ප්‍රජාතන්ත්‍රවාදය මරණ මංචකයට යවා දේශපාලන කොස් ඇට බෑම!

188

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් දක්වන බොහෝ ප්‍රතිචාර සමස්තයක් ලෙස රට දේශපාලන අගාධයකට රැගෙන යන බවට ප්‍රබල චෝදනා සමාජ දේශපාලන අංශවල ප්‍රමාණිකයන්ගෙන් මෙන්ම ආගමික නායකයන්ගෙන්ද එල්ල වී තිබේ. මේ ආණ්ඩුවත් විශේෂයෙන් එහි නායකයා ලෙස පත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහත් අද ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘති මෙහෙයවනු ලබනනේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව ගුණය මෙන්ම නීතියේ ආධිපත්‍යය නොතකමින් බවට නැගෙන චෝදනාව සුළුපටු නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිරිපහදු කර ගැනීම උදෙසා උද්ගතවූ මහජන අභිලාෂයක් එහි ඵලයක් ලෙස ඇතිවූ ගාලුමුවදොර අරගලයත් එහෙම පිටින්ම මර්දනය කළ ආණ්ඩුව අද ගෙන යන පාලනයට එරෙහිව ප්‍රබල විරෝධයක් දැක්වීමට විපක්‍ෂයේ කිසිදු කණ්ඩායමකටද නොහැකි වී තිබේ. පොහොට්ටුවෙන්ම කැඩී ගිය අය අතරින් වුවද කෙබඳු විවේචනයක් එල්ල වුවත් ජනාධිපති රනිල් ඒවා තඹයකට මායිම් කරන බවක්ද නොපෙනේ. ජනාධිපති රනිල් අද ව්‍යවස්ථාදායකය වුවද තම අණසකට යටත් කර ගත් සෙයකි. සැබැවින්ම ඔහුගේ දේශපාලන හැසිරීම ජේ. ආර්. ජයවර්ධනගේම පුනුරුත්පත්තියක් වැන්න. ඔහු අද විධායකය ශක්තිමත් කර ගෙන සිටියි. එදා ඔහුගේම දායකත්වයෙන් සම්මත කළ බොහෝ සීමා මායිම් ඔහු නොතකයි.

ගෝඨාභයගේ ජනාධිපතිධුර කාලයේ ඉතිරිය ගෙවන අනුප්‍රාප්තිකයකු ලෙස නොව ඔහු ක්‍රියා කරන්නේ පූර්ණ බලැති ජනාධිපතිවරයකු ලෙසය. විපක්‍ෂය ඔහුගේ ජනවරම ප්‍රශ්න කළත් ඔහු ඒවා ගැනද තැකීමක් නැත. පොහොට්ටුව වටින් ගොඩින් පුංචි විවේචනයක් කළත් ඒවාට ප්‍රතිචාර දැක්වීමට හෝ ජනාධිපති රනිල් උනන්දු නැත. රටේ සියලු දේශපාලන හා ආණ්ඩුවේ මෙහෙයුම් පිළිබඳ යතුර ඇත්තේද ඔහු අතේය. පොහොට්ටුවේ නායක මහින්ද හෝ බැසිල් ද ඔහුගේ ක්‍රියාන්විතවලට හ්ම් හඬක් නොනගති. එයින් ඉවත් වී සිටින කණ්ඩායම්වල දේශපාලන විවේචන මෙන්ම අද පොහොට්ටුවේ මුල් පෙළ නියෝජනය කරනු ලබන කිසිවකුගේ කිසිදු ප්‍රතිචාරයකට වුවද ඔහු නොසෙල් වී සිටියි. විධායක ජනාධිපති ධුරයෙහි බල පරාක්‍රමය මෙබඳු යැයි රටටත් පොහොට්ටුවටත් පෙන්වා දෙන දේශපාලනයක ඔහු නිරතව සිටියි. අප දන්නා පරිදි ඔහුගේ ක්‍රියාකාරකම් අතරින් පොහොට්ටුව සෘජුව ප්‍රතිචාර දැක්වූයේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පමණි. මහින්ද සමග ජාතිකත්වයට නැඹුරු වු දේශපාලනයක නිරතව සිටින දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා වුවද අද දේශපාලන වසයෙන් තරමක් නිහඬ පිළිවෙතකට වැටී සිටියි. එහෙත් ඔහු ප්‍රථමවරට පසුගිය දිනක සිය පක්‍ෂයේ (ම.එ.පෙ) අධිෂ්ඨාන පූජාවක් හා සත්‍යක්‍රියාවක් සිදු කළ කතරගමදී සුවිශේෂ දේශපාලන ප්‍රතිචාරයක් දක්වා තිබේ. එය අතිශය සුමුදු ප්‍රකාශයක් වුවද එහි තුළ ගිගුම් දෙන්නේ ඔහුගේ දේශපාලන ස්ථාවරය බව පැහැදිලිය. එහිදී ඔහු සිය පාක්ෂිකයන් සමග ඒකීය රාජ්‍යය සුරැකීමේ ගාම්භීර ප්‍රකාශයක්ද කරයි. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ යුතු බවත් මේ පවතින මැතිවරණ ක්‍රමය වෙනුවට මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කරන බවත් අවධාරණය කළේය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ආණ්ඩු ක්‍රමයක් ගැනද අගමැති දිනේෂ් එහිදී සිහිපත් කර තිබුණි.

මේ අතර ජවිපෙ නායක අනුර කුමාර හා නිදහස් ජනතා සභාව වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම ද රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සුරැකීමේ එකඟතාවක් පිළිබඳ සාකච්ඡාවක් ඇරඹූහ. ඇත්තටම ජවිපෙ හා අනෙක් විපක්‍ෂ වේදිකාවල වෙන් වෙන්ව ආණ්ඩුව විවේචන කළත් අඩුම තරමින් ප්‍රාදේශීය මැතිවරණයවත් ලබාගැනීමට අසමත් විය. ජනාධිපති රනිල්ගේ මැතිවරණය බහා තැබීමේ දේශපාලන සූත්තර ඉදිරිපිට මුළු විපක්‍ෂයම බෙලහීන වූ ආකාරය රටම දන්නා කරුණකි. ඔවුන් සියලු දෙනාටම හැකි වූයේ පොහොට්ටුවත් ජනාධිපති රනිලුත් මැතිවරණවලට බියෙන් ඒවා කල්දැමීම සඳහා සියුම් මෙහෙයුම් සිදු කරන බව රටට කීමට පමණි.

ඇත්තටම මේ ආණ්ඩුවේ නායකයාගේ අධිපති බලය පරාජය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී වුවමනාවක් බව විපක්‍ෂවල අවධානයට යොමු නොවීම බරපතළ ප්‍රශ්නයක් බව වරක් වමේ ප්‍රබල නායකයකු මෙන්ම රාජපක්‍ෂ පාලනය සමග එක්ව සිටි කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රමුඛයකු වන ඩිව් ගුණසේකර ද පවසා තිබුණි.

ජනාධිපති රනිල්ගේ දේශපාලන ව්‍යාපෘති සියල්ල ආර්ථිකය මත පදනම් වූවක් බව ඔහු පමණක් නොව එජාපයේ හිටපු මෙන්ම රනිල්ගේ දේශපාලන සම්ප්‍රාප්තිය නිසා යළිත් සමාජය ආමන්ත්‍රණ කරන සියල්ලෝම පුන පුනා කියති. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ඇතැම් යෝජනා පොහොට්ටුව නොඉවසන බවක්ද පෙනේ. එහෙත් ඔවුන්ට ඒ සඳහා කළ හැකි බලපෑමක් නම් නැත. ජනාධිපති රනිල් විසින් 2002 සිට 2004 දක්වා මෙන්ම 2015 යහපාලන සමයේදීත් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති අදත් ඉදිරියට ගෙන තිබෙන බව සමහරු පවසති. එහෙත් පොහොට්ටුවට අද ඒ ආර්ථික තිත්ත කෂාය ඉවසීමට සිදුව ඇත. අන්තරේ සිසුන් පසුගිය දිනක චෝදනා කළේ රනිල්ගේ ආන්දෝලනාත්මක අධ්‍යාපන ධවල පත්‍රිකාව (1982 දී ඉදිරිපත්වූ) යළි කරළියට විත් තිබෙන බවය. රාජ්‍ය සේවයට අලුතින් බඳවා නොගැනීම එදාත් රනිල්ගේ රුචිකර යෝජනාවක් විය. මෙරටේ රාජ්‍ය සේවය දූෂිත හා අකාර්යක්ෂම එකක් බවට විවාදයක් නැත. ඇමැතිවරුන්ට වුවමනා පත්වීම්, බඳවා ගැනීම් නිසා එහි තිබුණු සියලු වටිනාකම් නිෂ්ක්‍රීය වු බවද රහසක් නොවේ. කෝප් කමිටුව අබියස දිගහැරෙන රාජ්‍ය සේවයේ ඇතුළාන්තය පිළිබඳ කතන්දර මොනතරම් ජුගුප්සාජනක දැයි රටම දනී. එහෙත් ඒ එක දූෂණයක් අක්‍රමිකතාවක් ගැන ගත හැකි පියවරක්ද නැත.

ලංකාවේ අපකීර්තිමත් දූෂණ වාර්තා හුදෙක් ජනතාව අසන කතන්දර විශේෂයක් පමණි. ඔවුන්ට කළ හැක්කේ එකෙකුගේ දූෂණ හා හොර මගඩි අනෙකාගේ ඒවා සමග සසඳා තුඃ නොදකින් කීම පමණි. ඇමැතියා හොරෙකැයි රාජ්‍ය ඇමැතියෙක් කියයි. හිටපු සභාපති දූෂිතයෙක් බව අලුතින් පත්ව ආ සභාපති කියයි. අධිකරණ ඇමැතිවරයා කියන්නේ ප්‍රබලම දූෂණ විරෝධී පනතක් පාර්ලිමේන්තුව සම්මත කර තිබෙන බවකි. එහෙත් ඉන් සිදුවූ සෙතක් තිබේදැයි අපි නොදනිමු. පකිස්ථානය, බංගලාදේශය පමණක් නොව මැලේසියාවද තමන්ගේ රටවල හිටපු රාජ්‍ය නායකයන්ට දූෂණය හා අයථා ක්‍රියාවන් සම්බන්ධයෙන් සිර දඬුවම් ලබාදී තිබේ. අපේ මාධ්‍යවලට ඒවා විශේෂ සිරස්තල සහිත ප්‍රවෘත්ති මෙන්ම ප්‍රබල කතු වැකිවලට නිමිති පමණි. ජනතාවට ඒවා කියවා දත්මිටි කෑමේ නිදහස ඉතිරි වී තිබේ. චෞර වළල්ල ගැනද චෞර මෙහෙයුම් ගැනද පාවෙන කතාවලට අමතරව පක්‍ෂවල නායකයන් ඉලක්ක කරගත් දූෂණ චෝදනාවලද අඩුවක් නැත. එහෙත් නඩු නැති රටක මොට පායනවද සූරියා යනුවෙන් කියන ජනකවිය සිහිපත් කිරීමට අපට සිදුව තිබේ.

මන්ත්‍රී වරප්‍රසාද භාවිත කරමින් රත්තරන් හොරකම් කළ හොර ගෙඩියා අස්කිරීමට අපේ උත්තරීතර ආයතනයට හෝ නොහැකිය. අද ඒ හොරාගේ පාරම්බෑම මාධ්‍යවලින්ද ඇසෙයි. බඩුත් සමග හොරෙක් අල්ලා ගෙනත් හොරා රජෙක් මෙන් සිටින්නේ නම් නීතිය කුමකට දැයි පුරවැසියකුට කෝපයක් ඇතිවිය හැකිය. එහෙත් ඔහුට පාරට බැස එයට විරෝධය දැක්වීමට වුවද නිදහසක් තිබේද?

ප්‍රජාතන්ත්‍රවාදය මරණ මංචකයට යවා දේශපාලන කොස් ඇට බෑම!

අද ප්‍රජාතන්ත්‍රවාදය සංකෝචනය වී ඇතැයි දේශපාලන විචාරකයෝ කියති. එහි අරුත ප්‍රජාතන්ත්‍රවාද හැකිළෙමින් හෝ සීමා පටු වෙමින් තබෙන බවය. එසේ වුවද එය ප්‍රජාතන්ත්‍රවදය මියයමින් තිබෙන්නක් ලෙසද සමහරු අර්ථකථනය කරති. 1978 ජයවර්ධන පාලන ක්‍රමය ඒ ප්‍රජාතන්ත්‍රවාදයට සරදම් කළ නීතිමය වෙස්මුහුණක් පැළඳි දුෂ්ට ක්‍රමයක් බව බොහෝ අය කීහ. එසේ කී කිසිවෙක් එයට විසඳුමක් ලබා නොදුන්නෝද වෙති. මෙයට යම් සාධනීය ප්‍රතිචාරයක් දැක්වීමේ අවශ්‍යතාව වටහාගත් පිරිස්ද වූහ. ජනාධිපති රනිල් එදා සිටියේ ඒ පිරිස් සමගය. එහෙත් අද ඔහු විධායක කඩුව මුවතියමින් සිටින්නෙහිදැයි අපට සිතේ. විධායකයේ බල තුලනයක් ගැනත් ව්‍යවස්ථාදායකය ඉහළින් තිබිය යුතුය යන අදහසක් පිළිගත් පමණක් නොව ඒ සඳහා යම් යම් සංශෝධන කිරීමටද එදා රනිල් පසුබට නොවීය. 2015 දී රනිල් අගමැති ලෙස සිදු කළ ව්‍යවස්ථා සංශෝධනවල අපේක්‍ෂාව වූයේද ප්‍රජාතන්ත්‍රවාදය යළි ශක්තිමත් කිරීමය. 2015 දී යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එවක අගමැතිව සිටි රනිල් එම ධුරයෙන් පහකර මහින්ද අගමැති ලෙස පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කළ සිදුවීම් මාලාව රටම විස්මයට පත් කළ එකකි. එදා එලෙස රනිල් යළි අගමැති ධුරයෙහි පිහිටුවීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව ජනතාවද පිළිගත්හ. අගමැති නිල මැදුර වු අරලියගහ මන්දිරයද අත නොහැර ඔහු ඒ ක්‍රියාන්විතය පරාජය කිරීමට කළ කැප කිරීම හා එඩිතර විලාසයද අපට මතකය. අපේ අධිකරණ ක්‍ෂෙත්‍රයෙහි වු නිර්භීත හා අදීන ස්වරූපයද එදා තහවුරු විය.

එදා එලෙස ස්ථාවරත්වයට පත්වු ප්‍රජාතන්ත්‍රවාදය හා ස්වාධීන අධිකරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල්ගේ ස්ථාවරය කුමක්දැයි අද නීති ක්‍ෂෙත්‍රයෙහි ප්‍රමුඛයෝද විමසති. ඔවුන් විසින් කරනු ලබන දැඩි අවධාරණයක් වී ඇත්තේ විධායකය. තම ආධිපත්‍යයට යටත් ආයතන බවට ව්‍යවස්ථාදායකය හා අධිකරණය පත් කර ගැනීමට දරණ දුෂ්ට වෑයම පරාජය කළ යුතු බවය. සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදය නිරෝගි වන්නේද අධිකරණය ශක්තිමත්ව, නිර්භීතව සිටින තෙක් පමණි. අධිපතිවාදී හා මානව විරෝධී පාලකයන් දණ ගැස්වීම සඳහා නිර්භීත අධිකරණයක් තිබිය යුතුමය.

මෙරටේ නීතිය හා අධිකරණය සම්බන්ධයෙන් ජනමතය හා ජන ආකල්ප සකස් වී ඇත්තේද ගෞරවණීය අධිකරණ තීන්දු හා විශිෂ්ට විනිශ්චයකරුවන් විසින් යම් යම් අවස්ථාවල ප්‍රකාශයට පත් කරන ලද හේතු හා පැහැදිලි කිරීම් මත පදනම්වය. විධායකයට මෙන්ම ව්‍යවස්ථාදායකයට එරෙහිව දැක්වෙන සාධාරණ විරෝධය ස්ථීර කරමින් ජනතා පරමාධිපත්‍ය සුරැකෙන්නේද නිදහස් අධිකරණයක් යටතේ පමණි. ජයවර්ධන මෙන්ම මහින්දත් ජනාධිපතිධුරය හොබවමින් අධිකරණයට හා එහි ක්‍රියාදාමයටද බාධා කළ අයුරු අදත් ඔවුන්ට එරෙහිව එල්ල කෙරෙන එක් විවේචනයකි. එසේම ජනතාවගේ අභිමතයකින් තොරව විධායකය විසින් ගනු ලබන තීන්දු අහෝසි කළ හැක්කේද ස්වාධීන අධිකරණයකට පමණි. ජයවර්ධන විසින් උතුරු හා නැගෙනහිර එක් කළ මතභේදාත්මක ක්‍රියාව නිශේද කළ හැකි වූයේද ශ්‍රේෂ්ඨාධිකරණයටය. විවිධ අවස්ථාවලදී නිදහස හා මානව හිමිකම් සම්බන්ධයෙන් ද අතිශය ගෞරවණීය විනිශ්චයන් ලබා දීමට අපේ අධිකරණය සමත්විය. එබඳු අවස්ථාවලදී ඔවුන් විසින් දක්වන ලද කරුණු කෙතරම් විශිෂ්ට හා උත්කෘෂ්ට විශ්ලේෂණද යන්න ඒවා කියවූ පුරවැසියෝද දනිති.

ජනාධිපති රනිල් මෙන්ම ඇතැම් මැති ඇමැතිවරුන්ගේ ක්‍රියාකාරකම් සමාලෝචනය කිරීමට තිබෙන එකම ස්ථානයද අධිකරණයයි. පසුගිය දිනවල ඔවුන් විසින් පළ කරන ලද ඇතැම් අදහස් අධිකරණයේ ස්වාධීනත්වයට උඩින් පැනීමේ නරක සංඥා ලෙස ඒ ක්‍ෂෙත්‍රවල ප්‍රාමාණිකයෝද කීහ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හැර වෙනත් කිසිදු පාර්ශවයක නියෝග හා උපදෙස් පිළිගැනීමට තමන් සූදානම් නැති බවට ජනාධිපති රනිල් විසින් කරන ලද ප්‍රකාශය අතිශය ආන්දෝලනාත්මක එකක් විය. මෙය අධිකරණය හෑල්ලු කිරීමේ ප්‍රයත්නයක් ලෙස නීති ක්‍ෂෙත්‍රවල පමණක් නොව සිවිල් සංවිධානවලද චෝදනාව විය. රටේ විධායකය විසින් එහිම ප්‍රබල කුලුනක් වන අධිකරණය හෑල්ලු කිරීම බරපතළ කරුණක් ලෙස විපක්‍ෂවල විවේචන පෙන්වා දුන්නේය.

මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම නීතියේ ස්වාධීනත්වය සුරැකී තිබෙන්නේ අධිකරණයේ නිර්භීතකම හා බුද්ධිමය හා සදාචාරාත්මක ප්‍රතිචාර නිසා බව නීතිය සම්බන්ධයෙන් ලියැවෙන ප්‍රාමාණිකයන්ගේ මූලික අදහසකි. අධිකරණය විසින් ලබාදෙන ලද එබඳු බොහෝ තීන්දු සම්බන්ධයෙන් පොදු ජනයා ද දැනුවත්ව සිටිති. අද මානව හිමිකම් කඩවීම් මෙන්ම අසාධාරණ ක්‍රියාවලට එරෙහිව ජනතාව අධිකරණයට යති. මෙය දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්‍ෂණයකි. ප්‍රාදේශීය මන්ත්‍රීවරයාගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී දක්වා වු දේශපාලනය තුළ නීතිය අතට ගත් ස්වල්ප දෙනෙක් හෝ සිටිති. ජනතාවගේ මූලික අයිතිවාසිකම් පමණක් නොව රටේ ජාතික සම්පත් කොල්ල කෑම ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රියා සඳහා මන්ත්‍රීකම අවියක් ලෙස භාවිත කරන රටක ජනතාවට තිබෙන එකම හව්වරණය අධිකරණය පමණි. පොලිස් පරිවාර රිය පෙරහරකින් නළා හඬවමින් ගමන් ගන්නා ඇමැතිවරුන් පවා රටේ නීතියට දක්වන නොසැලකිල්ල රහසක් නොවේ. මේ නිසා විශේෂයෙන් දේශපාලනයෙන් කුණුවී ගිය දූෂණය මැර බලය ඉහවහා ගිය සමාජයක ජනතාවට එල්ලීමට තිබෙන එකම පිදුරු ගහ වන්නේද අධිකරණය පමණි.

ඉහත සඳහන් කළ පරිදි ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීමේ හා නීතිය වරප්‍රසාදිත පන්තියේ රැකවරණය සඳහා යොදා ගැනීමට දරණ උත්සාහයට එරෙහිව විපක්‍ෂවල අවධානය යොමුවීම හොඳ සංඥාවක් බව අපට පෙනේ. ආණ්ඩුවේ නායකයා මෙන්ම රාජ්‍ය නායක රනිල් අද ක්‍රියාකරන අධිපතිවාදී දේශපාලන ශෛලියට අභියෝග කළ හැක්කේද ජනතාවට අහිමි කළ ඡන්ද අයිතිය ලබා දීමෙන් පමණි. ජනාධිපති රනිල් එදා වාදනය කළ මගේ ප්‍රමුඛතාව රටේ ආර්ථිකය ගොඩනැගීමයි යන තේමාව අද ඔහු භාවිත කරන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යටපත් කිරීමටද? ආර්ථිකය සරුවෙන තෙක් රටේ සියලු ක්‍රියාකාරකම් කල් දැමිය යුතුද? යන ප්‍රශ්නය අද ජනතාවද නගති. ඇත්ත වසයෙන්ම අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අණ්ඩ දමමින් තවදුරටත් මේ ක්‍රමයම නඩත්තු කිරීම සුදුසුද? උචිතද? යන ප්‍රශ්නය දැන් මතු වෙමින් තිබේ.

දැනට තිබෙන දේශපාලන වාතාවරණය අනුව නම් නිශ්චිත වසයෙන්ම ජනතාවට ලැබෙන මැතිවරණය ලෙස ජනාධිපතිවරණය නම් කළ හැකිය. එහෙත් කවුරුන් ජනාධිපති වුවත් මේ ආර්ථිකය ගොඩනැංවිය හැකිද? යන සාධාරණ ප්‍රශ්නයද පුරවැසියෝ නගති. අගමැති දිනේෂ් ප්‍රකාශ කරන පරිදි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් හා ජනතා අභිලාෂයන් කුළු ගැන්වෙන මැතිවරණ ක්‍රමයක් හෝ අපට ලබා ගත හැකිද? එබඳු සංඥාවක් හෝ පෙනෙන මානයක තිබේද? දැන් තිබෙන දේශපාලන සුදානම කිසිසේත් ජනතාව හා රටේ යහපත වෙනුවෙන් තිබෙන්නක් නොවන බවද ඉතා පැහැදිලිය. විවිධ වෙස් බැඳගත් දේශපාලන චරිත කරළියට පැමිණ කරන විගඩම්ල අඩුවක් නැතත් රටේ හෙට දවස ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති කරගත නොහැකි බවද ඉතා පැහැදිලිව කිව යුතුය.

පසුගිය දිනක මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රකාශ කළ පරිදිම මේ රට කිසිවකුට යටත් නොවූ ස්වාධීන රටක් බව අපේ බොහෝ නායකයෝ වටහා ගෙන නොසිටිතියි. අපටද සිතේ. නායකයන්ගේ පාවාදීම් නිසා අපේ ස්වාධීනත්වය මෙන්ම අභිමානයද විනාශ වී ඇතැයි කාදිනල් හිමියෝ චෝදනා කළහ. ඉන්දියාව අපට පෙන්වන චන්ඩිපාට් ගැනද සිහිපත් කළ කාදිනල් හිමියන් ප්‍රශ්න කළේ ලංකාවේ සිට ඉන්දියාවට පාලමක් ඉදි කළහොත් කුමක් සිදු විය නොහැකිදැයි කියාය. ඇත්තටම අප තවමත් හිරවී සිටින්නේ ඉන්දියාව අප මත බලයෙන් පැටවු 13 වැනි සංශෝධනය නිසා නොවේද? අද සමහර දෙමළ නායකයන්ට වුවමනා වී තිබෙන දේශපාලන කොස් ඇට බා ගැනීමේ දුෂ්ට අරමුණ පරාජය කිරීම මෙන්ම දෙමළ ජනතාවගේ අයිතීන්, හිමිකම් ලබාදීමද අත්‍යවශ්‍ය දෙයක් බවද කිව යුතුය. ඉන්දියාව අපේ දුබලකම් හොඳින් දනී. රටේ දේශපාලන කැළඹීම පමණක් නොව බලකාමි පොරය ගැනද ඉන්දියාවට හොඳ අවබෝධයක් තිබේ. ඉන්දියාවේ මෝදිගේ දේශපාලනය ඒ රට වෙනුවෙන් කෙරෙන්නකි. එහෙත් අපේ දේශපාලනය අපට ඕනෑ ආකාරයට සිදු කිරීමට අපේ නායකයෝ අසමත්ව සිටිති.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment