පස් වියැති දරුවාගේ ගෙලට පිහියක් තබා  වීඩියෝ නිපදවූ දෙදරු පියා අත්අඩංගුවට 

403

විදෙස්ගත බිරිඳ ගෙන්වාගැනීමට

දරුවා ආච්චි ළඟට යයි

විදෙස් ගත සිය බිරිඳ ගෙන්වාගැනීමට පස් වියැති දරුවාගේ ගෙලට පිහියක් තබා වීඩියෝ නිපදවූ දෙදරු පියෙකු අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට හැකිව ඇත.

කුලියාපිටිය පහල පිදුම ප්‍රදේශයේ දෙදරු පියෙකු එලෙසින් පෙරේදා(13) අත්අඩංගුවට ගෙන ඇති අතර විදෙස් ගතව මාස 3ක් වූ සිය බිරිඳ ගෙන්වා ගැනීම අරමුණු කරගෙන සිය පුතුගේ ගෙලට තියුණු පිහියක් තබා තදකරමින් දරුවාගේ ජීවිතට අනතුරේ හෙලමින් වීඩියෝ නිෂ්පාදන කොට සිය බිරිඳටත් බිරිඳ මාර්ගයෙන් විදෙස් රැකියා ඒජනිසියටත් සැකකරු විසින් වටස්ඇප් තාක්‍ෂණයෙන් යොමු කොට තිබිණ.

කෙසේ හෝ අදාළ විදෙස් රැකියා සමාගම මාර්ගයෙන් කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයවීර රාජපක්‍ෂ මහතාගේ අවධානයට අදාළ වීඩියෝව ලබාදීමෙන් අනතුරුව දරුවා සිටින දැඩි අවදානම් තත්වය පිළිබඳව සලකා වහාම ක්‍රියාත්මක කර පොලිස් උපායක් මගින් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණ.

එහිදී තර්ජනාත්මක වීඩියෝ පටය නිපදවීම සඳහා භාවිතා කර තිබූ පිහියද පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය මගින් සොයාගෙන තිබිණ.

උසස් පොලිස් නිලධාරීන් ඇතුලු ළමා කාන්තා කාර්යංශ නිලධාරීන් අදාළ සංවේගජනක වීඩියෝව කිහිපවරක් හැඬූ කඳුලින් යුක්තව නරඹූ අතර එහිදී දරුවා තමන්ගේ ගෙල රිදෙන බව පවසමින් හඬා වැලපුනත් සැකකරු දිගින් දිගට දරුවාගේ ගෙලට පිහිය තබා තදකරගෙන දරුවාගේ ගෙල කපා තමන්ද ගෙල කපාගන්නා බව පවසමින් තර්ජනාත්මකව අදාළ වීඩියෝව නිපදවා තිබූ බව නිරීක්‍ෂණය කළහ.

දරුවා පොලිස් ආදරය මැද සිදුවීම් පෙළින් පෙල විස්තර කළ අතර එහිදී පියාගේ එවන් ස්වරූප පිළිබඳවද පෙර හැසිරීම් පිළිබඳවද පොලිසියට පැවසීය. එමෙන්ම තමන් චූටි අම්මා නමින් හඳුන්වන මිත්තනිය සමග නිවසේ සිටීමට කැමැත්ත ඇති බවද පවසමින් පොලිසියෙන් ඉල්ලා සිටියේ පියා නිවසට නොඑවා පොලිසියේම තබා ගන්නා ලෙසයි. තම මව තමාට සෙල්ලම්බඩු රැගෙන ඒමට පිට රට ගොස් විගසින් පැමිණෙන නිසා තමන් එතෙක් මිත්තනිය සමගින් රැඳීමට කැමති බවත් දරුවා පොලිසියට පැවසීය.

පසු නිරීක්‍ෂණයේදී දරුවාගේ ගෙල ප්‍රදේශයේ කැපුම් කැලැල් වැනි සලකුණු දැකීම හේතුවෙන් දරුවා වහාම කුලියාපිටිය ශික්‍ෂණ රෝහල්ගත කිරීමට ළමා කාන්තා කාර්යංශ නිලධාරීන් පියවරගෙන තිබිණ.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගෙන තිබූ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

කුරුණෑගල දිසාව බාර නියොජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත, කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙරංජන් අභයවර්ධන, සහකාර පොලිස් අධිකාරී සමන් දිසානායක යන මහත්වරුන්ගේ උපදෙස් මත කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයවීර රාජපක්‍ෂ, කොට්ඨාස ළමා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂිකා තේජානි වීරසේකර යන මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක ජයසූරිය, කාන්තා පොලිස් සැරයන් චතුරිකා(2571) උමේෂි(10456) යන නිළධාරීන් දරුවා මුදාගත් මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර ඉදිරි පරීක්‍ෂණද මෙහෙයවති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment