පළපුරුදු අය මාරු කරලා විභාග වැඩ අවුල් වෙලා – ප්‍රතිඵලත් ප්‍රමාද වන ලකුණු

377

විභාග දෙපාර්තමේන්තුවේ සිටින තොරතුරු තාක්‍ෂණ (දත්ත එක්රැස් කරන) නිලධාරීන් වෙනත් ආයතනවලට ස්ථාන මාරු කිරීම නිසා විභාග ප්‍රතිඵල ලබාදීමේදී ප්‍රමාද විය හැකි බව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

මාරුවීම් ලබා ගිය දත්ත එක්රැස් කරන නිලධාරීන් වසර 10ක් 15ක් විභාග දෙපාර්තමේන්තුවේ එම කාර්යය සිදුකළ පළපුරුදු නිලධාරීන් බවත් ඔවුන්ට ස්ථාන මාරුවීම් ලබානොදෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත් එම නිලධාරියා කීය.

විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට හෝ එම ප්‍රතිඵලවල නිරවද්‍යතාව තහවුරු කරගැනීම සඳහා අත්දැකීම් සහිත නිලධාරීන් සිටීම පහසුවක් විය. එම පළපුරුදු නිලධාරීන් වෙනුවට එම කාර්ය සඳහා දෙපාර්තමේන්තුවට පැමිණි පිරිසට කාර්ය කිරීමට වසර කිහිපයක් ගතවනු ඇති බවත් ඒ වනතෙක් ප්‍රතිඵල ලබාදීම වැනි කටයුතු ප්‍රමාද විය හැකි බවත් ඔහු පැවසීය.

තොරතුරු තාක්‍ෂණ සේවය දීපව්‍යාප්ත කිරීම නිසා මෙය සිදුවී ඇති බවත් අවම වශයෙන් විභාග දෙපාර්තමේන්තුවේ සිටින පළපුරුදු නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබානොදීමට බලධාරීන්ට වගකීමක් තිබූ බවත් ඔහු කීය. ස්ථාන මාරු ලැබූ වැඩි පිරිසක් තම කැමැත්ත නොමැතිව මාරුවීම් ලැබූවන් බවත් ඔවුන් නව සේවා ස්ථානවලට ගියත් තමන් සිදුකරගෙන පැමිණි කාර්යයන් එම ස්ථානවල නොමැතිවීම නිසා අපහසුතාවට පත්ව ඇති බවත් එම නිලධාරියා කියා සිටියේය.

චමින්ද සිල්වා


advertistmentadvertistment