ප්‍රජාතන්ත්‍රවාදයේ උල්පත් වසන ආණ්ඩුවේ හදිසි නීතිය !

86

ජනාධිපති කාර්යාල පරිශ්‍රය ආසන්නයේ රැඳී සිටි ගාලුමුවදොර අරගලකරුවන් ඉන් ඉවත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දියත් කරන ලද නිර්දය හමුදා මෙහෙයුමට දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තරවද දැඩි විවේචන දෝෂාරෝපණ එල්ල වුවද ආණ්ඩුවට පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයකින් හදිසි නීතිය සම්මත කර ගැනීමට හැකිවීම එක්තරා ජයග්‍රහණයක් වැන්න. ස.ජ.බ, ජ. වි. පෙ. ප්‍රමුඛ විපක්‍ෂය මෙන්ම පොහොට්ටුවේ සභාපති ජී. ඇල්., භාණ්ඩාගාරික ඩලස් ඇතුළු කීප දෙනෙක්ම එයට විරුද්ධව ඡන්දය දීමද කැපී පෙනුණි. එහෙත් ආණ්ඩුවට තමන්ට ලැබුණු වැඩි ඡන්ද මත උද්දාමයට පත්වීමට ඉඩක් නැත. නිසැකයෙන්ම එය පොහොට්ටුවේ ඔලුගෙඩි සංඛ්‍යාව අනුව ලැබුණු ජයකි. එසේම එමගින් දැන් තිබෙන සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදවලට විසඳුම් ලැබේ යැයි සිතීමටද නොහැක. හදිසි නීති විවාදයේදී ආණ්ඩුවට ඡන්ද 120 කුත් විපක්‍ෂයට ඡන්ද 63 කුත් ලැබීම මත පදනම්ව ඡන්ද ප්‍රතිඵලය පිළිබඳ කිසිවෙක් උද්දාමයට පත්වන්නේ නම් හෝ එමගින් වර්තමාන දේශපාලන හැසිරීම ගැන නිගමනයකට එන්නේ නම් එය ඉමහත් මුළාවකි. නිසැකයෙන්ම අද තිබෙන දේශපාලනය අතිශය සංකීර්ණ වූවකි. එහි අවිනිශ්චිත අඳුර සමාජ ආර්ථික ක්‍ෂෙත්‍ර සියල්ලම වසාගත් බිහිසුණු එකක් බවද අපගේ අදහසයි. දැනටමත් සමහරු ජනාධිපති රනිල් හා ඉවත්වූ ජනාධිපති ගෝඨාභය සසඳමින් ඒ ඡන්ද ප්‍රතිඵලය හුවා දැක්වීමට තරම් නොමඟ ගොස් සිටිති.

හදිසි නීති විවාදයට එක්වු විපක්‍ෂයේ විවේචනවල හරය වූයේ එමගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරකට මැදිවී තිබෙන බවය. නීතිය හා ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීම සඳහා හදිසි නීතිය යොදා ගනු ලබන ඕනෑම පාලනයකදී බොහෝ විට සිදු වන්නේ දේශපාලන සතුරන් හා රජයේ විරුද්ධවාදීන් මර්දනයට ලක් කිරීම බව සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් කරනු ලබන ප්‍රබල අවධාරණයකි. පොහොට්ටුවේ ආරම්භක සභාපති ලෙස මෙන්ම නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු වන තමන්ට කිසිසේත් ආණ්ඩුවේ හදිසි නීතියට එකඟ නොවිය හැකි බව ජී. ඇල්. පීරිස් මාධ්‍ය හමුවකදී පැවසීය. එය ප්‍රජාතන්ත්‍රවාදයේ උල්පත් වසා දමන මානව හිමිකම්වලට හා මනුෂ්‍යත්වයේ අයිතිය නිෂ්ක්‍රීය කරන බිහිසුණු එකක් බවද ඔහුගේ අවධාරණය විය. පුදුම උත්ප්‍රාසනීය සිදුවීමක් වන්නේ පොහොට්ටුවේ සභාපති හා භාණ්ඩාගාරික සෘජුවම මෙම ආණ්ඩුවේ ප්‍රතිචාර අනුමත නොකිරීමය.

ප්‍රජාතන්ත්‍රවාදයේ උල්පත් වසන ආණ්ඩුවේ හදිසි නීතිය !

ශ්‍රී. ල. නි. පය ඇතුළු මන්ත්‍රීවරුන් 41 දෙනෙක්ම මෙම හදිසි නීතියට පක්‍ෂව හෝ විපක්‍ෂව ඡන්දය ප්‍රකාශ නොකළහ. එහි තේරුම මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තිබෙන බලය ස්ථාවර එකක් නොවන බවය. ශ්‍රී. ල. නි. ප සභාපති මෛත්‍රීට අනුව මේ ආණ්ඩුව සර්ව පාක්ෂික යෝජනාව ගැන උනන්දුවක් නැත. එසේම එහි ගමන ගැටලු සහගත බවද ඔහු දක්වයි. පසුගිය දිනක ෆිච් රේටින්ස් :ත්‍සඑජය ඍ්එසබටි) ආයතනය සඳහන් කළේත් මේ ආණ්ඩුවට මහජන විරෝධයක් එල්ල වී තිබෙන බවය.

කෙසේ වුවද ආණ්ඩුව හදිසි නීතිය භාවිත කරමින් ප්‍රජාතන්ත්‍රවාදය මතින් ලිස්සායෑමට කල්පනා නොකළ යුතුය. එසේම නීතිය උල්ලංඝනය කිරීම, මහජන නිදහසට බාධාවන හැසිරීම් හා ප්‍රචණ්ඩත්වය ද අප කිසිවෙකුට අනුමත කළ නොහැකිය. එහෙත් ආණ්ඩුව සූදානම් වන්නේ නීතියෙහි හා මහජනතාවගේ ආරක්‍ෂාව ඉදිරියට දමමින් තමන්ට එරෙහිව තිබෙන මතවාද බලවේග, විරෝධතා ආදිය මර්දනය කිරීමට නම් එයද අපට අනුමත කළ නොහැකිය.

ජනාධිපති රනිල් දැනටමත් එබඳු මර්දනකාරී යාන්ත්‍රණයක් කෙරෙහි උනන්දු වන බවට විවේචන හා චෝදනා පවා නැගී තිබේ. මේ ආණ්ඩුවේම සමහරුන්ගේ ප්‍රකාශවලින් ගම්‍ය වන්නේද මෙම ගාලුමුවදොර විරෝධතාව මර්දනය කළ යුතු බවය. සමහරු මෙයට ත්‍රස්තවාදී ලේබලය ඇලවීමට තරම් එඩිතර වී සිටිති. ඉවත්ව ගිය ජනාධිපති ගෝඨාභයගේ ලිහිල් ක්‍රියාවන් නිසා මෙම විරෝධතාව වර්ධනය වූ බව පවසන මන්ත්‍රීවරුද සිටිති.

ගෝඨාගම විරෝධතා භූමියෙහි සිටි අරගලකරුවන්ට පහරදීම පිළිබඳ චූදිතයකු වන අධිකරණ ඇපයක් මත නිදහස්ව සිටින එක් පොහොට්ටු මන්ත්‍රීවරයෙක් විසින් මෙම විරෝධතාකරුවන්ට දැඩි දෝෂාරෝපණයක්ද කර තිබේ. ඔහුට මෙම අරගලකරුවන් පිළිබඳ බරපතළ විරසකයකට සාධාරණ කරුණු තිබේ. ගෝඨාගෝගම ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස එල්ලවූ විරෝධතාවට ඔහුද හසු වූවෙකි. ඔහුගේ නිවසද ගිනි තැබුණි. එනිසා ඔහුගේ මනස අපට තේරුම් ගත හැකිය. එහෙත් ඒ ප්‍රහාර දියත් කළෝ කවරහුද? ඔව්හු එම විරෝධතා ව්‍යාපාරයෙහි හවුල්කරුවෝද යන්නත් තවම හෙළිවී නැත. කුමක් වුවත් එබඳු ප්‍රචණ්ඩත්වයක් අපට අනුමත කළ නොහැක.

ජුලි 9 වැනිදා මෙරටේ සිදුවූ ඓතිහාසික පිබිදීම ප්‍රබල දේශපාලන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස දැනටමත් පිළිගැනීමට ලක් වූවකි. එබඳු සංසිද්ධියක් ලඝු කිරීම, පටු දේශපාලන මානසිකත්වයක් මෙන්ම පවත්නා ක්‍රමය රැකගැනීමේ වහල් බවක් ලෙස හැඳින්විය හැකිය. අද එම මහජන පිබිදීම ත්‍රස්තවාදයක් ලෙස හැඳින්වීමට දරණ ප්‍රයත්නයද පැහැදිලිය. එම විරෝධතාවට එක්වූ අනුබල දුන් අය මර්දනය කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසන බව සජබ මෙන්ම ජවිපෙද චෝදනා කරයි. ඒ පාර්ලිමේන්තුව ඇතුළතය. ඉන් පිටත පෙරටුගාමී වැනි පක්‍ෂයත් වෘත්තීය සංවිධාන නීතීඥ කණ්ඩායම් හා සිවිල් ක්‍රියාකාරීහුද ඒ චෝදනාව නගති. ඔවුන් ජනාධිපති රනිල්ට සෘජුවම චෝදනා කරමින් පවසන්නේ විරෝධතා ව්‍යාපාරය හුදෙකලා කර එහි පාර්ශවකරුවන්ට දඬුවම් කිරීමේ මෙහෙයුමක් අරඹා තිබෙන බවය.

ඇත්ත වශයෙන්ම මෙම විරෝධතාව ඉකුත් පෙබරවාරියේදී පමණ මතු වූ ජනතා පීඩනයේ ප්‍රකාශනයකි. එය ගාලුමුවදොරට පැතිර ගොස් තරුණ බලවේගයක් ලෙස ස්ථාවර වූවකි. ජවිපෙ හා පෙරටුගාමී පක්‍ෂය හා බැඳුණු සංවිධාන එහි ක්‍රියාකාරීව තිබුණත් එය නිර්පාක්‍ෂික විරෝධතා ව්‍යාපාරයක් විය. එය ශක්තිමත්ව ගලා යද්දී මැයි 9 වැනිදා අරලියගහ මැඳුරෙන් ඇරඹුණු ප්‍රහාරය නිසා එයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ගිනි තැබීම්ද සිදු විය. ජූලි 9 විරෝධතාව මෙරටේ සමාජ දේශපාලන විප්ලවයක අභිනව ආරම්භයක් බවට පත්වූයේ ඒ සඳහා ලැබුණු මහජන සහාය හා විවිධ වෘත්තිකයන්ගේ අනුග්‍රහයන්ද නිසාය. හදිසි නීති විවාදයේදී ආණ්ඩු පාර්ශවයෙන් චෝදනාවක් නැගුනේ නීතීඥයන් එයට දෙන ලද සහාය අනිසි විපාකවලටද හේතු වූ බව සඳහන් කරමින්ය.

කුමක් වුවත් මෙම සාමකාමී විරෝධතාව ආදරයේ අරගලයක් ලෙස පවත්වා ගෙන යෑමට එහි නායකයන්ට නොහැකි වූ බවද පිළිගත යුතුය. විශේෂයෙන් දැනටමත් අත්අඩංගුවට පත්ව සිටින ඇතැම් අයගේ ප්‍රතිචාර පිළිබඳව සමාජ විවේචනද එල්ල වී තිබේ. ජනාධිපති මන්දිරය එම කාර්යාලය හා අරලියගහ මැඳුර සම්බන්ධයෙන් මේ වනවිටත් රටට පෙන්වා තිබෙන චිත්‍රය කිසිසේත් අරගලයේ සාමකාමී තේමාවට දැඩි හානිදායකය. හිටපු ජනාධිපතිගේ කොඩිය සරමකට ඇඳගත් අයෙකුගේ රූප රාමුව අතිශය මෝඩ ක්‍රියාවක නිහීනත්වය ප්‍රදර්ශනය කිරීමකි. එබඳුම ලාබ වීරත්වයක් දැක ගත හැකි වූයේ ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් කඩා වැදුනු මෝඩ දර්ශනයෙනි. එම ක්‍රියාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ ධනිෂ් අලිගේ භූමිකාව කුමක්ද යන්න අපැහැදිලි වුවද ඔහු අත්අඩංගුවට ගත් ආකාරය ගැනද විවේචන තිබේ. අධිකරණයට අවශ්‍යව සිටි ඔහුට ගුවන් යානය දක්වා ගමන් කළ හැකි වූයේ කාගේ අනුග්‍රහයකින් හෝ අදාළ අංශවල දුබලතා නිසාද යන්නත් ගැටලුවකි.

කෙසේ හෝ මේ වනවිට එම අරගලයට අදාළව අත්අඩංගුවට ගැනීම් මෙන්ම පුද්ගලයන් ලුහුබැඳීම්ද සිදුවෙමින් තිබේ. ජනාධිපති රනිල් අරගලයට හා සාමකාමී විරෝධය අනුමත කරන පසුබිමක මේ ක්‍රියාකාරකම්ද සිදුවේ. එහෙත් මේ තරුණ අරගලය පිළිබඳ මානුෂවාදී ප්‍රබුද්ධ කියවීමක් ආණ්ඩුවට තිබේද? නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමට හිටපු ජනාධිපති ගෝඨාභය ද වගකිව යුතුය. අද රටම වෙලාගත් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගෝඨාභයටද අධිකරණයට යෑමට සිදුව තිබේ. අක්‍රමවත් මුල්‍ය කළමනාකරණ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබෙන එම නඩුවේ ඔහුගේ සහෝදර මහින්ද හා බැසිල්ද වගඋත්තරකරුවෝ බවට පත්ව සිටිති. කුමක් වුවත් දැන් මාස ගණනක් තිස්සේ උඩු දුවමින් තිබෙන ආර්ථික අර්බුදයට විසඳුමක් තබා සහනයක්වත් පේනතෙක් මානයක නැත.

පසුගිය අප්‍රේල් මාසයේදී පමණ රටම විනාශයට රැගෙන ගිය ඉන්ධන අර්බුදය ඇතිවිණි. ඇත්ත වශයෙන්ම ජනාධිපති රනිල්ට අගමැති ධුරය හා මුදල් ඇමැති ධුරයද ලබා දුන්නේත් එයට විසඳුමක් සෙවීමටය. එහෙත් ඔහුට අගනා දේශපාලන ප්‍රතිලාභ හිමිවීම හැර මෙතෙක් ජනතාවට ලැබුණු සහනයක් නම් නැත. වසර හතරකට නොඅඩු දේශපාලන භූමිකාවන්ට හිමිකම් කියන රනිල් හා දිනේෂ් සුසංයෝගයට මෙරටේ තිබෙන සංකීර්ණ දේශපාලන අර්බුද සමනය කළ හැකිද? මේ සම්මුතිය ධනවාදයේ එක් අන්තයකට වමේ ව්‍යාපාරයේ ප්‍රබල දේශපාලන පෞරුෂයක් පෑස්සීමකි. එය බටහිර ධනවාදයට ශක්තිමත් නායකත්වයක් සමග ජාතික සංස්කෘතියක ජාතිකත්ව ප්‍රමුඛයෙක් එක් කිරීමක්ද වේ. එමෙන්ම එදා රනිල්ගේ මහ බැංකු ක්‍රියාකාරකම් නිර්දය ලෙස විවේචනය කළ දිනේෂ්ට (තවමත් ඒ විවේචන ඔහු ලුහුබඳිමින් තිබේ) අද රනිල් සමග එක්ව රටේ ආර්ථිකය ගොඩනැගීමේ ක්‍රියාදාමයටද නායකත්වය දීමට සිදුවීම උත්ප්‍රාසය දනවන්නකි. එහෙත් ඔවුන්ගේ ආර්ථික දේශපාලන මාර්ග සිතියම දෙස බොහෝ දෙනෙක් අවධානයෙන් බලා සිටිති. එසේ වුවත් තවමත් රට ගමන් කරන්නේ විනාශයේ දිශානතිය වෙතය.

අද රට මුහුණ දී සිටින සමාජ දේශපාලන ආර්ථික අර්බුදවලට ශීඝ්‍ර විසඳුම් වුවමනාය. ආණ්ඩුවම සඳහන් කර තිබෙන්නේ දරිද්‍රතාව උත්සන්න වී තිබෙන බවත් ඒ ඇති නැති පරතරය අඩු කළ යුතු බවත්ය. මහජනතාව දින ගණන් ඉන්ධන පෝලිම්වල කඹුරන බව ආණ්ඩුව හොඳින් දනී. ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමවේදය ගැන අද විශාල උනන්දුවක් තිබුණත් එයට හොඳම හා එකම විසඳුම රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් වන පරිදි ඉන්ධන සැපයීම බව අමුතුවෙන් කිව යුතු නැත. මේ අතරම රටට දේශපාලන ස්ථාවරත්වයක් ලැබෙන තෙක් ජාත්‍යන්තර වශයෙන් අපට පූර්ණ විශ්වාසය දිනා ගැනීමද අසීරු වනු ඇත.

ලංකාවට මෙතෙක් ප්‍රදානය කරන ලද විදේශ ආධාර මෙන්ම ණය හා ඇතැම් ව්‍යාපෘති පිළිබඳවද ජාත්‍යන්තර වශයෙන් ඇත්තේ යහපත් චිත්‍රයක් නොවේ. ඒවා ඇතැම් පුද්ගල ගිණුම්වලට බැර වු බවට චෝදනා තිබේ. අලුත් ආර්ථික වැඩපිළිවෙළක් වහාම ප්‍රකාශයට පත් කළ යුතු අතර ඒ සඳහා ප්‍රාමාණික විද්වත් කමිටුවක සහායද අවශ්‍ය වේ. ගෝඨාභයගේ වැරදි ආර්ථික කළමනාකරණය සම්පූර්ණයෙන්ම නිවැරදි විය යුතු ද වේ. ලංකාව දැනට සිටින්නේ ලෝක බැංකුවෙන් සකසනු ලබන ව්‍යාපාර කිරීමේ පහසුව මනින දර්ශකයෙහි 99 වෙනි ස්ථානයේ බවද කියති. ඒ රටවල් 190 ක් අතරිනි. එය කිසිසේත් යහපත් වාර්තාවක්ද නොවේ.

මේ සියල්ලටම අමතරව ඉකුත් ජුලි 09 වැනිදා මහජන අරගලයේ අපේක්ෂාව වූ පවතින දේශපාලන විකෘතිය වෙනස් කිරීම මෙන්ම අභිනව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය කෙරෙහිද ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුය. විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම ක්‍ෂණිකව කළ නොහැකි වුවද එහි ප්‍රථම පියවර ලෙස එම ධුරයේ බලය පාර්ලිමේන්තුවට පැවරීම අප්‍රමාදව සිදුවිය යුතුය. එම ව්‍යවස්ථා සංශෝධනය තරුණ විරෝධතාකරුවන්ගේද ප්‍රබල ඉල්ලීමකි. දැනට බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට ලක් වී තිබෙන සර්ව පාක්‍ෂික ආණ්ඩුව සීමිත කාලසීමාවකට අදාළව පිහිටුවා ගැනීමද සමාජ දේශපාලන ක්‍ෂෙත්‍රවල මූලික යෝජනාවකි. මේ උග්‍ර ආර්ථික අර්බුදයට සරිලන ඉතා කුඩා ඇමැති මණ්ඩලයක් පත් කර ගැනීමද වැදගත් හා ජනතා අපේක්‍ෂාවකි. එසේ නොමැතිව එජාප නායකයකු ජනාධිපති ලෙසත් පොහොට්ටුවේම පිරිසක් ඇමැති රාජ්‍ය ඇමැති ලෙස පත්කර ගෙන බිඳ වැටුණු දේශපාලන කඳවුරම යළි ප්‍රතිසංස්කරණය කිරීමට හෝ වෙනත් අවස්ථාවාදී දේශපාලන ගැලවිජ්ජාවක් වෙත ඇදී යෑම හෝ දැඩි ප්‍රශ්නකාරී වන්නක් බවද ආණ්ඩුව වටහා ගත යුතුය. ඇත්ත වශයෙන්ම රටම එක්ව සිදු කළ මහජන විරෝධතාවක ප්‍රතිඵලය ලෙස රනිල් ජනාධිපතිවීමත් දිනේෂ් අගමැති වීමත් යළි පොහොට්ටුව රජවීමත් මේ සමාජ දේශපාලන අර්බුදයට කිසිසේත් විසඳුමක් නොවන බවද දැනටමත් බොහෝ විද්වත්හු පෙන්වා දෙති. ඔවුන්ගේ අදහස් මේ දේශපාලන විකෘතිය නොමැති අලුත් මහජනවරමක් ලබාගැනීම සඳහා මහමැතිවරණයක් පැවැත්විය යුතු බවය. ඇත්ත වශයෙන්ම අද තිබෙන්නේ ජනවරමක් නොමැති අච්චාරු ආණ්ඩුවකි. ලොව ප්‍රබල රටවල් හතක් නියෝජනය කරන ජී – 7 සමුළුව ඉල්ලා සිටින්නේද ජනමතය පිළිබිඹු වන ආණ්ඩුවකි.

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment