පහේ ළමයි තමන්ගේ ටියුෂන් පන්තියට එවන්න ගුරුවරු බලපෑම් කරනවා- ටියුෂන් නොඑන දරුවා පාසලේදී කොන් කරනවා, කෙණෙහිළිකම් කරනවා – දෙමාපියන්ගෙන් මැසිවිලි

86

තිස්සමහාරාම නගරය ආසන්නයේ ඇති ප්‍රාථමික පාසලක පහ වසර ගුරුවරු කිහිපදෙනකු තමාගේ ටියුෂන් පන්තියට දරුවන් එවන ලෙස බල කරමින් අසාධාරණ ලෙස මුදල් උපයන බව දන්වා හම්බන්තොට අධ්‍යාපන ලේකම් වෙත ලිඛිතව දන්වා ඇති බව එම පාසලේ දෙමාපියෝ කීහ.

2023.08.28 දින යොමු කරන ලද එම ලිපියෙන් දන්වා ඇත්තේ පහ වසරේ පන්ති හතරෙන් එක් පන්තියක සිටින දරුවන් 40 දක්‍ෂ, අදක්‍ෂ ලෙස A B C D යනුවෙන් කණ්ඩායම් හතරකට බෙදා පැය 2 කට රුපියල් 300 බැගින් එක් දරුවකු සතියකට හතර වතාවක් කැඳවා (300X4) රු.1200ක මුදලක් අය කරන බව පෙන්වා දී ඇත. ඒ අනුව මසකට එක් දරුවකු සඳහා රුපියල් 4000 කට වැඩි මුදලක් වැය කිරීමට සිදුවීම දෙමාපියන්ට දරාගත නොහැකි බවද එම ලිපිය මගින් පෙන්වා දී ඇත. ඊට අමතරව එම පන්තියට පත්කර ඇති ගුරුවරයාට හිතවත් භාණ්ඩාගාරිකවරයකු හරහා ප්‍රශ්න පත්‍රවලට යැයි පවසමින් රුපියල් ලක්‍ෂ දෙකකට වැඩි මුදලක් අයකර ගැනීමට කටයුතු කර ඇති බවද එම ලිපියේ සඳහන් කර ඇත.

මේ පිළිබඳව කළ සොයාබැලීමකදී එම විද්‍යාලයේ ගුරුවරියන් හතරදෙනකු කාසංගම ප්‍රදේශයේ විශාල නිවසක් කුලියට ගෙන තම පන්ති හතරේ දරුවන්ට පන්ති පවත්වන බව අනාවරණය විය.

ආර්ථික අපහසුතා හේතුවෙන් පන්තියට සහභාගි නොකරන දරුවන්ට ගුරුවරියක් පාසලේදී පහරදෙමින් එම දරුවන්ට අවස්ථාව ලබා නොදී කොන්කර බියගැන්වීම නිසා දරුවන් කිහිපදෙනෙකුම පාසල් යෑමට අකමැත්තෙන් පසුවන බව දෙමාපියෝ කීහ.

පහ වසර මෙන්ම 1, 2, 3, 4 වසරවල ද පන්ති භාර ගුරුවරියන් සහ ගුරුවරුන් කිහිපදෙනකු මසකට රුපියල් 1000 වන පරිදි අයකර තමාගේ පන්තියේ දරුවන්ට උපකාරක පන්ති පවත්වන බව ද කීය.

මෙලෙස උපකාරක පන්ති පවත්වා අසාධාරණ ලෙස දරුවන්ගෙන් අයකිරීම සම්බන්ධයෙන් රැස්වීමකදී විරුද්ධ වූ එම පාසලේම ගුරුවරියකට හිතවත් දෙමාපියන් කිහිපදෙනකු යොදවා හූ කියවා අපහසුතාවට පත් කොට පාසලෙන් නෙරපීමට ද කටයුතු කළ බව ද සඳහන් කර තිබේ. මෙවැනි තත්ත්වයක් මත අපහසුතාවට ලක්වන දරුවන් තව තවත් අසාධාරණයට ලක්වේ යැයි බියෙන් දෙමාපියන් කරබාගෙන සිටින බවත් එම ලිපියේ පෙන්වා දී ඇත.

පාසලේදී ඉගැන්විය යුතු කොටස් එම ගුරුවරුන්ගේ උපකාරක පන්තියේදී පමණක් ඉගැන්වීම හේතුවෙන් ආර්ථික අපහසුතා මැද ජීවත්වන දෙමාපියන් දැඩි ලෙස අසරණ වී ඇති බව ද ඔවුන් සඳහන් කළේය. මේ පිළිබඳව දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු කොට දරුවන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙස එම දෙමාපියන් වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ පිළිබඳව එම විද්‍යාලයේ විදුහල්පතිතුමියගෙන් කළ විමසීමකදී සඳහන් කළේ එවැනි කාරණයක් සම්බන්ධයෙන් තමා දැනුවත් නැති බවත් ඒ පිළිබඳව සොයාබැලීමට කටයුතු කරන බවත්ය.

මේ පිළිබඳව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් කළ විමසීමකදී තම පංතියේ දරුවන්ට මුදලට උපකාරක පන්ති පැවැත්වීම මේ වනවිට පළාත් දෙකක නතර කරමින් චක්‍රලේඛ නිකුත් කර ඇති අතර ඉදිරියේදී දකුණු පළාතට ද එම චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය. කෙසේ වෙතත් දරුවන්ට සිදුවන මෙම අසාධාරණය සම්බන්ධයෙන් දෙමාපියන් තමාට පැමිණිලි කරන්නේ නම් නිසි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ද කීය.

තිස්සමහාරාම – අමිල සම්පත් ශ්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment