ප්‍රශ්නය ගේ ඇතුළට එනතුරු උත්තරය දාර්ශනිකය

1370

ගම්පහ ඉහළ යාගොඩ පදිංචිව සිටි ෂර්ලි ලක්ෂ්මන් දිසානායක මීට දින තුනකට පමණ පෙර මියයන්නේ බෙහෙවින් ඛේදජනක ලෙසය. 52 හැවිරිදි ෂර්ලි දුම්රිය ආරක්‍ෂක නිලධාරියකු ලෙස වැඩ කළේය. මේ අනුව මීට දෙතුන් දිනකට පෙර කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වූ නගරාන්තර දුම්රියේ ගමන් කළ මගියන් දෙදෙනෙක් අරක්කු බෝතලයක් බොන අයුරු ෂර්ලි දුටුවේය. දුම්රිය නීති රීතිවලට අනුව කොච්චි පෙට්ටි තුළ අරක්කු බීම තහනම් නිසා බේබද්දන් දෙදෙනා වෙත ගිය ෂර්ලි අරක්කු බීම නවත්වන්නැයි ඔවුන්ට දැන්වීය. මෙතැනදී ඇතිවූ කතා බහකින් පසු එක බේබද්දකු විසින් ෂර්ලිට පයින් ගසන ලදී. දුම්රියෙන් එළියට වීසි වූ ෂර්ලි මහපොළවේ හිස වැදී එකෙනෙහිම මළේය. ෂර්ලිගේ මරණයෙන් ඔහුගේ බිරිය සහ දරුවෝ අනාථභාවයට පත්ව සිටිති. ෂර්ලිට පයින් ගැසූ බේබද්දා හදිසි කෝපය මත පා පහර දීම සිදු කළේය යන පදනම යටතේ නිදහස් වීමට ඉඩ ඇත. බේබද්දා පා පහර දුන්නේ මරණීය චේතනාවෙන් නොවන බව ඔහු වෙනුවෙන් ඉදිරිපත් වන, රජයේ නීතිඥ සංගමයේ ද සාමාජිකත්වය ද ඇති නීතිවේදීන් විසින් තර්ක කරනු ලබනවා ඇත. ඒ කතාව එතනින් අවසන් වන අතර ෂර්ලි පිළිබඳ මතකය දුම්රියපළ පසුකර ගෙන ගිය දුම්රියක් මෙන් මතකයෙන් ගිලිහී යනවා ඇත.

 අහන අහන හැමතැනින්ම ඛේදවාචකයක් වාර්තා වීම අවාසනාවකි. මෙය අද ඊයේ තත්ත්වයක් නොව අවුරුදු තිහ හතළිහක පටන්ම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවත්නා සංසිද්ධියකි. සමහරවිට අපේ රටේ සිවිල් ඛේදවාචකවල ආරම්භය 71 කැරැල්ල වීමට පුළුවන. 77 න් පසු රට දේශපාලන මදාවියන් අතට පත්විය. 1980 වන විට යුද්ධය නිල නොවන මට්ටමින්ද 1983 වන විට යුද්ධය නිල මට්ටමින්ද පටන් ගත්තේය. එතැන් පටන් බෝම්බය සහ මරණය යන සාධක දෙක ජීවිතය සහ ඔක්සිජන් මෙන් එකිනෙකට යාව අප සමග ජීවත් විය. 88, 89 තරුණ නැඟිටීමද ඛේදවාචකයකි. නව ගෝලීය සංස්කෘතිය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් පුළුල් වීම නිසා තවදුරටත් වැඩවසම් චින්තනය අපේ රටේ ඉතිරිව ඇත්තේ අංශු මාත්‍ර වශයෙන් පමණි. මේ නිසා ඕනෑම අසාධාරණයක් හෝ ඕනෑම අනභිමතයක් ඉදිරිපිටදී ජනයා නැඟී සිටිති. අතේ ආයුධ නැති රාජ්‍ය විරෝධී අරගලයක් පසුගියදා මේ රටේ තිබිණ. එහි ප්‍රතිඵලය ඉතා නරකය. එම ප්‍රතිඵලයට අනුව අද වන විට රටේ ජනාධිපතිට යන එන මං නැත. ඔහුගේ පුද්ගලික නිවස ගිනි තබා ජනාධිපති මන්දිරය කඩා බිඳ දමා ජනාධිපති ලේකම් කාර්යාලයට හානි සිදුකර ඇති බැවින් ඔහු සිටින්නේ යාලුවන්ගේ ගෙවල්වලය. ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරයකුට ජංගම වීමට සිදුවූ පළමු අවස්ථාව මෙය වීමට ඉඩ තිබේ. සිංහල රජ කාලයේදී රජතුමා හිටපු ගමන් ජංගම වෙයි. අනපේක්ෂිත ලෙස රාජ්‍ය බලය පැහැර ගැනීම සඳහා රජතුමාගේ අයියා හෝ මල්ලී හෝ පිටස්තර ආක්‍රමණිකයකු හෝ සේනාවක් රැගෙන එනවිට තම කාර්ය මණ්ඩලය සමග පැනයන රජතුමා රටේ වෙනත් කලාපයකට ගොස් තාවකාලික රාජධානියක් ඉදිකර ගනී. මෙයට තාවකාලික මාලිගයක්ද ගල් පුවරු කීපයක් මත තැනූ ටැන්පිට විහාරයක් ද අයත්ය. ටැම් පිට විහාරයක් යනු ගල් පුවරු කීපයක් මත ලෑලි අතුරා ඒ මත වරිච්චි බිත්ති බැඳ සාදන ලද තාවකාලික බුදු මැඳුරකි. මධ්‍යකාලීන යුගයෙන් පසු ස්ථාවර ආණ්ඩුක්‍රම සංස්කෘතියක් මේ රටට ලැබීම නිසා රටේ අගමැතිට හෝ ජනාධිපතිට උන් හිටි තැන් නැතිවූ අවස්ථා නැත. අද වනවිට අගමැති දිනේෂ් ගුණවර්ධනට අරලියගහ මන්දිරය පාවිච්චි කිරීමට බැරිය. එය විශාල වශයෙන් ඩැමේජ් වී ඇත. අගමැති කාර්යාලය සහ ජනාධිපති කාර්යාලයේ තිබූ වටිනා ලියැවිලිද පුරාවස්තු ද රට රට වලින් ලැබුණු තෑගි භාණ්ඩ ද සොරුන් විසින් පැහැරගෙන ගොස් තිබේ. මේ හොරකම් කළෝ අරගලකරුවෝ නොවෙති. අරගලකරුවන් සිය විරෝධය පළකරන ලද්දේ කිසියම් ප්‍රමිතියකට අනුවය.

 රටක් ලෝකය සමග සම්බන්ධ වන්නේ තානාපති කාර්යාල හරහාය. එහෙත් හිටපු ගමන් තානාපති සේවය අනුන්ගේ අභ්‍යන්තර කටයුතු හොයන චීත්ත සේවයක් බවට පත්වේ. අපේ රටේ අරගලය සහ අරගලය සම්බන්ධයෙන් ආණ්ඩුව පියවර ගත්ත ආකාරය ගැන යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ ඇමෙරිකන් තානාපති නෝනා මහත්මිය කැනේඩියානු තානාපතිතුමා යනාදීන් කණස්සල්ල පළකර තිබේ. ඔවුන් කියන්නේ අරගලය පාලනය කිරීම සඳහා ආණ්ඩුව පියවර නොගත යුතු බවය. අරගලය යනු පොදු අයිතියක්ලු. මේ සම්බන්ධයෙන් ව්‍යවහාර කරන නීතිය ජනාධිපති වික්‍රමසිංහ විසින් මේ වනවිටත් බටහිර ලෝකයට දැනුම් දී තිබේ. පසුගියදා පැවති ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් පසු ඩොනල්ඩ් ට්‍රප්ම් ගේ ගෝල බාලයෝ වොෂින්ටනයේ කැපිටෝල් කන්දේ පිහිටි ඇමෙරිකන් පාර්ලිමේන්තුව ආක්‍රමණය කරන ලදී. මෙහිදී ඇමෙරිකන් පොලිසිය එකී විරෝධතාකරුවන්ගේ ඔලු පළුකර හතර හන්දි අට හන්දි බවට පත් කළහ. ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ තිබූ එකම ලියැවිල්ලක් හෝ පැහැර ගත්තේ නම් එම හොරාට එකෙනෙහිම සිදුවන්නේ වෙඩි කා අපායට යෑමටය. ප්‍රංශ බස කතාකරන මිනිසුන් සිටින ළමයින්ට ප්‍රංශ භාෂාවෙන් උගන්වන ප්‍රංශයටත් වඩා ප්‍රංශ වූ ක්විබෙක් නමැති ප්‍රංශ කොලනි ප්‍රාන්තයක් කැනඩාවේ තිබේ. එම ප්‍රාන්තය වෙනම රටක් බවට පත්කර දෙන ලෙස ඉල්ලමින් එම කොලනියේ ජනයා අවුරුදු ගණනක් තිස්සේ යකා නටති. එහෙත් කැනේඩියානු මහ ආණ්ඩුව කවදාවත් තම රට කඩා ප්‍රංශ කොලනියක් වීමට ක්විබෙක් ප්‍රාන්තයට මලාට ඉඩ දෙන්නේ නැත. මෙහෙම තත්ත්වයක් ලංකාවේ තිබුණා නම් ඇමෙරිකන් තානාපතිතුමිය කණස්සල්ලෙන් නොනැවතී හොටු හූරමින් හඬා වැළපීමට ද ඉඩ තිබේ. ප්‍රශ්නය තමා වෙතට එන තුරු උත්තරය දාර්ශනික යැයි යන කියමන මේ වගේ තැන්වලට හොඳටම ගැළපේ.

advertistmentadvertistment
advertistmentadvertistment