ප්‍රකාශදීමට සීඅයිඩියට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් ඩේසී ආච්චිට ඇප

273

අවුරුදු 93ක් වන ඇයට අධිකරණය මඟහැර යෑමේ කිසිදු අවශ්‍යතාවක් නෑ – විත්තියේ නීතිඥවරු
වසර 10කට පමණ පෙර සිද්ධියක් නඩුවට පාදක වෙලා

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ විමර්ශන අනුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ඩේසි ෆොරෙස්ට් වික්‍රමසිංහ මහත්මිය රුපියල් ලක්‍ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (05දා) පස්වරුවේ නියෝග කළාය.

එම ඇපකරුවන් දෙදෙනා සැකකාරියගේ සමීප ඥාතීන් විය යුතු බවට ද මහෙස්ත්‍රාත්වරිය කොන්දේසියක් පනවනු ලැබුවාය. රුපියල් මිලියන 59කට අධික මුදලක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපති උපදෙස් මත සිදුකරන විමර්ශන සඳහා ප්‍රකාශ ලබාදීමට ඩේසි ෆොරෙස්ට් වික්‍රමසිංහ මහත්මිය ඊයේ (05දා) උදෑසන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි. පැය කීපයක් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇයව අත්අඩංගුවට ගෙන ඊයේ (05දා) පස්වරු 3.20ට පමණ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය සේවාදායිකාව ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර මහාධිකරණය හමුවේ මේ වනවිටත් නඩු පවරා ඇති බවත් එලෙස මහාධිකරණය හමුවේ නඩු පවරා තිබියදීත් මෙලෙස අත්අඩංගුවට ගැනීම යුක්තිසහගත නොවන බවත් පෙන්වා දෙමින් එම සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම ඇප නියෝගය කළාය. සිය සේවාදායිකාවට අධිකරණය විසින් විදේශගතවීම වළක්වමින් නියෝගයක් ද නිකුත් කර ඇති බැවින් ඇය අධිකරණය මඟහැර යෑමක් අපේක්‍ෂා කළ නොහැකි බවත් විදේශ ගමන් තහනමක් තිබුණත් නැතත් වයස අවුරුදු 93ක් වන ඇයට අධිකරණය මඟහැර යෑමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් විත්තියේ නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.

මෙයට වසර 10කට පමණ පෙර සී.එස්.එන්. නාළිකාව සම්බන්ධයෙන් මෙම නඩුවට පාදක වූ සිද්ධිය පිළිබඳව පොදු දේපළ පනත යටතේ විමර්ශන සිදුකළ බවත් මෑතකදී එකී විමර්ශන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ආරම්භ කොට ඇති බවත් සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් තෙන්නකෝන් හා නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත යන මහත්වරු අධිකරණයට පැවසූහ. විත්තියේ නීතිඥවරුන් කළ ඇප ඉල්ලීමට විමර්ශන නිලධාරීන් විරුද්ධත්වයක් නොදැක්වූහ.

කෙසේ වෙතත් සැකකාරිය රැගෙන පැමිණි වාහනය අධිකරණ භූමිය තුළට ඇතුළත් කර ඇයව අධිකරණයට රැගෙන යන අයුරු අධිකරණය අසල රැඳී සිටි මාධ්‍යවේදීන්ගේ කැමරා කාචවල සටහන් කර ගැනීමට නොහැකි වන ආකාරයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කළ බවද දක්නට ලැබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක සහ කඩුවෙල – සුගත් ප්‍රේමතිලක


advertistmentadvertistment