ප්‍රාදේශීය සභා 85ක් නගර සභා බවට පත් කිරීමට ඉල්ලීම් ලැබිලා
පළාත් පාලන මැතිවරණය සඳහා සීමා නිර්ණය කිරීමේදී මන්ත්‍රීවරු සංඛ්‍යාව අඩුකිරීම සිදුකළද කිසිදු ජන කොට්ඨාසයකට අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බවත්, සියලු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුව සමග සාකච්ඡා නොකොට අවසන් තීරණයන්ට එළඹෙන්නේ නැති බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහතික විය.
තරුණ සහ කාන්තා නියෝජනයට සාධාරණයක් වන පරිදි මෙම කටයුතු සිදුවිය යුතු බවද ඔහු පැවසීය.
07 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ සභාපතිත්වය දරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර සහ ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත යන මහත්වරු ඇතුළු රාජ්‍ය ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2023 පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා බාරදුන් රාජ්‍ය සේවකයන්ට මැතිවරණය ප්‍රමාදවීම නිසා මුහුණපාන්නට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳ මෙහිදී අවධානය යොමු විය. ඔවුන් සඳහා වැටුප් ගෙවිය යුතු බවට චක්‍රලේඛනයක් නිකුත් කර තිබියදීත් ඇතැම් ආයතනවල එම කටයුතු නිසි පරිදි සිදු නොවන බවටත් මෙහිදී සාකච්ඡා විය. එසේම ඇතිවී ඇති තත්ත්වය අනුව තාවකාලික අනුයුක්ත කිරීම් සිදු කිරීමේදී මෙම සේවකයන්ට විශාල අපහසුතාවන්ට පත්වීමට සිදුව ඇති බවත් මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ. මෙහිදී ළඟම ආයතනයට අනියුක්ත කිරීම් සිදුකීරීමට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවද රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අගමැතිවරයා උපදෙස් දුන්නේය.
මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධනය ගෙනඒමට පියවර ගන්නා ලෙස ද මන්ත්‍රීවරුන් විසින් මෙහිදී ඉල්ලීමක් කරන ලදී. නොඑසේ නම් පාර්ලිමේන්තුව මගින් නාමයෝජනා අහෝසි කිරීම සඳහා යෝජනාවක් සම්මත කිරීම සඳහා වන යෝජනාවක් ද මෙහිදී ඉදිරිපත් විය.
ක්ෂේත්‍ර නිලධාරීන්ට තම මැතිවරණ බල ප්‍රදේශය තුළ ඡන්දය ඉල්ලීමට පවතින බාධා ඉවත් කිරීම සඳහා සකස් කළ පනත් කෙටුම්පතෙහි කටයුතු පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය. ඒ අනුව පනත් කෙටුම්පත නීතිපති උපදෙස් සඳහා යොමුකර ඇති බවත් නිලධාරීහු පැවසූහ. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගෙන පනත් කෙටුම්පතෙහි කටයුතු අවසන් කිරීමට අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන් යටතේ මේ වන විට පළාත් පාලන ආයතන පාලනය වන බැවින් මහජනතාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා මැදිහත් වීමේ අවශ්‍යතාව මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් හරහා මහජන ගැටලු විසඳීමේ කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදීමට පියවරගන්නා බව රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා මෙහිදී පැවසීය.
පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ට නිසිපරිදි මාරුවීම් ලබා නොදීම පිළිබදවත් මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලු පරිපාලන නිලධාරීන්ගේ මාරුවීම් නිසිපරිදි සිදුකළ යුතු බවට ද අගමැතිවරයා අවධාරණය කළේය.
වේයන්ගොඩ ප්‍රාදේශීය සභාව ඇතුළු ප්‍රාදේශීය සභා නගරසභා බවට පත්කිරීමේ කටයුතු පිළිබඳව ද මෙහිදී අගමැතිවරයාගේ අවධානය යොමුවිය. මෙවැනි ඉල්ලීම් 85 ක් මේ වන විට පවතින බවත් හෙළිවිය. ඒ අනුව එම කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය උපදෙස් අග්‍රාමාත්‍යවරයා විසින් ලබා දෙන ලදී.
තිස්සමහාරාම හිටපු ප්‍රාදේශීය ලේකම්වරිය මාධ්‍යයට පවසා ඇති කරුණු සම්බන්ධයෙන්ධයෙන්ද මෙහිදී කරුණු සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක ව වාර්තාවක් කැඳවූ බවත් පෞද්ගලික හේතුවක් මත කැමැත්තෙන් ස්ථාන මාරුවක් ඉල්ලා ඇති බවට ලිපියක් ද ලැබුණු බවත් අනාවරණය විය. මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීම සාධාරණ නොවන බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන