ප්‍රබල ව්‍යාපාරිකයන්ගේ කැසිනෝවලින් අවුරුදු 12 ක් විධිමත්ව බදු අය කර නෑ

849

අගමැති කැබිනට් හමුවේදී කියයි

අණ පනත් පැවතියද දෙස් විදෙස් ප්‍රබල ව්‍යාපාරිකයන් විසින් පවත්වාගෙන යනු ලබන මෙරට පිහිටි කැසිනෝ ව්‍යාපාරවලින් දොළොස් වසරක කාලයක් තිස්සේ නිසි පරිදි විධිමත් බදු අයකර ගැනීමක් සිදුව නොමැති බව පෙරේදා (04 වැනිදා) පැවති කැබිනට් රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ.

කැසිනෝ ව්‍යාපාර නියාමනය සඳහා 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමන පනත සහ 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත යටතේ විධි විධාන පනවා තිබී ඇත.

එසේ වුවද 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමන පනතේ විධිවිධාන බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කර නොතිබීම හේතුවෙන් එය යටතේ මෙරට තුළ ඇති කිසිදු කැසිනෝ ව්‍යාපාරයකට බලපත්‍ර නිකුත් කිරීමක් මෙතෙක් සිදුව නැත.

එම තත්ත්වය හේතුවෙන් මෙරට තුළ ක්‍රියාත්මක කැසිනෝ ව්‍යාපාරවලින් විධිමත් අයුරින් බදු අයකර ගැනීමට අපහසු වී තිබෙන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දී තිබේ.

මේ අනුව 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමන පනත යටතේ වන නියෝග නිකුත් කිරීමටත් 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට අවශ්‍ය සංශෝධන ගෙන ඒම සඳහාත් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment