත්ත්වයේ මිදි යාපනයේ වැවේ. එහෙත් ඔස්ටේ්‍රලියාවෙන් සහ එංගලන්තයෙන් ගෙන්වන මිදිවලට පහර වදින නිසා යාපනයේ මිදි කොළඹට ගෙන්වන්නේ නැත. මේ සම්බන්ධයෙන් පලතුරු ව්‍යාපාරිකයන් වැඩි වශයෙන් කියන කතාවක් තිබේ. එනම් ලංකාවේ මිදි ඇඹුල් බවය. මෙය මිදි වැල යට සිටි නරියා කී කතාවට සමානය. යාපනයේ වවන මිදිවල පීඑච් අගය ඉතා සාධනීය මට්ටමක තිබෙන බැවින් ඒවායෙන් වයින් පෙරීම වුව කළ හැකිය. සාමාන්‍යයෙන් ජාත්‍යන්තරය තුළ මිදිවල තත්ත්වය යහපත් බව පිළිගන්නේ ඒවායින් වයින් පෙරීමට හැකි නම් පමණි.

යාපනයේ කතෝලික තාපසාරාමවල සිටින කන්‍යා සොහොයුරියෝ යාපනයේ මිදිවලින් කදිමට වයින් පෙරති. පිටරටින් ගෙන්වන පලතුරු නිසා ලංකාවේ පලතුරුවලට කිසිදු තැනක් නැත. එසේ තැනක් නොමැතිවීම නිසා මේ රටේ පලතුරු වාණිජ වැවිලි ලෙස වගා කරනු නොලැබේ. එහි ප්‍රතිඵලය වන්නේ තිබෙන පලතුරු ගස්වලින් කඩාගෙන වෙළෙඳපොළට ගෙන එන මෙරට පලතුරුවල මිල ඉහළ යෑමය. පසුගිය දිනවල උගුරැස්ස කිලෝවක් රුපියල් හත්සිය පනහකට විකුණනු ලැබිණි. ඇතැම් තැනක ගල් සියඹලා කිලෝවක් රුපියල් දෙදහසක් විය. ඇතැම් තැනක ගඩුගුඩා කිලෝවක් රුපියල් දෙදහසකි. මැංගුස්ටින් පවා දැනට වාණිජ වැවිල්ලක් ලෙස කිරීම අත්හැර දමා ඇත. මේ පලතුරු වර්ග වාණිජ වැවිලි ලෙස ප්‍රවර්ධනය කළ හැකි නම් ශ්‍රී ලංකාවට ගෙන්වන පිටරට පලතුරුවලට ගේමක් දිය හැකිය. මෑතක් වනතුරු ශ්‍රී ලංකාවේ සුපර්මාර්කට්වල පිටරටින් ගෙන්වූ කැපූ එළවළු පැකට් තිබිණ. මේ එළවළු පැකට් තුළ ඇත්තේ මිලිමීටර් භාගයේ හතරැස් කුට්ටි ලෙස කපන ලද කැරට් සහ බෝංචිත්, ග්‍රීන්පීස් හා බඩඉරිඟුත්ය. කොවිඩ් 19 මෙරට ව්‍යාප්ත වීමට පෙර පිටරටින් ගෙන්වන ලද මේ එළවළු ග්‍රෑම් 500 පැකට්ටුවක් රුපියල් දහසක් විය. ඉන්පසුව ඩොලර් නැතිකමින් මේ එළවළු පැකට් ගෙන්වීම අත්හැර දැමීමට සුපර්මාර්කට්වලට සිදුවිය. අද වන විට මේ එළවළු පැකට් දේශීය ව්‍යාපාරිකයන් විසින් නිෂ්පාදනය කර සුපර්මාර්කට්වලට දමනු ලැබේ. ග්‍රෑම් 500ක් බර එවැනි පැකට්ටුවක් රු. 250 කි.

ශ්‍රී ලංකාව නාගන්නේ විහින්මය. එසේ නාගත්ත ද කුණු ඉවත් කිරීම සඳහා සබන් ගැනීමට අපට සල්ලි නැත. මේ නිසා මීට අවුරුදු 100 කට පෙර කළාක් මෙන් පොල් ලෙලිවලින් අතුල්ලා ඇඟේ කුණු ඉවත් කිරීමට අපට සිදුව තිබේ. එහෙත් ඉඩම් වෙන්දේසිකාරයන් විසින් පොල්ගස් ටික කපා පොල්වතු වෙන්දේසි කරන හෙයින් ඉදිරියේදී පොල්ලෙලි හිඟයක්ද මතුවනවා ඇත. එසේ වුවහොත් කුණු අතුල්ලන්නට විදිහක් නැතිව පණපිටින්ම කුණුවීමට අපට සිදුවන්නේය. ආණ්ඩුව දේශීය නිෂ්පාදනවලට ධෛර්ය දෙන තරමටම රට තුළ ආර්ථික ප්‍රබෝධයක් ඇති විය හැකිය. 1970 දී මේ ආර්ථික ප්‍රබෝධය ඇතිකිරීම සඳහා බණ්ඩාරනායක මැතිනිය ගත් උත්සාහය ව්‍යර්ථ විය. මෙවර ඒ සටනින් ජය ගැනීම කෙසේ හෝ නොකළොත් මේ ආණ්ඩුව පත්වන්නේ ද වැලේ වැල් නැති තත්ත්වයකට ය.

advertistmentadvertistment
advertistmentadvertistment