පහළට ගලා හැලෙන රාවණා අල්ලට ඉහළින් පිහිටි රාවණා විත්ති

1459


රාවණා ඇල්ල පසුකොට තවත් කිලෝ මීටර කීපයක් ඉදිරියට වන්නට 16 කණුව මංසන්දිය පිහිටා ඇත. එතැන් සිට වම් පසට දිවෙන පටු මාවත ඔස්සේ තවත් කිලෝ මීටර හතරක් පමණ ගමන් කළ යුතුව ඇත. අප රැගත් රථය එම පටු මාවත ඔස්සේ අසීරු ගමනකය. කඳු පල්ලම් ගහන පටු මාවතක ගමන අවදානම් සහගතය. එමෙන්ම ප‍්‍රදේශයට ආගන්තුකයන් වූ අපව තැතිගන්වන සුළුය. අවට දකින්නට ලැබෙන මනස්කාන්ත වටපිටාව එම තැතිගැන්මෙන් අප මුදාගත් මිතුරෙකු වැනිය. පටු මාවත නිමාවට පත්වන්නේ රාවණා ඇල්ලේ ප‍්‍රාග් ඓතිහාසික ලෙන පිහිටා ඇති ගිරිහිස පාමුලින්ය. අපගේ ගමනාන්තය වන රාවණා ඇල්ල, පුරාණ විහාරය ඉන් මදක් මෙපිටට වන්නට පිහිටා ඇත.

පහළට ගලා හැලෙන රාවණා අල්ලට ඉහළින් පිහිටි රාවණා විත්ති

රථයේ ගමන් වෙහෙස එම ස්ථානයෙන් නිමාවට පත්විය. එතැන් සිට විහාරස්ථානය වෙත ගොඩවීම පිණිස පියවර කීපයක් ගමන් කළ යුතුය. අවරට හැරුණු හිරු යෝධ ගල් පර්වතයක් විසින් මුවා කොට ඇත. අවට පරිසරය නිස්කලංකය. අපගේ ගමනෙහි අරමුණු දෙකක් විය. ඉන් එකක් නම් ප‍්‍රාග් ඓතිහාසික රාවණා ලෙන පිහිටි ප‍්‍රදේශය දැකබලා ගැනීමය. දෙවැන්න රාවණා ඇල්ල පුරාණ විහාරය සතුව පවතින අප‍්‍රකට තොරතුරු කීපයක් පිළිබඳ අසා දැන ගැනීම පිණිස විහාරාධිපති හිමියන් බැහැදැකීමය. උතුම් ශාසනික මෙහෙවරක නිරත ඌව මහදිසාවේ ප‍්‍රධාන සංඝනායක රිල්පොල ඥාණදේව හිමිපාණන් හමුවේ අප පැමිණි කාරණය සැළකිරීමත් සම`ග එම අසිරිමත් අතීතය උන්වහන්සේ විසින් විස්තර කර සිටියහ.

‘අපේ විහාරස්ථානය ගත්තොත් වසර සිය දහස් ගණනක් ඉපැරණි අතීතයක් සහිත ස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ කාරණා ඔප්පු කරන්න පුළුවන් සාක්‍ෂි අද පවා විහාරස්ථ භූමියේ දැකගන්න පුළුවන්. වළගම්බා රජ දවස කරන ලද විහාරස්ථානවලින් එකක් විදිහට තමයි රාවණා ඇල්ල පුරාණ විහාරස්ථානය හඳුන්වන්නේ. අතීතයේ එක්තරා යුගයක වළගම්බා රජු මලය රට පැමිණි සේනා සංවිධානය කරල තියෙනවා. ඉතිහාසයේ සඳහන් ආකාරයට එහෙම සේනා සංවිධානය කරන අතරතුර ප‍්‍රදේශයේ සුවිශේෂී ගල්ලෙන් වල වෙහෙර විහාරස්ථාන ඉදිකරනවා. අපේ විහාරස්ථානය කියන්නේ එහෙම ඉදිකිරීමක්. විාහරස්ථානයේ පවතින එක් විශේෂත්වයක් තමයි ගල් ගෙයක් ඇතුළෙ විහාරගෙය පිහිටා තිබීම. වරිච්චි බිත්තියෙන් සකස් කළ විහාරගෙය ඇතුළෙ පෞරාණික පිළිම වහන්සේලා නිර්මාණය කරලා තිබෙනවා. එතනදී දකින්න පුළුවන් තවත් විශේෂත්වයක් තමයි මකර තොරණ. විාහර ගෙයක් ඇතුළෙ මකර තොරණ නිර්මාණය වෙනව අඩුයි. අපේ රටේ වෙහෙර විහාරස්ථාන පිළිබඳ විමසල බලන විට ඒ බොහෝ ස්ථාන වල මකර තොරණ විහාරගෙට පිවිසෙන ස්ථානයේ ඉදිකරලා තිබෙන ආකාරය දැකගන්න පුළුවන්. නමුත් අපේ විහාරස්ථානය ඒ සම්ප‍්‍රධායෙන් බැහැරයි. විහාර ගෙය ඇතුළෙ තමයි මකර තොරණ ඉදිකරලා තිබෙන්නෙ. එහෙම ඉදිකළ මකර තොරණ කීපයක් විහාර ගෙය ඇතුළෙ දැක ගන්න පුළුවන්.’

පහළට ගලා හැලෙන රාවණා අල්ලට ඉහළින් පිහිටි රාවණා විත්ති

රාවණා ඇල්ල පුරාණ විහාරය පිළිබඳ, අසිරිමත් ඉතිහාසය පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් සිදුකළ ඥානදේව හිමිපාණන් ඉන් අනතුරුව අප හමුවේ තවත් වැදගත් කාරණා කීපයක් හෙළිදරව් කර සිටියහ. එම පැහැදිලි කිරීම තුළ රාවණා පුරාවෘත්තය පිළිබඳ ජනප‍්‍රවාදයෙහි සඳහන් කරුණු බොහෝ විය.

 මේ ප‍්‍රදේශය කියන්නේ භූගෝලීය වශයෙන් ඉතාමත් වටිනාකම් සහිත ස්ථානයක්. උදාහරණයක් ලෙස අපේ විහාරස්ථානයට නුදුරින් පිහිටා ඇති රාවණා ඇල්ල, ප‍්‍රාග් ඓතිහාසික ලෙන හඳුන්වන්න පුළුවන්. පැරන්නන් අතර විශ්වාසයක් තිබිල තියෙනවා රාවණා රජු විසින් සීතා දේවිය පැහැර ගැනීමෙන් අනතුරුව මේ ලෙන ඇතුළෙ සිරකර තබා ගත්ත කියලා. ඇල්ල කපොල්ල පිහිටලා තිබෙන්නෙත් මේ ස්ථානයේ. විශාල ගල් පර්වතයක පිහිටලා තිබෙන රාවණා ලෙනෙහි පිහිටීම දෙස බලද්දී ඒ මතය පහසුවෙන් බැහැර කරන්නත් අපහසුයි. මොකද මේ කියන ලෙන සහ අවකාශය ගත්තොත් අපහසුවකින් තොරව කුඩා ගුවන් යානයක් ගොඩ බස්සවන්න ඉඩකඩ ඒ ස්ථානයේ පවතිනවා. ඒ කාලෙ රාවණා දිය ඇල්ල ලෙස හඳුන්වන කුඩා දිය ඇල්ලත් ඒ ආසන්නයේම පිහිටා තිබෙනවා. ඒ ස්ථානයේ තිබෙන තවත් වැදගත්ම දෙයක් ලෙස ගල්තලාව මුදුනේ පිහිටි පොකුණ හඳුන්වන්න පුළුවන්. ගම්මුන් විසින් ඒක හඳුන්වන්නේ නිල්දිය පොකුණ නමින්. දැනුත් ඒ ස්ථානයට යන ඕනෑම කෙනෙකුට නිල්දිය පොකුණ දැකගන්න පුළුවන්.

ජනප‍්‍රවාදයේ සඳහන් කරුණු විදිහට මේ දේවල් බැහැර කරන්න බැහැ. දුර්ලභ බෙහෙත් පැළෑටි විශාල වශයෙන් මේ පළාතෙ තිබිලා තියෙනවා. අදත් දකින්නට තිබෙනවා. රාවණාගෙ ඔසු උයන තිබුනෙ මේ පළාතේ කියලා ජනප‍්‍රවාදයේ මතයක් පවතින්නේ ඒ හේතුවෙන් වෙන්න ඇති. නමුත් ඒ පිළිබඳ විද්‍යාත්මක සොයාබැලීමක් සිද්ධ කරන්න, ඒ දේවල් තව දුරටත් රැකගන්න කාටවත් උනන්දුවක් නෑ. එදා ඉඳන්ම මේ ප‍්‍රදේශ කඳු ගම්මාන ලෙස ලෝකයෙන් මුළු ගැන්විලා පවතිනවා. ඒක කනගාටුවට කරුණක්. උන්වහන්සේ පවසා සිටි කරුණු කාරණා සියැසින් දැකබලා ගැනීමට එහි ගිය අපට හැකිවූහ. රාවණා ඇල්ල පුරාණ විහාරය ආසන්නයේ පිහිටි ප‍්‍රාග් ඓතිහාසික ලෙන මුහුදු මට්ටමින් අඩි 4,450 ට ඉහලින් පිහිටා ඇත. පුරාණ විහාරස්ථානය පිහිටි භූමිය මනරම් සිතුවමක් බඳුය. පසෙකින් යෝධ ගල්පර්වතයක් පිහිටා ඇත. එය අව් වැසි සුළං ආදියෙන් විාහරස්ථානය ආරක්‍ෂා කරන නිහ`ඩ මුරකරුවකු බඳුය. ආගමික වත් පිළිවෙත් ආදියට මුල් තැනක් දෙන රාවණා ඇල්ල ගම්වාසීන් ගත් කළ ඔවුන් දැහැමි ජීවිත ගත කරන්නන්ය. ස්වභාව දහමද ඔවුන්ට නපුරක් අනතුරක් සිදුකරන්නේ නැත. ප‍්‍රදේශය අතරමැද දේශගුණික තත්ත්වයෙන් යුක්තය. සිරුරට විඩා ගෙනදෙන කාෂ්ඨක බවක් එහි නැත. ගමනාගමනයෙහි පවතින තරමක අපහසුව නොවන්නට එහි හමන සුළගද සුවදායකය.

පහළට ගලා හැලෙන රාවණා අල්ලට ඉහළින් පිහිටි රාවණා විත්ති

හෝරා කීපයක් එහි ගතකළ අපට කාලය පිළිබඳ නැවත සිහිපත් කරන ලද්දේ කඳු වළලූ අතරට පැමිණි සැදෑ අඳුර විසින්ය. සැදෑ අඳුරත් අඳුරට මුවාවී හමන සීත සුළගත් නිහ`ඩ පණිවුඩකරුවකු බඳුය. අප එම ස්ථානයෙන් නික්ම ආ යුතුය. අසිරිමත් ඉතිහාසයක සිරිමත් තොරතුරු අසා දැකබලා රාවණා ඇල්ල පුරාණ විහාරස්ථානයෙන් නික්ම ඇල්ල ප‍්‍රධාන මාර්ගයට පිවිසුන අප රැගත් රථයේ සිට නැවත කඳු හිස පිරික්සද්දී කන්දට අඳුර බෝ වෙමින් තිබුණි.

 රුවන් ජයවර්ධන


advertistmentadvertistment