ප්‍රඥාවට දොරටු විවර කළ නවම් පුන් පොහොය

167

අවුරුද්දේ දෙවැනි පොහොය ලෙස හැඳින්වෙන්නේ නම් පොහොයයි. දුරුතු පොහොය ශාසනයට වැදගත් වන්නේ යම් සේද නවම් පොහොයත් එසේමය.මිනිසාගේ සිත්සතන්හි මෝක්ෂ මාර්ගයට දොර විවර කරන්නට පාදම දමා ඇත්තේද නවම් පොහොයදාය.

මේ නවම් පොහොය සිද්ධි සමුදායකින් උපලක්ෂිත වී ඇත. ඒ සිද්ධි අතර ප්‍රමුඛ වන්නේ සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ අගසව් තනතුරු ලැබීමේ සිද්ධියයි. එමෙන්ම ප්‍රථම ධර්ම සංඝායනාව සිදු වූයේද නවම් පොහෝදාය. තව ද මහා සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළේත් නවම් පෝදාකය. බුදුරදුන් පිරිනිවන් පෑමට තුන්මසකට ප්‍රථමයෙන් ආයු සංස්කාරය අත්හළේක් නවම් පුන් පොහෝ දිනකය.

තරු පිරිවරා ගත් සඳමඬල මෙන් බුදුරදුන් උරුවේල කස්සප, නදී කස්සප, හා ගයා කස්සප යන තුන් බෑ ජටිල භික්ෂූන් ප්‍රධාන දහසක් භික්ෂු පිරිසද, එක්දහස් දෙසිය පනසක් රහතන් වහන්සේ ද වේළුවනය එදා බබළවන්නට වූ මහා සඟරුවන පිරිවරා ගත් බුදුරදුන් සාරිපුත්ත හා මොග්ගල්ලාන යන මහාක්ෂිණාශ්‍රවයන් වහන්සේ දෙනම දකුණත් සහ වමත් සවුවන් වශයෙන් සංඝ සමාජයට හඳුන්වා දුන්නේ මේ උතුම් නවම් පුන් පොහෝදාය. මෙම අග්‍ර ශාවක තනතුරුවලට පත්වීම මහත් අසිරියක් නොවන්නේද?

මෙසේ මේ දෙනම පත් කිරීම පිළිබඳව මහා සංඝරත්නය අතර වැරැදි ආකල්ප ඇති විය. එමෙන්ම එය මතභේදයට තුඩුදුන් කරුණක් බවට ද පත් විය. සංඝ සමාජයේ ජ්‍යෙෂ්ඨයන් සිටියදී කලක් පැවිදි වූ අය සිටියදී ළඟකදී සසුනට ප්‍රවේශ වූ සැරියුත් මුගලන් දෙනම අගසව් තනතුරට පත් කළේ කවර කාරණා නිසාද යන්න කාගේත් කුතුහලයට පාත්‍ර විය. එමෙන්ම ඔවුහු බුදුරදුන්ට දෝෂාරෝපණය ද කළහ.

මේ අවස්ථාවේදී බුදුරදුහු සියලු සංඝයා ඒකරාශීකොට ඒකකේන්ද්‍රීය තැන්නකට යොමුකොට කා අතරත් ඇතිවූ මේ දුර්මත දුරු කළහ. “මහණෙනි, පංච වර්ගික භික්ෂූහු, යස භික්‍ෂුව, භද්‍රවර්ගික භික්‍ෂූහු, තුන්බෑ ජටිල භික්ෂු යන මේ හැම දෙනාම අනෙකක් පතාම පින් කළහ.” මේ යථාර්ථය බුදුරදුන් පහදා දී සංඝ සමාජයේ පැන නැඟුණු කුහුල හා කුකුස බුදුන් වහන්සේ බැහැර කළහ.

‘ඕවාද ප්‍රාතිමෝක්ෂය’ දේශනා කළේ ද නවම් පුන් පොහෝදාකය. එය බුදුරදුන්ගේ ශාසනයෙහි ප්‍රථම බෝධියෙහි (විසි වසක්) පිරිසිදුව නොකැළැල්ව පැවැතුනි. එබැවින් මහ සඟරුවන සම්බන්ධයෙන් විනය පැනවීමට කිසිදු අවශ්‍යතාවක් නොවීය. ඉන් අනතුරුව කාලයාගේ ඇවෑමෙන් සංඝ සමාජයේ වැරැදි සිදුවන්නට විය. ඒ හේතුව නිසයි, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නට සිදු වූයේ.

දඹදිව මධ්‍ය මණ්ඩලයෙහි විසිරී පැතිරී සිටි මහා සංඝරත්නය මසකට හෝ තෙමසකට හෝ එසේත් නැත්නම් හයමසකට වරක් ඒකරාශීකොට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම බුදුරදුන්ගේ සිරිතක් විය. සමහර භික්ෂූන් සුවච වූ අතර, තවත් සමහර කීකරු නොවූහ. සමහර බුදුරදුන් හඳුනති. ඇතැමෙක් නොහඳුනති. ප්‍රථම බෝධියෙහි තිබූ නිර්මල තත්ත්වය පසුකාලීනව ක්‍රමයෙන් දුර්වල වන්නට විය. මේ අනුව පටු ආකල්ප බැහැරකොට සමාධිගත ජීවිතයකට සඟරුවන යොමුකිරීම ප්‍රාතිමෝක්ෂයේ අරමුණ විය.

බුදුරදුන් කිසිවකුට කිසිම දිනක විනයක් පනවන්නට ගියේ නැත. විනය පනවන්නට යොමු වූයේ වැරැද්දක් කළ විටදීය. සංඝ සමාජයේ දැඩි නීති – රීති පනවා සඟරු වන අතිශය අසීරුතාවට පත්කිරීමට බුදුන්වහන්සේ නොපෙළඹුණහ. එකිනෙකා අතින් සිදුවුණ වැරැදි පදනම් කරගෙන යළිත් එකම වැරැද්ද නොකිරීමට කටයුතු යෙදීම බුදුරදුන්ගේ පිළිවෙත විය. අපට විනය පිටකයක් ඇති වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

රාත්‍රි කාලයකදී එක්තරා භික්ෂුවක් පිඬුසිඟා ගිය අවස්ථාවක එම භික්ෂුව එක්තරා නිවෙසක දොරකඩ සමීපයෙහි පාත්තරය අතැතිව වැඩ සිටි අවස්ථාවේදී එම නිවෙසේ කාන්තාව අතින් ඉඳුල් වතුර එම හිමියන්ගේ සිරුරට වැටීමෙන් පසු පිඬුසිඟා ගිය හිමියන් මහත් අසීරුතාවට පත්වූ අතර, එම කාන්තාව ද මහත් කම්පාවට පත් වූවාය. නොදැකීමෙන්, නොදැනුවත්කමින් සිදුවූ වරදක් නිසා මේ සිද්ධියෙන් අනතුරුව රාත්‍රි කාලයේදී සංඝයා වහන්සේට පිඬුසිඟා නොයන ලෙස බුදුරදුන් විනයක් පනවන ලදී.

බුදුරදුන් ආයුසංස්කාරය අත්හලේද නවම් පුන් පොහෝදාකය. බුදුරදුහු සැරියුත් හා මුගලන් දෙනමගේ පිරිනිවන් පෑමෙන් පසු රජගහ නුවරින් නික්ම චාපාල චෛත්‍ය වෙත වැඩියහ. එහිදී බුදුරදුහු ආනන්ද හිමියන් අමතා ‘ආනන්දය, සතර ඍද්ධිපාද වැඩූවහුට කැමැති නම් ආයුස්කල්පයක් වූද ජීවත් විය හැකිය” යි වදාළහ. බුදුරදුන් තෙවරක්ම මෙය අවධාරණය කළ ද ආනන්ද හිමියන්ට මෙය නොවැටහිණි. ආයුෂ්කල්පයක් ජීවත්වීමට ඉඩකඩ තිබුණ ද අදහසක් ප්‍රකාශ කිරීම යටපත් වූ හෙයින් ආයුසංස්කාරය තුන් මසකින් හරින බව පැවසීමෙන් අනතුරුව කල්පයක් වැඩ සිටින ලෙස ආනන්ද හිමියන් කීව ද එයින් ඵලක් වූයේ නැත.

ආයුසංස්කාරය අත්හළ කෙණෙහිම මහා භූමි චලනයක් එදා ඇති විය. එය සිදු වූයේද නවම් පෝදාය. චාපාල චෛත්‍යයෙන් විසල්පුරයට වැඩම කළ තථාගතයන් වහන්සේ කූඨාගාරයට රැස්වූ භික්ෂූන් අමතා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වදාරා අන්තිම අවවාද කළහ. ‘යො ධම්මං පස්සති සෝ මං පස්සති’ යනුවෙන් ‘යමකු ධර්මයට වඳින්නේ නම් ඒ මට (බුදුරදුන්ට) වැඳීමක් වන්නේ යි” යනුවෙන් වදාළහ. ධර්මය ප්‍රථම තැන තබා ජීවිතයට මෝක්ෂ මාර්ගය හෙළි කෙළේ සත්ත්වයා සසරේ වැටී ඇති අගාධයෙන් ගොඩගැනීම උදෙසා ය.

ප්‍රඥාවන්තයන් අරබයා දෙසූ දහම දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ගය යන චතුස්සත්‍ය නුවණින් දැක නිවන දකින්නට ය. නවම් පොහොය අප ජීවිතයට කඩඉමක් කරගන්නේ ඒ හේතුව නිසා ය.

ප්‍රඥාවට දොරටු විවර කළ නවම් පුන් පොහොය

● අරම ධම්මතිලක නාහිමි

advertistmentadvertistment
advertistmentadvertistment