පළමු තරගයේ ජය ග්‍රේස් පිලට

117

ආරාධිත පන්දු වාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේදී අර්ධ ශතකයක් ලද පළමු පිතිකරුවා බවට පත්වීමට ලසිත් කෲස්පුල්ලේ සමත්වීමත්, ලකුණු 22 ක් ඇතුළත ග්‍රේස් පිලේ කඩුලු 4 ක් දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත්වීමත් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පෙරේදා (08 දා) පැවැති සමාරම්භක තරගයේදී ග්‍රේස් පිලට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට රෙඩ්ස් කණ්ඩායම සමත්විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී ලකුණු 121 ක ඉලක්කයක් හඹා යෑමේදී පිටියට පිවිසි ලසිත් කෲස්පුල්ලේ සහ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 72 කදී වේගවත් ලකුණු 88 ක් එක් කරමින් සාර්ථක අඩිතාලමක් රෙඩ්ස්පිලට එක් කර දුන්හ. මුහුණ දුන් 39 වැනි පන්දුවේදී අර්ධ ශතකය සපුරා ගත් දකුණත් ආරම්භක පිතිකරුවා වූ කෲස්පුල්ලේ මෙවර තරග වාරයේදී අර්ධ ශතකයක් වාර්තා කරන ලද පළමු පිතිකරුවා බවට පත්වූවේය.

පන්දු යැවීමේදී කැපී පෙනුණු අසිත ප්‍රනාන්දු නියමිත පන්දු වාර 4 දී ලකුණු 22 ක් පමණක් ලබා දී කඩුලු 4 ක් දවා ගත්තේ ග්‍රේස් ඉනිම අසීරුවේ හෙලූ ප්‍රධානම පන්දු යවන්නා බවට පත්වෙමිනි. ඔහුට අමතරව මතීෂ පතිරණ සහ මහීස් තීක්ෂණ කඩුලු 2 ක බැගින් බිඳ හෙලූහ.

තරගයේ වීරයා – අසිත ප්‍රනාන්දු

ග්‍රේස් පන්දු වාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 120 යි – (අශාන් රන්දික 20, මුදිත ලක්ෂාන් 24, මොවින් සුබසිංහ 32, පුලින තරංග (නොදැවී) 16, අසිත ප්‍රනාන්දු 22/4, මහීෂ් තීක්ෂණ 16/2, මතීෂ පතිරණ 16/2)

රෙඩ්ස් පන්දු වාර 16.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 121 යි – (ලසිත් කෲස්පුල්ලේ 54, කුසල් මෙන්ඩිස් 34, කමිඳු මෙන්ඩිස් 15, අකිල ධනංජය 36/2)

advertistmentadvertistment
advertistmentadvertistment