පළමු වැනිදා සිට ආර්ථිකය අලුත් පාරකට… ආර්ථිකයට කෙටිකාලීන පෙරදැක්මක්

410

රජයේ ඇතැම් ඇමතිවරු රජයට කිසිදු මුදල් ප‍්‍රශ්නයක් නැති බව ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කරයි. එහෙත් මෙවැනි අමාරු කාලයක එවැනි බොරු පුරාජේරු කතා කීමෙන් සිදුවන හොඳක් නැත. රටේ බරපතළ විදේශ විනිමය හිඟයක් තිබෙන අතරම රජයට විශාල මුදල් හිඟයක් ද තිබේ. එය අද රටට රහසක් නොවේ. ඩොලර් හිඟයට නම් ඇත්තේ ප‍්‍රධාන විසදුම් දෙකකි. එකක් නම් ඩොලර් වියදම් අඩු කර ගැනීමය. අනිත් විසදුම නම් රටට ඩොලර් ලැබීම් වර්ධනය කර ගැනීමයි. මින් ඩොලර් වියදම් අඩු කර ගැනීමට ආනයන පාලන ක‍්‍රියාමාර්ග ගෙන, ඒවා තව තවත් බලවත් කර ඇත. අනිත් අතට රටවල් සම`ග විදේශ විනිමය හුවමාරු පහසුකම් වැනි තාවකාලික විනිමය ලබා ගැනීමේ විසඳුම්වලට ද රජය යොමු වී තිබේ. හිසේ ඇම්මට කොට්ටය මාරු කරනවා මෙන් මේ තාවකාලික විසඳුම්වලින් කෙටිකාලීනව යම් සහනයක් සලසා ගත හැකි බව ඇත්තය. එහෙත් සංචාරක ආදායම් ද අහිමි වී ඇති නිසා අපට පියවීමට තිබෙන විදේශ ණය වගකීම් ඉතා බරපතළය. ඒ නිසා කෙටිකාලීන විසඳුම් හැර අපේ විදේශ විනිමය ප‍්‍රශ්නයට තවමත් සැලකිය යුතු ස්ථිරසාර විසඳුමක් රජය පැත්තෙන් හෝ මහ බැංකුව පැත්තෙන් රටට ප‍්‍රකාශයට පත් වී නැත. ඒ නිසා මහජනයා තුළත් කිසියම් අවිනිශ්චිත බවක් තිබේ. හදිසියේම මහ බැංකු අධිපතිවරයා වෙනස් වූයේ ද මේ නිසා විය හැකිය.

අද ආර්ථිකය ගැන පවතින අවිනිශ්චිත බව දුරු කර ආර්ථිකය මෙහෙයවන දිශානතිය ගැන මහජනයා තුළ විශ්වාසය ඇති කළ යුතුව තිබේ. එහෙත් කොවිඩ් වසංගතය සමග රටේ ආර්ථික ප‍්‍රශ්න උග‍්‍ර වී තිබුණත් ඒවාට ලබාදෙන විසඳුම් හෝ ඉදිරි කාලයේ ආර්ථිකය මෙහෙයවන පැහැදිලි දිශානතිය කුමක් ද යන්න ගැන පොදු ජනයා වෙත හෝ ආර්ථිකයේ ප‍්‍රධාන පාර්ශ්වකරුවන්ට නිශ්චිත පැහැදිලි කිරීමක් සිදු වූයේ නැත. උදාහරණයක් ලෙස මේ දිනවල කාගේත් අවධානය යොමුව ඇති අප මුහුණ දී සිටින බරපතළම ප‍්‍රශ්නය වන ඩොලර් හිඟය හමුවේ අප විසින් විදේශ ණය වගකීම් පියවන ආකාරය සහ ඒ සඳහා අප විදේශ විනිමය සොයා ගන්නේ කෙසේ ද යන්න ගැන පසුගිය කාලයේ රජයෙන් හෝ මහ බැංකුවෙන් නිශ්චිත පැහැදිලි කිරීමක් ලැබුණේ නැත. අයි.එම්.එෆ්. එකට යන්නේ නැති බව කියමින් සහ නොයෙකුත් කෙටිකාලීන විදෙස් විනිමය සොයා ගැනීමේ විසඳුම් ගැන කියමින් සිටියත් ඒ සම්බන්ධයෙන් ජනයාට පැහැදිලි විශ්වාසයක් ජනිත කිරීමට නිස්චිත යමක් සිදු වූයේ නැත. එය බලවත් අඩුපාඩුවකි. මේ පසුබිම තුළ නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය සැප්තැම්බර් 15 වැනිදා සිය කතාවේ දී විශේෂ දෙයක් කීවේය. එනම් ඔහු කීවේ සියලූ පාර්ශ්වකරුවන්ට අනුගමනය කළ හැකි කෙටිකාලීන පෙරදැක්මක ස්වරූපයේ ප‍්‍රතිපත්ති මාලාවක් හැකි ඉක්මනින් ප‍්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි. එසේම ආර්ථිකයේ පාර්ශ්වකරුවන් තුළ අනවශ්‍ය බිය දුරු වී අහිතකර අපේක්ෂා උත්සන්න නොවන්නේ එවිට බව ද ඔහු එහිදී සදහන් කළේය. මහ බැංකුව සමාන්‍යයෙන් සෑම වසරකම මුල, එම වර්ෂය සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප‍්‍රතිපත්ති පෙරදැක්මක් (Road Map) එළිදක්වනු ලබයි. නව මහ බැංකු අධිපති කබ්රාල් මහතාගේ නායකත්වයෙන් දැන් ඔක්තෝබර් 01 වැනිදා මේ එළිදැක්වීමට යන්නේ එවැනි කෙටිකාලීන පෙර දැක්මකි. ඒ සදහා මේ දිනවල ශ‍්‍රී ලංකා මහ බැංකුව, විශේෂයෙන් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව යුහුසුළුව කටයුතු කරමින් සිටියි. මෙවැනි පෙර දැක්මක් එළිදැක්වූ පමණින් සියලූ ආර්ථික ප‍්‍රශ්නවලට විසඳුම් නොලැබෙන නමුත් මෙවැනි පෙරදැක්මක් මගින් ආර්ථිකය ඉදිරියට මෙහෙයවන ආකාරය පිළිබඳ ඉලක්ක ප‍්‍රකාශයට පත්වීම තුළ පොදු ජනයා තුළත් ආර්ථිකයේ සෙසු පාර්ශ්වකරුවන් තුළත් කිසියම් විශ්වාසයක් ජනිත වනු ඇත. එය ආර්ථිකය පිළිබඳ මෙන්ම ආර්ථික අර්බුදය විසඳා ගැනීම සදහා අනුගමනය කරන වැඩපිළිවෙළ ගැන දැනට රට පවතින අවිනිශ්චිත බව දුරුවීමට හේතුවක් වනු ඇත. එවැනි දෙයක් මේ මොහොතේ ඉදිරිපත්වීම ඉතා වැදගත් වනු ඇති බව අපට ද කිව හැකිය.

පළමු වැනිදා සිට ආර්ථිකය අලුත් පාරකට... ආර්ථිකයට කෙටිකාලීන පෙරදැක්මක්

පසුගිය කාලයේ මෙන්ම තවමත් ආර්ථික කටයුතු ගැන බලවත් අවිනිශ්චිතතා පවතී. ඒ නිසා මහ බැංකුව කඩිනමින් එළිදක්වන මේ කෙටිකාලීන පෙරදැක්ම (මාර්ග සිතියම ) ආර්ථිකය ගැන දැනට පවතින බිය සැක දුරු කිරීමට සමත්වන සහ පවතින අහිතකර අපේක්ෂා දුරු කිරීමට සමත්වන මට්ටමේ එකක් විය යුතු බව මහ බැංකු අධිපති කබ්රාල් මහතාට අපි සිහිපත් කරමු. එය ප‍්‍රකාශයට පත් කිරීමට ඇත්තේ තවත් දින පහක් වැනි ඉතා කෙටි කාලයකි. ඒ ගැන අපි බලා සිටිමු. එම පෙරදැක්ම, ආර්ථිකයේ ඉදිරි ගමන්ම`ග ගැන කිසියම් පුරෝකතනයකි. එය එළිදැක්වූ පසු වඩාත් වැදගත් වන්නේ එහි සදහන් වන ඉලක්ක සහ එම ප‍්‍රතිපත්ති මාලාව ඒ අයුරින්ම අනුගමනය කරමින් එහි ඉලක්ක ඉටු කර ගැනීමට කටයුතු කිරීමයි. එසේම පවතින තත්ත්වයෙන් ආර්ථිකය ගොඩගැනීම සඳහා සියලූ දෙනාම ඒ සඳහා එක්ව කටයුතු කිරීමයි. ජනයා ඉතා අමාරුවෙන් සිටින අවස්ථාවේ මේ සඳහා මූලික වශයෙන්ම රජය පැත්තෙන් බලවත් ආදර්ශ ලබා දීම අවශ්‍ය වේ. අප මුහුණ දී සිටින ආර්ථික අර්බුදය එක්ව ජය ගැනීමට අනෙකුත් සියලූ දෙනාම සහාය ලබාදෙනු ඇත්තේ එවිටය. මේ නිසා මෙම පෙරදැක්ම නිරන්තර පසුවිපරමට සහ නව තත්ත්වයන් අනුව යාවත්කාලීන කිරීම්වලට ද ලක් කරමින් එම රාමුව තුළ ආර්ථික කටයුතු මෙහෙයවීමට රජය, මහ බැංකුව ඇතුළු පාර්ශ්වකරුවන් ඉතා දැඩි කැපවීමකින් උත්සාහ ගත යුතු වේ. මහ බැංකුව ඔක්තෝබර් 01 වැනිදා එළිදක්වන පෙරදැක්ම මගින් ඇති කරන විශ්වාසය අඛණ්ඩව රැකගෙන සියලූ දෙනාගේ සහාය ඒ සදහා ලබාගත හැක්කේ එවිටය.

කොවිඩ් වසංගතය නිසා ඇත්තවශයෙන්ම සිදුව ඇත්තේ අපේ පැවැති ආර්ථික ප‍්‍රශ්න වඩාත් උග‍්‍ර වීමයි. අප කොවිඩ්වලට පෙර සිටම කලක් තිස්සේම විදේශ විනිමය අර්බුදයකට සහ රාජ්‍ය මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටියෙමු. ඒ නිසා මේ සියලූ ප‍්‍රශ්න කොවිඩ් නිසා ඇතිවූ ඒවා නොවන බව ද අප අමතක නොකළ යුතු වේ. එසේම රජය කළ යුතු වන්නේ මේ මොහොතේ අප මුහුණ දී සිටින ආර්ථික අර්බුදය තේරුම් ගෙන ඒ ගැන මහජනයාට ඇත්ත පවසා අවශ්‍ය නිසි පියවර ගැනීමයි. ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු කියන පරිදි නම් ආණ්ඩුවට කිසිම ප‍්‍රශ්නයක් නැත. ආණ්ඩුවට ඕනෑ තරම් මුදල් තිබේ. එහෙත් ඇත්ත එය නොවේ. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී පවතින ආර්ථික තත්ත්වය ගැන ඇත්ත ප‍්‍රකාශ කළේය. ඒ ගැන අපි සතුටු වෙමු. කොවිඩ් තත්ත්වය හේතුවෙන් රජයට රුපියල් බිලියන 1,500-1,600 අතර ආර්ථික පාඩුවක් සිදු වී ඇති බවත් ඔහු කියා සිටියේය. එම කතාවේ දී රජය බරපතළ ආර්ථික අභියෝගයකට මුහුණ දී සිටින බව මුදල් අමාත්‍යවරයා පිළිගත්තේය. ඔහු එහිදී විපක්ෂයේ සහය ද ඉල්ලා සිටියේය. සියල්ල තමන් දන්නවා යැයි කියමින් අපි තමයි හොඳටම කළේ යැයි සිතමින් කටයුතු කරනවාට වඩා වැදගත් වන්නේ සියලූ දෙනාගේම සහාය ගෙන මේ ආර්ථික විපත එක්ව ජය ගැනීමට කටයුතු කිරීමයි. විපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද විපක්ෂය රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව පැවසීය. එය ද හොඳ දෙයකි.
හැම දෙයම දේශපාලන පාට කණ්ණාඩියෙන් බලා විවේචනය කරනවා වෙනුවට විපක්ෂයට ලබා දිය හැකි සහාය ලබාදීම හොඳ දෙයකි. එහෙත් විපක්ෂය අනිවාර්යයෙන්ම රජය කටයුතු කරන ආකාරයේ පවතින් ගැටලූ සහ අඩුපාඩු විවේචනය කළ යුතුමය. එය ද රජයේ වැරදි හදා ගනිමින් රජයේ ක‍්‍රියාමාර්ග නිවැරදි මාර්ගයට ගැනීමට හේතුවක් වනු ඇත. එසේ වුවත් අප සිතන්නේ කොවිඩ් වසංගතය හමුවේ සියලූ දෙනාම ගත කරන්නේ ඉතා අමාරු කාලයක් බවයි. ඒ නිසා මෙය දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කිරීමට සුදුසු කාලයක් නොවේ. දෙපාර්ශ්වයම වර්තමාන ආර්ථික අභියෝග හමුවේ දේශපාලන අරමුණු පසෙකලා රට වෙනුවෙන් එක්ව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතුය. පසුව දෙපසට වී මැතිවරණ සමයේ තම දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කළ හැකිය. ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය කටයුතු කරන ආකාරයක් ද පෙනේ. ඇතැම් විදෙස් මාධ්‍ය ඒ අනුව පවසා තිබුණේ ශ‍්‍රී ලංකාවේ බලවත් ආහාර හිඟයක් ඇතිවී රටේ ආර්ථිකමය වශයෙන් හදිසි තත්ත්වයක් (economic emergency) රටේ ප‍්‍රකාශයට පත්කර ඇති බවකි. මේවා නිවැරදි කර නිවැරදි තත්ත්වය ලෝකයට පැහැදිලි කිරීමට රජය පැත්තෙන් හෝ වැඩපිළිවෙළක් ඇති බවක් නොපෙනේ.

කොවිඩ් වසංගතය නිසා අප මුහුණ දෙන ගෝලීය ආර්ථික අභියෝග හමුවේ දේශීය ආර්ථික ක‍්‍රමෝපායික සැලසුම් සහ ඉලක්ක ජය ගත යුත්තේ කෙසේ ද යන ප‍්‍රශ්නය අද දිනයේ වඩාත්ම අවධානයට ලක්ව ඇති කරුණය. ඊට විසඳුම් දෙන ආකාරය ගැන රජයත් මහ බැංකුවත් ජනයාට විශ්වාසය ඇති කළ යුතු වේ. එහෙත් පසුගිය කාලයේ රජය ගත් ඇතැම් තීන්දු තීරණ ගැටලූ සහගතය. කොවිඩ් වසංගතය පාලනය කිරීමට

අනුගමනය කළ පිළිවෙත ගැන මෙන්ම ආර්ථික කළමනාකරණය ගැන කටයුතු කළ ආකාරය ගැන ද බලවත් අඩුපාඩු තිබේ. 2020 වසරේ මාර්තු අග සිට ශ‍්‍රී ලංකාව ද කොවිඩ් වසංගතයට ගොදුරු විය. එතැන් සිට මේ දක්වා මුළු ලෝකයම පසුවන්නේ කොවිඩ් -19 වෛරසයට එරෙහිව විශාල සටනක නිරත වෙමිනි. සමස්තයක් ලෙස ලෝකයටත් ඒ ඒ රටවලටත් අඩු වැඩි වශයෙන් 2020 වසරේ දී අහිතකර ආර්ථික බලපෑම් සිදුව ඇති අතර 2021 වසර තුළ ද කොරෝනා විපතේ බලපෑම් තිබුණත් ඊට මුහුණ දෙමින් කොරෝනා මර්දන ක‍්‍රියාමාර්ග හමුවේ ලෝක ආර්ථිකය මෙන්ම අනෙකුත් රටවල් ද මේ විපතින් ක‍්‍රමයෙන් ගොඩ එමින් සිටී. වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා මුල සිට මූලික වශයෙන්ම කළ ප‍්‍රධාන දෙයක් නම් සංචරණය සීමා කිරීමයි. රට තුළ මෙන්ම රටවල් අතර ද මෙය සිදු වූ නිසා මේ වසංගත තත්ත්වයේ බරපතළම ප‍්‍රතිවිපාකයක් වූයේ ගෝලීය වශයෙන් සහ රටවල් අතර ඇති සම්බන්ධතාවල දුරස්ථභාවයක් ඇතිවීමයි. මේ තත්ත්වය ජාත්‍යන්තර වෙළෙඳාමට මෙන්ම සංචාරක කටයුතු සැලකිය යුතු ලෙස අකර්මණ්‍ය වීමට ද හේතුවක් විය. මේ නිසා මෙම කොරෝනා වසංගත කාලයේ අපට සියලූ දෙනාට දැකගැනීමට ලැබුණේ ලෝක ප‍්‍රජාව සහ රට රටවල් හදිසියේම එකිනෙකාගෙන් හුදෙකලා වූ ස්වභාවයකි. එය දැන් ක‍්‍රමයෙන් පහව යමින් තිබේ. එන්නත්කරණය ද ඒ සඳහා විශාල වශයෙන් හේතු වී තිබේ.

පසුගිය කාලයේ දිගින් දිගටම වාර්තා වන කොරෝනා මරණ ගණන දිනපතාම අලූත් වූ අතර, ලෝකයේ අතිවිශාල ජනතාවක් කොවිඩ් ආසාදිතයන් බවට පත්වූහ. එම දත්ත නිරන්තරයෙන්ම යාවත්කාලීන වෙමින් වර්ධනය වෙමින් තිබිණි. සෑම රටකම පාහේ ඉහළ පෙළේ රජයේ නිලධාරීන්, වෛද්‍ය වෘත්තිකයන්, මහජන සේවා සහ ආරක්ෂක අංශ විවිධ සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රම මගින් වෛරසයේ බලපෑම පාලනය කිරීමට දිගින් දිගටම කටයුතු කළේය. ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ කැපවීම ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. මේ වසංගතය පාලනය කිරීමේ නොයෙකුත් ප‍්‍රතිකර්ම ගැන බොහෝ කතාබහට ලක්ව තිබුණත් අවසානයේ පොදුවේ ලෝකයේ බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත්තේ කොවිඩ්වලට එරෙහි එන්නත්කරණයයි. ඒ නිසාම එන්නත් මිලදී ගැනීම සදහා විශාල ඉල්ලූමක් ජනිත විය. මේ නිසා එන්නත් නිෂ්පාදකයන්, නිෂ්පාදනය හා බෙදාහැරීම වැඩි කිරීමට මහත් පරිශ‍්‍රමයක් දරන ලදී. සාමාන්‍ය ජන ජීවිතය සහ ව්‍යාපාරික කටයුතු නැවතත් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කර ගැනීම උදෙසා එන්නත ලබා

ගැනීමට ලෝකයේ සෑම රටක්ම පාහේ බලා සිටි අතර ඒ හමුවේ එන්නත්කරණය කිරීමේ යම් යම් ප‍්‍රමාදයන් අප රටේ ද සිදු වූ බව රහසක් නොවේ. කෙසේ හෝ නොයෙකුත් අභියෝග මධ්‍යයේ අපේ රට ද සීග‍්‍රයෙන් එන්නත්කරණය සිදු කළේය. මේ නිසා මෙන්ම අනෙකුත් කොරෝනා මර්දන ක‍්‍රියාමාර්ග සහ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම නිසා කොවිඩ් මරණ සහ ආසාදිතයන් වාර්තාවීම ක‍්‍රමයෙන් අඩු වෙමින් තිබේ. මේ නිසා එළැඹෙන ඔක්තෝබර් මාසය රටට උදාවනු ඇත්තේ ආර්ථික කටයුතු වඩාත් පණගන්වා ගැනීමට ඉඩ සැලසෙන හොඳ කාලයක් ලෙස බව අපගේ විශ්වාසයයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment