ප්‍රජාතන්ත්‍ර විරෝධීන්ගෙන් රට බේරා ගැනීමට රනිල් – සජිත් වහා එක් විය යුතුයි

398

මැතිසබේ ස්වාධීන වෙමින් අරුන්දික කියයි

ප්‍රජාතන්ත්‍ර විරෝධී කණ්ඩායමකට බලය ලබා දෙනවා වෙනුවට එම විනාශකාරීන්ගෙන් රට බේරාගැනීමට හැකි කණ්ඩායම් සමග සාකච්ඡා කරන බවත් ඒ සඳහා තමන් මින් ඉදිරියට ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් ක්‍රියා කරන බවත් පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ඊයේ (04දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මෙම තත්ත්වය තේරුම් ගෙන ජනාධිපති සටනේ ඉදිරියෙන් සිටින රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස මහත්වරුන්ට වහා එක් වන ලෙස තමන් අත් දෙක එකතු කොට වැඳ ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.

මෙවර ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට සද් භාවයෙන් ක්‍රියා කළද එක්සත් ජාතික පක්ෂයෙන් තමාට කිසිම සහයෝගයක් නොලැබෙන බවත් දැන් ජනපති වටා වෙනත් අශුද්ධ සන්ධානයක් ක්‍රියාත්මක වෙමින් වෙනත් කණ්ඩායමක් බලයට ගෙන ඒමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන ආකාරය පෙනෙන්නට ඇති බවත් හෙතෙම කීය.

එබැවින් ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන නායකයන් සිටී නම් මෙම අවදානම තේරුම් ගත යුතු යැයි සඳහන් කළ මන්ත්‍රීවරයා මේ වන විට තරුණයින් ඉලක්ක කර ඔවුන්ගේ මනස විනාශ කෙරෙන දැවැන්ත අරගලකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ද කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment