පළමු අවලෝකනය – සියවසක සටහන් – 53 වැනි කොටස

101

චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්‍ෂය) පිහිටුවලා 2021 ජූලි මාසයට අවුරුදු සීයක් සම්පූර්ණ වුණා. ගතවුණු අවුරුදු සීයක කාලය තුළ මේ දේශපාලන සංවිධානය විසින් කරපු කියපු දේවල්වලින් අපිටත් යමක් ඉගෙන ගන්න පුළුවන්. යෝධ චරිත, විශේෂිත සිදුවීම්, විවිධාකාර අත්හදා බැලීම්, වැරැුදීම් සහ වැරැදි හදාගැනීම් කියන විදිහට ඒ හා සම්බන්ධ පාඩම් දේශපාලන ඉතිහාසයට එකතුවෙලා තියෙනවා. ඒ ඉතිහාසයේ සටහන් වී තිබෙන මූලික කරුණු කීපයක් මේ ලිපි පෙළින් ඉදිරිපත් කළා. මේ, ”සියවසක සටහන්’’ ලිපි මාලාවේ පළමු භාගයේ අවසාන කොටසයි.

 1921 ජුලි මාසයේ දී පිහිටුවපු චීන පොදු නිෂ්පාදන පක්‍ෂයට නායකයෙක් ලැබුණේ අවුරුදු 14 කට පස්සේ. ඒ විදිහට පක්‍ෂයේ නායකයා විදිහට හැම දෙනාගේම පිළිගැනීමට ලක්වුණේ මා ඕ ත්ස-තුං. ඇත්තෙන්ම, ඔහුගේ නායකත්වය පක්‍ෂය විසින් හඳුනාගෙන තිබුණේ ත්සුන්-යි සම්මේලනය පවත්වන්න සෑහෙන කාලයකට කලින්. 1931 නොවැම්බර් 7 වැනිදා පිහිටුවපු චීන සෝවියට් ජනරජයේ නායකත්වය මා ඕ ත්ස-තුංට පැවරුවෙත් ඒ හින්දාමයි. ඒත් මේ හඳුනාගැනීම පිළිගන්න අකැමැති පිරිසක් පක්‍ෂය ඇතුළේ බලවත් වෙලා හිටියා. ඒ තමයි සෝවියට් දේශයේ සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ අනුග‍්‍රහය ලැබුණු වං මිංගේ පාර්ශ්වය.

 චීන පොදු නිෂ්පාදන පක්‍ෂය ආරම්භ කළේ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ශාඛාවක් විදිහට. ලෙනින් විසින් කොමියුනිස්ට් ජාත්‍යන්තරය (තුන්වැනි ජාත්‍යන්තරය) පිහිටුවනු ලැබුවේ 1919 මාර්තු මාසයේ දී. ඊට අවුරුදු එක හමාරකට විතර කලින් සිද්දවෙච්ච  ”බලේෂෙවික් විප්ලවය’’ (ඔක්තෝබර් විප්ලවය) නිසා ඇතිවුණු ජාත්‍යන්තර විප්ලවීය ප‍්‍රබෝධය සංවිධානාත්මකව මෙහෙයවීමේ වගකීම මේ සංවිධානයට පැවැරුණා. ඒත් මේ ”ජාත්‍යන්තර’’ එකමුතුව කටයුතු කළේ සෝවියට් දේශයේ ඕන එපාකම්වලට අවනතවෙලා. ඉතින් චීන පොදු නිෂ්පාදන පක්‍ෂයත් ඒ මුල් කාලයේ දී සෝවියට් ආධිපත්‍යයට අවනත දේශපාලන සංවිධානයක් බවට පත්වීම අමුත්තක් නෙවෙයි.

 කොහොම වුණත්, පොදු නිෂ්පාදන පක්‍ෂයේ ආරම්භයට පසුබිම් වුණු ඓතිහාසික කරුණු චීනයට අදාළයි. මේ පක්‍ෂය බාහිර පෙළැඹවීමක් තුළින් බිහිවුණු එකක් නෙවෙයි. අවුරුදු දාස් ගාණක් තිස්සේ චීනයේ තිබුණු අධිරාජ පාලන ක‍්‍රමය 1911 සිද්දවෙච්ච ”ජනරජ විප්ලවය’’ (ශින්-හයි විප්ලවය* විසින් අවසන් කළා. අවුරුදු 270 කට කිට්ටු කාලයක් බලයේ හිටිය ýං පාලනය දුර්වලවීමත්, චීනය නිතර නිතරම විදේශ රටවල අඩන්තේට්ටම්වලට ගොදුරුවීමත් හේතු කොටගෙන ඇතිවෙච්ච අසහනය සහ කැළැඹීම ඒ විප්ලවයෙන් පුපුරාගියා.

 ඒත් රට පාලනය කරන්න තරම් ශක්තියක් ඒ විප්ලවය මෙහෙයවපු සුන් යත්-සෙන් ප‍්‍රමුඛ දකුණේ නායකයන්ට තිබුණේ නෑ. හමුදා බලය තවදුරටත් කේන්ද්‍ර ගතවෙලා තිබුණේ උතුරේ හිටිය නායකයන්ගේ අතේ. ඒ අය අතර ඉදිරියෙන්ම හිටියේ යුවන් ෂි-කයි මහ සෙන්පතියා. ඉතින් අලූතින් පිහිටුවපු ජනරජයේ ජනාධිපති තනතුර හිමිවුනෙත් ඔහුට. 1915 දෙසැම්බර් මාසයේ දී, ඔහු අධිරාජයා විදිහට ඔටුණු පැළැඳගැනීමෙන් ජනරජ සිහිනය තවදුරටත් බොඳවුණා. ඒත් රට පුරා ඇවිලිච්ච විරෝධතා සහ සන්නද්ධ නැ`ගිටීම් නිසා ඉතා ඉක්මනින්ම ඒ අධිරාජ තනතුර අත්හරින්න ඔහුට සිද්දවුණා.

 මේ කාලයේ ඉස්මතුවෙච්ච සමාජ බලාපොරොත්තු ”නව සංස්කෘතික ව්‍යාපාරය’’ තුළිනුත් ප‍්‍රකාශයට පත්වුණා. 1921 දී පොදු නිෂ්පාදන පක්‍ෂය පිහිටුවන්න මුල්වුණු ඡුන් ත-ශ්‍යු, ලී තා-චා ඕ කියන මහාචාර්යවරු නව සංස්කෘතික ව්‍යාපාරයේ පතාක යෝධයෝ විදිහට කටයුතු කරපු අය. මා ඕ ත්ස-තුං වගේ තරුණයන්ගේ සිත් පුබුදුවන්නත්, අනාගතය වෙනුවෙන් ඒ අය සූදානම් කරවන්නත් මේ ව්‍යාපාරය ඉවහල්වුණා. පෙයි-චිං විශ්වවිද්‍යාලයේ පුස්තකාල සහායකයෙක් විදිහට සේවය කරද්දී මා ඕ ත්ස-තුං තරුණයා මේ මහාචාර්යවරු සමඟ සෘජුවම ගනුදෙනු කළා.

 ප‍්‍රංශය ඇතුළු යුරෝපීය රටවල්වලට චීන තරුණ – තරුණියන් යවලා ඉගැන්වීමේ ”වැඩ – පාඩම් ක‍්‍රමය’’ හරහා ඇතිවෙච්ච ප‍්‍රබෝධයකුත් තිබුණා. මිල මුදල් නැති, හැකියාවෙන් පිරිපුන් අයට නව ලෝකය දැකීමේ අවස්ථාවක් ඒ මාර්ගයෙන් ලැබුණා. මා ඕ ත්ස-තුං සමඟ එකට ඉගෙනගත්ත ත්සැයි හ-සන් වගේ අය, ඒ කාලයේම වෙනත් ප‍්‍රදේශවලින් සමාජයට එකතුවුණු චෝ අන්-ලයි, තං ශියා ඕ-පිං වගේ අය ”වැඩ – පාඩම් ක‍්‍රමය’’ හරහා ප‍්‍රංශයට ගියා. (මේ අවලෝකනයෙන් කියන හැම කාරණයක්ම මෙයට පෙර ලිපිවල සඳහන් කරලා තියෙනවා).

 ශින්-හයි විප්ලවයෙන් පස්සේ ජනරජයේ නායකයා බවට පත්වෙච්ච යුවන් ෂි-කයි ජපන් බලපෑම්වලටත් ගොදුරුවුණා. 1915 මැයි මාසයේ දී, ජපානයේ අසාධාරණ ඉල්ලීම් 21 ට එකඟවීම නිසා ඔහුගේ ආණ්ඩුව චීන ජනතාවගේ බලවත් අප‍්‍රසාදයට පත්වුණා. ඒ වගේම, ජපන් විරෝධය මුල් කරගත් දේශපේ‍්‍රමී අරගල චීනය පුරා පැතිරෙන්නත් පටන්ගත්තා. මා ඕ ත්ස-තුං ඇතුළු තරුණයන්ගේ සිත් පුබුදුවන්න මේ දේශපේ‍්‍රමී අරගලත් උපකාරී වුණා.

 රට පුරා ඇවිලිච්ච දේශපේ‍්‍රමී අරගල ඉතාමත් හොඳින් ප‍්‍රකාශයට පත්වුණේ 1919 මැයි 4 වැනිදා ක‍්‍රියාත්මක කරපු ”මැයි 4 ව්‍යාපාරය’’ හරහා. පළමුවැනි ලෝක මහා යුද්ධය අවසානයේ චීනයට ලැබුණු කුඩම්මාගේ සැළැකිළි සහ ජපානයේ අධිපතිවාදී හැසිරීම මේ නැ`ගිටීමට හේතුවුණා. චීන ජාතිය මේ විදිහට හෑල්ලූවට පත්වෙන්නේ ජනරජය පාලනය කිරීමේ වගකීම පවරාගෙන හිටිය පෙයි-යං ආණ්ඩුවේ දුර්වලකම හින්දා කියලා තහවුරුවීමත් එක්ක ජනතා විරෝධය තව තවත් ශක්තිමත් වුණා. ජපානය සමඟ පෙයි-යං ආණ්ඩුව පවත්වපු රහස් සබඳතා එළිදරව්වීමත් මේ ජනතා නැ`ගිටීම් අවුළුවන්න උපකාරී වුණා.

 සුන් යත්-සෙන්ගේ මූලිකත්වයෙන් 1919 ඔක්තෝබර් මාසයේ දී චීන ජාතික පක්‍ෂය (කු ඕ-මින්-තං) පිහිටෙව්වත් ජනතාව ආකර්ෂණය කරගන්න පුළුවන් ආකාරයේ මතවාදයක් ඒ දේශපාලන බලවේගයට තිබුණේ නෑ. ඒ වුනත්, එතුමා විසින් අනුදැන වදාළ ”මූලධර්ම තුන’’ යොමුවෙලා තිබුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයක් දිශාවට. ඒ හින්දා ඇතිවෙච්ච බලාපොරොත්තුවලින් එතුමාගේ නායකත්වයට පිළිගැනීමක් ලැබුණා. ඒ වගේම, සමාජයට බලපෑම්කරන්න පුළුවන් සමාජ නායකයන් විශාල පිරිසක් කු ඕ-මින්-තං වටේ එකතුවෙන්නත් පටන්ගත්තා. ඉතින් චීනයේ ක‍්‍රියාත්මක වෙච්ච බලවත්ම දේශපාලන සංවිධානය බවට කු ඕ-මින්-තං පත්වුණා.

 ඒත් ඡුන් ත-ශ්‍යු, ලී තා-චා ඕ වගේ මහාචාර්යවරුනුත් ඒ අයගේ හඬට කන්දීපු සහ රටේ අරගලවලින් පන්නරය ලබමින් හිටිය මා ඕ ත්ස-තුං වගේ තරුණයනුත් සුන් යත්-සෙන්ගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සෑහීමකට පත්වුණේ නෑ. චීනයට ගලා එමින් තිබුණු මාක්ස්වාදී අදහස්වල ආශ්වාදය ඒ අයට ලැබෙන්න පටන්ගත්තේ ඒ කාලයේ. මාක්ස්වාදී අදහස් මුල් කරගත්ත කුඩා සංවිධාන රට පුරාම ඇතිවෙන්න ඒ ආශ්වාදය හේතුවුණා. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ මැදිහත්වුණේ මේ විදිහට හැඩගැහුණු මනස් ඇති පිරිසක් අතරට.

 1921 ජුලි 23 වැනිදා චීන පොදු නිෂ්පාදන පක්‍ෂය පිහිටුවනු ලැබුවේ මේ සමස්ත ක‍්‍රියාදාමයේ ප‍්‍රතිඵලයක් විදිහට. ඒත් කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ශාඛාවක් විදිහට පක්‍ෂය පිහිටුවීම හින්දා මේ දේශපාලන සංවිධානයේ කටයුතු මෙහෙයවීමේ තීරණාත්මක බලයක් සෝවියට් දේශයට හිමිවෙලා තිබුණා. සෝවියට් දේශයේ ආධිපත්‍යය යටතේ මාක්ස්වාදී දේශපාලනය ක‍්‍රියාත්මක වෙච්ච හින්දා ඒ ක‍්‍රමය පිළිගැනීම හැරෙන්න වෙනත් විකල්පයක් චීන පොදු නිෂ්පාදන පක්‍ෂය පිහිටුවන්න මුල්වෙච්ච අයට තිබුණේ නෑ.

 ජනරජයක් පිහිටුවීම වෙනුවෙන් කාලයක් තිස්සේ මහන්සිවුණු සුන් යත්-සෙන්ට සෝවියට් දේශයේ උපකාරය ලැබෙන්න පටන්ගත්තා. මේ ගනුදෙනුව තහවුරු වුණේ 1923 ජනවාරි 26 වැනි දා අත්සන් කෙරුණු සුන් – ජෝෆ් ගිවිසුමෙන්. ඒ මාර්ගයෙන් චීන ජාතික පක්‍ෂය (කු ඕ-මින්-තං* සහ චීන පොදු නිෂ්පාදන පක්‍ෂය අතර හවුලකුත් නිර්මාණය වුණා. මේ ”ජාතික – පොදු හවුල’’ විසින් ක‍්‍රියාත්මක කරන්න සැලැසුම් කරපු සමාජ පෙරැුළිය ”මහා විප්ලවය’’ කියලා නම් කෙරුණා.

 උතුරේ ක‍්‍රියාත්මක වෙච්ච පෙයි-යං ආණ්ඩුවේ බලය රැුඳිලා තිබුණේ හමුදා ලොක්කෝ පිරිසක් අතේ. ඒ අය අතරත් බල අරගල තිබුණා. සෝවියට් දේශයේ උදව්වෙන් දකුණේ හමුදා ශක්තිමත් කරලා ”උතුරු ප‍්‍රයාණය’’ මෙහෙයුම සැලසුම් කෙරුණේ මුළු චීනයම එකතු කිරීමේ අදහසින්. ඒත් 1925 මාර්තු මාසයේ දී සුන් යත්-සෙන් මියයෑමෙන් පස්සේ ”මහා විප්ලවය’’ පිළිබඳ බලාපොරොත්තුව බොඳවෙන්න පටන්ගත්තා. ක‍්‍රම ක‍්‍රමයෙන් බලවත් වුණු චියං කායි-ෂෙක් දකුණේ හමුදාවල ප‍්‍රධානියා බවටත් කු ඕ-මින්-තං නායකයා බවටත් පත්වුණා. ”උතුරු ප‍්‍රයාණය’’ මෙහෙයුම ක‍්‍රියාත්මක වන අතර ම  ”ජාතික – පොදු හවුල’’ බිඳලා දාන්නත් ඔහු මහන්සිවුණා.

 පක්‍ෂය පිහිටුවන්න පවත්වපු පළමුවැනි නියෝජිත සම්මේලනයට සහභාගි වුණත් මා ඕ ත්ස-තුංට ඉහළ තනතුරක් ලැබුණේ නෑ. ඔහුට පැවරුණු වගකීම් හූ-නන් පළාතට සීමාවුණා. ඒත් මාක්ස්වාදී අදහස්වල අභාසය මුල් කරගෙන චීන සමාජය තේරුම්ගැනීම වෙනුවෙන් ඔහු මහන්සි වුණා. 1925 දෙසැම්බර් 1 වැනි දා පළකරපු ”චීනයේ සමාජ පංති පිළිබඳ විග‍්‍රහය’’ ලිපියෙන් මා ඕ ත්ස-තුංගේ අදීන සිතුවිලිවල ආරම්භය සනිටුහන් කෙරුණා. ඒ අනුව මුල් වරට ”ගොවි පංතිය’’ පිළිබඳ අදහස විප්ලවීය ලෝකයට එකතුවුණා. 1927 මාර්තු මාසයේ දී පළකරපු ”හූ-නන් වාර්තාව’’ තුළින් මා ඕ ත්ස-තුං ගොවි බලයේ ශක්තිය මොනවට ප‍්‍රකාශයට පත්කළා. චීනයේ තහවුරුවෙමින් තිබුණු ආයුධ සන්නද්ධ දේශපාලනය තුළ ”රාජ්‍ය බලය උපදින්නේ තුවක්කුවෙන්’’ කියන අදහසත් ඔහු ඉදිරිපත් කළා.

 මේ වෙද්දි චියං කායි-ෂෙක් විසිනුත් වං චිං-වෙයි විසිනුත් පොදු නිෂ්පාදන පක්‍ෂයට එරෙහි මර්දනය ආරම්භ කරලයි තිබුණේ. ඒ හේතුවෙන් ජාතික – පොදු හවුල අවසන් වුණා. මේ මර්දනයට එරෙහි පළමු සන්නද්ධ නැගිටීම සනිටුහන් කළේ 1927 අගෝස්තු 1 වැනිදා. සමාජ විප්ලවය වෙනුවෙන් ඇරැුඹුණු සන්නද්ධ වැඩපිළිවෙළට චූ ත සෙනෙවියා මුලින් දායකවුනෙත් ඒ අවස්ථාවේ. ඒ නැගිටීම (නන්-ඡුං නැගිටීම* අසාර්ථක වුණා. 1927 සැප්තැම්බර් මාසයේ දී මා ඕ ත්ස-තුංගේ නායකත්වයෙන් දියත්කරපු ”සරත් අස්වනු නැ`ගිටීම’’ අසාර්ථක වුණත් ඒ ඔස්සේ අලූත් මාවතක් එළිකරගන්න පක්‍ෂයට පුළුවන් වුණා.

 චිං-කං කන්දේ මූල කඳවුර පිහිටුවීම, චූ – මා ඕ එකතුව, රතු හමුදාව පිහිටුවීම, පං ත-හුවයි සහ ලින් පියා ඕ වැනි මහා සෙනෙවියන්ගේ ආගමනය, චියං-ශි සෝවියට් ප‍්‍රදේශය පිහිටුවීම වැනි කටයුතුවලට මග සැලසුවේ

 ”සරත් අස්වනු නැ`ගිටීම’’ විසින්. ඒ වගේ ම, ගරිල්ලා යුද්ධ ක‍්‍රමය හඳුන්වාදීමටත් ඒ ක‍්‍රියාමාර්ග හේතුවුණා. මේ හැම කාර්යයක ම මුල හිටියේ මා ඕ ත්ස-තුං. මේ වර්ධනයත් එක්ක ”ගම විසින් නගරය වැටලීම’’ කියන අදහස ඉදිරිපත් කරන්නත් ඔහුට පුළුවන් වුණා.

 1928 ජුනි – ජූලි මාසවල මොස්කව් නුවර පවත්වපු චීන පොදු නිෂ්පාදන පක්‍ෂයේ හයවැනි ජාතික නියෝජිත සම්මේලනයේ දී සෝවියට් බලපෑම සෘජු ලෙසින් ප‍්‍රකාශයට පත්කෙරුණා. කිසිම දේශපාලන දැක්මක් නොතිබුණු ශියං චුං-ෆා කියන කම්කරු නායකයාට පක්‍ෂයේ මහ ලේකම් තනතුරත් ලබාදුන්නා. දැනුමින් සහ අත්දැකීම්වලින් පිරිපුන් චෝ අන්-ලයි වගේ නායකයන්ට ඒ අඥාන නායකත්වය යටතේ වැඩකරන්න සිද්දවුණා.

 හැළහැප්පීම් මැද ”උතුරු ප‍්‍රයාණය’’ මෙහෙයුම සාර්ථක කරගන්න චියං කායි-ෂෙක් සමත්වුනත් ඔහු විසින් එකතු කළේ වෙන වෙනම හමුදා බල කඳවුරු හදාගෙන හිටිය පිරිසක්. බුද්ධිමත්, ශූර නායකයෙක් වුණාට හැම දෙනාම එකතුකරන්න පුළුවන් දේශපාලන මතවාදයක් චියං කායි-ෂෙක්ට තිබුණේ නෑ. ඒ වගේම, ධනය පොදිබඳින ඉතා ¥ෂිත පිරිසක් ඔහු වටකරගෙන හිටියා. ජපානය ඇතුළු විදේශීය රටවල් එල්ලකරපු බලපෑම්වලට එරෙහිව වැඩකිරීමේ ශක්තියකුත් ඔහුට තිබුණේ නෑ.

 ”උතුරු ප‍්‍රයාණය’’ මෙහෙයුම සාර්ථක කරගැනීමෙන් පස්සේ චියං කායි-ෂෙක් අවධානය යොමුකළේ චියං-ශි සෝවියට් ප‍්‍රදේශය ඇතුළු අනෙකුත් ”රතු පාලන ප‍්‍රදේශ’’ විනාශ කරදැමීමට. මේ වෙනුවෙන් ඔහු ක‍්‍රියාත්මක කරපු වටලෑම්වලට සාර්ථකව මුහුණදීලා ඒවා පරද්දන්න මා ඕ ත්ස-තුංගේ නායකත්වයටත් ඔහු විසින් හඳුන්වාදුන් ගරිල්ලා සටන් ක‍්‍රමවලටත් පුළුවන් වුණා. ඒත් මේ ජයග‍්‍රහණ ඉවසන්න සෝවියට් දේශයේ අනුග‍්‍රහය ලබපු වං මිංගේ පාර්ශ්වය (බොල්ෂෙවික්වරු විසි අටදෙනා සහ භාගය) කැමැතිවුණේ නෑ.

 1931 නොවැම්බර් මාසයේ දී සෝවියට් ජනරජය පිහිටුවලා ඒ හරහා මා ඕ ත්ස-තුං අක‍්‍රීයකරන්න වං මිංගේ පාර්ශ්වය සමත්වුණා. කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින් පත්කරලා එවපු යුද උපදේශකයෙක් යටතට රතු හමුදාව පත්කරන්නත් ඒ අය කටයුතු කළා. ඒත් ඒ වැඩපිළිවෙළ අවසන් වුනේ මහා විනාශයකින්. අන්තිමේ දී, චියං-ශි සෝවියට් ප‍්‍රදේශය අත්හැරලා පහුබහින්න රතු හමුදාවට සිද්දවුනා. ඒ මහා සංක‍්‍රමණය (පාගමන) අතරතුර රතු හමුදාව විනාශයේ දොරකඩටම තල්ලූවුණා. මා ඕ ත්ස-තුංගේ නායකත්වය හැර වෙනත් සරණක් නැති බව බහුතරය විසින් තේරුම්ගත්තේ ඒ වෙලාවේ.

 අවුරුදු තුනකට වැඩි කාලයක් අක‍්‍රීය කරලා හිටිය මා ඕ ත්ස-තුං ඉදිරියට ආවා. නිල නොවන විදිහට වුණත් ඔහු පක්‍ෂයේ නායකයා බවට පත්වුණා. පොතේගුරුවාදයට විරුද්ධ, අදීන චින්තකයෙක් වෙච්ච ඔහුගේ නායකත්වය විසින් හැම දෙනෙක් තුළම විශාල බලාපොරොත්තුවක් ඇතිකළා. දුර බලලා තීරණගැනීමටත් බලපෑම්වලට යටත් නොවී කටයුතු කිරීමටත් ඔහු තුළ තිබුණු හැකියාව සහ ශක්තිය විසින් මේ බලාපොරොත්තු පුබුදාලන්න සමත්වුණා.

 පක්‍ෂයට නායකයෙක් ලැබුණේ අවුරුදු 14 ක ගමනකිත් පස්සේ. පක්‍ෂය යා යුතු මග හඳුනාගන්නත් ඒ කාලය තුළ දී මා ඕ ත්ස-තුං කටයුතු කරලා තිබුණා. ඉතින් ඒ නායකත්වය යටතේ සටන්කරලා තවත් අවුරුදු 14 ක් ඇතුළත පොදු නිෂ්පාදන පක්‍ෂය විසින් චීනයේ බලය තහවුරුකරගත්ත විදිහ දැනගැනීමත් ප‍්‍රයෝජනවත්. ඉදිරියේ දී ලියැවෙන තවත් ලිපි පෙළකින් ඒ ගැන විමසාබලමු.

 ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment