ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් සහ ජාතික උරුමයන් කුරුසියේ තබා ඇණ ගැසීම!

300

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා පොදුජන පෙරමුණේ ඇතැම් ක්‍රියාකාරීන් අතර උද්ගත වූ වාග් සංග්‍රාම හා විවේචනාත්මක ප්‍රහාර ආණ්ඩුවට පමණක් නොව රාජපක්‍ෂ කඳවුරට ම යහපත් නොවන බව ඉඳුරා දත් බැසිල් රාජපක්‍ෂ ඍජුවම මැදිහත්ව ඒ කැළඹීම සමනය කළ ආකාරය දැන් කවුරුත් දන්නා සිද්ධියකි. ජනාධිපති රනිල්ට තවදුරටත් සහාය දිය යුතු බව පොහොට්ටුව දැන් ප්‍රකාශ කරයි. පොහොට්ටුවේ ප්‍රබලයෝ ද ඒ පිළිබඳ තම සහාය පළ කරති. එසේ වුවත් පොහොට්ටුවේ ලේකම් සාගර මෙන්ම නාමල් මන්ත්‍රීවරයා ද තවමත් අවධාරණය කරන්නේ පොහොට්ටුව සතු බලය හා එහි අනුමැතියෙන් මේ ආණ්ඩුව ඉදිරියට යන බව ය. පොහොට්ටුව හා ජනාධිපති අතර විරසකයට ප්‍රධාන හේතුව හිටපු බොහෝ දෙනෙකුට ඇමැති ධුර අහිමි වීම බව ද රහසක් නොවේ. මෙම ඇමැති ධුර සම්බන්ධ වරින්වර විවිධ පුවත් පළ වුවත් එවා යථාර්ථයක් බවට පත් වූයේ ද නැත. ඇත්තටම මේ ජ්‍යෙෂ්ඨයන් යැයි හඳුන්වනු ලබන දේශපාලන චරිතවල පැටිකිරිය ජනතාව මෙන්ම ජනාධිපති රනිල් ද දනී. ජනාධිපතිවරයා රට තුළ යම් ආර්ථික හා දේශපාලන ස්ථාවර භාවයක් ඇති කිරීමට සමත් වුවත් යළිත් රාජපක්‍ෂ කඳවුර පැවැති තත්ත්වයට පත් කළ නොහැකි බව ද දේශපාලන බුද්ධියක් ඇති ජනාධිපති රනිල් ඉඳුරා දනී. ඔහුගේ පසුබැසීම හා පැකිලීම එයින් ආණ්ඩුවට සිදුවන ප්‍රතිලාභයකට වඩා අයසක් සිදුවිය හැකි නිසාය. එහෙත් ඒ දේශපාලන යථාර්ථය පිළිගැනීමට අකැමැති ඒ බොහෝ දෙනෙක් ඇමැති දොළ දුක් නිසා රෝගීව සිටින්නෝ ය. නාමල් මන්ත්‍රීවරයා නම් පවසා තිබුණේ රටට සේවය කිරීමට ඇමැතිකම් කුමකට ද කියා ය. එහෙත් නාමල්ට වඩා වෙනස් අත්දැකීම් සහිත පොහොට්ටුවේ බහුතරය ඇමැති සැප විඳීමේ සිහිනය අත් නොහරිති.

වත්මන් සමාජ දේශපාලනය තුළ රටටත් ජනතාවටත් ඒ ඇමැති ප්‍රශ්නය අදාළ නැත. බොහෝ විද්වතුන් හා ප්‍රබුද්ධ පුරවැසියන්ට තිබෙන්නේ මේ ආණ්ඩුවේ අධිපතිවාදී දේශපාලනයත්, දවසින් දවස වැඩෙන දරිද්‍රතාව හා පොදුවේ ජනතාවට තිබෙන පීඩනයන් වැනි ගැටලු ය. ජනාධිපති රනිල් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට වඩා මහජන වරමකින් රාජ්‍ය නායකත්වයට පත් වූවකු ලෙස ක්‍රියාකිරීම ගැන විපක්‍ෂවල ද දැඩි විවේචන හා චෝදනා පත්‍රයක් ද ඇත. කුමක් වුවත් ජනාධිපතිවරයා අලුත් කැබිනට් මණ්ඩලයක් තෝරා එයින් රටට සාධනීය සමාජ – ආර්ථික – දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු ඇතැයි අපට පැවසිය නොහැක. එබඳු අභිනව දේශපාලන දැක්මක් සහිත කී දෙනෙක් පොහොට්ටුවේ සිටිත් ද යන්නත් අපට ප්‍රශ්නයකි. යම් හෙයකින් එබඳු දේශපාලන අභ්‍යාසයක් යනු මේ පවතින ආර්ථික හා දේශපාලන උභතෝකෝටිකය තවත් සංකීර්ණ තත්ත්වයට උග්‍ර කරවන්නක් ද විය හැකිය.

ආණ්ඩුවේ නිල නිවේදන හා අනුගාමිකයන් කුමක් කීවත් රට තවම ආර්ථික ස්ථාවරත්වයක් ලබා නැත. දුගියන් ලෙසත් ආහාර සුරක්‍ෂිතතාවය නොමැති ජනයා ලෙසත් උග්‍රවන පීඩනය සුළුපටු නැත. ජගත් විමර්ශන, මෙරටේ ආර්ථික විශේෂඥයන් ආදී කිසිවෙක් මේ තත්ත්වය සාධනීය ලෙස නොදකිති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව ආණ්ඩුව ක්‍රියා කළත් ආර්ථික අර්බුදය උත්සන්න වන බව ද කියති. දුගී බව, සමාජ අසහනය, අපේක්‍ෂා භංගත්වය විවිධ මුහුණුවරින් මතුවෙමින් තිබේ. අප සිටින්නේ ලෝකයේම දුප්පත් රටවල් විස්ස අතරය. මේ ආර්ථික මෙහෙයුම ද 1978ට සාපේක්‍ෂව සිදුවන බව ඒ ක්‍ෂේත්‍රයේ ප්‍රාමාණිකයෝම පවසති. මෙය ජයවර්ධනගේ නිදහස් වෙළෙඳ මොඩලයේ ආර්ථික මෙහෙයුමකි. ජනාධිපති රනිල් එය අනුමත කරයි. ඔහු පෙනී සිටින්නේ ද ආර්ථිකය ලිබරල් කිරීමේ ප්‍රතිපත්තිය වෙනුවෙන් ජයවර්ධන විසින් ඉදිරිපත් කරන ලද ක්‍රියාවට නංවන ලද නිදහස් වෙළෙඳපොළ හා පාරිභෝගික ධනවාදය තුළින් රට නැංවීමට ඔහු කල්පනා කරයි. රජය ව්‍යවසාය කටයුතුවලින් ඉවත් විය යුතු බව ඔහු දැඩිව අවධාරණය කරන කරුණකි. පෞද්ගලික ව්‍යවසායට දිරි දෙමින් රාජ්‍ය ආයතන විකුණා දැමීමට ද ඔහු දෙවරක් කල්පනා නොකරයි.

ගෝඨාභයට ජනාධිපති ධුරය ද අත්හැර පලා යෑමට සිදුවූ ප්‍රධාන කරුණ මෙරටේ ආර්ථිකය බිඳ වැටීම නිසා පැන නැඟුණු මහජන විරෝධතා රැල්ලය. ගාලු මුවදොර අරගලය ලෙස අවසන් වූ එහි හරය හා පොදු ජන අභිලාෂය අමතක කරමින් ආණ්ඩුවට පරණ පුරුදු දේශපාලන ගොහොරුව මත රට මෙහෙය වීමට අවශ්‍ය වී තිබුණත් එයින් සාධනීය ප්‍රතිඵල රටට ලැබෙණු ඇතැයි සිතිය නොහැක. රටේත් තමාගේත් අංක එක ආර්ථිකය බව ජනාධිපති රනිල් රට භාරගනිද්දී කීවේය. පළමුවත් දෙවැනිවත් තෙවැනිවත් තමාගේ අරමුණ ආර්ථිකය යැයි ද පුන පුනා පැවසූ ජනාධිපති රනිල් අද ආන්දෝලනාත්මක දේශපාලනයක නිරතව සිටියි. මැතිරවණ අහෝසිකර, මාධ්‍ය නිදහස පාලනය කරන නීතියට උඩින් සිටින විධායකයක් අද අපි දකිමු. කොටින්ම ගාලු මුවදොර විරෝධතාව නිසා දෙදරා ගිය වැඩවසම් ප්‍රභූ තන්ත්‍ර පාලනය යළි හිස එසවීමේ ප්‍රවණතා අද මතුවෙමින් තිබේ. මහජන අභිලාෂයන්ට එරෙහි දූෂිත යැයි ප්‍රතික්‍ෂේප කළ පාලනයක් යළිත් බලාත්මක කිරීමේ ඒ වෑයම යළිත් පණ ගැසෙමින් තිබේ. ඊළඟ ජනාධිපතිවරණය මේ කණ්ඩායම්වල අවසන් බලාපොරොත්තුව වී තිබේද? අත්තනෝමතික ලෙස බලය භාවිත කළ අඳුරු යුගය යළිත් කැඳවනු ඇතැයි විපක්‍ෂය මෙන්ම පොහොට්ටුවෙන් කැඩී ගිය පිරිස් ද අනතුරු හඟවති.

එදා විධායකයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට මුල්වූ රනිල් අද අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස හැසිරෙන ආකාරය අතිශය විවාදාත්මකය. විධායක බලය උදෙසා ජනවරමක් නොලැබුණු ඔහු අද තම ඔඩොක්කුවට වැටුණු ඒ ජන බලය අවියක් ලෙස යොදා අගනිමින් සිටියි. ඔහු යොමුවන්නේ සියලු බලයෙහි අණදෙන්නා ලෙස පෙනී සිටීමටය. සත්තකින්ම අද අප අබියස දිස්වන්නේ ජයවර්ධන පන්නයේ ජනාධිපතිවරයකුගේ යෝධ සෙවණැල්ල සක්‍රීය වී ක්‍රමක්‍රමයෙන් මුළු අවකාශයම වසා ගන්නා පාලකයෙකුගේ විලාසයකි. නීතියට ද උඩින් සිටින අධිකාරී බලයකි. එය ජයවර්ධනට වඩා වෙනස් දේශපාලන පසුබිමක ගොඩනැඟුණකි. මක්නිසා ද යත් ජනාධිපති රනිල්ට එදා ඔහුගේ නායකයා වූ ජයවර්ධනට හිමිව තිබුණු 5/6 බලය සහිත ඔහුගේ පක්‍ෂයේ පාර්ලිමේන්තුවක් නැත. පාර්ලිමේන්තුවේ ඔහුට ඇත්තේ ජාතික ලැයිස්තුවෙන් ලැබුණු එකම මන්ත්‍රීධුරයක් පමණි. එහෙත් ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවට පවා බලපෑම් කළ හැකි ශක්තියක් ද ඔහුට තිබෙන බව රහසක් නොවේ. එහෙත් ඔහු ඒ බලය භාවිත කරන්නේ කුමක් සඳහා ද?

මේ වනවිට සමාජ දේශපාලන අංශවල ඉමහත් විවාදයට ලක් වූ සිදුවීමක් වන කුරුන්දි විහාරය අරභයා උද්ගතවූ ආන්දෝලනයේ උණුසුම තවමත් නිවී ගොස් නැත. දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර සිටින අතිශය විවාදාත්මක චරිතයක් ලෙස සුමන්තිරන් ප්‍රකටය. ජනාධිපතිවරයා ලවා කුරුන්දි ඓතිහාසික පුදබිමට අලුත්, එහෙත් හොර ඔප්පුවක් ලියවා ගැනීමට ඇතැම් දෙමළ නායකයන්ට අවශ්‍ය වී තිබෙන බව ඒ ක්‍රියාවලිය දෙස බලන විට පැහැදිලි වේ. අප ඉතා පැහැදිලිව සඳහන් කරන්නේ රටක පුරාවස්තු යනු ජාතියකට, පක්‍ෂයකට අයත් දේවල් නොවන බවයි. කුරුන්දි විහාරයට අයත් භූමි ප්‍රදේශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිටියේ සුමන්තිරන්ලා විසින් සපයන ලද භූමි සිතියම අතේ කෙසේ වුවත් හිතේ ඇඳගෙන දැයි අපට සිතුණි. ජනාධිපතිවරයා එහිදී මෙරටේ පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු හෑල්ලු කළ ආකාරය රටම බලා සිටියේ සංවේදී සහකම්පන හැඟීමකින් ය. එදා ජයවර්ධන ප්‍රසිද්ධියේ සාහිත්‍ය කන්ඩ දැයි ඇසූ ආකාරයේම අනෙක් ප්‍රතිචාරය ඒ සාකච්ඡා මේසයෙහි සිදු වූ ක්‍රියාදාමයෙන් දැකගත නොහැකි ද?

ජනාධිපති රනිල්ගේ ආගමික හා ඉතිහාස දැනුම මෙන්ම අවබෝධය අද පොහොට්ටුවේ හෝ කැබිනට්ටුවේ සිටින කී දෙනෙකුට තිබේ දැයි අපි නොදනිමු. එහෙත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගගේ ශාස්ත්‍රාලීය දැනුම ජනාධිපතිවරයාට හෝ අන් කිසිවකුට තිබිය හැකිද? උතුරේ ජාතිවාදය වපුරන දේශපාලන විකට රූප අභියස එබඳු ශාස්ත්‍රවන්තයකු අවමානයට ලක් කිරීම කිසිවෙකුට අනුමත කළ නොහැක. සුමන්තිරන්ලාගේ දේශපාලනයට උචිත පරිදි පුරාවස්තුවල ඔප්පු තිරප්පු සකසා ගැනීමට ඉඩ දීමට රාජ්‍ය නායකයකුට ඉඩක් නැත. ජනාධිපති ලේකම්, පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මෙධානන්ද හිමියන්ට ලිඛිතව දැනුම් දී ඇත්තේ ද පුදබිම්වලට වෙන් වූ ඉඩම් කිසිවකුට බෙදා නොදෙන බවය. එයින් තහවුරු වන්නේ ජනාධිපති රනිල්ට දෙමළ බෙදුම්වාදීන්ගේ ඉතිහාසය බැහැර කිරීමට සිදු වූ බව ය.

ජනාධිපති රනිල් සමග දෙමළ ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කරමින් සිටින දෙමළ සන්ධානය මෙලෙස එළියට දමන්නේ තමන් තුළ නිධන්ගතව තිබෙන පටු ජාතිවාදී වුවමනාවන් බව අප සඳහන් කළ යුතුය. මෙම කුරුන්දි පුදබිමට අයත් නාගචෝල වන රක්‍ෂිතය වැනසූ පුද්ගලයා කවරෙක් දැයි රට ම දනී. එදා සුමන්තිරන්ලා ඉදිරියේ තමන් ඉඳුරා දත් ඉතිහාසය හා කුරුන්දි විහාරයේ සත්‍ය කතාව කීමට මහාචාර්ය මනතුංගට ශක්තියක් නොවූයේ ජනාධිපතිගේ විලාසය ඉඳුරා දත් නිසා බව නිසැකය. ජාතිය – ආගම දේශපාලනය වෙනුවෙන් වෙන්දේසි වූ රටක් තවමත් ඒ බිහිසුණු ක්‍රියාවට යොමු විය යුතු නැත. එහෙත් පදනම් විරහිතව රටක ජාතික සංස්කෘතික උරුමයන් බුල්ඩෝසර් කරන තක්කඩි දේශපාලනඥයන්ට ඉඩ නොදිය යුතු බව ද දැඩිව අවධාරණය කළ යුතුය. අද සුමන්තිරන්ගේ අප්‍රසාදයට හෝ වෛරයට ලක්වන සංස්කෘතික ඇමැති විදුර වික්‍රමනායක පැවසූ පරිදිම බුද්ධ නීතිය හා රාජ නීතිය වෙන වෙනම තිබෙනු පමණක් නොව එහි සුසංයෝගයෙන් උද්දීපනය වූ සමාජ දේශපාලනයක් ද අපට තිබේ. අද එහි පරිහානිය වෙනම කතාවකි. එහෙත් මෙරටේ සැබෑ ජාතික සමගියක් ගොඩනැංවිය හැක්කේ ජාතිවාදය තම පැවැත්ම කරගත් වංචනික දේශපාලන විකටයන් මෙන්ම ව්‍යාජ සිවිල් ක්‍රියාකාරින් ද දුරස්ව තැබීමෙන් පමණි.

ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් සහ ජාතික උරුමයන් කුරුසියේ තබා ඇණ ගැසීම!

අනෙක් අතට අද සත්‍යය හා යුක්තිය වෙනුවෙන් වුවද පෙනී සිටීමට බොහෝ විද්වතුන්, ශාස්ත්‍රඥයන් හා අන් ප්‍රබුද්ධ කොටස් ද මැලිවෙති. ඒ අන් කිසිවක් නිසා නොව තමන්ට අයසක්, හිරිහැරයක් සිදුවනු ඇතැයි යන භීතියෙන් හා චකිතයෙන් විය යුතුය. දින කීපයකට පෙර මිහින්තලාරාමාධිපති වළවාහැංගුණවැවේ නායක හිමියන් ප්‍රකාශ කළේත් තවමත් තමන් පසුපස දේශපාලන මෙහෙයුම් එන බවකි. සත්තකින් ම ඉවක් බවක් නැතිව වන සංහාර සිදුවන, කිසිදු අවසරයක් නැතිව ඉදිකිරීම් කෙරෙන, ගංගා ඇළදොළවල් දූෂණය කෙරෙන රටක පුදබිමක ඉදිකර තිබෙන තාවකාලික සෙවණක් ගලවා දැමීමට නියෝග කරන පුරාවිද්‍යා නිලධාරීන් ගැන කිව හැක්කේ කුමක් ද?

ඉතිහාසය හා මහාවංශය වැනි මූලාශ්‍ර පිළිබඳ එකඟතා මෙන්ම මතභේද තිබිය හැකිය. එහෙත් අනුරාධපුර හා පොලොන්නරුව කේන්ද්‍ර කරගත් රාජධානි පැවැති යුගවල උතුර – නැඟෙනහිර ද සම්බන්ධ කර ගත් ශිෂ්ටාචාරයක සටහන් ලකුණු තිබීම අනිවාර්ය දෙයකි. විශේෂයෙන් ඒවායේ බෞද්ධ පුරාවස්තු මෙන්ම හින්දු පුරාවස්තු ද තිබිය හැකිය. සිංහල මෙන්ම දෙමළ බෞද්ධ පිරිස් මේ රටේ සිටි බව ද පිළිගනිති. කුරුන්දි විහාරය බෞද්ධ උරුමයක් ලෙස පිළිගැනීමට දෙමළ ජාතිවාදීන් පසුබැසීම ද අපට තේරුම් ගත හැකිය. එහෙත් ඒ අයිතිය තහවුරු කිරීම මේ රටේ එම ක්‍ෂේත්‍රයෙහි ප්‍රාමාණිකයන්ගේ යුතුකමක් හා වගකීමක් ද වේ. (මේ පිළිබඳව මෙයට පෙර දීර්ඝ විස්තර සඳහන් ලිපි කීපයක් ම පළ වී ඇත.) ඇත්ත වසයෙන් ම තවමත් සිංහල බෞද්ධ යන්න ප්‍රසිද්ධියේ පැවසීමට මැලිකමක් දක්වන අය ද සිටිති. සංස්කෘතිය යන්න පවා ඔවුනට අනුව හිස් වදනකි. එහෙත් අප යෝජනා කරන්නේ ජාතික සංස්කෘතික අනන්‍යතාව යනු ශිෂ්ටාචාරයට පත් මානවයන්ගේ මෙන්ම එබඳු සමාජයක සාධනීය ලක්‍ෂණයක් බවය. අප එරෙහි වන්නේ ඒ ජාතික සංස්කෘතික වටිනාකම් නොතකන, ඒ විවිධත්වයට ගරු නොකරන මුග්ධ අමනයන්ට පමණි. පුරාවිද්‍යාත්මක උරුමයන් සුරැකීමත්, එබඳු ස්ථාන හඳුනාගැනීමටත් පත් කළ ජනාධිපති කාර්ය සාධක බළකාය පවා තම ශාස්ත්‍රීය වගකීම ඉටුකර තිබේද යන්නත් අපි නොදනිමු.

දැන් අපි යළිත් මේ ආණ්ඩුව විසින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම මාධ්‍ය නිදහසට දක්වන අඩු සැලකිල්ල පිළිබඳ විවේචන සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමු. මේ ලිපිය ආරම්භයේ දී සඳහන් කළ පරිදිම විධායකය වටා කේන්ද්‍රගත වූ පාලනය මේ ප්‍රජාතන්ත්‍රවාදයේ හරයත් නීතියේ හා සමාන හිමිකම් මූලධර්මයන් නොතකා උඩින් පැනීමේ ප්‍රයත්නයකි. මුලින්ම ආණ්ඩුව උනන්දු වූ ප්‍රතිත්‍රස්ත පනත මෙන්ම පසුව ඉදිරිපත් වූ ‘පුරවැසියන් පුනරුත්ථාපනය කිරීම සඳහා වූ පනත ද හකුළා ගැනීමට ආණ්ඩුවට සිදුවිය. ජයවර්ධන පාලන සමයේ පැන වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා දැඩි හා පීඩාකාරී යෝජනා එම ප්‍රතිත්‍රස්ත පනතට එක් කිරීමට ආණ්ඩුව පෙළඹුණේ කුමක් සඳහා ද? මේ වනවිටත් ජනතාවගේ දැඩි විවේචනයට ලක්ව සිටින පොලිසියට, අධිකරණයකින් ලබා ගත යුතු බලතල පැවරීම කෙබඳු උමතුවක් දැයි ඒ යෝජනා සැකසූ නිල බලවලට නොපෙනීම පුදුමයකි. දැන් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන විකාශන අධිකාරී පනත ආණ්ඩුවේ ඇමැතිවරුන් හෝ ජනමාධ්‍ය ඇමැතිවරයා පවසන ආකාරයේ අහිංසක එකක් ද? ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයෙහි සිටින සියල්ලන් ම ලිලිපුට්ටන් ලෙස සිතන පිරිසක් විසින් සිය අහංකාර මනස තුළ උපන් මාධ්‍ය විරෝධයට ප්‍රතිචාර දැක්වීමට නොවේ නම් එබඳු යෝජනා ඉදිරිපත් කළ හැකිද? ජනමාධ්‍යයට සීමා පැනවීම මෙන්ම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ආණ්ඩුවට අවශ්‍ය පරිදි සකසා ගැනීමට අදාළ විධිවිධාන ඇතුළත් නීතියක්, පනතක් සම්මත කිරීම යනු මේ ආණ්ඩුවට පමණක් නොව අනාගතයේදී බලයට පත්වන කවර ආණ්ඩුවකට ද සිය රහස් න්‍යාය පත්‍ර හා ජනතාවගෙන් එල්ලවන විරෝධතා වැළැක්වීමට කදිම ආයුධයක් වනු ඇත. දැනටමත් මහජන උද්ඝෝෂණ විරෝධතා වැළැක්වීමට පොලිසිය හැකි හැම ප්‍රයත්නයක් ම දරමින් සිටියි. විරෝධතා පුවරුවක් රැගෙන තනි පුද්ගලයකු පාරේ ගමන් කිරීම බරපතළ වරදකැයි සිතන පොලිස් මනසකට මෙබඳු නීතිමය ආවරණයක් ලබාදුන් විට කුමක් සිදුවිය හැකි ද? ආහාර සුරක්‍ෂිතතාව බිඳවැටීම, දරිද්‍රතාව ඉහළ යෑම ආදිය සම්බන්ධ මාධ්‍ය අනාවරණයන් සඟවා තැබීමට මෙබඳු මර්දන නීති හා බියවැද්දීම් වුවමනා වේ. සාමකාමී විරෝධතාවන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාරවලින් පිළිතුරු දෙන පොලිසියට මහජන අයිතිවාසිකම් පිළිබඳ පාඩම් කියාදීමට මානව හිමිකම් කොමිසමට ද සිදු වී තිබේ.

ජනාධිපති රනිල් අද නිරතව සිටින්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක් උදෙසාම නොව සියලු ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් නීතියෙන් අවහිර කිරීමට දැයි හැඟේ. ජනාධිපතිවරයා ලෙස ව්‍යවස්ථාවේ අඩංගු 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම තම වගකීම බව ඔහු වරක් කීවේය. උතුර නැඟෙනහිර පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබාදිය යුතු බව ද ඔහු කීවේය. එහෙත් එදා තම නායකයා වූ ජයවර්ධන ද එහිදී පියවරක් නොව පියවර කිහිපයක් පස්සට ගත් බව ජනාධිපති රනිල්ට අමතක වී තිබේ.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment