ප්‍රජාතන්ත්‍රවාදී දෑත්වල තිබෙන සාමකාමී හා නිදහස් අවිය ඡන්දයයි!

63

2023 මාර්තු 09 වැනි දිනට පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බවට ප්‍රකාශ කර තිබුණත් ඒ පිළිබඳව මේ මොහොත වනවිටත් බොහෝ දෙනකු තුළ ඇත්තේ අවිනිශ්චිත බවකි. එය පදනම් විරහිත හෝ හුඹස් බියක් නොව, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ බොහෝ නායකයන් හා අනුගාමිකයන් විසින් දක්වන ලද විවිධ පතිචාර මගින් ජනගත වූ අදහසකි. ආණ්ඩුව විසින් දිගින් දිගට ම මතුරන ලද මන්ත්‍රය වූයේ රට උග්‍ර ආර්ථික අර්බුදයක ගිලී තිබෙන අවස්ථාවක, මහජන මුදල් වැය කිරීමේ ප්‍රමුඛතාව අනුව පළාත් පාලන ඡන්දය ජනතාව මත පැටවන අමතර බරක් බව ය. මේ මතය මතුපිටින් පෙනෙන සැබෑවක් වුවත් ආණ්ඩුව ක්‍රියාකළ ආකාරයෙන් ජනතාව තුළ ඇත්තේ එම ක්‍රියාකාරකම් පිළිබඳ දැඩි විවේචනයකි. ඒ සියල්ලක් තුළින් ම ගම්‍ය වූයේ මෙම මැතිවරණය කල් දැමීමේ ක්‍රම සහ විධි සොයමින් ආණ්ඩුව වෙනම මෙහෙයුමක් අරඹා තිබෙන බව ය. ආණ්ඩුව එකක් අඟවා තව එකක් කරන බව විපක්‍ෂවල ද චෝදනාව විය. ඇත්ත වශයෙන් ම මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිචාර යහපත් හෝ තර්කානුකූල නොවූවා සේම සදාචාරාත්මක නොවන ක්‍රියාකාරකම්වලින් ද යුතු වූ බව බොහෝ දෙනකුගේ විවේචනය විය.

ආණ්ඩුවේ බොහෝ ප්‍රතිචාර සද්භාවයෙන් හෝ අවංක බවින් යුතු නොවී ය. පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමේ යෝජනාව සාධනීය එකකි. එහෙත් ආණ්ඩුව එයට අවධානය යොමු කළේ මැතිවරණයට නිසි වේලාව පැමිණීමෙන් පසුව ය. අනෙක් අතට ඒ අයුරින් රටට ඔරොත්තු නොදෙන මන්ත්‍රී බරක් පැටවූයේ ද පටු දේශපාලන අරමුණුවලින් යුතුව විනා කිසිදු ජනතා අවශ්‍යතාවක් අනුව ද නොවේ. පළාත් පාලන මැතිරවණය අවුරුද්දකින් කල්දමා තිබුණත් ඒ කාලය ඇතුළත ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් පාලකයන්ට හදිසියේ පළාත් පාලන ඡන්ද ක්‍රමයේ වෙනසක් අවශ්‍ය වීම යහපත් ජනතාවාදී අදහස කැයි මේ රටේ ජනතාව පිළිගනීවී යැයි සිතීම පවා මුළාවකි.

කෙසේ වුවද එම මැතිවරණය කල්දමා ගැනීමට ආණ්ඩුව විසින් ගන්නා ලද හැම ක්‍රියාමාර්ගයක් ම නිෂ්ක්‍රීය වූයේ ද ඔවුන්ගේ දුෂ්ට අරමුණු හා පටු දේශපාලන වුවමනාවන් නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. කෘෂිකර්ම ඇමැතිවරයා ජනතාවගෙන් ප්‍රශ්න කළේ ගොවියන්ගේ වී ටික මිලට ගන්නවා ද? නැත්නම් ඒ සල්ලිවලින් ඡන්දය කරනවාද යනුවෙනි. විදුලිබල ඇමැතිවරයා විමසා සිටියේ විදුලිය කපනවා ද? ඡන්දෙ කරනවා ද? මේ ආකාරයේ යුගල ප්‍රශ්න ඉදිරිපත් කරමින් ඡන්ද භීතියෙන් ජනතාව තැති ගැන්වීමට ඔවුහු ක්‍රියා කළහ. ඇමැතිවරුන්ට අමතරව රජයේ නිලධාරීන්ගේ මැදිහත්වීම් ලෙස ඇඟවූ බරපතළ මෙහෙයුම් ද ඡන්දය කල්දමා ගැනීම සඳහා දියත් වූ ආකාරය ද දැන් රට ම දන්නා රහසකි. කවර හෝ රාජ්‍ය නිලධාරියකුට කැබිනට් මණ්ඩලය නමින් ‘හොර නියෝඟ ලබාදීමට හැකි යැයි අපට නම් සිතීම පවා අසීරු ය. එහෙත් රාජ්‍ය පරිපාලන ලේකම්වරයකුගේ ගිණුමට බැර වී තිබෙන ඇප මුදල් තහනම් නියෝගය මෙරටේ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් බරපතළ ක්‍රියාවකි. කුමක් වුවත් කැබිනට් මණ්ඩලය විසින් නොගන්නා ලද තීන්දුවක් එම මණ්ඩලයේ නියෝගයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ක්‍රියා කළ රජයේ ඉහළම නිලධාරියා තවමත් එම පුටුවේ සිටීම ද විස්මය දනවන්නකි.

ප්‍රජාතන්ත්‍රවාදී දෑත්වල තිබෙන සාමකාමී හා නිදහස් අවිය ඡන්දයයි!

ආණ්ඩුව මෙම මැතිවරණය කල් දැමීමට අපේක්‍ෂා කරන්නේ හුදෙක් ආර්ථික අහේනිය නැතහොත් මූල්‍ය අර්බුදය නිසා යැයි මොහොතකට සිතමු. රටේ මේ සා මූල්‍ය අර්බුදයක් තිබෙන පසුබිමක මැති ඇමැතිවරුන් වෙනුවෙන් කෙරෙන වියදම් අඩුකර තිබේ ද? ඔවුන්ගේ දීමනා, වෙනත් පහසුකම් ආදිය සීමා කළ බවක් මෙතෙක් වාර්තා වී නැත. මේ ළඟදීත් කැබිනට් ඇමැතිවරුන් ලෙස තව දෙදෙනෙක් පත්වූහ. ඒ ඇමැතිවරුන් ලහි ලහියේ පත්කළේ ආර්ථික හෝ ජනතාවට සම්බන්ධ කවර ප්‍රශ්නයක් විසඳීමට ද? එය හුදු දේශපාලන ගනුදෙනුවක් විනා ජනතාවට පිච්චියක තරම්වත් සේවයක් සිදුකරන්නක් නොවන බව ජනාධිපතිවරයා ද දනී. රටේ ආර්ථික අර්බුදයක දී ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලය හා රාජ්‍ය ඇමැතිවරුන් විසින් ජනතාව වෙනුවෙන් කරන ලද පරිත්‍යාගය කුමක් ද? මේ ජරමර අස්සේ නිදහස් උත්සවය පැවැත්වීම සඳහාත් මිලියන 200ක මුදලක් වැය කිරීමට ආණ්ඩුව සූදානම් වීමෙන් රටට ප්‍රකාශ වන්නේ කුමක් ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතා පැහැදිලිව සඳහන් කළේ තමාගේ වගකීම මෙම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම බව යි. එහෙත් මේ වනවිට ව්‍යවස්ථානුකූලව පත් වී සිටින ජනාධිපතිවරයා මෙන්ම රාජ්‍ය නායකයා ද වන ඔහුට එම ව්‍යවස්ථානුකූලව පැවරී තිබෙන කවර හෝ කාර්යයක් බැහැර කළ හැකි ද යන ප්‍රශ්නය ද අපට තිබේ. ඔහුගේ විවේචකයන් පවසන පරිදි ඔහුට කිසිදු මහජන වරමක් නැත. ඔහු මේ තනතුරට පත්ව ඇත්තේ මහජන වරමකින් නොව පාර්ලිමේන්තුවේ බහුතර කණ්ඩායම වන පොහොට්ටුවේ ඡන්දයෙනි. එය වැඩි ඡන්දයක් වුවත් පොහොට්ටුවේ ප්‍රබල පිරිසක් ඔහුට මෙන්ම පොහොට්ටු පාලනයට ද විරුද්ධව සිටිති. එහෙත් ඔහුගේ විධායක ධුරයට කිසිවකුට අභියෝග කළ නොහැක. එනිසා ඔහුට ව්‍යවස්ථානුකූලව පැවැත්වීමට තිබෙන කවර හෝ මැතිවරණයක් හිතුමතයට කල් දැමීමට ඉඩක් නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිබඳ වූ එක් හැඳින්වීමක් වන්නේ ඔහු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියකු බව ය. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවණතාවන්, චර්යාධර්ම ආදිය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු ලෙස ද ඔහු සලකනු ලැබේ. එහෙත් අද ඔහු ඒ සියලු පරමාදර්ශ බහා තබා වෙනත් අධිපතිවාදී මනසකින් ක්‍රියා කරන්නේ ද යන සැකය සමහරුන් තුළ ඇති වී තිබේ. ජනාධිපති රනිල් මහජන මතයට බියෙන්, එය හෙළිදරව් වීමෙන් තමන්ට ලැබෙන අලාභය, අපකීර්තිය හෝ වෙනත් කවර හෝ අදහසකින් ක්‍රියා කරන්නේ දැයි අපට නිගමනය කළ නොහැක. එහෙත් මේ මැතිවරණය කල්දමා ගැනීම සඳහා ඔහු විසින් දරනු ලබන බොහෝ ප්‍රයත්නයන් ඔහුගේ දේශපාලනය හා බලනවිට අතිශය ප්‍රශ්නකාරී වේ.

ඉහත සඳහන් කළ පරිදිම ඉකුත් මහ මැතිවරණයේ දී ජනතාව විසින් ඔහුගේ පක්‍ෂය ද ප්‍රතික්‍ෂේප කරන ලදී. ඔහු පාර්ලිමේන්තුවට එන්නේද ව්‍යවස්ථානුකූලව ලැබුණු ජාතික ලැයිස්තුව අනුවයි. ජනවරම යනු ව්‍යවස්ථාන්කූල බලයට තවත් ජනබලයක් ද එක්වීම ලෙස ගතහොත් ඔහුගේ බලය නිර්මාණය වී තිබෙන්නේ ජනවරමක් නො මැතිව ය. තම පක්‍ෂයට හිමි වූ එක ජාතික ලැයිස්තු ආසනයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට ඔහුට සිදුවීම ද එක්තරා උත්ප්‍රාසයක් වැන්න. එහෙත් තමන්ට එම මහ මැතිවරණයෙන් ඛේදනීය පරාජයක් අත්කර දුන් රාජපක්‍ෂවරුන්ට සිය පැවැත්ම සඳහා ඔහුව තෝරා ගැනීමට සිදුවීම ඊටත් වඩා සරදමකැයි සිතේ. මෙහි දී ඔහු මුහුණදෙන උභතෝකෝටිකයක් ද ඇත. ඒ මහජන ප්‍රසාදයක් මෙන්ම ඔහුට සහාය පළකරන එජාපයට පාර්ලිමේන්තුව තුළ බලයක් නොමැති වීම ය. එනිසා ඔහුට යැපීමට සිදුව ඇත්තේ පොහොට්ටුවේ ශක්තියෙනි. ලබන පෙබරවාරි මාසයෙන් පසු ජනාධිපති ලෙස පාර්ලිමේන්තුව විසිර වීමේ බලය ඔහුට හිමිවීමත් සමග පොහොට්ටුවට වුවද තම බලය ක්‍ෂයවීමක් බව හැඟෙනු ඇත.

මේ ජනාධිපතිවරයා බලයට පත් වූ ආකාරය මෙන්ම ඔහු රටට ඉදිරිපත් කළ සමාජ – දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ අදහස්වලින් මේ වනවිට ක්‍රියාත්මක වී ඇත්තේ කවර ප්‍රමාණයක් ද යන්න ඔහුට පෙන්වා දිය යුතු නැත. ගාලු මුවදොර විරෝධතා ව්‍යාපාරය විසින් රටට දෙන ලද දේශපාලන පණිවිඩය කුමක් දැයි ඔහුට පමණක් නොව ඔහු වටකරගත් බොහෝ දෙනෙකුට ද දැන් අමතක වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාද මතුකරන ජනාධිපතිවරයා අද මර්දනය සම්බන්ධයෙන් දක්වන උනන්දුව කවුරුත් දනිති. අයුක්තියේ අණ පිළිපැදීමටත් එයින් තරු පැලඳීමටත් කල්පනා කරන පිරිසක් ද මේ මර්දන ක්‍රියාවලිය තුළ සිටිති. එහෙත් එය තාවකාලික ජයග්‍රහණයක් විය හැකිය.

ජනාධිපතිවරයා අද සිය දේශපාලන පරමාදර්ශ නොතකා දැඩි අධිපතිවාදී මනසකින් ක්‍රියාකරන බවට විවෘත චෝදනාවක් තිබේ. ප්‍රකට දේශපාලන විචාරකයකු මෙන්ම එම ක්‍ෂේත්‍රයෙහි ප්‍රාමාණික විද්වතකු ද වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ ඔහුට චෝදනා කරන්නේ ඔහු විධායක ජනාධිපතිවරයාගේ ආධිපත්‍යය පාර්ලිමේන්තුව මතට ගෙන එන බවට ය. මේ ඔහුගේ විග්‍රහයෙහි කෙටි උද්ධෘතයකි.

“හිටපු ජනාධිපතිවරුන්ට වඩා වැඩියෙන් පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගි වන ඔහු පාර්ලිමේන්තුවේ කථා කරන්නේ සහ හැසිරෙන්නේ, බොරලු පාරක, බීමත් රථාචාර්යයකු ධාවනය කරන ගල් රෝලක් ලෙස ය. ඔහු කරන්නේ පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු පක්‍ෂය වන පොදුජන පෙරමුණ ද ප්‍රධාන විරුද්ධ පක්‍ෂය වන සමගි ජන බලවේගය ද සුළු ජාතික පක්‍ෂය ද කැබලි කිරීම ය. එමෙන්ම පාර්ලිමේන්තුව හෑල්ලුවට පත් කිරීම ය. (අනිද්දා ඉරිදා පුවත්පත 2023.01.22)

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට බලපෑම් කරන බව පමණක් නොව එහි ස්වාධීනත්වය හෑල්ලු කරන බව මහාචාර්ය ජී. එල්. පීරිස් ද පසුගියදා පැවැති මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ විවාදයේ දී ප්‍රකාශ කර තිබුණි. ජ.වි.පෙ. අනුර කුමාර ද එම පනත හදිසියේ විවාදයට ගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වූ බව පවසා තිබුණි. ජනාධිපති රනිල් පළාත් පාලන ඡන්දය වැළැක්වීම සඳහා අනීතික ක්‍රියා කරන බව ද ජවිපෙ චෝදනාවකි. රාජ්‍ය පරිපාලන ලේකම්ගේ වැරදි නියෝගය පසුපස ජනාධිපතිවරයා පමණක් නොව ඔහුගේ පක්‍ෂයේ එකම මන්ත්‍රීවරයා වන වජිර අබේවර්ධන ද සිටි බවට තොරතුරු ලැබී තිබෙන බව ද අනුර කුමාර පවසා තිබුණි. ආණ්ඩුව මේ කිසිවක් ප්‍රතික්‍ෂේප කර තිබුණේ ද නැත.

මේ හැර ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමේ හා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් ජනාධිපති කාර්යාලය වෙත කැඳවීම සම්බන්ධයෙන් ද විවේචන හා චෝදනා එල්ල වී තිබේ. මේ කොමිසම් දෙක සමග ම ආණ්ඩුවට ප්‍රශ්න තිබේ. මැතිවරණ කොමිසම ක්‍රියාකරන ආකාරය ආණ්ඩුව නො ඉවස යි. එමගින් ආණ්ඩුව අපේක්‍ෂා කරන මැතිවරණ කල්දැමීමේ ක්‍රියාන්විතයට කිසිදු සහායක් පළ වී නො තිබීම ජනාධිපතිවරයාට ප්‍රශ්නයකි. කොමිසම එහි දී ආණ්ඩුවේ මතයට එකඟ නොවීය. මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසම බෙදී සිටින බව ආණ්ඩුවේ මාධ්‍යවලින් ප්‍රකාශ වුවත් එය බොරුවක් බව තහවුරු කිරීමට කොමිසම ධෛර්ය සම්පන්න විය. එසේ වුවද මේ වනවිට කොමිසමේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ල වී තිබීම ද කොමිසම බියගැන්වීමේ ක්‍රියාන්විතයේම දිගුවක් විය හැකි ය. එයින් ආණ්ඩුවේ අරමුණ ඉටුවේදැයි අපි නොදනිමු.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති හැර අනෙක් සාමාජිකයන් ජනාධිපති කාර්යාලයට කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද විවේචනයක් තිබේ. ජනාධිපතිවරයා එලෙස ස්වාධීන කොමිසමකට බලපෑම විවාදාත්මක මෙන්ම නොහොබිනා ක්‍රියාවක් බව ද නිසැක ය. උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ගැන ඇමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයා ද සෑහීමකට පත් නොවෙති. එයට හේතුව ඔහු විදුලි බිල සංශෝධනයට එරෙහිව වීම ය. එහෙත් කොමිසමේ සාමාජිකයන් තම මතයට නවා ගැනීමට ජනාධිපතිට හැකි වී තිබෙන බව ද දැන් පෙනී යයි. කොමිසමේ සභාපති ජනක රත්නායක කියන්නේ ඔවුන් කොමිසමේ එකඟතාවන්ට පටහැනිව ක්‍රියාකරන බවයි. මෙය සැබෑවක් නම් මේ සාමාජිකයෝ ස්වාධීන නොව දීන අය විය යුතු වෙති. ඔව්හු තම හෘදය සාක්‍ෂිය පාවා දී සිටිත්දැයි අපට කිව නොහැක. කොහොමටත් මේ රටේ තිබෙන බලවත්ම දුෂ්කරතාවක් වන්නේ දේශපාලන කප්පම් ප්‍රතික්‍ෂේප කිරීමට තරම් සවිමත් කොන්දක් තිබෙන උගත්, විද්වතුන් විරලවීම ය. ඇත්ත වශයෙන්ම 21 වැනි සංශෝධනයෙන් ස්ථාපිත කර තිබෙන කොමිසම්වල ස්වාධීනත්වයට විධායකය ඇඟිලි ගැසීම එහි අභිලාෂයන්ට මෙන්ම සදාචාරයට ද එරෙහි වූ නිහීන ක්‍රියාවකි.

මෙසේ ආණ්ඩුව තවමත් මෙම පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ මෙහෙයුම අත් නොහරින්නේ නම් එයින් ද අපේක්‍ෂා නොකළ ප්‍රතිවිපාක ලැබිය හැකි බව ද සමහරුන්ගේ අවධාරණයකි. එය නිසැකයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී හිමිකමකට බාධා කිරීමකි. පළාත් පාලන ඡන්දයෙන් ජනාධිපතිවරයාට මෙන්ම කැබිනට්ටුව ප්‍රමුඛ ආණ්ඩුවේ බලයට අභියෝගයක් එලල් නොවන බව ඇමැතිවරු ද කියති. එහෙත් එය සම්පූර්ණ සත්‍ය නොවේ. එය මේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය, ශක්තිය පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් වනු ඇත. එමගින් රටේ මහජන මතය පිළිබිඹුවීම නොවැළැක්විය හැකි බව ආණ්ඩුව ද දනී. එවිට එහි පීඩනය එල්ලවන්නේ අලුත් ජනවරමක් අවශ්‍ය වේ යන මතවාදය ජන මනසට කා වැදීම ය.

පළාත් පාලන මැතිවරණයෙන් එජාප පොහොට්ටු එකඟතාවට ලැබෙන ජනතා ප්‍රතිචාරය කුමක් විය හැකි ද? එසේම යම් පමණක අභ්‍යන්තර ගැටුම් මැද වුවද සන්ධානගත වී සිටින පොහොට්ටු විරෝධී පක්‍ෂවලට ලැබෙන පිළිගැනීම කුමක් ද? ස.ජ.බ හා ජ.වි.පෙ ඇතුළු දැනට ඉදිරියෙන් සිටින බව පිළිගන්නා පක්‍ෂ හා සන්ධානවල ඉරණම කුමක් ද? එසේම විධායක ජනාධිපතිධුරයට වුවද පොහොට්ටුව සමග දීර්ඝ ගමනක් යා හැකි ද? යනාදී ප්‍රශ්න ගණනාවක් ම අද අප අභියස තිබෙන බව ද සඳහන් කළ යුතුය. මේ වනවිට ඉන්දියාව හා චීනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වන සාධනීය සහාය හැර රටේ ආර්ථික අපේක්‍ෂා ගැන අලුත් සැසුමක් නැති බව ද පෙනේ. ඒ සුබවාදී අපේක්‍ෂාවන් බල ගැන්වීමට රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ද නිර්බාධිතව ඉදිරියට යා යුතුය. ඇත්ත වශයෙන් ම රටක මොන ආකාරයේ ආර්ථික බිඳවැටීම් තිබුණත් පළාත් පාලන හෝ වෙනත් ඕනෑම මැතිවරණයක් පැවැත්වීම රට ප්‍රපාතයකට ඇද හෙළීමක් ලෙස කිව හැකි ද? එනිසා කිසිදු පාලකයකුට හෝ ආණ්ඩුවකට ප්‍රජාතන්ත්‍රවාදී දෑත්වල තිබෙන නිදහස්, සාමකාමී හා අහිංසක අවිය වන ඡන්දය උදුරා ගැනීමට ඉඩක් නැත. ඉඩ දිය යුතු ද නැත.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment