ප්‍රයිවට් බසය ඉස්සර කළැයි ලංගම බස් රියැදුරුගේ හිසට බෝතලයකින් ගහලා

338

සේවකයන්ට හිරිහැර කළ 4 වැනි අවස්ථාව
ජ’පුර රෝහල-කොටුව බස් සේවය තාවකාලිකව නවතයි
තලංගම ඩිපෝ කළමනාකරු

තම පෞද්ගලික බස් රථය පසුකර ගියැයි කෝපයට පත් කොන්දොස්තරවරයකු ශ්‍රී ලංගම බස් රථයක රියැදුරුගේ හිසට බෝතලයකින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා එම රියැදුරු පෙරේදා (14දා) රාත්‍රී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මාර්ග අංක 174 කොට්ටාව-බොරැල්ල පෞද්ගලික බස් රථයක් හා මාර්ග අංක 171 ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ තලංගම ඩිපෝවට අයත් ශ්‍රී ලංකාම බස් රථයක් තරගයට මෙන් ධාවනය කර ඇත.

ඒ යන අතරේ ලංගම බසය පෞද්ගලික බස් රථය පසුකර ගමන් කර තිබේ. එයට උරණ වූ මාර්ග අංක 174 පෞද්ගලික බස් රථ රියැදුරු බත්තරමුල්ල දියත උයන ප්‍රදේශයේදී ලංගම බස් රථය පසුකර මාර්ගය අවහිර වන සේ ලංගම බස් රථයේ ගැටීමට සලස්වා අනතුරුව ලංගම බස් රථයේ රියැදුරුට බෝතලයකින් පහරදී ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

ලේ ගලන තුවාල සහිතව සිටි ලංගම බස් රථ රියැදුරුව 1990 සුවසැරිය ගිලන් රථයකින් රෝහල්ගත කිරීමට පියවර ගත් බවද පොලිසිය පවසයි.

ලංගම බස් රථයේ රියැදුරු වන තම සේවකයාට පහරදී බරපතළ තුවාල සිදු කළ පුද්ගලයාට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස තලංගම ඩිපෝවේ කළමනාකාර අනුර අජිත් මහතා පොලිසියෙන් ඉල්ලීමක් කළේය.

ජයවර්ධනපුර රෝහලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන මෙම බස් රථයට හිරිහැර කළ සිව්වැනි අවස්ථාව මෙය බවද බෝතලයෙන් පහරදුන් බස් රථ කොන්දොස්තර හා රියැදුරු පොලිසිය මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි ද ඩිපෝ කළමනාකරු කියයි.

බරපතළ තුවාල ලබා ඇති ලංගම රියැදුරු 35 හැවිරිදි මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ හිස තුළ වීදුරු කැබලි ඇති බවත්, මේ හේතුවෙන් ඔහුට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතව තිබූ බවත් ඒ මහතා පැවැසීය.

මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ජයවර්ධනපුර රෝහලේ සිට කොළඹ කොටුව දක්වා මෙම බස් රථය යෙදවූ බවත්, ඒ සම්බන්දයෙන් බොහෝ පෞද්ගලික බස් රථ හිමිකරුවන් ලංගම සේවකයන්ට බලපෑම් එල්ල කරමින් තිබූ බවත්, එකී උච්චතම අවස්ථාව මෙය බවත් ඩිපෝ කළමනාකරු පවසයි.

ලංගම සේවකයන්ගේ ජීවිත ආරක්‍ෂාව වෙනුවෙන් ජයවර්ධනපුර රෝහල කොළඹ කොටුව බස් රථ සේවාව තාවකාලිකව නතර කර දැමීමට පියවර ගත් බව ද හෙතෙම කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment