පහසුකම් ලබාදෙන්න – රටේ පොහොර අවශ්‍යතාව අපි සපුරා දෙන්නම්

366

පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ සංගමය කුමක් අරබයා කටයුතු කරන සංවිධානයක්ද?

පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ සංගමය පිහිටුවලා තියෙන්නේ මේ රටේ ඉදිරියේදී අත්‍යවශ්‍ය කාරණයක් වන ආහාර සුරක්‍ෂිතතාවය සඳහා අවශ්‍ය වන පරිසර හිතකාමී පොහොර නිෂ්පාදනය මේ රටේම ස්ථාපනය කිරීම සඳහා. දැනට අපේ සාමාජික සංඛ්‍යාව 65ක් විතර ඉන්නවා. මහපරිමාණයෙන් මේ යල කන්නයට පොහොර දෙන නිෂ්පාදන කණ්ඩායම් 125ක් ඉන්නවා. තව පොඩි පොඩි ව්‍යවසායකයිනුත් ඉන්න නිසා අපි හිතනවා 250ක් විතර එකතු වෙයි කියලා. තව ප්‍රාදේශීය මට්ටමෙන් පොහොර නිෂ්පාදකයෝ ඉන්නවා. ඒ සියලු දෙනා එකතු කරලා ගත්තොත් 250 ඉක්මවනවා.

පවතින ගෝලීය අර්බුදය හමුවේ ඉදිරියේදී රසායනික පොහොර සපයන රටවල්වලින් පොහොර සපයන්නේ නෑ කියලා පුරෝකථනය කරලා තියනවා. දැන් මේ එන යූරියා ටික එන්නෙත් අපිට ඉන්දියාවෙන් එන සහනදායි සානුකම්පිත ඉල්ලීම සලකලා බලලා මිසක ඉන්දියාවට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසා දීර්ඝකාලීනව අපේ රටේ ඇති වෙලා තියෙන පොහොර ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් හැටියට තමයි අපි මේ සංවිධානය පිහිටුවගෙන ශක්තිමත් කරගෙන ව්‍යවසායකයන් ශක්තිමත් කරගෙන අපේ රටෙන් විදේශයට ඇදිලා යන සියලුම විදේශ විනිමය නතර කරලා මේ රටේ ව්‍යවසායකයන් ශක්තිමත් කරලා ගුණාත්මක ප්‍රමිතියෙන් උසස්, තාක්‍ෂණයෙන් ඉතාම දියුණු කාබනික ඝන පොහොර සහ දියර පොහොර අපේ ගොවියන්ට ලබා දෙන්නෙ. මේ රටේ පරිසරයත් ගොවි මහතුන්ගේ ආදායමත් සුරක්‍ෂිත කරන්න තමයි මේ සංවිධානය අපි පිහිටුවලා තියෙන්නේ. එමෙන්ම සංගමයක් ලෙස අප පරාර්ථකාමී පොදු අරමුණු කිහිපයක් ඔස්සේ කටයුතු කරනවා.සාගතයක් ඇති වීමට කිසිසේත් ඉඩ නොතබමු, ගෝලීය තත්ත්වයන් යටතේ තවදුරටත් රසායනික පොහොර ආනයනය නොකිරීම, මේ සොබාදහමේ ගොවිතැනයි, සොබාදහමේ නව තාක්‍ෂණයෙන් කඩිනමින්, පිරිපුන් සාඩම්බර ජාතියක් යනාදී ලෙස.

පහසුකම් ලබාදෙන්න - රටේ පොහොර අවශ්‍යතාව අපි සපුරා දෙන්නම්


ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ රජය ආරම්භ කළ කාබනික පොහොර ප්‍රතිපත්තිය ගැන ඔබගේ අදහස කුමක්ද?

සෞභාග්‍යයේ දැක්මේ සංකල්පයක් හැටියට තමයි ඒ කාබනික වැඩසටහන පටන්ගත්තෙ. මුලින්ම අපි 2019 දී 30%-70%ත් අතර ඉලක්කගත සංකල්පයකින් තමයි මේ ව්‍යාපෘතිය කරගෙන ගියේ. 2021 අවුරුද්දේ අප්‍රේල් 20 වැනිදා ගත්ත තීරණයක් මත 100%ක් කාබනික පොහොර ලංකාව තුළ නිෂ්පාදනය කළ යුතුයි යන්න අරමුණු කරගෙන ඒ ව්‍යාපෘතිය පටන්ගත්තා. ඇත්තටම ඒකේ එක අරමුණක් තමයි ලෝකේ බලශක්ති අර්බුදයක් එන එක. අපි ඒක ඒකාලෙම දැනගෙන හිටියා. ඒත් එක්කම රසායනික පොහොර නිෂ්පාදනය ඉතා ශීඝ්‍ර ලෙස පහළ යනවා. එතකොට පොහොර මිල අධික වෙනවා. එතකොට අපි වගේ තුන්වැනි ලෝකේ රටකට ඒක සෘජුවම බලපානවා. ඒ නිසා මේ කාබනික පොහොර ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න තමයි රජයේ මූලික අරමුණ වුණේ. එතනදී අපිට අභියෝගාත්මක ප්‍රශ්න කීපයකට මුහුණ දෙන්න වුණා. එකක් තමයි අපට කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දෙනවා නිර්දේශයක්. කාබනික දියර පොහොර යම් ප්‍රමාණයකුත්, කාබනික ඝන පොහොර යම් ප්‍රමාණයකුත් රජය විසින් ලබා දෙන ණක්‍ඛ ( පොටෑසියම් ක්ලෝරයිඩ් ) ප්‍රමාණය ගැනත් සඳහන් කරමින්. නමුත් රටේ තියෙන ආර්ථික දුෂ්කරතාවයන් මැද රජයට යම් යම් නිෂ්පාදන අපට ලබා දෙන්න බැරි වෙනවා. නමුත් අපේ ස්වෝත්සාහය මත අපේම තියෙන නිෂ්පාදනවලින් ගොවියන්ව දිරිගන්වලා නිෂ්පාදන ධාරිතාව වැඩි කරලා අපි ගිය අවුරුද්දේ මහ කන්නය ඉතා සාර්ථක ලෙස කරගත්තා. නමුත් මේකෙන් 100%ක ඵලදාව එනවා කියලා පොරොන්දු වෙන්න බැහැ. නමුත් 60%-70%ත් අතර ප්‍රතිශතකයට ඇවිල්ලා තියනවා. කාබනික පොහොර නිෂ්පාදනය තුළින් එකපාරට අස්වැන්න ලබා ගන්න බැහැ. අස්වැන්න ලබා ගන්න තාක්‍ෂණික ක්‍රමවේද යොදා ගන්න සිදු වෙනවා. උදාහරණයක් හැටියට වල් නාශක නැති නිසා අපට පැරෂුට් තැටි වගේ ක්‍රමවලට යන්නට සිදු වෙලා තිබෙනවා. රජය ගන්න තීරණ එක රැයින් සාර්ථක කරගන්න අමාරුයි. නමුත් අපි එක කන්නයක් පසු කරගෙන දෙවන කන්නයටත් ඇවිල්ලා තියෙනවා. දෙවන කන්නයෙත් වැඩකරගෙන යන කොට අපට තියෙන ආර්ථික ගැටලු මත, ඉන්ධන ගැටලු ඇති වෙලා තියෙනවා. මේ වෙන කොට යල කන්නෙට ධාරිතාව වෙලා තිබුණා හෙක්ටයාර ලක්‍ෂ 5ක්. මේ ලක්‍ෂ පහට ඝන කාබනික පොහොර මෙටි්‍රක් ටොන් දෙලක්‍ෂ පනස් දහසකුත් දියර පොහොර මිලියන දහයකුත් ජෛව පොහොර මිලියන දහයකුත් අපි දීලා තියෙනවා. අපිට මෙතනදී බාධා එල්ල වුණා. මුදල් ගැටලු තිබුණත් අපි මේ වෙන කොට බිලියන 23ක ව්‍යාපෘති වටිනාකම බිලියන 15 දේශීය නිෂ්පාදකයන්ගේ මුදල්වලින් ලබාදීලා නිෂ්පාදන කරලා තියෙනවා. අද මේ ව්‍යාපෘතිය 60%-70%ක ඉහළ ප්‍රගතියකට ගෙනැල්ලා තියෙනවා. අපිට මේක කරන්න මුදල් තාක්‍ෂණික ක්‍රමවේද, හොඳ උපදේශක මණ්ඩලයක් අවශ්‍යයි කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේ දේවල් කරන්න ඕනේ ප්‍රතිපත්ති ප්‍රකාශයකින් කියලා අපි හිතනවා. ඒ නිසා කාබනික පොහොර සඳහා ප්‍රතිපත්තියක් අවශ්‍යයි. එහි අපට හිමි තැන සඳහන් කළ යුතුය. එවිට රටේ පොහොර අවශ්‍යතාව අපට සපුරා දිය හැකියි.

පසුගිය මහ කන්නය, මේ පවතින යල කන්නය තුළ පරිසර හිතකාමී පොහොර සැපයුමට ඔබ සංගමය දායක වූ අයුරු කෙසේද?

ඊට කලින් යල කන්නේ වැඩ කරලා තිබුණේ පොහොර ලේකම් කාර්යාලයත් එක්ක. පොහොර ලේකම් කාර්යාලය 16 දෙනකු විතර මේකට එක්කර ගත්තා. ඊට පස්සේ මේ 16 දෙනත් එක්ක තමයි 100% ක්ම ඊළඟ මහට කාබනික පොහොර නිපදවන්න කියලා පටන් ගත්තේ. මේකට ටෙන්ඩර් එකක් කෝල් කළා. පොහොර ලේකම් කාර්යාලය හා පොහොර රාජ්‍ය අමාත්‍යාංශය ඒකට ඉදිරිපත් වුණා. හෙක්ටයාර් 35000 කට කාබනික කරන්න තමයි අපි ළඟ මුලින්ම බඩු තිබුණේ. ඊට පස්සේ ආණ්ඩුව කිව්වා ආණ්ඩුව සැලසුම් කරලා තියෙනවා කියල හෙක්ටයාර් ලක්‍ෂ 8ක් වගා කරන්න. අපිට අමාත්‍යාංශයෙන් කිව්වා දියර පොහොරත් පාවිච්චි කරලා බයෝ පොහොරත් පාවිච්චි කරන්න කියලා. ඒ වෙනකොට මාස තුනක් කල් තිබුණා. තව නිෂ්පාදන වැඩි කරගෙන ලක්‍ෂ දෙකක්වත් කරලා දෙන්න කියලා. පසුව පරිසර හිතකාමී පොහොර වැඩ අපි පටන්ගත්තා. ඉතුරු ලක්‍ෂ 4 තිබුණේ ඒකට තමයි. ඒ අතර ආණ්ඩුව චීන නැවෙන් පොහොර ගේන එකයි ඉන්දියාවෙන් නැනෝ දියර පොහොර ගේන එකයි කරන්න තීරණය කළා. මේක ආරම්භ කරන කොටම තාක්‍ෂණික හේතුවක් මත චීන පොහොර නැව බාගන්න බැරි වුණා. නැනෝ පොහොරත් පළවැනි ලොට් එකෙන්ම ආණ්ඩුව මිලදී ගැනීම් පිළිබඳ ප්‍රශ්න ඇති වුණා. පසුව පොහොර ලේකම් කාර්යාලය කළේ කාබනිකත් නෑ රසායනිකත් නෑ ඒ උබතෝකෝටික ප්‍රශ්නය විසඳගන්නේ නැවත නැවත ටෙන්ඩර් කැඳෙව්වා. අලුත් අලුත් නිෂ්පාදකයන් රාශියක් හැදුණා. ඒක තමයි කෑන් පුපුරනවා, ගඳ ගහනවා කියලා ඒ තත්ත්වෙට පත් වුණේ. නමුත් අපේ කම්පැනි එකත් වත් අප්‍රසාදයට පත්වෙලා නෑ. මේ සැරේ එහෙම කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ.

මේ යල කන්නේ ටෙන්ඩර් එක කෝල් කළා. ඊට පස්සේ ඒ ටෙන්ඩර් එකේදී ආණ්ඩුව ටාගඩ් කරේ උපරිම ලක්‍ෂ හතරක් පහක්. පහුගිය කන්නේ වැඩ කළේ නිෂ්පාදකයාගේ නිර්දේශවලට පොහොර මදි කමයි, තාක්‍ෂණික ගැටලුවයි තියෙද්දී තමයි මේ කන්නෙ පටන් ගත්තේ. මේ කන්නේදී අපි ඉල්ලුවා මුලදීම අපිට හරි උපදෙසක් දෙන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් නිර්දේශයක් දෙන්න කියලා. කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්තුමා තමයි ජෛව පොහොර ලීටර් කීයද දියර පොහොර ලීටර් කීයද, කියලා තීරණය කළේ. ඒ තීරණය කළයින් පස්සේත් ඔය අතර ජනාධිපති කාර්ය සාධක බළකාය තමයි තීරණය කළේ වැඩකටයුතු වේගයෙන්ම සැලසුම් කරගෙන අලුත් නිෂ්පාදන සොයාගෙන කාබනික ඝන පොහොරවලට මුල් තැන දෙන්න ඕනේ කියලා. පසුව ජනාධිපති ලේකම් කාර්ය සාධක බළකායේ මීටින් එකකදී තීරණය කළා කිලෝ 500ක්වත් හැමෝටම දෙන්න කියලා. දැනට මේ වෙනකොට බිලියන 15ක් වටිනා පොහොර රජයේ පොහොර සමාගම් දෙක හරහා බෙදා දීලා තියෙනවා. ඒ කියන්නේ කාබනික ඝන පොහොර, කාබනික දියර පොහොර, ජෛව දියර පොහොර සහ විශේෂිත කාබනික පොහොර කියලා හතරක් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්ගේ නිර්දේශ මත අපි නිකුත් කරලා තියෙන්නේ. යල කන්නය සඳහා මුදල් නැතිව, ඉන්ධන නැතිව ඒ මොනවා කිව්වත් අවශ්‍යතාවයෙන් 60%-65%ත් අතර ප්‍රමාණයක් මේ වෙන කොට අපි ගොවීන්ට ලබා දීලා තියෙනවා. ඊට අමතරව ජෛව දියර පොහොර හා කාබනික පොහොර 90%කට ආසන්න ප්‍රමාණයක් මේ වෙන කොට ලබා දීලා ඉවරයි. සමහර ගොවි බිම්වලට පොහොර ගිහිල්ලා නෑ. එයට යම් යම් සාධාරණ හේතු තියෙනවා. පළවැනි කාරණාව තමයි ලංකාවේ මේ පොහොර නිෂ්පාදනය කරන ආයතන බහු ජාතික සමාගම් නෙවෙයි. ඒක පුද්ගල තනි ව්‍යාපාර. එහෙම නැත්නම් දේශීය කර්මාන්ත. එහෙමත් නැත්නම් ඒක පුද්ගල ව්‍යවසායික. මේ ආයතනවලට මහ විශාල පිරිවැයක් දරාගෙන මේ කෝටි ගානක පොහොර එක පාරම දෙන්න තරම් වත්කමක් නෑ.මේ වෙලාවේදී රටට කියන්න තියෙන්නේ බලශක්ති අමාත්‍යාංශය කෘෂිකර්ම අමාත්‍යාංශය හැමෝම මැදිහත් වෙලා ආහාර අර්බුදයකට ඇත්තටම විසඳුම් හොයනවා නම් කරන්න තියෙන්නේ වගා බිම්වලටයි පොහොර හදන අයටයි ඉන්ධන කළමනාකරණය කරන වැඩ පිළිවෙළක් හදන එක අනිවාර්යෙන්ම විය යුතුයි. නැතිනම් මාස් කන්නයට වෙන්නේ රසායනිකත් නැති වෙනවා. කාබනිකවත් නැති වෙන එකයි.

ඔබගේ පොහොරවල ගුණාත්මක බව හා ප්‍රමිතිය ගැන වගකීම දරන්නේ කෙසේද?

ගුණාත්මක බව හා ප්‍රමිතිය ගැන කීවොත් මේ හැම ආයතනයක්ම පොහොර නිෂ්පාදනය සාමාන්‍ය ව්‍යවසාය හැරුණු කොට සාමාන්‍යයෙන් අති නවීන යන්ත්‍ර සූත්‍ර, විද්‍යාගාර පහසුකම් සහිතව තාක්‍ෂණය හරි විදියට පාවිච්චි කරලා හැම ප්‍රමිතියක්ම නිර්දේශ හරි විදියට තියනවාද කියලා බලලයි සිදු කරන්නෙ. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ප්‍රමිති සහතිකයක් නැතිව කිසිදු පොහොර කාණ්ඩයක් ගොවි බිම්වලට ලබා දෙන්න බැහැ. ඒ ප්‍රමිති සහතික ලැබුණට පස්සේ විතරයි. ඒ ගොවිබිම්වලට නයිට්‍රජන් කොච්චරද, පොටෑසියම් කොච්චරද, බැරලෝහ කොච්චරද, වැලි කොච්චරද තෙතමනය කොච්චරද මේ සියලුම දේවල් ප්‍රමිති සහතිකය පරිදි තියෙන්න ඕනේ. නිෂ්පාදකයෙක්ගෙන් හිතා මතා හෝ යම් ප්‍රමිති වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඒක අධීක්‍ෂණය කරන්න ඉහල නිලධාරීන් ඉන්නවා. ඒක විමර්ශනය කරන්න රාජ්‍ය අංශයේ නිලධාරීන් ඉන්නවා. සමහර පොහොරවල වැලි පෙන්නන දර්ශන තිබුණට ඒවා අපි දීපුවා නොවෙන්න පුළුවන්. ඒක තව සමාගමකට පහරක් ගහන්න කරන්න පුළුවන්. මේකේ වැලි 80%ක් තිබුණා. හෝදපුවාම වැලි විතරයි තියෙන්නේ කියලා පෙන්නනවා. ඒ පෙන්නන්නේ කැමරාවක් ගෙනල්ලා. මීඩියා එකයි ගොවියෙක් කියල කෙනෙකුයි පෙන්නන්නේ. කෘෂිකර්ම නිලධාරිතුමයි, ගොවියයි, නිෂ්පාදකයාගේ නියෝජනයකුයි, එකතුවෙලා තමයි ඇසුරුමක් ලිහන්න ඕනේ. ඒක නිසා මේවා ස්වභාවික සිද්ධියක් වෙන්නත් පුළුවන් ප්ලෑන් කරලා කරන දෙයක් වෙන්නත් පුළුවන්.

රසායනික පොහොර සපයා ගැනීමේ අර්බුදය හමුවේ ඔබ සංගමය ඉදිරියේදී රටේ පොහොර අවශ්‍යතාව සපුරා දෙන්නේ කෙසේද?

කාබනික පොහොර ජනාධිපතිතුමා හදපු වැඩසටහනක් නෙවෙයි. අවුරුදු දහයක් පහළවක් තිස්සේ ඒවා හදන නිෂ්පාදකයෝ තමයි මෙතන ඉන්නේ. රටේ මේක ව්‍යාප්ත කරන කොටම නිෂ්පාදකයෝ පොහොර හදලා තිබ්බා. අපි නිෂ්පාදන ධාරිතාව උපරිම ලෙස වැඩි කළා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ලෙස ඉල්ලනකොට. එතකොට මේ එක්ක රැකියා පනස් දහසක් තමයි රට පුරා විහිදිලා තිබුණේ. අද වෙනකොට එය ලක්‍ෂ පහට වැඩිවෙලා තියනවා. උදාහරණයක් හැටියට ගොම ටිකකට කුකුල් පොහොර ටිකකට ඉතා අධික මිලක් ලැබුණා. මේ වටා මිනිසුන්ට ගම්මාන මට්ටමේ

රැකී රක්‍ෂා බිහි වුණා. උදාහරණයක් හැටියට කර්මාන්ත ශාලාවක් ගත්තොත් ඒකට කෑම දෙන්න මිනිස්සුන්ට හම්බ වුණා. කාබනික වී වගාවට ඉදිරි කන්නයේ හෙක්ටයාර මෙච්චරයි මෙච්චර ටොන් ගානක් මේවා ඕනේ කියලා උත්තරයක් දෙන්න පුළුවන්නේ. ඒ වගේ ලංකාවේ සියලුම වගාවන්වලින් කාබනිකවලින් කරන්නේ මොනවද? ඒකාබද්ධව කරන්නේ මොනවද? කියලා රජය විසින් තීන්දුවක් ගන්න ඕනේ. අරගෙන අපිට අනාවැකියක් දෙන්න ඕනේ. මේ අවුරුද්දේ ඔයගොල්ලෝ මෙච්චරක් කාබනික පොහොර වැඩි කරන්න. මේ අවුරුද්දේ මෙච්චරක් වැඩි කරන්න කියලා. තව අලුතෙන් නිෂ්පාදන හඳුන්වා දෙන්න. මේවාට යන්ත්‍ර සුත්‍ර ආනයනය කරන්න බදු සහන දෙනවද. මේවට ඉන්ධන සලාක දෙනවද, මේ එක්කම ඇසුරුම් කරන බුලි, උපකරණ, උර ඒවාගේ දේවල්වල විකාශනයක් වෙන්න ඕනේ. මේ වෙලාවේ වෙළෙඳපළේ මේ දේවල් නැහැ. ඒ වගේ අපිට වැඩපිළිවෙළක් ඕනේ බැංකුවකින් වුණත් ලෝන් එකක් අරගෙන මේ කන්නේ, කරනවා. ලබන කන්නේ අපි මොනවද කරන්නේ රටේ ශාක පෝෂක ප්‍රතිපත්තිය කවුරු හරි දන්නවද ඒ නිසා රටේ පෝෂක ප්‍රතිපත්තියක් සම්මත වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවකින් හරි සම්මත වෙන්න ඕනේ. එතකොට ඉදිරි දසකයේ පෝෂක ප්‍රතිපත්තිය මෙහෙමයි වෙන්නේ කියලා අපට දුන්නාම අපට වගකීම් ගන්න පුළුවන්. අපේ නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරන්න අපට පුළුවන්. ඒ නිසා අපට කියන්න ඕනේ රටේ ශාක පෝෂක ප්‍රතිපත්තිය මොකක්ද කියලා නිල වශයෙන්. ඊට පස්සේ අපිට කියන්න ඕනේ අවශ්‍යතාව. අපි කියන එක නෙමෙයිනේ වටින්නේ. පර්යේෂණ ආයතන එකතු වෙලා දෙපාර්තමේන්තු එකතු වෙලා ඒගොල්ලෝ කියන්න ඕනේ අවශ්‍යතාව මෙච්චරක් කියලා. එතකොට අපි පොහොර ටික හදල දෙන්නම්. ඒ ගැන බය වෙන්න ඕන නැහැ. අපිට ඒ හැකියාව තිබෙනවා. ලංකාවේ පොල් ගස් ගාන කියන්න ඉන්නවනේ නිලධාරීන්. ගහකට අවුරුද්දකට කොච්චර පොහොර දාන්න ඕනේද අවුරුද්දකට කොච්චර ඕනවෙනවද පොල් පොහොර කියලා. පොස්පේට් , ඩොලමයිට්, කොම්පෝස්, කුකුල් පොහොර තියෙනවා. ලුණු ටික තියෙනවා. අපිට නැත්තේ පොටෑසියම් විතරයි. එහෙම නම් අපිට ආණ්ඩුව පොටෑසියම් ගෙනත් දීලා ලක්‍ෂ දහයකට ඕගොල්ලෝ මේ සැරේ හදලා දෙන්න කියලා හරි කතිකාවතකට ඇවිල්ලා තීන්දුවක් අරගෙන ක්‍රියාත්මක කරන්න ඕනේ. එක තැනක උද්ඝෝෂණය කරන කොට එතනට පොහොර යවන්නයි තව තැනකට උද්ඝෝෂණය කරන කොට එතනට යවන්නයි එහෙම බෑ. ඒ හින්දා අපට මේ පෝෂක ප්‍රශ්නය විසඳන්න පුළුවන්. අපිට හරි වැඩ පිළිවෙළක් දෙනන් ඕනේ. කාල රාමුවක් දෙන්න ඕනේ. මූල්‍ය ප්‍රශ්නය විසඳන්නේ කොහොමද කියලා කියන්න ඕනේ. එතකොට අපිට මේකට මැදිහත් වෙන්න පුළුවන් ඉතාම විනිවිද භාවයෙන්. බිලියන ගානක් ඩොලර් පිටරටට යන එක ඉතිරි කරන්න පුළුවන් ව්‍යාපෘතියක් මේක. ඒ නිසා කාබනික වගාවද, කාබනික හා රසායනික ඒකාබද්ධ වගාවද යන ප්‍රතිපත්තිය මත පරිසර හිතකාමී පොහොර නිෂ්පාදනය රට තුළ දිරි ගැන්වීමට රජය සියලු පහසුකම් අප වෙත ලබා දිය යුතුයි. අපි රටේ පොහොර ප්‍රශ්නය විසඳා දෙන්නම්.

සුජානි ගුරුගේ

advertistmentadvertistment
advertistmentadvertistment