ප්‍රජාතන්ත්‍රවාදයේ නිරෝගීකමට මැතිවරණ අවශ්‍යයි

83

පසුගිය සැප්තැම්බර් 20 වැනිදා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති උපදේශන කමිටුව විසින් පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමේ තීරණයක් ඒකමතිකව සම්මත කළ විට, මැතිවරණ කොමිෂන් සභාව කනස්සල්ලට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබිණි. ඒ, මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් නිදහස් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මහා භාණ්ඩාගාරයෙන් දිගින් දිගටම කළ ඉල්ලීම් නොසළකා හැරීමෙන් අනතුරුවය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුව කල්පනා කරමින් සිටින බවට වූ පුවතක් නිසා මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ උනන්දුව හදිසියේ ඇති වී තිබේ. එම වාර්තා සම්බන්ධයෙන් පවතින කණස්සල්ල වන්නේ, ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට පළමු වටයේදීම ජනාධිපති ධුරයට පත්වීම සඳහා සියයට 50 සීමාව ලබා ගැනීමට නොහැකි බව ප්‍රදර්ශනය වීමය. පසුගිය මාසයේ අසල්වැසි මාලදිවයිනේ මෙය සිදු වූ අතර ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකු පළමු වටයේ දී සියයට 50 සීමාවට ළඟා නොවීය. 1982 වසරේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණයෙන් පසු පැවැති සෑම මැතිවරණයකදීම, ගණන් කිරීමේ පළමු වටයෙන්ම ජයග්‍රාහකයා තීරණය වී ඇත. ඒ අනුව දෙවැනි වටයකට යෑම නව අත්දැකීමක් වනු ඇත. එහෙත් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා, ගණන් කිරීමේ වට තුනකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන ලබාදී ඇති අතර කිසිවකු සියයට 50 සීමාවට නොපැමිණියේ නම් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත්කෙරේ.

මෙම ප්‍රශ්නකාරී තත්ත්වය මධ්‍යයේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට අමතරව මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමටද සැලසුම් කර තිබේ. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 160 දෙනකු මැතිවරණයෙන් තෝරා පත්කර ගැනීමට මැතිවරණ ප්‍රතිසංස්කරණ මඟින් අපේක්ෂා කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ආසන 225කින් යුත් පාර්ලිමේන්තුවකින් ඉතිරි මන්ත්‍රීවරුන් 65දෙනා සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ, ඡන්දදායකයන් සංඛ්‍යාව අනුව ජාතික ලැයිස්තුවෙන් සහ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් නියෝජනය කෙරේ. මෙම යෝජනා දෙකම සමාන ගැටලු ඉදිරිපත් කරයි. 2000 දී සහ 2015 දී සිදු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රමානුකූල ප්‍රයත්නවල කොටසක් ලෙස මෙන්ම, තනි තනිව සහ ඒකාබද්ධව හා තාවකාලික ක්‍රම මගින් මෙම යෝජනා අතීතයේ දී වරින්වර කරළියට ගෙනැවිත් ඇත. එහෙත් එම සෑම අවස්ථාවකදීම විවිධ දේශපාලන පක්ෂ සහ උනන්දුවක් දක්වන කණ්ඩායම්වල විරෝධතා හා අභියෝග එල්ල වූ අතර, මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඇනහිට ඇත.

යෝජිත ව්‍යවස්ථාමය උපක්‍රමයන් සාර්ථක වුවහොත්, ප්‍රතික්ෂේප කළ හැකි ප්‍රධාන මැතිවරණ දෙකක් මැතිවරණ දින දර්ශනයේ ආසන්න අනාගතයේ පවතී. ඉන් පළමුවැන්න 2024 ඔක්තෝබර් මාසයට පෙර පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයයි. දෙවැන්න 2025 අගෝස්තු මාසය වනවිට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයයි. ආණ්ඩුවට තිබෙන ප්‍රශ්නය වන්නේ, පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාලය දක්වා බලය පවත්වාගෙන යෑමට අවශ්‍ය වන ජනාධිපතිවරණයෙන් තම ජයග්‍රහණය තහවුරු කර ගැනීමයි. ජනාධිපතිවරණයෙන් පරාජය වුවහොත් ආණ්ඩුව ඉතා අවදානම් තත්ත්වයකට පත්වනු ඇත. වත්මන් පාර්ලිමේන්තුව 2025 අගෝස්තු දක්වා එහි පූර්ණ ධුර කාලය පවත්වා ගෙන යෑමට ඉඩ නොලැබී නව ජනාධිපතිවරයකු පත්වුවහොත්, වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මැතිවරණයකට යෑමේ ඉඩකඩ පවතී.

ආණ්ඩුවේ චකිතය

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහ මැතිවරණ ක්‍රමය කඩිමුඩියේ වෙනස් කිරීමට ඉදිරිපත් වන යෝජනා, ජලයට බැසීමට පෙර ගැඹුර පරීක්ෂා කර බැලීමේ ගවේෂණාත්මක සැලසුමක් ලෙස හඳුනාගත හැකිය. ආණ්ඩුවේ මෙම සැලසුමේ සහ එහි ක්‍රියාවලියේ වර්ධනය මෙතෙක් විනිවිදභාවයකින් අනාවරණය වී නොමැති අතර සමහර ප්‍රවෘත්ති, ජනමාධ්‍යවල වාර්තා කර ඇති කරුණුවලින් ඔබ්බට දැකගත හැක්කේ අල්ප වශයෙනි. කෙසේ වෙතත්, මැතිවරණ කොමිසම නැවත සක්‍රීය කිරීම ඔස්සේ, මිල අධික ජනමත විචාරණයක් හරහා ජනතාවගේ අදහස් දැන ගැනීමට සූදානම් වන බවට ඉඟි පළකරනු ලැබේ. මැතිවරණ කොමසාරිස් ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසා ඇත්තේ, දීර්ඝ කාලයක සිට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහතික කිරීමේ තවත් එක් ප්‍රයත්නයක් ලෙස මෙම නව පියවර ගෙන ඇති බවයි. මේ වනවිට රජයේ මූල්‍ය තත්ත්වය යහපත් වී ඇති බවත්, පළාත් පාලන මැතිවරණයට අදාළ ඇතැම් අධිකරණ තීන්දු ලබාදීමට නියමිත බවත් ආණ්ඩුව සැළකිල්ලට ගෙන ඇති බව ඔහු පවසයි.

පසුගිය සැප්තැම්බර් 20 වැනිදා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති උපදේශන කමිටුව විසින් පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමේ තීරණයක් ඒකමතිකව සම්මත කළ විට, මැතිවරණ කොමිෂන් සභාව කනස්සල්ලට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබිණි. ඒ, මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් නිදහස් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මහා භාණ්ඩාගාරයෙන් දිගින් දිගටම කළ ඉල්ලීම් නොසළකා හැරීමෙන් අනතුරුවය. රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන්, මැතිවරණ පැවැත්වීම සඳහා වියදම් කිරීමට ප්‍රමාණවත් මුදලක් රට සතුව නොමැතිවීම මැතිවරණ කල්දැමීමේ පදනම විය. පළාත් පාලන මැතිවරණය සඳහා ජාතික අයවැයෙන් වෙන්කළ මුදල් නිදහස් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව නොතකා හරිද්දී, ආණ්ඩුව මැතිවරණය නොපවත්වන බවට ගත් තීරණය සමගින්ද පියවරක් ඔබ්බට ගියේය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීම නිසා, ආර්ථිකය ගොඩගැනීමට උත්සාහ කරන මොහොතක ආණ්ඩුව ලැබීමට ඉඩ තිබූ පරාජයක් වළක්වාගත හැකිවිය.

නියමිත පරිදි යෙදී තිබූ සහ කල් ඉකුත් වූ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොතකා හැරීමට ආණ්ඩුව ගත් තීරණයෙන් පෙන්නුම් කරන්නේ, අවගමනයට ගමන් කරන ප්‍රජාතන්ත්‍රවාදයයි. අධිකරණය කෙරෙහි ද එවැනිම සැළකිල්ලක් රජයෙන් සිදුනොවනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකිය. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිශ්ශබ්ද කාල සීමාවකින් පසු නැවත සක්‍රීය කර, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට උත්සාහ කිරීම ඇතැම් මූලික යාන්ත්‍රණයන්හි ආයතනික අඛණ්ඩතාව නොවෙනස්ව පවතින බවට ධනාත්මක සලකුණකි. මෙය සාධනීය ප්‍රවේශයක් සපයනු ඇති අතර, එමඟින් අනෙකුත් රාජ්‍ය ආයතනවලට ද අවශ්‍යතාව අනුව, ඒ හා සමාන නිර්මාණශීලීත්වයකින් සහ අවංකභාවයකින් ක්‍රියා කළ හැකිය. හොඳින් ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් තුළ, විධායකය සහ ව්‍යවස්ථාදායකය මෙන්ම සමාන විය යුතු අධිකරණය සම්බන්ධයෙන් මෙය විශේෂයෙන්ම සත්‍ය වනු ඇත.

කල් ඉකුත් වූ ජනවරම

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට රජය උනන්දු වීම, දිගින් දිගටම පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ පැවැත්වීම ප්‍රතික්ෂේප කරන මොහොතක, දේශපාලන උපාය මාර්ගයක් යැයි අනුමාන කිරීමට හේතු වේ. නව ජනාධිපතිවරයකු විසින් වත්මන් පාර්ලිමේන්තුව කලින් විසුරුවා හැරීමකින් ආරක්ෂා කරගැනීම පහසු කාර්යයක් නොවේ. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමද පහසු වන්නේ නැත. විධායක ජනාධිපති ක්‍රමය වත්මන් ව්‍යවස්ථාවේ කේන්ද්‍රීය ලක්ෂණයක් පමණක් නොවන අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස ජේ. ආර්. ජයවර්ධන වරක් පැහැදිලි කළ පරිදි, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ “අභිමතයන්ගෙන්” ආරක්ෂා කිරීමක්ද සිදුකර ඇත. එය අහෝසි කළහොත් මේ වනවිට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් හුදෙකලා වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනාගතය පිළිබඳව ප්‍රශ්නයක් මතුවනු ඇත.

පළාත් ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ බලධාරියා ලෙසද ජනාධිපතිවරයාට පළාත් සභා ක්‍රමය තුළ කේන්ද්‍රීය කාර්යභාරයක් පැවරේ. ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ක්‍රියාමාර්ගයක් ගැන පළවන පුවතට සමගාමීව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද ව්‍යවස්ථාදායක කමිටුව රැස්වීමක් කැඳවා තිබීම අහම්බයක් විය නොහැක. එහිදී කථානායකවරයා, රටේ ඒකීයභාවයට සහ ස්වෛරීභාවයට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සහ පළාත් සභා ක්‍රමයෙන් එල්ල වී ඇති අනතුරු පිළිබඳව අදහස් පළකර ඇත. උත්ප්‍රාසය වන්නේ ආණ්ඩුව ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට උත්සාහ කරන අතරතුර හිටපු ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ව්‍යවස්ථාදායක කමිටුව ජනාධිපති ධුරය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් පෙනී සිටීමයි. එබැවින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ආන්දෝලනයෙන් පිරීයනු ඇති බවට ඉඟි පළවේ.

වත්මන් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ආණ්ඩුවේ සැලසුමද ක්‍රියාත්මක වීමට ඉඩක් නැත. යෝජිත නව ක්‍රමය, ඊට සහාය ලබාදීමට අකමැති වාර්ගික හා ආගමික සුළුතරයන්ගේ මැතිවරණ ක්‍රියාකාරිත්වයට අහිතකරය. 2017 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් සභා මැතිවරණය අද දක්වාම දින නියමයක් නොමැතිව කල්දැමීමට තුඩුදුන් ක්‍රියාවලිය යළි ක්‍රියාත්මක වීමේ බියකරු සිහිනයක් ද එයින් මතු කරයි. එම මැතිවරණ පැවැත්වීමට ටික කලකට පෙර, ‘කාන්තා කෝටාවක්‘ ගෙන ඒම ඇතුළු මැතිවරණ නීතියට ධනාත්මක ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වාදීමට ආණ්ඩුව යෝජනා කළේය. එහෙත් පැවැති නීතිය යටතේ පළාත් සභා මැතිවරණය අවලංගු කළ පසු, ප්‍රතිසංස්කරණය කරන ලද නව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අසමත් විය. මේ නිසා එදා සිටම පළාත් සභා අස්ථාවර තත්ත්වයකට පත්ව තිබේ. පාර්ලිමේන්තුවේ දී ද එවැනිම තත්ත්වයක් උද්ගතවීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විනාශයක් වනු ඇත. මන්ද එයට මහජන ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයකු, පාර්ලිමේන්තුවක්, පළාත් සභා හෝ පළාත් පාලන අධිකාරියක් නොමැති බැවිනි. ඒ වෙනුවට, එහිදී කල් ඉකුත් වූ ජනවරමක් සහිත ආණ්ඩුවක නායකයන් පමණක් සිටිනු ඇත.

ජෙහාන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment