ප්‍රංශ ජනපති පාර්ලිමේන්තුව විසුරුවයි

173

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් විසින් එරට පාර්ලිමේන්තුවේ පහළ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැර හදිසි මහා මැතිවරණයක් කැඳවා තිබේ. පෙරේදා (09දා) පැවති යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රංශ ජනපතිගේ රෙනයිසන්ස් පක්ෂය ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික පක්ෂයට පරාජය වීම හේතුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයා මෙසේ එරට පාර්ලිමේන්තුව විසිරුවා හැර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ අනුව ප්‍රංශ පාර්ලිමේන්තුවේ පහළ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට අලුතින් නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන මහ මැතිවරණය අදියර දෙකකින් පැවැත්වීමට නියමිතව ඇති අතර එහි පළමු අදියර මෙම ජුනි 30 දා පැවැත්වීමටත් දෙවැනි අදියර ජුලි 07 දා පැවැත්වීමටත් තීරණය වී තිබේ.

පෙරේදා පැවති යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික පක්ෂය සියයට 32 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබූ අතර ජනාධිපති මැක්රෝන්ගේ රෙනයිසන්ස් පක්ෂයට ලැබී තිබුණේ සියයට 15ක ඡන්ද ප්‍රතිශතයකි.

මෙවර යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ප්‍රංශ ජනාධිපති මැක්රෝන් පවසා ඇත්තේ එම මැතිවරණය යුරෝපය ආරක්ෂා කළ පක්ෂවලට හොඳ ප්‍රතිඵල ලබා දී නොමැති බවයි. ප්‍රංශ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය ආසන 577 කින් සමන්විත වන අතර එහි බහුතර බලය හිමි කරගැනීම සඳහා ආසන 289 ක් ලබාගත යුතුය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment